මුහුණුපොත ඔස්සේ සැරිසරන සංවිධානාත්මක පුද්ගලයන්ගෙන් අහිංසක කතුන්ට, යුවතියන්ට සහ ළමයින්ට සිදුවන සාපරාධි ක්‍රියා එන්න එන්නම වැඩි වන බවක් පෙනෙන්නට ඇත්තේ එම සංවිධානාත්මක පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් වීමේ වැදගත්කම ද මාධ්‍ය මඟින් දිගින් දිගටම ජනතාව දැනුම්වත් කිරීම සිදුකරගෙන යන අතරදීම වීමද සුවිශේෂි මෙන්ම කනගාටුවට ද කාරණාවකි.
මුහුණුපොත ඔස්සේ ඇතැම් පුද්ගලයන් සිදුකරන වංචනික ක්‍රියා සම්බන්ධව පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය ද දීර්ඝ විමර්ශන රැසක් මේ වනවිට සිදුකරගෙන යන බව දැන ගන්නට ඇත.
තත්ත්වය මෙසේ වුවද මුහුණුපොත ඔස්සේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක පුද්ගලයන් ද ඔවුන්ගේ වංචනික ක්‍රියා නතර කර නැත. අහිංසක මිනිසුන් අමාරුවේ දමා ඔවුන්ගෙන් කීයක් හෝ වංචනිකව ලබා ගැනීම මෙන්ම කාන්තාවන් අමාරුවේ දැමීම මේ පිරිසගේ අරමුණය. මුහුණු පොත ද ගෑවුණු එවැනි සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඒ හලාවත කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය සිදුකරන ලද විමර්ශනයකදීය.
මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචි යුවතියක් මුහුණුපොත පරිශීලනය කළාය. ඇගේ මුහුණුපොතට අයැදුමක් එන්නේ පසුගිය දිනෙකය. ඇය එම අයැදුම තහවුරු කළාය. ඇගේ මුහුණුපොතට මෙසේ එක්වීමට අයැදුම්කර තිබුණේ පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු ඒ වනවිට කටුනායක පොලිසියේ සේවය කරමින් සිටියේය.
මුහුණුපොතින් හමුවී මිතුරන් වූ මේ දෙදෙනා කලක් යද්දී පෙම්වතුන් බවට පත්වූහ. දෙදෙනාට දෙදෙනා නොදැක සිටීමට නොහැකි තරම් දෙදෙනා ආදරයෙන් බැඳෙන්නේ ඔය අතරය. මුහුණුපොතේ මිතුදම ආදරයක් බවට පත්වන්නේ එසේය.
කාලය මෙසේ ගෙවී යද්දී තම නිවෙසට පැමිණෙන ලෙස යුවතිය පෙම්වතා වන පොලිස් කොස්තාපල්වරයාට ආරාධනය කළාය. ඇගේ ආරාධනය පිළිගත් කොස්තාපල්වරයා තොඩුවාවේ පිහිටි පෙම්වතියගේ නිවෙසට පැමිණියේය. තම දියණියගේ අනාගත සහකරු වීමට බලාපොරොත්තුවෙන් සිටින තැනැත්තා පොලිස් නිලධරයකු බැවින් යුවතියගේ මව්පියෝ ඒ ගැන විරුද්ධත්වයක් දැක්වූයේ නැත. ඉන් අනතුරුව යුවතිය තම පොලිස් කොස්තාපල් පෙම්වතා සමඟ ප්‍රේම සම්බන්ධය දිගටම පවත්වාගෙන යන්නේ මව්පියන්ගේ ආශිර්වාදය ද මතය. අනතුරුව කොස්තාපල් පෙම්වතා පෙම්වතිය බැලීමට තොඩුවාව නිවෙසට වරක් දෙවරක් පැමිණියේය.
මේ අතර කාලයේ කොස්තාපල්වරයාට බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලැබිණි. ඔහුගේ සේවා ස්ථානය වූයේ කොස්ලන්ද පොලිස් ස්ථානයයි.
මේ අතර කාලයේ කොස්තාපල් පෙම්වතා දුකෙන් කාලය ගත කරන බව දැනගත් පෙම්වතිය ඔහුගෙන් ඒ ගැන විමසද්දී හෙළිවන්නේ ඔහුගේ මව පිළිකා රෝගී තත්ත්වයකින් පසුවන බවයි. තම මවගේ රෝගී තත්ත්වය ගැන පළමුවරට එලෙස කොස්තාපල් පෙම්වතා පෙම්වතියට හෙළි කළේ යටි හිතේ කිසියම් වංචනික අරමුණක් තබාගෙන බව යුවතිය දැන සිටියේ නැත.
තම මවගේ රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා මුදල් අවශ්‍ය බවද තමා සතුව මේ අවස්ථාවේ මුදල් නොමැති බවද කොස්තාපල් පෙම්වතා පෙම්වතියට පවසන්නේ ඔය අතරතුරදීය. තම පෙම්වතාගේ මව මුහුණපා සිටින රෝගී තත්ත්වය ගැන අවබෝධ කරගත් පෙම්වතිය කොස්තාපල් පෙම්වතාට වරින්වර තමා සන්තකයේ ඇති මුදල් දුන්නාය. එම මුදල් අවසන් වීමෙන් අනතුරුව ඇය තම මව්පියන් සන්තකයේ තිබූ මුදල් ද ඉල්ලාගෙන කොස්තාපල් පෙම්වතාට දුන්නේ පෙම්වතාගේ මවගේ රෝගී තත්ත්වය ගැන තමන්ගේ මව්පියන්ට ද පවසමිනි.
මේ කාලය ඇතුළතදී පෙම්වතිය රුපියල් ලක්ෂ 11ක් පමණ වරින්වර පෙම්වතාට ලබාදී තිබුණේ ඔහුගේ මවගේ රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහාය. යුවතියගේ මව්පියන් ද තමන්ගේ අනාගත බෑනාගේ මව මුහුණපා සිටින රෝගී තත්ත්වය ගැන කම්පාවෙන් පසුවූ අතර ඔවුන් සන්තකයේ තිබූ මුදල්වලට අමතරව ඇතැමුන්ගෙන් මුදල් ණයට සහ පොලියට ද ලබාගෙන ‘අනාගත බෑනාට’ ලබා දී තිබිණි.
රුපියල් ලක්ෂ 11ක මුදල් මෙසේ තමන්ගෙන් වරින්වර ලබාගත් පෙම්වතා ටික කාලයක් යද්දී තමන් මඟ හරින්නට උත්සාහ කරන බවත් තමා බැලීම සඳහා නිවෙසට පැමිණීම ද අඩුකර ඇති බවත් පෙම්වතියට වැටහෙන්නේ ටික දිනකට පසුවය. මේ ගැන ඇය පෙම්වතාගෙන් විමසද්දී ඔහුගෙන් ඒ ගැන හරි පිළිතුරක් ඇයට ලැබුණේ ද නැත. ඒ අනුව ඇය පෙම්වතාට දුන් රුපියල් ලක්ෂ 11 මුදල ගැන විමසුවත් පෙම්වතාගෙන් නිසි පිළිතුරක් ලැබුණේ ද නැත.
තමා වංචනිකයකුට හසුවී ඇති බව යුවතිය තීරණය කරන්නේ ඒ අවස්ථාවේදීය. ඇය මේ බව තම මව්පියන්ට පවසා ඒ අයගෙන් උපදෙස් පැතුවාය. මව්පියෝ දියණිය කැටුව හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට යන්නේ ඉන් අනතුරුවය. යුවතියගේ පැමිණිල්ල සටහන් කැරිණි. විමර්ශන ආරම්භ විය. යුවතිය තමන් මුහුණපෑ සිද්ධිය මුල සිට අගටම පොලිස් නිලධාරින් හමුවේ පැවසුවාය.
අදාළ කොස්තාපල්වරයා හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කැඳවන්නේ ඉන් අනතුරුවය. සැකකාර කොස්තාපල්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු සැකපිට අත්අඩංගුවට ගැනිණි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත්, පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි පාලිත අමරතුංග යන නිලධාරින්ගේ උපදෙස් මත හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.