මාධ්‍ය මඟින් වැඩිපුර කතාබහට ලක්වන්නේ විදෙස් රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන විස්මිත විස්කම් ගැන වුවද අප මේ කියන්නට යන්නේ එය කණපිට හැරවූ අපේ සෞඛ්‍ය වෘත්තිකයන් කණ්ඩායමක් ගැනය.
ඩෙංගු රෝගයෙන් පීඩා විඳින්නේ ලාංකිකයන් පමණක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා අනුව මේ වසරේ අප්‍රේල් 30 වැනිදා වන විට, ලොව පුරා ඩෙංගු රෝගීන් මිලියන 7.6 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව මිලියන 3.4කි. එයින් ඉතා අසාධ්‍ය මට්ටමේ රෝගීන් 16,000 කට අධික අතර මරණ 3,000 කට වැඩිය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව ඩෙංගු රෝගීන් 35,000-50,000ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන අතර මේ අප කතා කරන මොහොතේදීද ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ඕනෑම අවස්ථාවක ඩෙංගු රෝගීන් හමුවිය හැකිය. එහෙත් රටක් ලෙස අප තවමත් වාසනාවන්ත වන්නේ එසේ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව මරණ අනුපාතිකය ඉතා පහළ මට්ටමක පවතින නිසාය. එය 1%කටත් වඩා අඩු අගයකි.
ඊට ප්‍රධානම හේතුව වන්නේ අපේ රටේ ඩෙංගු සායනික කළමනාකරණය ඉතා ඉහළ මට්ටමක පැවතීමය. එහි ඇති වඩා ධනාත්මකම කරුණ වන්නේ අප ඩෙංගු කළමනාකරණය කරගත් ආකාරය ගැන දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල්වලටද පුහුණු කිරීමට තරම් අපේ වෘත්තීයන්ගේ දැනුම, අත්දැකීම් සහ පළපුරුද්ද ඉහළ මට්ටමක පැවතීමය. ඉකුත් ජූලි මාසයේ 22 – 28 දක්වා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පැවති එම විශේෂ පුහුණු වැඩසටහන ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කුගෙන් වැඩිදුර තොරතුරු විමසුවෙමු.
“රටක් ලෙස අප අත්කරගත් ඒ විශේෂ අවස්ථාව ගැන කතා කිරීමට පළමුව රටක් ලෙස අප ඩෙංගු කළමනාකරණය කරගත් ආකාරය ගැන කෙටියෙන් කතා කළ යුතුයි. අපේ රටෙන් වාර්තාවන ඩෙංගු රෝගින් සංඛ්‍යාවට සාපේක්ෂව මරණ අනුපාතිකය අඩු වීමට ප්‍රධාන හේතුව අපේ විධිමත් සායනික කළමනාකරණයයි. ලංකාවේ සෑම රජයේ රෝහලකම, සෑම වාට්ටුවකම සේවය කරන වෛද්‍යවරුන් සහ හෙදියන් සියලු දෙනා සායනික කළමනාකරණය පිළිබඳ විධිමත් විශේෂ පුහුණුවක් ලබා තිබෙනවා. නවක වෛද්‍යවරුන් පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබීමට පෙර එම සායනික පුහුණුව ලබනවා. ඒ වගේම වෛද්‍ය පශ්චාත් උපාධිය හදාරන වෛද්‍යවරුන් පශ්චාත් උපාධියේම කොටසක් ලෙස ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ පුහුණුව ලබනවා. ඒ ආකාරයට රජයේ රෝහල්වල සේවය කරන හැම වෛද්‍යවරයෙක්ම, හෙදියක්ම ඩෙංගු කළමනාකරණය පිළිබඳ පුහුණුව ලබා තිබෙන නිසයි, අපේ රටේ ඩෙංගු මරණ අනුපාතිකය අඩුකර ගැනීමට හැකිවී තිබෙන්නෙ. ”
රට පුරා වෛද්‍යවරුන් සහ හෙදියන් නිසි ප්‍රමිතියකට ලබා ඇති එම පුහුණුව නිසා දකුණු ආසියාතික කලාපයේ රටවල් අතර ඩෙංගු මරණ අනුපාතික අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව ගෞරවයට පාත්‍ර වී ඇත. එහෙත් වසර 2015ට පමණ පෙර මෙරට වෛද්‍යවරුන්ට එම පුහුණුව ලබාගැනීම සඳහා මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් තායිලන්තයේ පිහිටි කලාපීය පුහුණු මධ්‍යස්ථානයට යෑමට සිදු විය.
“ඒ කාලේ අපේ විශේෂඥ වෛද්‍යවරු තායිලන්තයට ගිහින් එම පුහුණුව ලබා යළි ලංකාවට පැමිණියාට පසුව එම අත්දැකීම් ඇසුරින් අපේ රටට ගැළපෙන ක්‍රමයක් සකස් කරගෙන ඒ අනුව ඩෙංගු රෝගය කළමනාකරණය කරගැනීමේ කටයුතු සිදු කළා. එසේ කටයුතු කිරීමෙන් කාලයක් තිස්සේ ලැබූ අත්දැකීම් පදනම් කරගනිමින් අපේ දැනුම විදෙස් රටවල් සමඟ බෙදාගැනීමේ අවස්ථාවක් ගැන අප කල්පනා කළා. අපේ දැනුම ඩෙංගු රෝගයෙන් බැටකන දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් සමඟ හුවමාරු කරගන්නෙ කොහොමද කියලා ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සහ ශ්‍රී ලංකා ෙවෙද්‍ය සංගමය යන පාර්ශ්වයන් තුන එකතු වෙලා සැලසුමක් හැදුවා. ඉන්පසු ඒ වැඩසටහන යථාවත් කරගැනීමට අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ඉල්ලා සිටියා. නිර්ණායක සහ සුදුසුකම් කිහිපයක්ම පරීක්ෂා කිරීමෙන් පසුව අපගේ අදහස එම සංවිධානයේ පිළිගැනීමට ලක්වුණා. ඒ අනුව IDH රෝහලේ ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් පිහිටවුනු ලැබුවා. ඒ යටතේ පළමු පියවර විදිහට අපි පළමුවෙන්ම මෙරට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කළා. වැඩි කලක් ගතවීමට පෙර ඒ සඳහා අපට ජාත්‍යන්තර ඉල්ලීම් ලැබුණා. ඒ අතරින් පළමු ඉල්ලීම ලැබුණේ බංග්ලාදේශයෙන්. ඒ අනුව ඩෙංගු කළමනාකරණය පිළිබඳ සායනික පුහුණුව ලබාගැනීමට අපේ රටට පැමිණි පළමු විදේශීය කණ්ඩායම බවට පත්වූයේ බංග්ලාදේශයයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය සහ අනුග්‍රහය ඇතිව ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඔවුන් සඳහා දින 7ක පුහුණු සැසියක් ක්‍රියාත්මක කළා. වෛද්‍යවරු 8දෙනෙක්, හෙදියන් 9ක් ඇතුළු 17 දෙනකුගේ කණ්ඩායමක් එම කණ්ඩායමට ඇතුළත් වුණා.”
බංග්ලාදේශ සෞඛ්‍ය වෘත්තිකයන්ට පුහුණුව ලබාදුන් ශ්‍රී ලාංකේය විශේෂඥ පුහුණු මණ්ඩලය 18 දෙනකුගෙන් සහ සම්බන්ධීකාරකවරුන් 3දෙනෙකුගෙන් සමන්විත විය. පුහුණු මණ්ඩලයේ ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කටයුතු කළ අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය තිසර පෙරේරා, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෙද්‍ය ජගත් අමරසේකර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කළහ. ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ සන්දනායක සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය, වෛද්‍ය බානු ස්ටාචි, වෛද්‍ය ඉරෝෂිනී අබේසේකර, විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා, විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගනේශන් සහ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරීනි ගීතානි උඩුගමකෝරාළ ඇතුළු පිරිසක් ද ශ්‍රී ලාංකේය විශේෂ පුහුණු කණ්ඩායමට ඇතුළත් වූහ. එම පුහුණුවට ඇතුළත් වූ විශේෂ සිද්ධාන්ත මොනවාද යන්න අප වෛද්‍ය ළහිරු කොඩිතුවක්කුගෙන් විමසුවෙමු.
“ඩෙංගු රෝගීන් කළමනාකරණය නිසි පරිදි සිදු කිරීම සඳහා පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාගැනීම ඉතා වැදගත්. අපේ රටේ සෑම රජයේ රෝහලකම පාහේ රෝගියාගේ ඇඳ අසලදීම රුධිරයේ ඝනත්වය පරීක්ෂා කර ප්‍රතිඵල ලබාගත හැකි (bed side test) පහසුකම තිබෙනවා. ඩෙංගු රෝගියකු සඳහා කාල කළමනාකරණය ඉතා වැදගත්. ඩෙංගු රක්තපාත තත්ත්වයේදී රෝගියා පැය 48-72ක පමණ කාලයක් වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ දැඩි අධීක්ෂණයට ලක් වෙනවා. ඒ වගේම රෝගියාට රෝගී තත්ත්වය ගැන පැහැදිලි කරදීම, රෝහලෙන් ගෙදර යවන රෝගියකු අනුගමනය කළ යුතු උපදෙස් ලබා දීම ඉතා ක්‍රමවත්ව සිදු වෙනවා. ඒ සියලු කරුණු බංග්ලාදේශයෙන් පැමිණි කණ්ඩායමට අලුත් අත්දැකීම් බවට පත් වුණා. වසංගත තත්ත්වයකදී රෝහලක ඇඳන් සහ වාට්ටු කළමනාකරණය කරගන්නා ආකාරයත්, ක්ෂේත්‍රයට ගොස් ඩෙංගු පරිශ්‍ර හඳුනා ගැනීම, විනාශ කිරීම, මර්දනය කිරීම ආදී අත්දැකීම් ද ඔවුන්ට මේ පුහුණුවේදී ලැබුණා. විශේෂයෙන් ඩෙංගු තත්ත්වය නිසා මරණාසන්න වූ රෝගීන් යළි ජීවිතය ලැබූ ආකාරයත් ඔවුන් සියැසින්ම දැකබලා ගත්තා. ඒ අත්දැකීම් ඔවුන්ට අලුත් වගේම විස්මිත අත්දැකීම් බවට පත්වුණා. ඒ පිළිබඳ ඔවුන් ඉතා ප්‍රශංසනාත්මකව අදහස් පළ කළා. එම කණ්ඩායමට ඇතුළත් වූ මහාචාර්යවරුන් දෙදෙනෙක් දැනටමත් ඔවුන්ගේ විශ්වවිද්‍යාලවල අපෙන් ඉගෙන ගත් දේවල් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන් කිසිදු ගුරු මුෂ්ටියක් නොමැතිව අපේ දැනුම ලබාදීම ගැන ඔවුන් ඉතා ප්‍රශංසනාත්මකව අදහස් පළ කළා. පුහුණුව ලබා දීමෙන් පමණක් නොනැවතී අපේ විශේෂ පුහුණු මණ්ඩලය මාස දෙකකට වරක් ඔවුන් සමඟ මාර්ගගත ක්‍රමයෙන් සම්බන්ධ වී ඔවුන්ට විසඳිය නොහැකි ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සාකච්ඡාවක් පැවැත්වීමටත් නියමිතයි. ”
මුළුමනින් කලාපීය පුහුණුවක් ලෙස පැවති එම පුහුණුව තුළින් කලාපීය පුහුණු මධ්‍යස්ථානයක් දක්වා යන ගමනේ පළමු පියවර ආරම්භ විය. මේ වන විටත් ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ එම පුහුණුව ලබාගැනීම සඳහා මාලදිවයිනෙන් සහ නේපාලයෙන් ඉල්ලීම් ලැබී ඇත.
අපේ අපේක්ෂාව මේ තුළින් දකුණු ආසියානු කලාපයේ ඩෙංගු කළමනාකරණය පිළිබඳ සායනික පුහුණු මධ්‍යස්ථානය බවට පත්වීමයි. සෞඛ්‍ය දර්ශක අතින් ඉහළ මට්ටමක සිටින අපේ රටට එය තවත් ගෞරවයක්. ඒ වගේම මේ තුළින් අපේ කලාපයේ රටවල් අතර ඩෙංගු වසංගත තත්ත්වය මැඬලීමට දායකවීමට වගේම අපේ රටේ බුද්ධිමය දේපළවලින් වෙනත් රටවල්වල ජීවිත රැසක් මරණයෙන් බේරා ගැනීමටත් අපට අවස්ථාව ලැබෙනවා. එම රටවල් ද ඔවුන් දැනට සිදු කරන සායනික කළමනාකරණ ක්‍රම වෙනස් කරගෙන වඩාත් විධිමත් ආකාරයට කරගෙන යෑම සඳහා අපේ විද්වත් වෛද්‍ය වෘත්තිකයන් සකස් කළ ප්‍රමිතිගත පුහුණුවට ඉතා සක්‍රිය අන්දමින් සම්බන්ධ වීම ගැන අප නිහතමානීව ආඩම්බර වෙනවා. ඩෙංගු සායනික කළමනාකරණය පිළිබඳ කලාපීය පුහුණු මධ්‍යස්ථානයක් අයි.ඩී.එච් හි පිහිටුවීමට ලැබීම ඒ වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ වෙහෙස වූ සියලු දෙනා පමණක් නොව රටක් ලෙස අපි සියලු දෙනාම ලැබූ ජයග්‍රහණයක්.” ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු පැවැසීය.
ඊට පුරෝගාමී වූ සහ ඉතා කෙටි කලක් තුළ සාර්ථක පුහුණු වැඩසටහනක් සංවිධානය කිරීමට කැපවූ ජාතික ඩෙංගු මර්දන ඒකකය, ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යන ආයතන ත්‍රිත්වයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනාට මේ වෙනුවෙන් විශේෂ ස්තුතිය හිමිවිය යුතුය. තම දැනුම වෙනත් රටවලට ලබාදී එයින් රටට ආදායමක් මෙන්ම කීර්ති නාමයක් ද ගෙන එන්නට දරන අගනා ප්‍රයත්නය වෙනුවෙන් මෙම ලාංකේය විශේෂඥ පුහුණු කණ්ඩායමේ විද්වත් වෘත්තිකයන්ට අප සැමගේ ගෞරවය ද හිමිවිය යුතුය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්