කැලණිය කතරගමට ගෙනියන්නට උත්සාහ කළ කාලයක් තිබිණි. එය ආපසු කැලණියට ගෙනත් දී තිබෙන්නේ තාත්තලා හෙවත් විනෝද සමයේ කණ්ඩායමය. කැලණියේ හිටපු නායක හාමුදුරුවො වන, පූජ්‍ය තලේවෙල විජිත ධම්මරක්ඛිත හාමුදුරුවෝ තාත්තා දැක්කොත් මේ ගැන ස්තුති කරනවා මට මතකය.
සෑම දුරුතු පින්කම් සමයකම එක් දිනක් කැලණි විහාරයට දානය සපයන්නේ ගල්බොරැල්ල ග්‍රාමයෙනි. එම සිරිත එදා සිට අද දක්වාම පවතී. මේ වෙලාවට දන් කරත්තය පිටුපසින් ගමේ අය ද පෙරහරින් මෙන් කැලණියට යති. පුණ්‍යානුමෝදනා අනුශාසනාව සිදු කරන්නේ නායක හාමුදුරුවෝය. විජිත ධම්මරක්ඛිත නායක හාමුදුරුවෝ එදා ගල්බොරැල්ල ගම්වාසීන් වර්ණනා කොට විශේෂයෙන් අපේ තාත්තා ගැන කියනු මම අසා සිටියෙමි.
කැලණිය බේරා දුන්නේ අපේ තාත්තා බව කියමින් හාමුදුරුවෝ තම අනුශාසනාව අතරතුර සිනාසුණහ. කැලණියේ සිට ගෙදර එන අතරතුර මම තාත්තාගෙන් ඒ කතාව මොකක් දැයි ඇසුවෙමි.
එක්දහස් නවසිය හැට ගණන්වල අග භාගයේදී සත්‍ය වශයෙන්ම කැලණිය පිහිටියේ කොහේදැයි මතවාදයක් බිහිවී ඇත. කැලණිය තිබෙන්නේ දැන් තිබෙන කැලණියේ නොව කතරගම ප්‍රදේශයේ බව එක් පිරිසක් කියා තිබේ. ලංකාවේ ඉතාමත් ප්‍රකට පුරාවිද්‍යා මහාචාර්යවරයකු ඇතුළු පිරිසක් එම මතවාදය තහවුරු කිරීම පිණිස ශාස්ත්‍රීය කරුණු රැසක් ගෙනහැර පා තිබේ. මේ මතය ප්‍රබල ලෙස සමාජගත වන්නට ඇතැයි සිතිය හැකි කාරණාවක් මට පසු කලෙක සොයාගැනීමට හැකි විය.
මගේ ජනමාධ්‍ය ජීවිතයේ කාර්යාලයෙන් බැහැර පළමු කටයුත්ත “කතරගම ගම් උදාව”යි. කතරගම ගම් උදා භූමියේ පසෙකින් ඉදිකර ඇත්තේ කැලණි විහාරයේ ආකෘතියකි. එමෙන්ම ඒ ආශ්‍රිතව ඉදි කළ “චන්දන ගම” මේ පුරාවෘත්තය හා සම්බන්ධය. ඉතා ඈත අතීතයේ එම ප්‍රදේශයේ ක්ෂත්‍රිය වංශිකයන් වාසය කර තිබේ. ඔවුන් වාසය කර ඇත්තේ ‘කාචර ග්‍රාම’ ආසන්නයේ පිහිටි ‘චන්දන ග්‍රාමයේය’. කල්‍යාණි පුරය ද තිබී ඇත්තේ එහිය. සජීව විස්තර ප්‍රචාරවලදී අප එම තොරතුරු කීවා මතකය.
විහාර මහාදේවිය කාවන්තිස්ස රජුට හමු වූයේ කිරින්දෙනි. එතුමිය මුහුදට පා කර හැරි “කැලණිය” ඒ ආසන්නයේම තිබිය යුතු බවට ඇතැම් අය ඒ කාලයේ මත පළ කළහ. නියම කැලණිය, කැලණියේ නොවේ යැයි පළවූ ප්‍රබල මතය නිසා, වඩාත්ම සිත් රිදවා ගත්තේ කැලණියේ ජනතාවයි. කැලණි විහාරයට එන යන උපාසක උපාසිකාවෝ නායක හාමුදුරුවෝ හමුවී මේ ගැන නිතර පැමිණිලි කළහ. “හාමුදුරුවනේ මේ ගැන මොනවා හරි කරන්න.” යැයි ඔවුහු නිතර මැසිවිලි නැඟූහ. භික්‍ෂූන් වහන්සේලා ඇතුළු විද්වතුන් කිහිප දෙනෙක් මීට විරුද්ධව කරුණු දක්වන්නට ඉදිරිපත් වූහ. නමුත් මහාචාර්යවරයා ප්‍රමුඛ විශ්ව විද්‍යාලයීය ගෝල පිරිසේ ශාස්ත්‍රීය කරුණු දැක්වීම සමඟ හැපෙන්නට ඔවුනට බැරි විය.
කැලණිය කැලණියේමයි කියන්නට කැලණියේ මිනිසුන්ට හදවතේ වේදනාව හැර වෙනත් සාක්ෂි තිබුණේ නැත.
කැලණිය , කතරගම යයි කියන අයට ඕනෑ තරම් සාක්ෂි මතුකර පෙන්විය හැකි විය. අපේ තාත්තාට කැලණි විහාරය සමඟ තිබුණේ අවියෝජනීය සම්බන්ධතාවයකි. තාත්තා කැලණි විහාරයේ දායකයෙකි. එමෙන්ම අනිවාර්යයෙන්ම කැලණියේ මහ පෙරහරේ ගමන් කරන්නටත් තාත්තා ඉදිරිපත් වෙයි. මේ ප්‍රශ්නය “විනෝද සමය” ට එන්නට ඇත්තේ තාත්තා හරහා විය යුතුය. විනෝද සමය කණ්ඩායම මේ මතය සමඟින් තම වැඩසටහනේ අරමුණ ගළපා ගත් අයුරු තාත්තා විස්තර කළේය.
ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඕනෑම මතයක් පළ කරන්නට ඕනෑ කෙනෙකුට පුළුවන. තමුන්ගේ මතය සත්‍ය බවට විවිධ කරුණුත් ගෙන හැර පාන්නට පුළුවන. නමුත් තර්කය සත්‍යය නොවේ. “සත්‍යය” කිසිවකුත් නොදකින වෙනත්ම දෙයක් වන්නට පුළුවන.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ වැඩම කළේ කොහේටද? උන්වහන්සේ උපන්නේ කොහේද? එසේ නැතහොත් දන් වැලඳුවේ පාත්තරයකද, පිඟානක ද යන්න සැබෑ බෞද්ධයන්ට අවශ්‍ය කාරණා නොවේ. ඔවුනට අවශ්‍ය වන්නේ බුදුන් දෙසූ දහමයි. ධර්මය දකින්නා තමන් දකින බව බුදුන් වහන්සේ දේශනා කළහ.
අමාරිස් අයියා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳව හා කට්ටඬි වැඩ පිළිබඳවත් දන්නා කෙනෙකි. ඔහුගේ නිවසට කීප දෙනෙකු විසින් “උගත් පුද්ගලයකු” රැගෙන එනු ලබයි. මේ උගතා ශාස්ත්‍රීය පර්යේෂකයෙකි. එම චරිතය රඟපෑවේ ඇනස්ලි ඩයස් ය. අමාරිස් අයියාගේ නිවෙසට මුලින් පැමිණි දෙදෙනා මෙම අපූරු උගතාගේ කියමන් පිළිබඳව අමාරිස් අයියාට පැමිණිලි කරයි.
“අරන් වරෙල්ලකො මිනිහා බලන්න” අභියෝගයට මුහුණ දෙන්නට අමාරිස් අයියා සූදානම්ය. උගතා රැගෙන එන්නේ ඉන් අනතුරුවය. උගතා මුහුණ පුරා රැවුල වවාගත් අපිළිවෙළ හිස කෙස් සහිත දුර්වර්ණ ඇඳුම් ඇඳගත් පුද්ගලයෙකි.
“මේ මිනිස්සු මෝඩයි. මේ මිනිස්සුන්ට මං කියන දේ තේරෙන්නේ නෑ. මේ මිනිස්සු හිතන්නේ නෑ. හිතන්න පුළුවන්කමකුත් නෑ. ”
උගතා අමාරිස් අයියා දෙස බලන්නේ යටත් පිරිසෙයින් ඔහුවත් තමන් කියන දේ වටහා ගනු ඇතැයි සිතාය.
“හරි, මොකක්ද දැන් මහත්තයා කියන්නේ?”
“මම කියන්නේ මේ කැලණිය තියෙන්නේ දැන් තියෙන තැන නෙවෙයි. මේක තියෙන්නේ කතරගම.”
” අම්මපා ඇත්ත නේන්නන්….හහ් හහ් හහ්…. මටත් තේරුණේ දැනුයි. හරියට හරි මහත්තයගෙ කතාව”
අමාරිස් අයියා ඔහුට එකඟ වීම පිළිබඳව අනෙක් අය නොසතුටිනි.
“කවදා ඉඳලද මහත්තයට ඔහොම හිතෙන්න ගත්තෙ.?”
“කවදා ඉඳලද කියන්නේ? මම නිතරම කියවනවා. ස්ටඩි කරනවා. නිකන් ඉන්න මිනිහෙක් නෙමෙයි. මම හිතනවා. අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ හිතන්නෙ නෑ, ඔහේ බකන් නිලන් ඉන්නවා.”
“අම්මපා ඇත්ත…මහත්තයගෙ කටේ දාන්න වටිනවා පඩික්කමක්.”
අමාරිස් අයියා තම සගයන් දෙස හැරෙයි.
“ගැට ගහපන් මෙන්න මේකා පුටුවට තියලා.”
උගතා පුටුවක තබා ගැටගසනු ලබයි. ඔහු එයට විරෝධය පායි. නමුත් කිසිවකු එය ගණන් ගන්නේ නැත.
අමාරිස් අයියා කිසියම් ඖෂධයක් තනයි. අනතුරුව එය උගතාගේ හිසට දමයි.
“මේ හිස කුඩිච්චිය දැම්මහම ඕක හරියනවා.”
උගතාගේ හිසේ අත තබා ගනිමින් අමාරිස් අයියා මන්තරයක් කියයි.
“ආ මහත්තයා දැන් කියන්න බලන්ඩ කොහේද කැලණිය?
“කැලණිය තියෙන්නෙ කතරගම ඕයි. මම කිව්වානේ. ලෙහනවා මේක, තමුසෙලට පිස්සුද?”
“ඔන්න ඔය බෝතලෙන් තෙල් ටිකක් දාපන් ඔළුවට.”
සගයෙක් උගතාගේ හිසට තෙල් දමන බව පෙන්වයි. අමාරිස් අයියා යළිත් මන්තරයක් ජප කරයි.
“දැන් කොහෙද කැලණිය?”
“කැලණිය තියෙන්නේ හම්බන්තොට අයිසේ”
“ආන්න හරි, තව දාපන් තෙල් ටිකක්.”යැයි කියන අමාරිස් අයියා යළිත් මතුරයි.
“දැන් කොහෙද කැලණිය?”
“මම කිව්වනේ කැලණිය තියෙන්නේ මාතර අයිසේ”
“දාපන් තෙල් ටිකක්…..දැන් කොහෙද කැලණිය?”
“කැලණිය තියෙන්නෙ ගාල්ලේ”
“තව ටිකක් දාපන්”යළිත් හෙමිහිට මන්තරයක් කියයි.
“දැන් කොහෙද කැලණිය?”
“කැලණිය තියෙන්නේ අම්බලන්ගොඩ”
“ආන්න හරි.. තව තෙල් ටිකක් දාපන් වැඩි වෙන්න”
“දැන් කොහෙද කැලණිය?”
“කළුතර”
“දාපන් තව තෙල් ටිකක් හොඳට අත පුරවලා.”
අමාරිස් අයියා උස් හඬින් යළි මන්තරයක් ජප කරයි.
“දැන් කොහෙද කැලණිය?”
“බියගම”
” අප්පච්චියේ පාර මාරු කළා නේද” අනෙකා අසයි.
“බය වෙන්න කාරණාවක් නෑ. තව දාපන් ටිකක්.”
“දැන් කොහේද කැලණිය?”
“කැලණිය තියෙන්නෙ බොල්ලෑගල.”
“තව දාපන් තෙල් ඩිංගිත්තක්. චූ…ට්ටක්…දැන් කොහේද කැලණිය?”
” නාගහමුල හන්දියේ.”
එතැන සිට කැලණි විහාරයට කිලෝමීටර තුනක් පමණි.
“තව දාපන් තෙල්.. .චූ… ඌ..ඌ ට්ටක්”
“දැන් කොහෙද කැලණිය? ”
“කැලණිය තියෙන්නෙ කැලණියෙ අයිසේ… ඇයි මොකක්ද ප්‍රශ්නේ?”
අමාරිස් අයියා ඇතුළු පිරිස උස් හඬින් සිනා සෙති.
“ප්‍රශ්නයක් නෑ.. දැන් මහත්තයා ගිහිල්ල හොඳට නා ගන්න…අම්මේ නා ගන්න ගිහින් ”
මෙම විනෝද සමය ප්‍රචාරය වීමත් සමඟම වාදය අවසන් වූ බව තාත්තා කියයි.
අනතුරුව කැලණිය කැලණියේම නතර විය.