– මැතිනියගේ දේශපාලන වේදිකාවට නඟිනකොට වයස 17යි
– JVP තුවක්කුවෙන් බේරා සුමනා සවුදියට යැව්වේ ඇමැති ලලිත් ඇතුලත්මුදලි
– කොල්වින්, විවියන්, ඇන්.ඇම්. නිතරම ගෙදර ආවා
1960 මහා මැතිවරණය වෙනුවෙන් කොළඹ මරදාන මරියකඩේ පැවති මැතිනියගේ රැස්වීමේදී මෛත්‍රීපාල සේනානායකගේ කතාවෙන් පසු වේදිකාවට ගොඩ වූයේ කොට ගවුමක් ඇඳගත් කටකාර තරුණියකි. රැස්වීම පැවැත්වූ මරියකඩේ සිට හූවක දුරින් පිහිටි ගෝතමී බාලිකාවේ ශිෂ්‍යාවක් වූ ඇය එවකට එම විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායිකාව ද විය.
ඇයගේ විධානාත්මක භාෂා උච්චාරණ ශෛලිය ඇසූ මැතිනියගේ පාක්ෂිකයන් මවිතයට පත්විය. අවුරුදු දාහතක ගැහැනු දරුවකු දේශපාලන වේදිකාවක කතා කිරීම අදහාගත නොහැකිව ඇතැම්හු කම්මුලට අත තියාගෙන කල්පනාබරිත වූහ. ඇගේ කතාවේ තේමාව වූයේ “වමේ ජන බලයක් ගොඩනඟමු” යන්නය. ඒ ඇගේ කතාව අසා සිටි මන්ත්‍රී සෝමරත්න පසුදිනම එම තරුණිය සහ ඇයගේ පියා වූ ගුණදාස නෙල්ලම්පිටිය අම්පාරේ මැතිනියගේ රැස්වීමට කැඳවාගෙන ගියේ ප්ලේන් එකෙනි. ඇය අන් කිසිවකු නොව ලංකාවේ රූපවාහිනියේ ප්‍රථම නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය ය.
සුමනා ගෝතමියේ උගත් යුගයේ ඇගේ සමකාලීන මිතුරියක වූයේ ජනප්‍රිය නිළි ශ්‍රියානි අමරසේන නොහොත් පත්‍රකලාවේදී ආතර් උස්මියගේ අමරසේනගේ ප්‍රිය බිරියයි.
” ඉස්කෝලේ හිටපු මාර කටර් එකක් තමයි. පළවෙනි දවසේ රූපවාහිනියේ සුමනා ප්‍රවෘත්ති කියද්දි මම පුදුම වුණා. ඒ තිබුණු සංයමය, ඉවසිලිමත්කම පාසල් යන කාලේ සුමනාට තිබුණේම නැහැ. සුමනා ඉස්කෝලේ යන කාලේ හරිම දඟකාරයි, කටකාරයි, ආවේගශීලියි.” ශ්‍රියානි සුමනා ගැන තම මතකය අවදි කළේ හෘදයාංගමවය. සුමනා නෙල්ලම්පිටිය ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ 1967 දීය.
“63දී මම උසස් පෙළ විභාගයට මුහුණ දෙමින් ඉන්න වෙලේ තමයි අපේ අම්මා නැති වුණේ. විභාගෙ කරන එක ඊළඟ අවුරුද්දට කල්දාලා ගෙදර අම්මගෙ අඩුව පුරවන්න මම මහන්සි ගත්තා. තාත්තට මුදල් හදල් තිබුණු නිසා ඒ පැත්තෙන් කිසිම අපහසුවක් වුණේ නැහැ. ඒත් අවශ්‍යම කාලේ අම්මා නැතුව අපි කවුරුත් වින්දේ ලොකු මානසික වේදනාවක්. දෙවැනි වතාවේ මම විභාගෙ පාස් වුණා. ඒ දවස්වල අපේ ගෙදර නැවතිලා හිටියා මගේ මිතුරියක්. එයා ගැසට් එක බල බලා රස්සාවල්වලට ඇප්ලයි කරනවා. මට රැකියාවක අවශ්‍යතාව තිබුණේ නැහැ. ඒත් දවසක් අර යාළුවා ගෙනාපු ගැසට් එකේ ගුවන්විදුලි සහන නිවේදක කියලා රැකියාවක් තියනවා දැකලා ඒකට මම ඇප්ලිකේෂන් එකක් දැම්මා.”
සුමනා ඉදිරිපත්වූ පරීක්ෂණ මණ්ඩලය මෙහෙය වූයේ තේවිස් ගුරුගේ සහ එච්.එම්. ගුණසේකරය. සුමනා නෙල්ලම්පිටිය සමඟ රංජිත් පීරිස්, කේ.ඩී.කේ ධර්මවර්ධන, ඩේවිඩ් අතුකෝරල, ලැම්බට් පෙම්මාවඩු, එල්මෝ ප්‍රනාන්දු, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, සුමනා ජයතිලක එදා ඉන් සමර්ථ වූහ. කරුණාරත්න අබේසේකර, සිරිල් රාජපක්ෂ, අමරබන්දු රූපසිංහ, වයමන් ලලිත්, එස්. මෛත්‍රීපාල වැනි දැවැන්තයන් නිසා සුමනා තම දක්ෂතා ඔපමට්ටම් කර ගත්තා. පිබිදෙන ගායක පරපුර කරුණාරත්න අබේසේකර සමඟ ඉදිරිපත් කිරීම සුමනා නෙල්ලම්පිටියගේ ජීවිතයේ සදාතනික මතකයකි. “මේ වැඩසටහනට මට රුපියල් 25ක් ගෙව්වා. කරු අයියට රුපියල් 50ක් විතර ගෙවන්න ඇති. හැත්තෑවේ මුල රුපියල් විසිපහක් කියන්නේ ලොකු ගාණක්. වාසනා උදාව, ඕවල්ටින් පැනපොඩි වගේ වෙළෙඳ වැඩසටහන් කරනකොට අපිට වාසියි. ඒ නිසා මම ස්ථිර වෙන්නෙත් නැතුව කාලයක් සහන නිවේදක තත්ත්වයේම හිටියා.”
කොළඹ ආනන්දයේ සිසුන් ගෝතමියේ සිසුවියන් සමඟ පෙම් සබඳතා ඇති කර ගැනීම අතීතයේ සිට පැවත එන්නකි. සුමනා සහ ආනන්දයේ මිත්‍රයකු අතර එවැනි ආදරයක් ඇති විය. සම සමාජකාරයකු වූ සුමනාගේ තාත්තා ගුණදාස මේ ප්‍රේමයට විරුද්ධ වුවද සුමනා එය අතහැරියේ නැත. තාත්තා පසුබැස්සේ කොන්දේසි දෙකක් පනවමිනි. අවසානයේ තාත්තා විසින්ම මඟුල් ගෙදර තම නිවසේම ගත්තේය. ඒ ඥාතීන්ට සහභාගි වන්නටය. දෙවැනි මඟුල ටාජ් සමුද්‍රා හෝටලයේ ගත්තත් ගෙදර අයට ඊට සහභාගි වීම තාත්තා සපුරා තහනම් කොට තිබිණි. විවාහයෙන් පසු සුමනා එවකට වනිතා විත්ති සඟරාවට ලබා දුන් සාකච්ඡාවක මෙසේ සඳහන් විය.
“ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වගේම මම ගුවන් විදුලියේදී වෙළෙඳ හා කාන්තා වැඩසටහන්වලට දායකත්වය ලබා දුන්නා. ‘ලාලන රේඛා’, ‘කාන්තා කලඹ’, ‘පිබිදෙන ගායක පරපුර’ වගේ වැඩසටහන් ඒ දවස්වල ගුවන් විදුලි ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රියයි. ඒ කාලේ ජාතික ගුවන්විදුලිය පමණයි තිබුණේ. බස ආරක්ෂා කරමින් ශ්‍රාවකයන්ට වඩාත් ඵලදායී ලෙස වැඩසටහන් ඉදිරිපත් කිරීමට අපි වගබලා ගත්තා.”
ගුවන්විදුලි නිවේදිකාවක ලෙස වෘත්තීය දිවිය ආරම්භ කිරීමට ප්‍රථම ගුවන්විදුලියේ විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වීමේ භාග්‍යය ලද ඈ කථික තරග හා දැනුම මිනුම වැඩසටහන්වලට වඩාත් කැමැත්තක් දැක්වූවාය. ඒ නිසාම පාසල් සමයේ සිටම ගුවන්විදුලිය ඇයට ආගන්තුක තැනක් නොවීය.
පන්නිපිටියේ කොළඹ උසම බිමේ ස්වාධීන රූපවාහිනිය ආරම්භ වන්නේ 1982දීය. මෙම රූපවාහිනි බලපත්‍රය ශාන් වික්‍රමසිංහට ලබාදී තිබුණේ අඛණ්ඩ පැය 24ක් විකාශන කටයුතු අඩාල වුවහොත් රජයට පවරා ගන්නා කොන්දේසිය පිටදීය. දිනක් ස්වාධීන රූපවාහිනියේ කටයුතු අඩාල වීම නිසා එය සැනෙකින් රජයට පවරාගෙන පවත්වාගෙන යෑමට රජයට සිදු විය. රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනී සේවයේ මෙන්ම ජාතික රූපවාහිනියේ ද ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වන්නේ සුමනා නෙල්ලම්පිටියයි. ඒ 1982දීය. සරත් අමුණුගම, එච්.එම්. ගුණසේකර, තේවිස් ගුරුගේ, චන්ද්‍රා වීරසිංහ යන විද්වතුන්ගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයකින් සුමනා නෙල්ලම්පිටිය ප්‍රවෘත්ති සහ කාලීන වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා තෝරා ගැනිණි. ස්වාධීන රූපවාහිනියට ප්‍රවෘත්ති පටිගත කිරීමට මැදිරියක් නොවූ බැවින් ඒ සඳහා මුලින් යොදාගන්නට වූයේ රේඩියෝ සිලෝන් එකේ මැදිරියකි. මේ, මෙරට ජනතතාවට අරුමයක් වූ ‘රූප පෙට්ටිය’ ගැන සුමනා නෙල්ලම්පිටිය තැබූ සටහනකි.
“ලක්ස්ප්‍රේ ටින්වලට ලයිට් ගහලා තමයි කැමරාවට අවශ්‍ය අලෝකය හදාගත්තෙ. දාඩිය මුගුරු දාගෙන නිව්ස් කිව්වේ. ඒ.සී. එක දාන්න බැහැ. ඒක දැම්මොත් සද්දේ එනවා. ඊට පස්සේ නිව්ස් ටික විකාශය කරන්න වේගයෙන් පාදුක්ක සැටලයිට් ස්ටේෂන් එකට යවන්න ඕන. ඒකට යොදාගෙන තිබුණේ අධිවේගයෙන් යන මෝටර් සයිකල්කරුවෙක්. තව පැය කාලක් ඇතුළත ඉංග්‍රීසි නිව්ස් එකත් ඒ විදියටම යවනවා. මෝටර් සයිකලේ අධිවේගයෙන් යන පුද්ගලයාට හදිසියෙවත් මඟදි කරදරයක් වුණොත් රූපවාහිනී නිව්ස් ඉවරයි.”
සුමනා නෙල්ලම්පිටිය සමඟ උරෙනුර ගැටී නිව්ස් රූම් එකේ සිටි පිරිස ගුණාත්මක අතින් ඉහළ ප්‍රවෘත්ති ජනතාවට සමීප කරන්නට විය. අර්ජුන රණවන, රවිනාථ ආරියසිංහ, ශාමිනී බොයිල්, රිචඩ් ද සොයිසා, නොයෙලින් හොන්ටර්, වරුණ කරුණාතිලක ඒ පිරිස අතර සිටියහ.
සුමනා නෙල්ලම්පිටියගේ හඬ පහුගිය බදාදා (7දා)නිහඬ වුණත් ඇගේ ඒ හඬ යළි ඇසෙන විට අපේ හදවතේ නින්නාද දෙන්නේ මෙරට වමේ ව්‍යාපාරයේ සටන්කාමීන්ගේ හඬයි. වාමාංශික ක්‍රියාකාරිකයකු, ව්‍යාපාරිකයකු වූ ගුණදාස නෙල්ලම්පිටියගේත් එව්ජින් කල්දේරාගේත් දරු දැරියන් අටදෙනා අතර දෙවැන්නා වූයේ සුමනා ය. පියාගේ සම සමාජ දේශපාලනය නිසා ද කුඩා කල සිටම රටතොට පිළිබඳ දැනුම ලබන්නටත් පියාගේ සමාජ සේවා කටයුතුවලට දායක වන්නටත් ඇය ආශාවෙන් ඉදිරිපත් වූවාය.
” ඒ දවස්වල තාත්තා මුණගැහෙන්න වාමාංශික දේශපාලනඥයෝ අපේ ගෙදරට ආවා. කොල්වින් ආර්. ද සිල්වා, එන්.එම්. පෙරේරා, විවියන් ගුණවර්ධන වගේ පිරිස් ඒ අතර හිටියා. ඔවුන් කතා කරපු දේශපාලන කරුණු වගේම ඔවුන්ගේ කතා විලාසයත් මගේ හිතට සමීප වුණා. ඒ හැම දෙයක්ම මගේ නිවේදන වෘත්තියට බලපෑවා කියලා මට හිතෙනවා. “වරක් සුමනා ඒ අතීතය සිහි කළේ එලෙසිනි.
කුඩා කල කළුබෝවිල පදිංචිව සිටි සුමනා මුලින්ම අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ ශාන්ත ජෝන් මිශ්‍ර පාසලේය. අනතුරුව කිරුළපන සුජාතා බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය බොරැල්ල ගෝතමී විද්‍යාලයට ඇතුළත් වන්නේ ඉන් පසුවය. සුමනාට ‘ප්‍රථම’ යන පාඨය යොදාගත හැකි අවස්ථා බොහෝය. ලංකාවේ රූපවාහිනියේ ප්‍රථම බාහිර සජීවී පටිගත කිරීම සිදු වූයේ කෝට්ටේ පාර්ලිමේන්තුව විවෘත කළ අවස්ථාවේදීය.
“රූපවාහිනිය රටටම අලුත් දෙයක් වුණත් අපට තිබුණේ අලුතින් කැමරාවට මුහුණ දෙන එක ඉගෙන ගන්න විතරයි. ඒ කාලේ ගොඩාක් සුන්දරයි. මට මතකයි මැදිරියෙන් පිටත සජීවී විස්තර ප්‍රචාරයකට මම සම්බන්ධ වුණ මොහොත. ඒ කෝට්ටේ නව පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේ. ඒ මතකයත් මගේ හිතේ තිබෙනවා. එය පළමු සජීවී වැඩසටහනයි.”සුමනා රූපවාහිනියේ කරපු නැති වැඩක් නැත. රූපවාහිනියෙන් සමුගත් විට ඇය පවසා සිටියේ ගුවන් විදුලියේත් රූපවාහිනියේත් තමන් නොකළේ ‘පිරිත්’ කීම පමණක් බවය. සුමනා නෙල්ලම්පිටියගේ හඬ, වචන උච්චාරණය ඉතා පැහැදිලිය. ගිරවුන් මෙන් දොඩන වත්මන් නිශාචාර නිවේදිකාවන්ට ඇගේ හඬ පරමාදර්ශීය. පසුගියදා ඇයට සම්මානයක් ලැබූ මොහොතේ ඇය ඒ මතක සිහිපත් කළේ මෙලෙසිනි.
“ජාතික රූපවාහිනියට මාව බඳවා ගත්තේ පරීක්ෂණයකින් පසුවයි. ඊට පස්සේ රූපවාහිනී මාධ්‍ය ගැන අපට පාඨමාලාවක් කළා. ඒක කළේ විදේශීය උපදේශකයින් පිරිසක්. එම පාඨමාලාව අවසන් කිරීමෙන් පස්සෙ දුන්නු සහතිකයේ ලියල තියෙනව “සුමනා ලංකාවේ රූපවාහිනියට සම්පතකි” කියල. ඒක මට විශාල ආඩම්බරයක්. පසුකාලීනව ජර්මනිය, මැලේසියාව වගේ රටවල මම රූපවාහිනී මාධ්‍ය ගැන හැදෑරුවා.
1988, 89 කාලයත් මට අමතක නොවන අත්දැකීම් ලබා දුන්නා. එක දවසක් මට තිබුණ ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ආනන්ද තිස්ස ද අල්විස් යන ඇමැතිවරු එක්ක සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න. ඒ අය ආවට මේකප් දාන්න කවුරුවත් හිටියෙ නැහැ. සභාපතිතුමා කිව්වා සුමනා ඒ වැඩෙත් ඔයාටම කරන්න සිද්ධ වෙනව කියල. මම කවදාවත්ම ඒ වැඩේ කරල තිබුණේ නැති වුණත් කරන්නම වුණා. මම මේකප් රූම් එකට ගිහින් තේරෙන විදියට ඒකත් කරල සම්මුඛ සාකච්ඡාව කළා.”
සුමනා නෙල්ලම්පිටියගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් අතරින් ඇය සිනාසෙමින් මතක් කළ අවස්ථා දෙකක් ඇත. රූපවාහිනියට එක්වූ මුල් කාලයේ සජීවී වැඩසටහනක් බව නොදැන සිදුවූ සිදුවීමක් ඇගේ මතකයේ විය.
“ඇඳිරි නීතිය දාලා කියලා නිවේදනය කරන්නයි ඒ වෙලාවේ තිබුණේ. ප්‍රවෘත්ති ලියන්න වගේම කියන්න එදා කිහිප දෙනයි හිටියෙ. එදා මැදිරියේ හිටියෙ දෙමළ අංශයේ නිෂ්පාදකවරයෙක්. කොහොම හරි ප්‍රවෘත්ති කියන අතරේ මට මැණික් සංස්ථාවට ‘මැණික් ගල් සංස්ථාව’ කියලා කියවුණා. ඒ එක්කම මට හිනා ගියා. ඒ වෙලාවේ තමයි මම දැනගත්තෙ ඒක සජීවි වැඩසටහනක් කියලා. ඒ වගේම තව දවසක් ප්‍රවෘත්ති කියන වෙලාවේ මැදිරියේ හිටිය මැස්සෙක් නිසා මුළු විනාඩි විස්සම කරදර වින්දා. මැස්සා මුහුණ පුරා වහන්න ගත්තත් ඉවසීමෙන් එය විඳ දරාගෙන ප්‍රවෘත්ති කිව්වා.”
හමුවූ ඕනම මොහොතක ඇය ඒ අතීත මතක සිහිපත් කළේ ළෙන්ගතුවය. වෘත්තීයමය ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ ඇයගේ සාර්ථකත්වයට අත්වැල සැපයුවේ 1970 වසරේදී හේමචන්ද්‍ර ගුණරත්න සමඟ සිදු වූ විවාහයෙනි. ඔවුන් දෙපළට දියණියක හා පුතෙකු සිටින අතර සුමනාගේ අභාවය ඔවුනට දරාගත නොහැකි වේදනාවක් වනු නියතය.
සුමනාගේ ජීවිතයේ වඩාත් අර්බුදකාරී තත්ත්වය ආරම්භ වූයේ 1988 – 89 ජේ.වී.පී. දෙවැනි කැරැල්ලේ නැඟී සිටීමත් සමඟය. 89 වන විට සුමනාට ලියුම් පිට ලියුම් ආවේ සාමාන්‍ය රසිකයන්ගෙන් නොවේ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ රසිකයන්ගෙනි. රතු පැහැති එම ලියුම්වල සඳහන් වූයේ නිවේදන කටයුතුවලින් ඉවත් වන ලෙසය. මේ බව දැනගත් ලලිත් ඇතුලත්මුදලි ඇමැතිවරයා සුමනාට කීවේ වහාම රටින් පිටවන ලෙසය. ඇය එමිරේට්ස් ගුවන්විදුලියට යන්නේ ඒ මරණ තර්ජන හේතුවෙන්ය.
” JVP එකෙන් ප්‍රේමකීර්ති මරපු නිසා මාත් ඇත්තටම බය වුණා. මොකද පිරිතුයි බණයි හැර අනෙක් හැම වැඩසටහනකටම මමත් ඒ කාලේ සම්බන්ධ වුණානේ.”
ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් තැබීමට පෙර කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ විරෝධතාවක් ආවරණය කිරීමට ගිය ඇයට අනපේක්ෂිත ප්‍රහාරයකට ද මුහුණ දෙන්නට සිදු විය. ගුවන්විදුලියේ ප්‍රවීණයන් වූ තේවිස් ගුරුගේ හා ප්‍රේමකීර්ති ද අල්විස් ද ඝාතනය වූයේ ද ඔය කියන සන්ධියේදිමය.
“මම රස්සාවට යන එක ගැන ගෙදර කට්ටියත් බයෙන් හිටියෙ. ජේ.වී.පී. භීෂණ කාලේ වගේම ජූලි කලබල කාලෙත් ඒ අවදානම තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ රතු ලියුමකුත් එකපාරක් ගෙදරට ආවා. ඒකේ තිබුණේ ප්‍රවෘත්ති කියන්න එපා. රූපවාහිනියෙන් අයින් වෙන්න කියලා. දිගින් දිගටම භයානක දේ සිදු වෙද්දී මම තීරණය කළා පිටරට යන්න. මට උදව් කළේ ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමා.”
ජේ.වී.පී. ඝාතන, මරණ තර්ජන හමුවේ අවසානයේ සුමනා නෙල්ලම්පිටිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උම්අල් කුවේන් ප්‍රාන්තයේ ගුවන් විදුලි සේවාවට එක්විය. එහිදී මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැයක සිංහල වැඩසටහනක් ඇය ආරම්භ කළාය.
“එය හරිම අපූර්ව අත්දැකීමක් වූ අතර ලංකාවෙන් බැහැර වෙලා තමන්ගේ හිත මිතුරන්ගෙන් ඈත්වෙලා ඉන්න පිරිසටත් කදිම සැනසීමක් වුණා.” සුමනා නෙල්ලම්පිටිය කළ ඒ වැඩසටහනේ නම ‘දහසින් එහා’ය. එයින් සුමනා සමඟ ගුවනෙන් මිතුරු වූ රසිකයන් ලක්ෂ ගණනකි. ඔවුන් සැවොම සුමනා ඇමතුවේ අක්කා කියාය. වරක් සුමනා ගැන කවියක් රසිකයකු ලියා තිබුණේ මෙසේය.
ගරු කළ යුතු අයට ගරු කළ අපෙ අක්කා
සරු කළ යුතු අයට සරු කළ අපෙ අක්කා
යහ මඟ යමින් ඒ මඟ පෙන්වූ අක්කා
කතරේ අපේ හදවත් ටික ජය ගත්තා
සුමනා නෙල්ලම්පිටිය තමා ගැන හැමදාමත් සිහි කළේ කියාගන්න බැරි සතුටකින් හා ආඩම්බරයකිනි. තම ජීවිතයේ අවසන් අරමුණ ගැන ඇයම පැවසූ වදන් පෙළක් මෙහි සඳහන් කරමින් ඇයට සමු දෙමි.
“මේ සියලු දෙයක්ම මට ලැබුණේ නිවේදිකාවක් වීම නිසයි. සමාජයේ ආදරය ගෞරවය උපරිමයෙන් මට ලැබිලා තියෙනව. තවමත් එහෙමයි. කවුරුහරි මගෙන් ඇහුවොත් ලබන ආත්මෙ කවුරු වෙන්නද කැමති කියල. මම කියන්නෙ නිවේදිකාවක් වෙන්න කියලයි.”
ගුණ සුවඳින් පිරි කුසුමිය ඔබමයි
ආදර කරුණා සුමනාවෝ
ඇසිදිසි මානේ පියාසලා ගිය
කිරිල්ලියයි ඔබ සුමනාවෝ
සහසක් හදවත් ඇදබැඳ සිපගත්
නිවේදිකාව ඔබ සුමනාවෝ
ගුණ සුවඳින් පිරි කුසුමිය ඔබමයි
ආදර කරුණා සුමනාවෝ
සසල සිතින් නැඟි සුසුමක් ඔබ හට
ඇහෙනවාද මුදු සුමනාවෝ
ගුවන් විදුලියෙන් පෙළහර පෑ නිති
රුවැත්තියයි ඔබ සුමනාවෝ
රූපවහිනී තිරයේ සොඳුරු ම
දසුනයි පින්බර සුමනාවෝ
අප වැනි දුහුනන් අරගෙන පෙරට ම
ඔවදන දුන් ගුරු සුමනාවෝ
ගුණ කඳ කීමට මෙවදන් පණ මදි
වදනක් පවසන් සුමනාවෝ
රට තොට තොරතුරු වටකොට ලෝකය
එසැණින් ගෙන ආ සුමනාවෝ
කටකට මෙතරම් පෑ හැකි පෙළහර
ලොවට ම පැහැදූ සුමනාවෝ
අටවැනි දශකය නිමා කරන්නට
නොදුනේ ඉඩකඩ කෙලෙසකදෝ
පුණ්‍යවන්තියේ කිව මැන අප හට
සඳතරු නිහඬයි ගුවන් ගැබේ
සුමනා නෙල්ලම්පිටියගෙ දස්කම්
පෙන්වයි හැඩරුව ළතෙත් ගුණේ
දිලෙනා සඳවත අරුමෙකි පැහැබර
ඔබගෙන් දුටුවෙමි පුතු සෙනෙහේ
දිවියේ අනියත පහදා ලොවට ම
ගියමුත් හැරදා සදෙව් ලොවේ
සදාකාලිකයි සදාකාලිකයි
‘ශ්‍රී නම සුමනා’ අපේ ලොවේ
– ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ
වජිර ලියනගේ