මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, අංක 539 ලිපිනයේ පදිංචි අලවලදේවගේ ස්වර්ණලතා හැටතුන් හැවිරිදිය. අවිවාහක කාන්තාවක වන ඇය 85 හැවිරිදි සිය මව සමඟ දිවි ගෙවන්නේ දුක සේ උපයා ගත් දෙයිනි.
ස්වර්ණලතාගේ තරුණ විය සහ මැදිවිය ගෙවුණේ රැකියාවක නිරත වෙමිනි. දුක් මහන්සියෙන් උපයා-සපයා ගත් දෙයින් එදා ඇය රන් ආභරණ රැසක් මිලදී ගෙන තිබුණේ නැතිබැරි දවසක පිහිටක් ලබාගන්නා අදහස ඇතිවය. කෙසේ හෝ ඇය මව සමඟ වේලක් ඇර වේලක් කමින් හෝ දිවි ගැට ගසා ගත්තේ කිසිවකුටවත් අත නොපාමිනි.
මැදි වියට එළඹෙමින් සිටි කාන්තාවක සිය පුරුෂයා සමඟ ස්වර්ණලතාගේ නිවස ආසන්නයේ නිවසක පදිංචිව සිටියේ කුලී පදනම මතය. මේ කාන්තාව නමින් මධුකා නම් වූවාය. මේ පවුල් දෙක හිතවත්කමින් කාලය ගත කරන්නට වූයේ අසල්වැසියන් වූ නිසාය. මෙම කාන්තාව කුලී නිවසට ඒමට පෙරාතුව මිනුවන්ගොඩ කනත්ත පාර ඔවුන්ගේම නිවසක පදිංචිව සිට ඇති අතර එම ඉඩම් දේපළ විකුණා කාලයක් තිස්සේ නිල්පනාගොඩ නිවසේ කුලී පදනම මත කාලය ගත කරනු ලැබ තිබිණි. එසේ සිටින අතර අසල්වැසියන් වූ වයෝවෘද්ධ මාතාව සහ ඇගේ අවිවාහක දියණිය සමීපව ඇසුරු කරමින් දැඩි මිත්රත්වයක් ගොඩනඟා ගැනීමට කුලී නිවසේ කාන්තාව සමත් වූවාය.
එසේ කල් ගත කරන අතර තමන්ට ‘දේව බැල්මක්’ ඇති බවට අවිවාහක කාන්තාව සහ මවට පැවැසූ මධුකා ඕනෑම විටෙක උපකාර කරන්නට තමන් සැදී පැහැදී සිටින බවට විශ්වාසයක් ගොඩනැංවීමට ද සමත් වූවාය. ඔවුන්ගේ පවුල් පසුබිම ඇතුළු සියලු විස්තර දැනගන්නට ලැබුණේ මේ සමීප ඇසුර නිසාය. එසේ සිටින අතර මේ කාන්තාව සහ සැමියා මිනුවන්ගොඩ නගරයට ආසන්න කෝපිවත්තේ නිවසක පදිංචියට ගියේ ද කුලී පදනම මතය. පදිංචිය වෙනස් කළද පවුල් දෙක අතර ඇතිවූ සබැඳියාව දිගටම ගෙන යන්නට ‘දේව වරමක්’ හිමි මධුකා දිගින් දිගටම ක්රියා කළේ යටි අරමුණක් ඇතිවය. ඒ වන විට ඇය දේව වරමින් ශාන්තිකර්ම කටයුතු කරන ‘කපු හාමිනේ’ කෙනෙකු බවට පත්වී හමාරය.
ඉතාම සමීප දිනකදී ඔබගේ මරණය හෝ දේපළ අහිමි වීමේ තර්ජනයක් ඇතිවනවා යැයි කරුණු දක්වමින් ඇය ස්වර්ණලතාව බිය ගන්වන්නේ මේ අතරතුරේදීය. ඒ තම සිතැඟියාවන් ඉටුකර ගනු පිණිසය. එසේ කරදරයක් සිදු වුවහොත් වයෝවෘද්ධ මව බලා කියා ගැනීමට ද බැරි වනු ඇති බවට ස්වර්ණලතා බියට පත් කරන්න මධුකා කපු හාමිනේ කටයුතු කළාය.
මෙසේ ඉදිරියේදී සිදුවන්නට ඉඩ ඇති කරදරවලින් මිදීම සඳහා ශාන්තිකර්මයක් කරන්නට කපු හාමිනේ යෝජනා කළාය. දෙගිඩියාවෙන් පසුවුවද ස්වර්ණලතා අවසානයේ මධුකා ලවා ශාන්තිකර්මයක් සිදුකර ගැනීමට කැමැත්ත පළ කළාය. මෙම ශාන්තිකර්මය සිදු කරද්දී අවදානමක් ඇති රන් ආභරණ ද ආරක්ෂාවක් කළ යුතු නිසා ඒවා ද රැගෙන ආ යුතු බවට කපු හාමිනේ ස්වර්ණලතාට දැනුම් දුන්නේ කාරුණිකවය.
ඒ අනුව ස්වර්ණලතා ශාන්තිකර්මය කරගැනීම සඳහා මධුකා කපු හාමිනේට කැමැත්ත පළ කිරීමෙන් පසු ඇගේ අතේ ඇති මුද්ද ද ඇතුළුව සියලු රන් ආභරණ සෙත් ශාන්තියට පත් කිරීමට ඇවැසි බව මධුකා නැවතත් සිහිපත් කරද්දී රතු රෙද්දක් ස්වර්ණලතා අතට දුන්නේ රන් ආභරණ එහි ඔතාගෙන එන ලෙසට දන්වමිනි. ස්වර්ණලතාගේ අතේ ඇති මුද්දත් එයට ඇතුළත් කරන ලෙසට විශේෂ දැනුම් දීමක් කෙරිණි. එසේ දුන් රතු රෙදිකඩ ‘දේව සළුවක්’ බව කපු හාමිනේ සඳහන් කර ඇත්තේ ස්වර්ණලතාට තවත් විශ්වාසය ඇතිවන පරිදිය. ජූලි 28 දා රාත්රි දේවාලයට එන ලෙස දන්වා ස්වර්ණලතා සහ ඇගේ මව කැඳවාගෙන ඒම සඳහා මධුකා ත්රිරෝද රථයක් ස්වර්ණලතාගේ නිවසට යැවීමට ද කටයුතු කළේ තම වැඩ පිළිවෙළේ අදියරක් අනුවය.
ස්වර්ණලතා පවුම් දහයක් පමණ වන තම රන් ආභරණ ආදියද දේව සළුවේ ඔතා මල්ලක දමාගෙන කෝපිවත්තේ දේවාලයට ගිය පසු රන්මල්ල එහි ඇතුළෙන් තැබීමට මධුකා උපදෙස් දුන්නාය. අනතුරුව දේව බලයට පත් කළ පොල් ගෙඩි තුනක් ස්වර්ණලතාට දුන් මධුකා කපු හාමිනේ ත්රිරෝද රියේම ගොස් තුන්මං හන්දියක පොල් ගෙඩි තුන ගසා එන ලෙසට ඇයට උපදෙස් දුන්නාය. උපදෙස් පරිදි ක්රියා කර යළි දේවාලයට ආපසු ජීවම් කළ බව කියන තැඹිලි ගෙඩියක් කපා එහි වතුර බොන ලෙසට ඇය ස්වර්ණලතාට දැනුම් දුන්නාය. ඇය තැඹිලි බොද්දී කිසියම් ‘අමිරසක්’ ආවත් ඒ ගැන සැලකුවේ නැත්තේ දේව බලයට විරුද්ධව කටයුතු කරන්නට බියවූ නිසාය. පසුව වතුර බෝතල් දෙකක්ද පානයට දුන් අතර ඒවා පානයෙන් පසු ස්වර්ණලතා තරමක සිහිවිකල් තත්ත්වයකට පත් වූවාය
ශාන්තිකර්මය අවසන් වීමෙන් පසු රාත්රී 11.30 ට පමණ ස්වර්ණලතා සහ මව පැමිණි ත්රිරෝද රියෙන්ම ආපසු නිල්පනාගොඩ නිවසට පිටත් කරන්නට මධුකා කපු හාමිනේ කටයුතු කළාය. ස්වර්ණලතා සහ මව නිවසින් පිටව යාමට සැරසෙද්දී ඇය ගෙන ආ ‘මල්ල’ ඇය අතට දීමට ද කපු හාමිනේ උත්සුක වූයේ තම අරමුණ ඉටුවීමෙන් ඇතිවූ සතුට සමඟිනි. නිවසට යන අතරමඟදී ස්වර්ණලතා ප්රකෘති තත්ත්වයට පත්වූවාය. ඇය මල්ලට අත දමා රන් ආභරණ සොයා බැලුවාය. ඒවා නැති බව දැන රිය හරවා යළි ආපසු කෝපිවත්තට ගොස් කපු හාමිනේ හමුවී ඒ බව දැන්වූවාය.
“මම දන්නේ නැහැ මල්ල මම ඔයාට දුන්නේ. සියලුම දේවල් එහි තිබුණා” යැයි මධුකා කපු හාමිනේගේ පිළිතුර විය.
කළ හැකි දෙයක් නැති තැන ඇය ආපසු නිවසට ගියත් රැය පහන් කළේ නිදි වර්ජිතවය. උදේම නිවසෙන් පිටත්වූ ස්වර්ණලතා නතර වුණේ මීනුවන්ගොඩ පොලිසියේය. තමන්ට සිදුවූ අවනඩුව ගැන ඇය හඬා වැටෙමින් පැවසුවේ තමන් ඉදිරියට ජීවත් වන්නේ කෙසේද? අම්මා බලා ගන්නේ කෙසේදැයි පොලිසියෙන් ද විමසමිනි.
ඒ අනුව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ගේ ද සහාය ඇතිව විමර්ශන පැවැත්වීමට මිනුවන්ගොඩ පොලිස් නිලධාරින් පියවර ගැනින. රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් මධුකා කපු හාමිනේ අත්අඩංගුවට ගැනිණි. ඇය පොලිසියට ගියේ මාස දෙකහමාරක් වයසැති සිඟිති දියණිය ද තුරුලු කරගෙනය. තමන් මේ ගැන කිසිත් නොදන්නා බව ඇය පැවසුවත් ඒ බව පිළිගන්නට කිසිවෙකු සූදානම්ව නොසිටියේය. සැකකාරිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නට පොලිසිය පියවර ගනු ලැබීය. එහිදී මධුකා කපු හාමිනේ ඇපයක් මත මුදා හරින්නට නියෝග කෙරිණි.
දැන් පොලිසිය උභතෝකෝටිකයක පැටලී සිටී. ඒ ස්වර්ණලතාගේ රන් ආභරණවලට සිදුවූ දෙය කුමක්දැයි සොයා ගන්නටය. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එන්.සී.එස්. ජයලත්ගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.ජේ.එස්. ජයවර්ධන, සැරයන්වරුන් වන 72883 අජන්ත, 7682 සම්පත්, 55474 සුසන්ත, කොස්තාපල්වරුන් වන 26356 නිමල්, 103000 බණ්ඩාර සහ 103913 අත්තනායක යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
එම්. පුෂ්පකුමාර - කොටදෙනියාව සමූහ