Home » තාත්තා වෙනුවෙන් ගිලන් රථ සේවයක් ඇරඹි පුතු

තාත්තා වෙනුවෙන් ගිලන් රථ සේවයක් ඇරඹි පුතු

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

ර්ෂ 2016 දී ඉන්දියානු ප්‍රදානයක් වශ‍ෙයන් අප රටට ලැබුණු නොමිලේ සපයන රජෙය් ගිලන් රථ සේවය වන 1990 සුවසැරිය ට පමණක් දෙවැනි කළ හැකි මෙරට ප්‍රථම සහ එකම නොමිලේ සපයන පෞද්ගලික ගිලන් රථ සේවය වන CDF Charrity‘ පිළිකා සහ වකුගඩු රෝගීන් වෙනුවෙන් සිදුකරනු ලැබූ දස වසරක සේවාව ඇගයීමට ලක් කරමින් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පසුගියදා සම්මානයෙන් පිදුම් ලැබුවේය.

වසර දහයකට වැඩි කාලයක් තිස්සේ ඉතාම හොඳ මහජන සේවයක් සලසන සිරිල් ධර්මවර්ධන පදනම පිළිබඳ එහි සභාපති බිනර ධර්මවර්ධන පදනමේ ආරම්භය ගැන පැවැසුවේ මෙලෙසිනි.  

“මගෙ තාත්තාගේ හොඳම යාළුවා තමයි නැසීගිය ජනප්‍රිය නළු විජය කුමාරණතුංගයන්. ඒ යාළුකම නිසාම ඔහුට සහයෝගයට තමයි තාත්තා මහජන එක්සත් පෙරමුණ හරහා දේශපාලනයට අවතීර්ණ වුණේ. මම කාලයක සිට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේ. තාත්තා නැති වෙන්න අවුරුදු පහකට කලින් තමයි අපත් සමඟ ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාවට ආවේ. ඒ ඇවිත් ටික කාලයකට පස්සේ තාත්තාට පෙණහලු පිළිකා රෝගය වැලඳුණා. අපි ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. මම තාත්තාව රෝහලට එක්කගෙන ගිහිල්ලා තමයි රැකියාවට ගියේ. නමුත් රෝහලෙන් මට කිව්වා අපි ගිලන් රථ පහසුකම් ලබාදෙනවා ඔබ එන්නට අවශ්‍ය නැහැ … ඔබ රැකියාවට යන්න කියලා. ඔවුන් කිව්වා වගේම රෝහලෙන් බොහෝම හොඳට එය ක්‍රියාත්මක වුණා. මගේ තාත්තා නිතරම ඒ පහසුකම ගැන කතා කළා. ඔහු හැමවිටම කිව්වේ අපේ රටෙත් මේ වගේ ක්‍රමයක් තිබුණා නම් කොතරම් හොඳ ද කියලා. ලංකාවට ගියාම ඔහු ප්‍රතිකාර ගන්නට රෝහලට ගියා. ඒ ගිය අවස්ථාවල ඔහුට දහසක් අඩුපාඩු පේන්න ගත්තා. මගේ තාත්තා 2013 නොවැම්බර් මාසයේ දිනෙක ජීවිතය හැර ගියා.

තාත්තාගේ මරණයත් එක්කම මම ලංකාවට ආවා. පසුව මම කරාපිටිය රෝහලට ගියා. එහෙම ගියේ රෝහලට යමක් පරිත්‍යාග කිරීමේ අදහසින්. ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා රෝගීන් සඳහා වෙනම අංශයක් තියෙනවා. ඒ අංශයට අඩුම තරමේ ත්‍රි රෝද රථයක්වත් තිබුණේ නෑ. මම රෝහල් අධ්‍යක්ෂතුමා හමුවී කතා කළා. රෝහලට අවශ්‍ය මොනවාද කියා විමසුවා. මම හිතුවෙවත් නැති දෙයක් තමයි ඒ අවස්ථාවේ මට කිව්වේ. රෝහලට ගිලන් රථයක් නෑ.. එනිසා ඔවුන් ගිලන් රථයක් ලබා දෙන්න කියලා තමයි මට කිව්වේ. ඒක ලොකු ඉල්ලීමක්.

මම දෙයක් භාර ගත්තොත් ඒක කරනවා. කොහොම හරි ඔවුන් මගෙන් ඉල්ලුවේ එක ගිලන් රථයයි. මට පුළුවන් වුණා ගිලන් රථ දෙකක්ම ලබා දෙන්න. ඒකත් එක්කම රට පුරා රෝහල්වලින් ඉල්ලීම් එන්න ගත්තා, ඒ රෝහල්වලටත් ගිලන්රථ ලබා දෙන්න කියලා. මම පදනමක් ගොඩනැඟුවා. ඒකේ නම සිරිල් ධර්මවර්ධන පදනම. අද අපි සංවිධානයක් විදිහට බොහෝම ඉදිරියෙන් ඉන්නවා. ඩොලර් මිලියන ගණනක් පදනම වෙනුවෙන් වියදම් කරලා තියෙනවා.”

බිනර පවසන්නේ තමන්ට මේ වන විට කරන්නට පුළුවන් වූ දේ ගැනය.

සිරිල් ධර්මවර්ධන පදනම විසින් පවත්වාගෙන යනු ලබන ගිලන් රථ සේවාව පිළිකා රෝගීන්ට මෙන්ම වකුගඩු රෝගීන් සඳහා මහඟු මෙහෙයක් කරන්නේය. රටේ ඕනෑම ප්‍රදේශයක සිට එන රෝගියෙකුට රෝහලට යන්නට ප්‍රතිකාර ලබා ගන්නට මෙම ගිලන් රථ සේවාව මහත් මෙහෙයක් කරයි. හදිසි නොවන රෝගීන් සඳහා සිරිල් ධර්මවර්ධන පදනම විසින් නොමිලේ කරනු ලබන ගිලන් රථ සේවාව ඔස්සේ බොහෝ දුෂ්කර පළාත්වල සිට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කරාපිටිය රෝහලට එන රෝගීයාට හා ආහාර ලබා දෙන්නේද ගිලන් රථ සේවාවෙනි. ඔස්ට්‍රේලියාවේ රජය පිළිගත් පුණ්‍ය ආයතයක් වන සිරිල් ධර්මවර්ධන පදනම නියාමනය වන්නේ ද ඔස්ට්‍රේලියානු රජය විසිනි.

“මේ වන විට අපි වසර දහයක් මෙම ගිලන් රථ සේවාව පවත්වාගෙන ඇවිත් තිබෙනවා. මෙය බොහෝම හොඳට විනිවිදභාවයෙන් කෙරෙන වැඩක්. ඔස්ට්‍රේලියානු රජයෙන් මෙය නියාමනය කරනු ලබනවා. පිළිකා රෝගයෙන් බැට කන රෝගියා හා ඔහුගේ පවුලේ අයයි පමණයි ඒකේ වේදනාව දන්නේ. බොහෝ අයට දුර බැහැර ඉඳලා නියමිත දිනවලට රෝහලට එන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඔවුන් එයින් පීඩා විඳිනවා. අන්න ඒ පීඩාවෙන් ඒ අයව මුදා ගන්නටත්, රෝගියාට අවශ්‍ය නිසි ප්‍රතිකාර නියමිත වේලාවට ලබා දෙන්නටත් අපට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපේ සංවිධානයට බොහෝම හොඳ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා. ඒ සියලු දෙනාම හොඳ විනිවිදභාවයකින් කටයුතු කරනවා. ඔස්ට්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයේ ස්වේච්ඡා සංවිධාන ගැන කතා කරද්දී අපේ මේ පදනම තමයි උදාහරණයට අරගෙන තියෙන්නේ. ඒ පාඨමාලාවේදී අපේ මේ සංවිධානය උදාහරණයට අර ගන්නවා කියන එකම අපට විශාල සතුටක්. පසුගියදාක ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නොමිලේ ගිලන් රථ සේවාව වන CDF Charity පිළිකා සහ වකුගඩු රෝගීන් වෙනුවෙන් සිදු කරනු ලැබූ දස වසරක සේවාව ඇගැයීමට ලක් කරමින් සිරිල් ධර්මවර්ධන පදනම නොමිලේ සිදු කරනු ලබන ගිලන් රථ සේවාව වන CDF Charity අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී සම්මානයෙන් පිදුම් ලැබුවා. කෙනෙකුට බැලුවාම හිතෙන්න පුළුවන් මේක බොහොම පහසු දෙයක් නේද කියලා. ඒත් මේ කාර්යය කරගෙන යන එක පහසු නෑ. ගිලන් රථ සේවාවේ සේවය කරන රියැදුරන්ට වැටුප් ගෙවන්නට ඕන. ඒ වගේම ඔවුන්ට පුහුණුව ලබා දෙන්න ඕන. ඒ රථ නඩත්තු කරන්න ඕන. මේ හැමදේම කරන අතරේ අපි රැකියා අවස්ථාත් ලබාදීලා තියෙනවා. රට පුරාම අද අපේ ගිලන් රථ සේවාව ක්‍රිියාත්මක වෙනවා. මේ මඟින් පිළිකා රෝගීන් හා වකුගඩු රෝගීන්ට නියමිත වෙලාවට ප්‍රතිකාර ගන්නට ලැබී තිබෙනවා.” ඒ බිනර ධර්මවර්ධනගේ අදහසය.

දුරබැහැර සිටින රෝගියෙකුට අදාළ රෝහල වෙත එන්නට බොහෝ දුර බස් රථයක පැමිණිය යුතුය. ඇවිදින්නට හැකි අයෙකුට මෙන්ම ඊට අදාළ මුදල් වියපැහැදම් කළ හැකි අයෙකුට නම් එය එතරම් අසීරු කාර්යයක් නොවේ. නමුදු ඈත දුෂ්කර ගම්මානවල ජීවත් වන, අඩු අදායම්ලාභී පවුල් සාමාජිකයන්ට නම් තම රෝගී ඥාතියා වෙනුවෙන් කළ හැකි කිසිවක් නැත. රෝහලෙන් ප්‍රතිකාර නොමිලේ ලැබුණ ද ගමන දුෂ්කරය. වෙහෙසකරය. එවන් විටක පිහිටට එන්නේ සිරිල් ධර්මවර්ධන පදනමේ ගිලන් රථයයි.

මෙම පදනම සමඟ මුල සිටම කටයුතු කරන ප්‍රවීණ රංගධර සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් පවසන්නේ මෙවන් අදහසකි.

“සිරිල් ධර්මවර්ධන කියන්නේ මගේ කලා ජීවිතයේ සමකාලීනයෙක්. ඔහු මට මුලින්ම හමුවන්නේ 1960 දශකයේදී. මුල්කාලේ චිත්‍රපටවලින් හමු වූ අප දෙදෙනො පසුකාලීන රූපවාහිනි මාලා නාට්‍යවලත් රඟපාලා තියෙනවා. අපි වගේම අපේ දරුවොත් හොඳ යාළුවෝ. මට මතකයි ඔහු වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල සිටින ශ්‍රී ලාංකිකයන් උත්සවයක් පැවැත්වුවා. ඒ ඔහුගේ කලා ජීවිතයට උපහාරයක් ලෙස. එදා ඔහු බොහෝම සතුටින් හිටියේ. මම දැනගෙන හිටියා බිනර පුතයි සිරිල් අතර තිබුණ බැඳීම. ඒක හරි අපූරු බැඳීමක්. සිරිල්ගෙ මරණයෙන් පසුව බිනර කරාපිටිය රෝහලට ගිලන් රථයක් ලබා දුන්න අවස්ථාවට මමත් සහභාගි වුණා. අද වන විට සිරිල් ධර්මවර්ධන පදනමට ගිලන් රථ දහයක් තියෙනවා. මේ රටේ පිළිකා රෝගීන්ට වගේම වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට යාම සඳහා. මෙය බොහෝම හොඳ සේවාවක්. මේ වෙනුවෙන් ඔවුන් ලොකු වෙහෙසක් දරනවා. විදෙස් රටක ජීවත් වුණත් බිනර වගේ දරුවෙක් මේ වගේ මහජන සේවාවක් ආරම්භ කිරීම අපි අගය කළ යුතුයි. ඒ වගේම වසර දහයකට අධික කාලයක් තිස්සේ මේ රටේ ජනතාව වෙනුවෙන් සේවය සලසන්නට සිරිල් ධර්මවර්ධන පදනමට හැකිවීම සතුටක්.”

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division