අගෝස්තු 10 වැනිදාට මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සුලවතා 65 වැනි වියට පා තබයි. මේ ලිපිය ඒ වෙනුවෙනි
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා…
වෙරළේ රළ මැන්නා…
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී….
අසංක ප්‍රියමන්ත පීරිස්ගේ හඬ සෝබර ව නින්නාද දෙයි. ඔහුගේ හඬ කොතෙක් සෝබර වන්නේ ද ඊට බොහෝ සෝබර බවකින් ඒ පද ගෙතූ හදවත පෙළෙන්නට ඇතැයි සිතේ. ජීවිතයේ සදාකල් එකට ගමන් කිරීමට, අහසේ තරු ගණින, මුහුදේ රළ මනින පෙම්වතුන් කොතෙක් නම් වේද? එහෙත් ඔවුහු සක්වාලිහිණින් මෙන් අවසානයේ දෙතැනක තනි වෙති. මෙය ලොව පුරා ඕනෑ ම තැනක ඕනෑ ම කෙනකුට විය හැකි දෙයකි. ඒ අපූර්ව සහකම්පිත බව සිය හදවතට ගත් පද රචකයාගේ ප්‍රතිභාව ඒ පද අතරේ අපූරුවට සිත්තම් වේ.
ගීතය කියූ පමණින් එය ලියූ ගේය පද රචකයා කවුරුන්දැයි ඔබ දැනටමත් දනී. බොහෝ පෙම්වතුන්ගේ උදාන ගීයක් බඳු වූ ඒ ගේය පද ලියැවෙන්නේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සුළවතා අතිනි. ඒ ගීයට පදනම් වූ හේතු කාරණා විමසන කලෙක ප්‍රණීත් මහැදුරුතුමා පැවසූ වදනක් මට සිහිපත් වේ.
‘‘සංයෝගය හා වියෝගය වූ කලී ජීවිතයේ ප්‍රධාන ධර්මතා දෙකක්. එක්වීම හා නික්මීම ඉන් ගම්‍ය වෙනවා.
ජීවිතයේ දොරටු හතරක් තිබෙනවා. අපි ඒ දොරටු හතරෙන් පළමුව පැමිණෙනවා. අවසන නික්ම යනවා. උපත, වැඩිවිය පැමිණීම, විවාහය හා මරණය තමයි ඒ දොරටු හතර. මේ සියල්ල අතර බැඳීම් ඇති වෙනවා; බැඳීම් නැති වෙනවා. භාරතීය රස සූත්‍රය අනුව ප්‍රථම රසය වන්නේ ගෘංගාර රසයයි. එයම සම්භෝග ශෘංගාරය හා විප්‍රලම්භ ශෘංගාරය යනුවෙන් බෙදනවා. ඒ ගැන අවබෝධයෙන් තමයි මම මේ ගීය රචනා කළේ. ’’අපට සොඳුරු සරල සේ පෙනෙන ඒ ගී පද අතරේ කෙතරම් ගැඹුරු දහමක් අන්තර්ගත ව ඇත් ද යන්නත් ඒ වෙනුවෙන් රචකයා කරන ලද හැදෑරීමත් මේ ඇසුරේ අපට පෙනේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාෂා සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ගැන අපූර්ව ලිපියක් ලියමින් ඔහුව හඳුන්වන්නේ කල්‍යාණ මිත්‍රයකු වශයෙනි. ඔහුට අනුව මහාචාර්ය ප්‍රණීත් සිය කල්‍යාණ මිත්‍රත්වය ප්‍රකාශ කොට ඇත්තේ තමා ඇසුරු කළ චරිත විෂයයෙහි පමණක් නොව මුළුමහත් සමාජය කෙරෙහි ය.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර යනු ලොකු – කුඩා, ප්‍රවීණ – නවක සියලු ම දෙනාට සම ව සලකන උතුම් මානවවාදියකු බැව් ඔහු ඇසුරු කරන සියල්ලෝ දනිති. ඔහු සිය ශිෂ්‍ය ප්‍රජාවට ආදරණීය හා ගරු කටයුතු ගුරුවරයෙකි. ශාස්ත්‍ර පිපාසයෙන් පෙළෙන ඕනෑම අයකුගේ දැනුම්වත්භාවය වර්ධනය කිරීම වෙනුවෙන් හේ නිරන්තර කැප වෙන්නෙකි. ඒ සඳහා ඔහුට නියමිත කාල වේලාවක් හෝ බාධක ගැන හෝ හැඟීමක් නැත. අප කිසියම් ම හෝ කෙනෙක් ඔහුගෙන් යම්කිසි විෂයය කරුණක් පිළිබඳ නඟන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නටත් ඊට අදාළ තව තොරතුරු ලබාගත හැකි මූලාශ්‍රය ගැන දැනුම්වත් කරන්නටත් හේ කිසිවිටෙකත් පැකිළුණේ නැත. එපමණක් නොවේ, ඒ අදාළ විස්තර සඳහන් ලේඛන ඡායාරූපගත කර වට්ස්ඇප් ඔස්සේ එවීමට හෝ තමා ළඟ ඒ අදාළ කෘතියේ පිටපත් දෙකක් ඇත්නම් ඒ පිටපතක් ලේක්හවුස් ආයතනයේ පිළිගැනීමේ කවුන්ටරයෙන් තබා යන්නට තරම් ද එතුමා නිහතමානී විය. එලෙස බලන කල නිරන්තර යම් යම් දෑ විමසමින් දැනුම ලබා ගන්නා මම මහාචාර්ය ප්‍රණීත් සුලවතාණන්ගේ අනියම් ගෝලයෙකි.
මහාචාර්ය ප්‍රණීත් ගැන දන්නා කරුණුවලට වඩා නොදන්නා කරුණු බොහොමයක් ඇත්තේ ඔහු කිසිවිට තමා කරන වැඩ පිළිබඳ නොකියැවූ නිසා ය. අප ඇසූව ද හේ කියන්නේ ඔව්, දරුවො එහෙම දෙයක් කළා තමයි, ඒක එච්චර ලොකු දෙයක් නොවෙයි කියා ය. හඬ මිස වැඩ නැති සමහරුන්ට මහාචාර්ය ප්‍රණීත් ආදර්ශයක් යැයි අප කියන්නේ ඒ නිසා ය.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ලියූ ගී බොහොමයකි. හේ පාසල් යන සමයේ පටන් ම කවියකු ලෙස ආදරණීය නමක් දිනා ගත්තෙක් බව ගේය පද රචක ධම්මික බණ්ඩාර වරක් සිළුමිණට ලියූ ලිපියක සඳහන් ව තිබිණි. ගීයක අරුත විමසමින් සම්පාදිත ඒ ලිපියට අනුව ඔහු නිර්මාණකරුවකු වීමේ පසුබිම සැකසෙන්නේ එකල ඒ විදුහලේ ම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වූ අප කතානායකයා නිසා ය.
එදා කවියකු ලෙස පාසල් බිමේ ද, කුමරි පුවත්පතේ ද කවි ලියූ ප්‍රණීත් නම් තරුණයා පසුකලෙක රසික ආධ්‍යාත්මය සෞන්දර්යාත්මක බවෙන් පෝෂණය කරන ගේය පද රචකයෙක් ලෙස රසික හදවත දිනා ගත්තේ ය. මුවෙන් මුව ගැයෙන, මිමිණෙන ජනප්‍රිය ගේය පද රැසක හිමිකරුවා මේ නිහඬ නිර්මාණකරුවා ය. ඔහුගේ ගී අතර මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගායනා කරන “මම නං ආසයි අහන්න නයනා…., මුළු ලොව මගෙන් අසාවී ඔබ ගැන කුමක් කියම් දෝ…, වරදක් කළත් සිතකින් නොවේ…., දේදුන්නෙන් පාට පාටින් ආදරේ බැන්දු…, විශාරද මල්කාන්ති නන්දසිරි ගායනා කරන “සඳ කැළුම් ගලන පාර කොනේ සීත දුරුත්තේ…., විශාරද මාලනී බුලත්සිංහල ගායනා කරන තාර පාර දිග පාට පාට කඩ සල්පිල් හෙවණැල්ලේ…, උත්පලවණ්නා චිත්‍රපටය වෙනුවෙන් ලියා සිග්නීස් සම්මානය ලැබූ ආචාර්ය නන්දා මාලිනී ගායනා කරන තුන් රුවනේ…. වැනි ගීත අතිශයින් ජනප්‍රියය. මහාචාර්ය ප්‍රණීත් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, එච්. ආර් ජෝතිපාල, රෝහණ සිරිවර්ධන, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, නන්දා මාලනී, නිර්මලා රණතුංග, දමයන්ති ජයසූරිය, නිරෝෂා විරාජිණී වැනි ප්‍රමුඛ ගායක ගායක ගායිකාවන් රැසකට ගී රචනා කර තිබේ.
පාසල් යන කාලයේදී ආනන්ද විද්‍යාලයේ බිත්ති පුවත්පතට කවි පබඳිමින් සිටි ප්‍රණීත් තරුණයාට ගී ලියන්නට පාර කැපෙන්නේ විශාරද රෝහණ සිරිවර්ධනගේ මැදිහත් වීමෙනි. එදා ප්‍රණීත් තරුණයා ලියූ කවි මහාචාර්ය සනත් නන්දසිරි හා මල්කාන්ති ගායනවේදී යුවළ වෙත ඉදිරිපත් කරන්නේ විශාරද රෝහණ ය. ඒ කවි ගී බවට පෙරළීමේ කාර්යය ඉටු කරන ලද්දේ ඔවුන් විසිනි. තමා තැනින් තැන ලියූ කවි ජනප්‍රිය ගී බවට පත්වීමේ පුණ්‍යානුමෝදනාව හිමි විය යුත්තේ ඒ තිදෙනා වෙත බැව් මහාචාර්ය ප්‍රණීත් නිර්ලෝභීව පවසන්නේ කෘතවේදීත්වයේ ලකුණු දෑස් මත ලියැවෙද්දී ය.
ප්‍රණීත් අභයසුන්දර මේ සා සාරවත් ව හා කුලුණුබර ව වැඩෙන්නට බලපෑ හේතු කාරණා අතර සිය පියාණන් වන විමල් අභයසුන්දර කවියා හමුවට එන සාහිත්‍යවේදීන් ද බලපාන්නට ඇත. සද්ජන ඇසුර තරම් ජීවිතයට ලැබෙන අන් නිවීමක් නැත. කොළඹ යුගයේ කවි කිවිඳියන් ඒ නිවෙසට ආගන්තුක නොවීම ඊට හේතුවයි. විමල සුරේන්ද්‍ර වතුරේගම, යූ. ඒ ඇස් පෙරේරා, සේසිරි විජේසේකර, පී. මලල්ගොඩ, වින්සන් හෑගොඩ, කරුණාරත්න අබේසේකර, විමලසිරි පෙරේරා ඒ අතරින් කිහිප දෙනෙකි. මේ අය සිය පියා සහ මව සමඟ සාහිත්‍ය, සංස්කෘතිය, ඉතිහාසය පිළිබඳ කළ ශාස්ත්‍රීය සංවාදත්, හිටිවන කවි සන්ධ්‍යාවනුත් කුඩා ප්‍රණීත්ගේ ඉදිරි මඟ සුපහන් කරන්නට බලපෑම් කරන්නට ඇත. සිය මෑණියන් වන කල්‍යාණී අබේසිංහ ඉන්දියාවේ ලක්නව් නුවර භාත්ඛණ්ඩ සංගීත විද්‍යාපීඨයෙන් ගායනය හා වාදනය හැදෑරූ සංගීතවේදිනියක වීම ද ඔහුගේ ගමනට මහත් පිටුබලයක් වන්නට ඇත. පියාගේ ලේඛනයත්, මවගේ ගායන වාදන විශාරදත්වයත් මහාචාර්ය ප්‍රණීත් නම් සාරගර්භ වනස්පතිය නිර්මාණය වෙන්නට නිහඬ අත්වැලක් විය.
1959 අගෝස්තු 10 වැනිදා උපත ලබන අරුමාදුර ප්‍රණීත් නිශාද අභයසුන්දර පාසල් අධ්‍යාපනය සඳහා මුලින්ම ඇතුළත් කරන්නේ කොළඹ කේරි විද්‍යාලයට ය. දෙවැනි ශ්‍රේණියේදී කොළඹ නාලන්දයට ඇතුළත් කරන කුඩා ප්‍රණීත් තෙවැනි වසරේදී යළි කොළඹ ආනන්දයට ඇතුළත් කරයි. තෙවැනි වසරේ සිට උසස්පෙළ දක්වා ඔහු අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්දයෙනි. උසස්පෙළ කලා විෂය ධාරාව බෞද්ධ සංස්කෘතිය, සිංහල භාෂාව, ආර්ථික විද්‍යාව සහ ආණ්ඩු ක්‍රමය යන විෂයයන් ඔස්සේ හදාරන ප්‍රණීත් කවි ලියමින්, කෙටිකතා නිර්මාණය කරමින්, සිතුවම් අඳිමින්, පාසල් වේදිකාවේ රඟපාමින් පමණක් නොව වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වෙමින් ද බොහෝ විෂයය බාහිර ක්‍රියාකාරකම්හි නිරත වෙයි. ඔහුගේ මුල් ම නිර්මාණය වෙන්නේ දේවදාර ගස් අතරින් යන කාව්‍ය නිර්මාණයයි. මුල් ම කෙටිකතාව නවයුගය සගරාවේ පළ වී ඇති අතර එය සීනු වසන්තය නමින් නම් කර තිබිණි.
කොළඹ විශ්වවිද්‍යාලයට 1980 දී ඇතුළත් වෙන හේ එහි ගත කරන්නේ මාස තුනක වැනි කාලයකි. සමාජ මානව විද්‍යා විෂයය හැදෑරීමේ ඇති කැමැත්ත නිසාම ඔහු විද්‍යෝදය (වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන අතර, එහිදී මහාචාර්ය නන්දසේන රත්නපාල, මහාචාර්ය ඒ. වී සුරවීර, මහාචාර්ය විමල් ජී. බලගල්ලේ, මහාචාර්ය විමල විජේසූරිය, මහාචාර්ය රත්න විජේතුංග වැනි වියතුන්ගෙන් ශාස්ත්‍ර අධ්‍යයනයට මං පෑදෙයි. විශ්වවිද්‍යාල විද්‍යාර්ථී කාලපරිච්ඡේදය ඇතුළතදී ම ප්‍රතිභා පදනම මඟින් සංවිධාන කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේව, ජී. බී සේනානායක, මහගමසේකර වැනි කලාකරුවන් වෙනුවෙන් සම්පාදිත විශේෂිත සැමරුම් කෘති සඳහා මූලික වී කටයුතු කරන්නට අවස්ථාව ඔහුට හිමි වෙයි. 1985 දී සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ දෙවැනි පෙළ ඉහළ සාමර්ථ්‍යයක් ලබා ගන්නා ප්‍රණීත් අභයසුන්දර තරුණයා 1986 ජූලි 01 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස පත් වෙයි. 1993 දී ආචාර්ය උපාධියේ හැදෑරීම් සඳහා ඉන්දියාවේ බරණැස් නුවරට යන කථිකාචාර්ය ප්‍රණීත් 1997 දී නැවත ලංකාවට එන්නේ ආචාර්ය උපාධිය ලැබීමෙන් අනතුරුවය. 2020 වසරේදී මහාචාර්ය ධුරයට පත් වෙන ප්‍රණීත් අභයසුන්දර සුලවතාණන් ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සාහිත්‍ය උපදේශක සභාවේ සාමාජිකයකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළේය. ඊට අමතරව ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ උත්තරීත්තර මණ්ඩලයේ සභාපති, ඩී. ආර්. විජයවර්ධන අනුස්මරණ අත්පිටපත් සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, සුමති සම්මාන උලෙළේ සභාපති, OCIC සම්මාන උලෙළේ සාමාජික ආදී වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළේය.
2004 වසරේදී ඔහුගේ “බරණැස් නම් නුවර” නවකතාව වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මානය ප්‍රදානය වූ අතර, 2019 දී බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන් “ශාසන සනාථන ශතකාභිමාන“ විශේෂ ගෞරව සම්මානයෙන් ද පිදුම් ලැබීය. ජපානයෙන් පිරිනමන කීර්තිමත් බුන්කා සම්මානලාභියකු වන මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර අද්‍යතනයෙහි ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනු ලබයි.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ග්‍රන්ථාවලිය බොහෝ අර්ථකර එකතුවකි. එයින් බොහොමයක් මේ වන විට මුද්‍රණද්වාරයේ නැත. උඩරට සංගීතය, අග්බෝදා දොළොස් මහ කවියෝ, බරණැස් නම් නුවර, මානව සමාජගත පවුල් සංකල්ප, සිංහලයකු වී ඉපදීමෙන්, බෞද්ධ සමාජ පාලනය හා අපරාධ විද්‍යාව, බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර විමර්ශන, සංහිඳ පාමුල සහ අමරදේව ප්‍රතිසංවේදය ආදී ග්‍රන්ථ මේ නාමාවලියෙන් කිහිපයකි.
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සංස්කෘතික මිනිසෙකි. ඔහු පසුගිය දශක හතරක පමණ කාලයේ ජාතික, ආගමික, සංස්කෘතික, සාමාජික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරක් ඉටු කෙරූවෙකි. එහෙත් කිසිදිනෙක ඒ පිළිබඳ විවෘත වේදිකාවේ කතා නොකෙරුවෙකි. නවක ප්‍රවීණ භේදයකින් තොරව පොත් ජනගත කිරීම්හි දේශන, පෙරවදන්, පසුවදන් ලිවීම් ආදිය සම සිතින් කෙරූවෙකි. නව පරපුර වෙනුවෙන් පැකිළීමකින් තොරව අත දුන්නෙකි.
සිය 65 වන ජන්ම දිනය අගෝස්තු 10 වැනිදා පූර්ණය කරනු ලැබූ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර සුලවතා දශක හතරකට එනම් වර්ෂ හතළිහකට අත්‍යාසන්න නොපළුදු, නොබිඳුණු, නොවිසිරි, නොමසිඳි කල්‍යාණත්වයකින් සාහිත්‍ය හා සංස්කෘතික කටයුතුවල නොඅලස් ව යෙදුණෙකි. තමා ජීවත් වන සමාජය පවතිනවාට වඩා සුඟකින් හෝ ඉහළට ගෙන ඒම සඳහා කටයුතු කිරීමට හේ සිය ජීවිත කාලය ම කැප කළේ ය. ජීවිතාදර්ශයෙන් ම නැණ ගුණ සපිරි නව පරපුරක් වෙනුවෙන් කැපවුණු මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සුලවතාණෙනි, ඔබට චිරං ජයතු!
දිවිමඟ සටහන්
උපන්දිනය – 1959 අගෝස්තු 10 වැනිදා
උපන් ගම – නාවල, කොස්වත්ත
සම්පූර්ණ නම – අරුමාදුර ප්‍රණීත් නිශාද අබේසුන්දර
මවගේ නම – කල්‍යාණී අබේසිංහ
පියාගේ නම – විමල් අභයසුන්දර
සහෝදර සහෝදරියන් – තිදෙනෙකි. අර්ජුන, පුලස්ති බාල සහෝදරයන් සහ බාල සහෝදරිය සුභානි
පාසල් අධ්‍යාපනය – කේරි විද්‍යාලය, නාලන්දා විද්‍යාලය සහ
කොළඹ ආනන්ද විද්‍යාලය
උසස් අධ්‍යාපනය – 1980 කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව
මාස තුනකට පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මාරු වෙයි
1981 – කුමරි පුවත්පතට සම්බන්ධ වෙයි. මුල්ම වේතනය රුපියල් 200කි
1985 – සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ දෙවැනි පෙළ
ඉහළ සාමාර්ථ්‍යයක් ලබා ගනී
1986 ජූලි 01 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ හා
මානව විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු ලෙස පත් වෙයි
විවාහය -1989 ජනවාරි 29 වැනිදා නයනා කටුවාවල සමඟ
දරුවන් – දෙදෙනෙකි. දුව දයේෂා සහ පුතු ඕෂධ
1991 – ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම
1993 – අචාර්ය උපාධිය සඳහා ඉන්දියාවට යෑම
1997 – ආචාර්ය උපාධිය ලබා ගැනීම
2006/2009 – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා
අධ්‍යයන අංශයේ අංශප්රධානි තනතුරට පත් වීම
2020 – මහාචාර්ය ධුරයට පත් වීම
ප්‍රකාශිත පළමු කෘතිය – සංහිඳ පාමුල ගීත එකතුව
ලියූ පොත් – උඩරට සංගීතය, බරණැස් නම් නුවර, බ්‍රහ්මචාරී වලිසිංහ
හරිස්චන්ද්‍ර විමර්ශන, මකරද්වජ ඇතුළු කෘති
රාජ්‍ය සාහිත්‍යය සම්මානය – බරණැස් නම් නුවර කෘතියට හිමි වෙයි
ලියූ ගීත සංඛ්‍යාව – 400ත් 500ත් අතර ප්‍රමාණයක්