Home » මාදම්පේ දුරකතන කම්බි කැපූ හොර කල්ලිය පොලිසියට ඉතිරි කළ හෝඩුවාව

මාදම්පේ දුරකතන කම්බි කැපූ හොර කල්ලිය පොලිසියට ඉතිරි කළ හෝඩුවාව

by thanushika
August 10, 2024 12:30 am 0 comment

‘අපරාධකාරයා කිසියම් අපරාධයක් සිදුකර එම අපරාධ ස්ථානයෙන් නික්ම යන්නේ කිසියම් හෝ හෝඩුවාවක් එම ස්ථානයේ ඉතිරි කර තබමිනි’ යන්න සිද්ධාන්තයකි. එවැනි අවස්ථා මෙරට අපරාධ සිදුවීම් ඉතිහාසයේ ඕනෑ තරම් ඇත. දක්ෂ විමර්ශන නිලධරයා උකුසු නෙත් ඇත්තෙකි. කිසියම් අපරාධ ස්ථානයකට යන දක්ෂ විමර්ශන නිලධරයා මුලින්ම සොයා බලන්නේ අපරාධකරුවා අල්ලා ගන්නේ කෙසේද කියා නොව ඔහු අපරාධ ස්ථානයේ ඉතිරිකර ගිය සාක්ෂි මොනවාද යන්නය.

කිසියම් අපරාධ ස්ථානයක් පොලිසියේ සියුම් පරීක්ෂාවට ලක් වීමට පෙර එම ස්ථානයට එක්රොක් වීම ඉතාම නුසුදුසු ක්‍රියාවක් වන්නේ අපරාධයට අදාළ සාක්ෂි ඒ එක්රොක් වීම්වලින් විනාශ වන නිසාය. මහජනතාව දැනගත යුතුම කරුණකි එය. අපරාධ ස්ථානයකට ළඟා වන පොලිස් නිලධාරීන් ‘අපරාධ ස්ථානයක ඇතුළුවීම තහනම්’ යන දැන්වීම සහිත විශේෂිත යම් පටියක් අපරාධ ස්ථානයක් වටා කිසියම් ඉඩ ප්‍රමාණයක් ආවරණය වන සේ යොදන්නේ මහජනතාව එම ප්‍රදේශයට ඇතුළුවීම වැළැක්වීම සඳහාය. අපරාධයට අදාළ සාක්ෂි විනාශ වීම වැළැක්වීම එහි ප්‍රධාන අරමුණයි.

අපරාධකරුවන් කොතරම් සූක්ෂ්ම වුවද ඔවුහු කිසියම් සාක්ෂියක් හෝඩුවාවක් අපරාධ ස්ථානයේ ඉතිරිකර යනවාමයි. දක්ෂ විමර්ශකයාගේ කාර්යභාරය එම හෝඩුවාව සොයා ගැනීමයි. පොලිස් අපරාධ පරීක්ෂණාගාර සංකල්පය බිහි වන්නේ ද මේ නිසාමය. එම ඒකකවල නිලධරයන්ගේ ප්‍රධාන රාජකාරිය වන්නේ ද අපරාධකාරයා අපරාධ ස්ථානවල ඉතිරිකර යන සාක්ෂි සාධක ඉතා සියුම් විමර්ශනයකින් සොයා ගැනීමයි. එවැනි සාර්ථක විමර්ශන ගණනාවක් පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ පරීක්ෂණාගාර නිලධාරින් විසින් මේ වන විට සිදුකර ඇත.

අපරාධකරුවන් අපරාධ ස්ථානවල විශේෂයෙන් ඉතිරිකර යන්නේ ඇඟිලි සලකුණුය. ඊට අමතරව ඔවුහු යම් යම් දේ එහි දමා යති. ඒ අමතක වීමෙන්ය. එහෙමත් නැත්නම් නොදැනුවත්වය. මධ්‍යම පළාතේ උකස්බඩු හලක මීට කලකට පෙර සිදුවූ රන් සොරකමක් සිදුකළ සොරුන් එහි දමා ගොස් තිබුණේ දුරකතන ඇමතුමක් ගත් බිල්පතකි. එම සාක්ෂියෙන් එහි අලගිය මුලගිය තැන් හෙළිවිය. අපරාධකරුවෝ තාක්ෂණය සමඟ මේ වන විට බොහෝ දුර ගොස් සිටිති. සී. සී. ටී. වී. කැමරාවල ඩී. වී. ආර්. යන්ත්‍රය ඔවුන් ගලවාගෙන යන්නේත් ජංගම දුරකතන පරිහරණය නොකර ඇඟිලි සටහන් ද හසු නොවන අන්දම ගැන ඔවුහු මේ වන විට බොහෝදුරට අධ්‍යයනය කර ඇති බව පෙනෙන්නට ඇතත් සිද්ධාන්තය හැටියට මොනවාමහරි අපරාධ ස්ථානයේ ඉතිරිකර යති.

එවැනි සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ හලාවත පොලිස් කොට්ඨාසයට අයත් මාදම්පේ පොලිස් වසමෙනි.

දුරකතන රැහැන් කැපීම ද මේ වන විට වළක්වා ගත නොහැකි තරමටම දිගින් දිගටම සිදුවන සංවිධානාත්මක ජාවාරමක් බවට පත්වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත්තේ දිනපතාම පාහේ වාර්තා වෙමින් පවතින එවැනි සිදුවීම් නිසාය. කොට්ටාව පොලිසිය ද එවැනි ජාවාරමක සුලමුල පසුගියදා අනාවරණය කර ගත්තේ රුපියල් හැත්තෑපන් ලක්ෂයක් පමණ වටිනා දුරකතන රැහැන් තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගනිමිනි.

හලාවත පොලිස් කොට්ඨාසයට අයත් මාදම්පේ පොලිස් බලප්‍රදේශයේ මැදගම රත්මල්ලාගාර සහ කුඩා බිංගිරිය යන ප්‍රදේශවල රාත්‍රි කාලයේ දුරකතන රැහැන් කපා ගෙන යන සංවිධානාත්මක කල්ලියක් ගැවසෙන බවත් ඔවුන් විසින් දුරකතන රැහැන් විශාල ප්‍රමාණයක් කපාගෙන ගොස් ඇති බවටත් මාදම්පේ පොලිසියට පැමිණිලි ලැබී තිබුණි. පොලිසිය මේ ගැන විමර්ශන ආරම්භ කළේ මේ සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගැනීම සඳහාය.

මේ ජාවාරම වැළැක්වීම සඳහා ටෙලිකොම් ආයතනය ඉතා සූක්ෂ්ම නවීණ තාක්ෂණය යොදාගෙන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබුණි. ඒ දුරකතන රැහැන් කැපීම වැඩිපුර සිදුවන ප්‍රදේශ හඳුනාගෙන ඒවා සිතියම් ගතකර ආරක්ෂිත සංඥා පද්ධතියක් එම ප්‍රදේශවල සවි කිරීමයි.

මේ බව නොදත් දුරකතන රැහැන් සොරුන් පසුගිය දිනෙක රාත්‍රියේ බිංගිරිය ප්‍රදේශයේ මාර්ගයක දුරකතන රැහැන් කපද්දී අදාළ ආරක්ෂිත සංඥා පද්ධතිය ක්‍රියාත්මක විය. ටෙලිකොම් සේවකයන් වහාම එම ස්ථානයට පැමිණෙන්නේ ඒ අනුවය. එම නිලධාරීන් දුරකතන රැහැන් මාර්ග පරීක්ෂා කරද්දි ඒ අසල සිටි දුරකතන රැහැන් සොරුන් සේවකයන්ට බිය වී පලා ගිය අතර ටෙලිකොම් සේවකයන් අදාළ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

ඒ අවස්ථාවේදි දුරකතන රැහැන් සොරුන් අමතකවී දමා ගිය ජංගම දුරකතනයක්, ඇඳුම් කීපයක්, රැහැන් කැපීමට ගෙන ආ උපකරණ කීපයක් ටෙලිකොම් සේවකයන්ට හමුවී ඇති අතර ඔවුන් ඒවා වැඩිදුර විමර්ශන සඳහා මාදම්පේ පොලිසියට භාර දී තිබේ. ඒ අනුව අදාළ ජංගම දුරකතනය පරික්ෂා කළ පොලිස් නිලධරයෝ එහි දත්තවලට අනුව සිදු කරන ලද සියුම් විමර්ශනයකින් අනතුරුව මාදම්පේ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදි.

සැකකරුගෙන් ලබාගත් තොරතුරුවලට අනුව සිදුකළ ඊළඟ විමර්ශනවලදී දුරකතන රැහැන් කැපීමේ ජාවාරමට සම්බන්ධ තවත් සිවුදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවිය. එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කළ පොලිසිය හොරෙන් කපන ලද රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා දුරකතන රැහැන් තොගයක් ද සොයා ගන්නා ලදි.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායකගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මහේෂ් මුතුකුමාරණ, සැරයන්වරුන් වන 46806 වසන්ත, 64843 ජයන්ත, කොස්තාපල් 100596 දිසානායක යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

ඡායාරූප – මාරවිල මිහිර විජේසේකර

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division