පෙට්ටගම” මේ සා විශාල කලබැගෑනියකට මුලක් වේ යැයි මිය ගිය අත්තම්මා හීනෙකින්වත් නොසිතන්නට ඇත. ජීවත්ව සිටිනා තුරුම පවුල එක මිටකට තබා ගනිමින් නෑදෑ හිතවත්කම් අකුරටම පවත්වා ගෙන ගියේ අත්තම්මාය. තමන් දෑවැද්දට ගෙනා පෙට්ටගම මරණයකට මඟුලකට සහභාගී නොවන තරමටම පවුල විරසක කරනු ඇතැයි මෙයට වසර ගණනාවකට පෙර මිය පරලොව ගිය අත්තම්මා කෙලෙස සිතන්නද?
මා මෙන්ම අප සොයුරු සොයුරියන් සිව් දෙනාම උපන් මහ ගෙදර මැද සාලයේ විරාජමාන වූ පෙට්ටගම එකල අපගේ කුතූහලය ඇවිස්සූ අද්භූත මැජික් පෙට්ටියක් විය. කිසිදා අපට සැර වැර නොකරන අත්තම්මා පෙට්ටගම අරින වහන කටයුත්තට නම් අවසර දුන්නේ නැත.
මගේ මතකයේ අද ද ආත්තම්මා රැඳී ඉන්නේ පෙට්ටගමේ යතුරු කරැල්ලත් සමඟින්මය. සිලි සිලි හඬ නඟමින් සෙලවෙන යතුරු කැරැල්ල ඉනේ එල්ලාගෙන ගෙතුළ එහා මෙහා යන අත්තම්මා නින්දට යන විට එය කොට්ටය යට තබාගනී.
එහෙත් අමතක වීමකින් හෝ යතුරු කැරැල්ල පෙට්ටගමේ ම රැඳී තිබෙනා දිනයක එතුළට එබී බැලීමට ලැබෙන අවස්ථාව ලොකු අයියා හැර පොඩි අයියාත්, මමත්, නංගීත් අතපසු කරන්නේ නැත. පිළිවෙළට නවා ඇති ළා පැහැති ඔසරි, සිල් රෙදි අතර අලංකාර ඇට මාල, හවඩි, හවරි කොණ්ඩ කූරු අපගේ කුතූහලය අවුස්සයි. දැනුදු ඉඳහිට පෙට්ටගම විවර කරන විට එතුළින් එකල හැමූ හුරුපුරුදු සැවැන්දරා හා කපුරු සුවඳ හමා ඒ.
නංගී උපන් පසු මා රාත්‍රියට නිදා ගත්තේ අත්තම්මාගේ වියන් ඇඳේ ඈ සමඟය. එවිට මට පෙරවන්නට දෙන රෙදිවලින් හැමුවේ ද පෙට්ටගමෙන් හමා එන සුවඳමය. හැංගිමුත්තම් කළ දිනයක පොඩි අයියා මා පෙට්ටගම තුළට දමා වැසූ දිනයේදී නම් එහි ඇති අඳුරට බියවූ මා මහ හඬින් හඬමින් පෙට්ටගමට පහර දුන් අයුරුත් අප්පච්චී පැමිණ මා පිටතට ගෙන පොඩි අයියට තැළූ අයුරුත් මතකය.
පෙට්ටගම හා සම්බන්ධයෙන් ලොකු අයියා පිළිබඳ මතකයක් නම් මට නැති අතර ඔහු ඒ වනවිට ද අපට වඩා බොහෝ ගාම්භීර බවක් මවාගෙන කටයුතු කළ අයකු විය.
කළුවර ලීයෙන් තනා හොඳින් ඔප දමා රන් පැහැති පිත්තල කැටයම් අල්ලා අලංකාර කර තිබෙන පෙට්ටගම අත්තම්මාගේ මරණයෙන් පසු මහගෙදරම විසූ ලේලිය වන අම්මාට අයිති විය. ඒ පිළිබඳව නැන්දා නම් සිටියේ නොසතුටෙනි. එනමුත් අප්පච්චීට එරෙහිව එය රැගෙන යාමට නැන්දා එඩිතර නොවූවාය. ඉඳහිටක මහගෙදර ආ දිනකදී පෙට්ටගම අසල කැරකෙමින් එය අතපත ගාන නැන්දා මා දැක ඇත.
වෛද්‍යවරයකු වන ලොකු අයියා විවාහවී පදිංචිය සඳහා කැනඩාවට ගොස් දැන් බොහෝ කල්ය. ගුරුවරියක වන නංගී විවාහ වූයේ නුවරටය. විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පොඩි අයියා විවාහයෙන් පසු කොහුවල මාලතී අක්කාගේ මහ ගෙදරම පදිංචි වී සිටී. බැංකු කළමනාකරුවකු වන මා සුභද්‍රා සමඟ විවාහ වී ආසන්න නගරයක සේවය කරමින් පදිංචි වූයේ මහ ගෙදරමය. නාගරික ගති සිරිත් හුරු කාන්තාවක වන සුභද්‍රා මහ ගෙදර ජීවිතයට මනාප නොවූවත් “පවුලේ බාලයා” ලෙස උරුමය මෙන්ම කරුමය ද පැවරුණේ මටම ය.
විදුහල්පතිවරයකු වූ අප්පච්චී මිය යෑමට කලකට ඉහතදී ඔහු සතු චංචල, නිශ්චල දේපළ ඉතාම සාධාරණ ආකාරයට අප හතරදෙනා අතර බෙදා දුන්නේය. ඒ අනුව වෙනත් වතුපිටි සමඟින් මහ ගෙදර ද එහි ගෘහ භාණ්ඩ ද ඒවා අතරට ගැනෙන පෙට්ටගම ද නිරායාසයෙන්ම මට හිමි විය. වෙනත් දේපළ කෙසේ වෙතත් පෙට්ටගම කෙරෙහි සුභද්‍රා දැරුවේ සතුරු ආකල්පයකි.
ඒ වන විට පෙට්ටගම අම්මාගේ පරිහරණය යටතට පත්ව තිබූ අතර අම්මා ද තම නැන්දම්මාගෙන් ලද උරුමය මහත් ගෞරවයෙන් හා ආඩම්බරයෙන් පරිහරණය කළාය. සංකර අදහස් උදහස් තිබූ සුභද්‍රා පෙට්ටගම සාලය මැද තිබෙනවාට නොයෙක් ආඩපාලි කිව් නමුත් අම්මා මියයන තෙක්ම පෙට්ටගම තිබූ ස්ථානයෙන් ඉවත් කිරීමට මගේ හිත ඉඩදුන්නේ නැත.
අම්මා මියගොස් නොබෝ දිනකින්ම පෙට්ටගම අත්තම්මාත් පසු කාලයකදී අම්මාත් පරිහරණය කළ කාමරයේ මුල්ලකට වීසිවී ගිය අතර එය සුභද්‍රාට මහත් අස්වැසිල්ලක් විය.
අම්මාගේ තුන් මස දානයට පැමිණි නංගී පෙට්ටගමට ගොස් ඇති කලදසාව දැක කම්පාවී මගෙන් පෙට්ටගම නුවර ගෙන යාමට අවසර ඉල්ලූ මුත් එවිට සුභද්‍රා කීවේ වෙනම ම කතාවකි.
“නංගිට දෙන්න ඕන ඒවා දීලයි පිටත් කරලා ඇරියේ”
“ඔය පෙට්ටගම ඔහෙ තිබුණාවේ”
ඉන් එහා කතාවකට මා නොගිය අතර නංගී ද ඉන්පසුව ඒ පිළිබඳව මතක් නොකළාය. මාලතී අක්කා ද වරක් දෙවරක්ම විහිළුවට මෙන්
“මේක හරියන්නේ අපේ සාලෙට තමයි”
කියූ මුත් කෙළින්ම පෙට්ටගම ඉල්ලා සිටියේ නැත.
මැද මිදුලකින් හා ගෘහ කොටස් තුනකින් සමන්විත මහ ගෙය සුභද්‍රාට නම් කෙදිනකවත් ප්‍රිය උපදවන ස්ථානයක් වූයේ නැත. ඇගේ සිහිනය වූයේ නවීන පන්නයට තැනූ දෙමහල් නිවෙසකි. ඒ අනුව මහ ගෙදර වත්තේම ගේට්ටුව කිට්ටුවට වන්නට නව නිවසක් ගොඩනැඟීම ආරම්භ වූයේ මවගේ මරණයට ද පෙරදීමය. ටිකෙන් ටික ගොඩනැඟුණු නිවෙසේ වැඩ අවසන්ව තිබුණෙන් ගෙට ගෙවදීම යොදාගෙන තිබෙන්නේ ලබන මස දෙවැනිදාටය.
නව නිවෙසට ගෙවැදීමේදී මහ ගෙදර තිබෙන කිසිදු ගෘහ භාණ්ඩයක් ගෙනයාමට සුභද්‍රා සතුටු නොවූවාය. ඒ අනුව ගෙට අවශ්‍ය නව ගෘහ භාණ්ඩ තැනවූ මා, පැරණි ගෘහ භාණ්ඩ අවශ්‍යතාව ඇති දන්නා හඳුනන අය අතර බෙදාදීමට කටයුතු යෙදූ අතර පෙට්ටගම දීමට තීරණය වූයේ පන්සලටය.
මේ තීරණය දැනගත් විශ්වවිද්‍යාලයේ සිට නිවාඩුවට ගෙදර විත් සිටි දියණිය
“හරියට පොට්ට කාසිය සම්මාදම් වට්ටියට දැම්මා වගේ” යැයි කියමින් හිනැහිණි.
එයට ද හේතුවක් තිබිණි. භාණ්ඩ බෙදීමට පෙර මා මුලින්ම ඇමතුවේ නංගීට ය. ඇගෙන් පෙට්ටගම හෝ වෙනත් කිසිවක් ගෙනයෑමට අවශ්‍ය දැයි විමසූ විට
“ඒ දවස්වල දුන්නා නම් පෙට්ටගම ගෙනියනවා. දැන් මට ඕවයෙන් වැඩක් නැහැ අයියේ” යැයි පැවසුවාය.
මාලතී අක්කා පෙට්ටගමට ඇති කැමත්ත මතක්වී ඒ පිළිබඳව පොඩි අයියාගෙන් විමසීමේදී
“මෙහෙ ගේන්න එපා”
“මෙෙහ ගේන්න එපා”
ලොකු අයියාගෙන් කිසිවක් නොවිමසුවේ කැනඩාවට මෙහි ඇති ගෘහ භාණ්ඩ කිසිවකින් පලක් නොවනු ඇතැයි සිතූ නිසාය.
නමුත් ගැටලුව පැන නැංගේ කැනඩාවෙනි.
අවශ්‍යතාවකට විනා ඇමතුමක් නොගන්නා ලොකු අයියා ගිය සති අන්තයේ කතා කළේ ආවේගයෙනි.
“උඹ අපේ දේපළ දොර දන් දෙන්නේ කාගෙන් අහලද”
“අත්තලා මුත්තලා කාලෙ ඉඳන් තිබුණු ගේ දොර නිකරුණේ අත්හැරලා දැම්මා මදිවට ඇඳ පුටු මේස ටිකත් බෙදලා දාලා අත්තම්මාගේ සුවඳ තියන පෙට්ටගමත් පන්සලට ගිහිං දැම්මා”
“උඹ කොහොමද තනිවම එහෙම තීරණයක් ගන්නේ. ගේ දොර උඹට ලිව්වට පෙට්ටගම උඹට ලිව්වෙ නැහැනේ”
“අනෙත් ඒවට උඹට ඕන දෙයක් කරගනින්”
“මට ඕනේ පෙට්ටගම”
“පවුලේ වැඩිමලා විදියට ඕක පන්සලට උස්සගෙන යන්න කලින් මගෙන් අහන්න තිබුණා”
“මම හිතුවා කැනඩාවට පෙට්ටගම ඕන වෙන එකක් නැහැ කියලා”
මම සාවදානව කීවෙමි.
“ඒක තීරණය කරන්නේ මම නේ. අදම ගිහින් පන්සලෙන් පෙට්ටගම අරගෙන ඇවිත් පොඩි මල්ලිලාගේ ගෙදරට ගිහින් දාපන්. ලබන මාසේ මම ලංකාවට එනවා. ආවට පස්සේ කරන ඕන දේ තීරණය කරන්නම්”
මම වැටුණේ මහත් අමාරුවකය.
පන්සලට පූජා කළ දෙයක් නැවත ඉල්ලන්නේ කෙසේද?
අසරණ වූ මා පොඩි අයියා ඇමතූ අතර ඔහු ද මගේ ඇඟට කඩා පැන්නේ තවත් මා අසරණ කරමින්ය.
“ගේත් එක්කම ඔක්කොම බඩුමුට්ටුත් බදාගන්නකොට හිතන්න තිබුණා කවදා හරි ඕවා ඔක්කොම හිසරදයක් වෙයි කියලා”
“දැන්නම් එක මොහොතකටවත් ඔය පෙට්ටගම මගේ ගෙදරට නම් ගේන්න එපා. බදාගත්තා නම් තමුන්ම විසඳගන්නා එකයි තියෙන්නේ”
ඔහු දුරකතනය තැබුවේ මගේ කනට ගසස්නාක් මෙනි.
පෙට්ටගම පිළිබඳ තොරතුරු කැනඩාවට ගොස් තිබුණේ නුවර නංගීගේ මාර්ගයෙන් යැයි සැක සිතූ සුභද්‍රා නංගීට දුරකතනයෙන් දෙහි කපා තිබුණේ මට වත් නොකියාමය.
අද උදෑසන මා ඇමතු නංගී ගෙට ගෙවදීමට පැමිණිය නොහැකි බවත් මින් පසු ගමට පැමිණීමට තමන්ගේ අදහසක් නොමැති බවත් තමන්ට වුවමනා වුවත් මස්සිනා එයට ඉඩ නොදෙන බවත් පැවසුවේ හඬා වැටෙමිනි.
අවසන මා තීරණයක් ගතිමි.
පෙට්ටගම දැන් තිබෙන්නේ එයට සුදුසුම ස්ථානයේය. කිසිවකුට පුද්ගලිකව අයිතිවාසිකම් කිව නොහැකි සඟ සතු ස්ථානයකය.
කවුරු මොනවා කීවත් කළත් අත්තම්මා මෙන්ම අම්මා ද සිටිනා තැනක හිඳ සාදුකාර දෙනු නොඅනුමානය. එනමුත් මා නව නිවෙසට ගෙවදින්නේ සහෝදර සහෝදරියන් කිසිවකුත් නොමැති පුද්ගලයකු ලෙසය.
අචේතනික පෙට්ටගමකට ලේ බැඳීමක් වුවද බිඳ දැමිය හැකි වීම කෙතරම් පුදුම සහගත ද?
ෂර්මිලා බංදුනී දංවත්ත