Home » පොඩි හාමුදුරුවන්ට මහවැලි ඇමැතිකම දෙන්න ජනපති ජේ.ආර්. ගෙනා යෝජනාව

පොඩි හාමුදුරුවන්ට මහවැලි ඇමැතිකම දෙන්න ජනපති ජේ.ආර්. ගෙනා යෝජනාව

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

හුණුපිටිය ගංගාරාමයත් ගල්බොඩ ඥානිස්සර හිමියනුත් අතර ඇත්තේ බිඳ හෙළිය නොහැකි සම්බන්ධයකි. ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ සත්දින දානමය පින්කම එම විහාරස්ථානයේදී ශතාධික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්විණ. එහිදී රත්මලාන පරමධම්මචේතිය පරිවේණාධිපති ආචාර්ය මාදම්මේ විමලසාර නාහිමියන් සහ ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට පින් පතා පැන් වඩන ලදි.

අපට විශේෂයෙන් අවශ්‍ය වූයේ ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් හමුවී ගල­්බොඩ ඥානිස්සර හිමියන්ගේ ජීවිතයේ සැඟවුණ තැන් අනාවරණය කරගැනීමටය. ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ මතක සටහන් අප හිතුවාට වඩා ඓතිහාසික මෙන්ම රසවත් ඒවා ලෙස ද හැඳින්විය හැකිය.

මෙහිදී අපට තහවුරු වූයේ පොඩි හාමුදුරුවන් තම ස්මරණ ශක්තියෙන් කියූ දේවල් ග්‍රන්ථාරූඪ කොට තැබුවේ නම් එය කදිම ඉතිහාස පොතක් වනු නියතය. පොඩි හාමුදුරුවන් එකල පවසා සිටියේ කොළඹ නගරයේ සුද්දන් විසින් ඉදිකළ පළමු ‘වන්වේ’ මාර්ගය වන්නේ සර්. ජේම්ස් පීරිස් මාවත බවය. ඊට පෙර මේ මාර්ගය හඳුන්වා ඇත්තේ ජෙනරල් ලේක් රෝඩ් ලෙසය. සැල්වේෂන් ආමි බිල්ඩිමේ තවමත් ජෙනරල් ලේක් රෝඩ් යයි සඳහන් කොටස අදත් දැකගත හැකිය.

පොඩි හාමුදුරුවන්ට තිබුණේ පුදුමාකාර අනාගතය දැකීමේ හැකියාවකි. පොඩි හාමුදුරුවන් කොළඹ පැමිණි යුගයේ මට්ටක්කුලියේ, යූනියන් පෙදෙසේ, ස්ටුවට් වීදියේ කොම්පඤ්ඤ වීදියේ දැවැන්ත බෞද්ධයන් පිරිසක් ජීවත් වී ඇත. පොඩි හාමුදුරුවන් අවසන් කාලයේ මේවායේ ජීවත් වූ සිංහල බෞද්ධයන් වඳ වීම ගැන කතා කොට ඇත්තේ දැඩි සංවේගයකිනි.

“අපි ඔය කොළඹ ආපු අලුත ඔය පැතිවල බෙර, දවුල් ගහගෙන ගියේ දානෙකට පිරිතකට හාමුදුරුවරු වඩම්මන්න. මේ දේ කල් තියා දැක්ක නිසා තමයි මම මේ ගංගාරාමේ ගොඩනැඟුවේ.”

පොඩි හාමුදුරුවන් නිතර පැවසූ දෙයක් නම් පන්සලක් ආර්ථික වශයෙන් ශක්තිමත් විය යුතු බවය.

පොඩි හාමුදුරුවන් කොළඹට පැමිණියේ 1954 දීය. එම දිනවල දානමානාදි පින්කම්වලට බෙර, දවුල් ගහගෙන කොම්පඤ්ඤවීදියට, කොල්ලුපිටියට, වෑකන්දට, මැලේ වීදියට, යුනියන් ප්ලේස් එකට, ස්ටුවට් වීදියට ගිය බව පොඩි හාමුදුරුවන් පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.

“දැන් ඔය පැතිවල හිටපු බෞද්ධයෝ කවුරුත් නෑ! මෙහෙම ගියොත් මේ පන්සල්වලට මොකද වෙන්නේ? සැලැස්මක් ඇතුව ගංගාරාමය ගොඩනැඟුවේ ඒ නිසාමයි.”

පොඩි හාමුදුරුවන් පැවසුවේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැඩ කළ බැවින් ගංගාරාමය බේරා ගත් බවය. මට්ටක්කුලිය වැනි ප්‍රදේශවල පන්සල් අභාවයට යාම ගැන පොඩි හාමුදුරුවන් සිටියේ දැඩි කනස්සල්ලෙනි.

කළුතර බෝධිය ගැන මුලින්ම අනාවැකිය කියා ඇත්තේ පොඩි හාමුදුරුවන්ය. ඒ අධිවේගී මාර්ගය ඇරඹීමට ප්‍රථමය. උන්වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ අධිවේගී මාර්ග විවෘත වූ පසු කළුතර බෝධියට වන්දනාවට එන පිරිස් අඩුවන බවය. පොඩි හාමුදුරුවන්ගේ දුරදක්නා දැක්ම නිරවුල් විය. කියූ පරිදිම අධිවේගී මාර්ගය විවෘත වීමෙන් පසු උන්වහන්සේගේ කියමන සනාථ විය. උන්වහන්සේ මෙසේ පැවසුවේ කළුතර බෝධින් වහන්සේ විනාශ මුඛයට යන බව ආරංචි වී එහි වැඩම කළ අවස්ථාවකදීය. පොඩි හාමුදුරුවන් යන විට ඓතිහාසික බෝධිය ක්‍රම ක්‍රමයෙන් විනාශ මුඛයට යමින් පැවතුණි. ගස් සම්බන්ධ විශේෂඥයෝ එයට ලෝකයේ දියුණුම ප්‍රතිකර්ම කළත් බෝධින් වහන්සේ බේරාගන්නට හැකිවූයේ නැත. කළුතර බෝධිය වටා හත්වරක් පැදකුණු කළ පොඩි හාමුදුරුවෝ පවසා සිටියේ ප්‍රාකාරය තුළ ගොඩ ගසා තිබූ බෝධි පූජා සඳහා යොදාගත් හට්ටි මුට්ටි සියල්ල ඉවත් කරන ලෙසටය. ගඟ දෙසට පාත්වී කරුවක් ගසා ඇති අත්ත ඇතුළු සියලු අතුවල ගැටගසා තිබූ පඬුරු හා කොඩි වැල් ඉවත් කරන ලදී. ඉන්පසු බෝධීන් වහන්සේ වටා බිම මුළුමනින් පිරිසිදු කරවනු ලැබිණි. අනතුරුව පොඩි හාමුදුරුවෝ විනාශ වෙමින් තිබූ කළුතර බෝධීන් වහන්සේට කළ යුතු ප්‍රතිකාරය දැනුම් දුන්හ. පොඩි හාමුදුරුවන් කළුතර බෝධි භාර මණ්ඩලයට කියා සිටියේ අනුරාධපුර ශ්‍රී මහා බෝධිය මළුවෙන් සහ කතරගම බෝධි මළුවෙන් වැලි ගෙනවිත් කළුතර බෝධි භූමියෙහි අතුරන ලෙසය. වහාම ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ ඉල්ලීම ඉටු විය. අභාවයට යමින් තිබූ කළුතර බෝධියේ මළානික බව පහව ගියේය. බෝධින් වහන්සේගේ හැම අත්තක්ම බලන්නට ලස්සන නිල්වන් පැහැ බෝ කොළවලින් ලියලා ඇත්තේ පළාතම ආලෝකමත් කරමිනි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති වූ පසු මුලින්ම ගොස් ඇත්තේ ගංගාරාමයටය. ජේ.ආර්. ජනාධිපතිගෙන් පොඩි හාමුදුරුවන්ට තිබුණේ විශේෂ සැලකිල්ලකි.

“ජේ.ආර්. ගංගාරාමයට ආපු වෙලාවට පොඩි හාමුදුරුවෝ සැතපිලා හිටියොත් ඇහැරවන්න එපා කියනවා. නැගිටිනකම්ම ඉඳලා කතා කරලා තමයි යන්නේ.” අප සමඟ කතාවේ නිරත වූ ජිනරතන හිමියෝ පැවසූහ. ජේ.ආර්. රටේ ජනාධිපතිව සිටි යුගයේ පොඩි හාමුදුරුවන් නිතර කියූ කතාවක් ඇත.

“ජේ.ආර්. රටේ පාලකයා වුණාට එයා මගේ පන්සලේ දායකයා” යයි පොඩි හාමුදුරුවන් කාටත් කිව්වේ දැඩි ළෙන්ගතුවය. ජේ.ආර්. ජනාධිපතිවරයා ද පොඩි හාමුදුරුවන්ට දැක්වූයේ පුදුමාකාර ආදරයකි.

ජේ.ආර්. ගේ සමීපතම හිතවතකු වුණත් පොඩි හාමුදුරුවෝ ඔහුගෙන් උදව් ඉල්ලාගෙන ගියේ නැත. පොඩි හාමුදුරුවන් නිතරම කියූ දෙයක් නම් ජේ.ආර්. කියන්නේ නියම හොඳ මහත්මයෙක් බවය. රටේ රාජ්‍ය නායකයා ජේ.ආර්. වුණත්, ප්‍රේමදාස වුණත්, චන්ද්‍රිකා වුණත්, රනිල් වුණත් ඔවුන් ළඟට ගොස් එකත්පස්ව කිසිදින පොඩි හාමුදුරුවෝ වැඩම කළේ නැත. උන්වහන්සේ ඕනෑම පුද්ගලයකු ආශ්‍රය කළේ එක්තරා විදිහකටය. තමන් වහන්සේ රාජ්‍ය නායකයන්ගේ අනවශ්‍ය උදව් කන්නලව් කොට ලබාගෙන නැති බැවින් ඕනෑම නායකයකුට ඍජුව කතා කළ හැකි බව පොඩි හාමුදුරුවන් නිතරම පවසා ඇති වදනකි. ජේ.ආර්. ජනාධිපතිවරයාගේ වෝඩ් පෙදෙසේ නිවෙස පොඩි හාමුදුරුවන්ට ඕනෑ වෙලාවක විවෘත විය. එලිනා ජයවර්ධන ආර්යාව පොඩි හාමුදුරුවන් වඩිනා ලද වේලාව බලා ගිලන්පස හෝ වැළඳීම සඳහා දාන වේල සකස් කරන ලද්දේ එලිනා මැතිනිය විසින්මය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා තම අන්තිම කැමති පත්‍රය අත්සන් කරන අවස්ථාවේ පිරිත් කියන ලද්දේ ද පොඩි හාමුදුරුවන් විසිනි.

ජේ.අර්. හිටපු ජනාධිපතිවරයාගෙන් තම අමාත්‍ය මණ්ඩලයට එක්වන ලෙස පොඩි හාමුදුරුවන්ට ආරාධනා ලැබුණේ මෙරට හිමිවරුන් පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගන්නටත් පෙරය. මෙරට ප්‍රථම විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන පොඩි හාමුදුරුවන්ට ආරාධනා කරන ලද්දේ මහවැලි ඇමැතිකම භාරගන්නා ලෙසය.

ජේ.ආර්. අවසන් වරට නවලෝක රෝහලට ඇතුළු කළ වේලාවේ ඔහුගේ පෞද්ගලික ලේකම් ප්‍රේමතිලක මාපිටිගමට දැන්වූයේ වහාම පිරිත් ටිකක් කියා ගැනීමට පොඩි හාමුදුරුවන්ව වඩම්මන ලෙසය. රෝහලේ වාට්ටුවට වැඩම කළ පොඩි හාමුදුරුවන් ජේ.ආර්. ට නින්ද යන තෙක්ම පිරිත් සජ්යනා කරන ලදි.

පොඩි හාමුදුරුවන් සතුන්ට දැක්වූයේ ද අසීමිත ආදරයකි.

“ඒ කාලෙ ගංගාරාමයේ පිරිත් ගේ පවා පරවියන්ගෙන් පිරිලා. කොල්ලො ඇවිත් ගල් ගහලා පරවියො අල්ලන් යනවා. එහෙම තත්ත්වයක් එක්ක ගංගාරාමය මෙහෙම එළිමහනෙ විවෘතව තියෙන්නෙ කොහොමද? එහෙම තියා ගන්න නම් සැරවැර වෙන්න වෙනවා. එහෙම නැත්නම් මේවා දොරවල් වහලා, ඉබ්බො දාලා තියන්න තිබුණා. අපි සැරට හිටිය එක ඇත්ත. නමුත් අපි කාටවත් හිංසාවක් කරලා නැහැ. බුදුහාමුදුරුවො පවා අඥාන පුද්ගලයන්ට අවවාද කරලා තියෙනවා.. ඒ කළ යුත්ත නොකළ යුත්ත කියන තැනදි. පාලකයෙක්, ප්‍රධානියෙක් පඹයෙක් වෙලා වැඩක් නෑ. අපි වැරදි නැත්නම්, නිවැරදි නම් ඒක තමයි සීලය. වැරදි කරන කෙනාට නිර්භීතව ඉන්න බෑ. අවංකව ඉන්න බෑ. ඒකයි ඇත්ත.”

පොඩි හාමුදුරුවන්ගේ ගංගාරාමයේ ප්‍රධාන දායකයින් වූයේ මෙරට ප්‍රධාන දේශපාලන නායකයන්ය. එමනිසා බොහෝ දේශපාලනඥයන් ගංගාරාමයේ වැදගත්කම දැනගෙන හිටියත් රණසිංහ ප්‍රේමදාස මුල් යුගයේ ගංගාරාමයේ වටිනාකම දැන සිටියේ නැති බව උන්වහන්සේගේ මතය වී තිබිණි.

“ගොඩක් අය හිතන් ඉන්නේ ප්‍රේමදාස මහත්තයාට මම ඉතාම සමීපයි කියලා. ඇත්ත ඒක නෙවෙයි. මුල් කාලේ ප්‍රේමදාස උන්නාන්සේ පෙරලපු තරම් අරියාදු කළේ මේ පොඩි හාමුදුරුවන්ට. මොකද මට අවස්ථා කිහිපයකදී එයත් එක්ක පැටලෙන්න සිද්ධ වුණා. බේරේ වැව අයිනේ තිබ්බා පැල්පත්. 79දී මම ඉස්කෝලෙ හදලා ඉවර වෙනවත් එක්කම වගේ මේ ගෙවල් ටික ගිනි ගත්තා. කවුරුත් කිව්වේ ඉස්කෝලේ නිසා මම ගිනි තිබ්බා කියලා. මම ප්‍රේමදාස මහත්තයාට කිව්වා මේ ගෙවල් ටික ගිනි ගත්තු සිද්ධිය. එතකොට එයා අගමැති. එයා කිව්වා ඕක මට අයිති මැතිවරණ කොට්ඨාසයක් නෙවෙයි කියලා.

සුමානයක් විතර යද්දී සුචරිතයට අලුත් බිල්ඩිමක් හදලා ඒක විවෘත කරන්න ආවා ජේ.ආර්. ඒකට මලේවන හාමුදුරුවෝ ඇතුළු පස් නමක් ගියා. මාත් එක් කෙනෙක්. මම යද්දී ප්‍රේමදාස මහත්තයා උපහාසෙට ඇහැව්වා කොහොමද ගෙවල් හදලා ඉවරද කියලා. මොකද මම පොල්අතු ගෙනැවිත් ගෙවල් හැදුවා මගේ මුදලින්. ඒ උත්සවයේ අවසන් වෙනකොට ජේ.ආර්.ගේ ආරක්ෂකයෝ ඇවිත් කිව්වා උත්සවය ඉවර වෙලා ජනාධිපතිතුමත් එක්ක යන්න කියලා. මම ජේ.ආර්.ගේ කාර් එකට නගින කොට ප්‍රේමදාස උඩ ගියා. එතකම් එයා දැනගෙන හිටියේ නෑ අපි දෙන්නගෙ සම්බන්ධය. එදායින් පස්සේ ප්‍රේමදාස මහත්තයා මගේ සමීපතමයෙක් වුණා. සජිතුත් ඉගෙන ගන්න එව්වා. ආවා ගියා. දානමාන දුන්නා. අපි සමීප වුණා.”

ප්‍රේමදාස මහත්තයාට එරෙහි දෝෂාභියෝගය අවස්ථාවේ සමථයකට ඒමට විශාල කාර්ය ඉටුකර ඇත්තේ පොඩි හාමුදුරුවන්ය. මේ, උන්වහන්සේ ඒ ගැන සඳහන් කොට ඇති ආකාරයයි.

“දෝෂාභියෝගය ගෙනාපු වෙලාවේ ජනාධිපති මන්දිරයේ දානයක් තිබුණා. මම ප්‍රේමදාස ආර්යාවට කිව්වා ආර්යාවට විතරයි මේක බේරන්න පුළුවන් කියලා. එයා ගෙදරට ඇඳගෙන හිටිය ඇඳුම පිටින් ගියා මොහොමඩ් උන්නැහේ හමුවෙන්න. මොහොමඩ්නේ ඒ දේ කළේ. ඒවා ඉතින් නිකම්ම වුණේ නෑ. එයාගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගෙන තමයි ඒක නැති කළේ. අන්තිමට මුදල් ඒකකයක් හඳුන්වන්න මොහොමඩය කියන නමත් යොදාගත්තා.”

විජමු ලොකු බණ්ඩාර අධ්‍යාපන ඇමැති යුගයේ පොඩි හාමුදුරුවන් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකයකු විය. ඉන්පසු ලලිත් ඇතුලත්මුදලි අධ්‍යාපන ඇමැති ධුරයට පත්විය. පසුව අධ්‍යාපන ඇමති ධුරය ප්‍රේමදාස ජනපති තමා ළඟ තබා ගත්තේය. ළමයින්ට සිංගප්පූරුවේ වගේ යුනිෆෝම් එකක් දෙන්නට යෝජනා කළේ පොඩි හාමුදුරුවන්ය. එමෙන්ම පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන්නට යෝජනා කළේ ද පොඩි හාමුදුරුවන් විසිනි.

මෙහි වඩාත් සංවේදී කරුණ වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපායට ගෙන ගිය අවස්ථාවයි. පැලවත්තට එදා හරිහමන් බස් සේවයක් නොතිබුණ නිසා පොඩි හාමුදුරුවන් එයට පිහිට වූයේ ගංගාරාමයේ වූ බස් රථය ඒ සඳහා ලබා දෙමිනි. මරදාන ස්ටේසමෙන් බැස ගන්නා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් ඉසුරුපායට ගෙන ගොස් නැවත මරදාන ඉස්ටේෂමට ගෙනවිත් බැස්ස වූයේ පොඩි හාමුදුරුවන්ගේ බස් රථයෙනි.

මීගොඩ පඤ්ඤාලෝක හිමියන් අතුරුදන් වූයේ සුනාමිය අවස්ථාවේය. ඒ අවස්ථාවේ පොඩි හාමුදුරුවන් ද සුනාමියට බිලි වීමට ගිය අවස්ථාව උන්වහන්සේ විස්තර කොට ඇත්තේ මෙසේය.

“සුනාමියෙන් මම බේරුණේ අනූ නවයෙන්. මම ඒ මොහොතේ ගාල්ලේ දෙවටෙන් ගියා විතරයි. මීගොඩ පඤ්ඤාලෝකයි මමයි එක ළඟ ගිහින් තිබුණේ. පස්සේ තමයි මම ඕවා දන්නේ. මොකද මඟ දිගට මිනිස්සු අඳුරනවානේ. මම වෙනදා කිරිබත් කෑල්ලක් ගන්නවා ගාල්ලෙන්. ගාල්ලේ ටිකක් වෙලා ඉන්නවා. එදා ඒ කිසි දෙයක් ගත්තේ නෑ. මං ඩ්‍රයිවර්ට කිව්වා හනික යං කියලා. විනාඩියෙන් දෙකෙන් මම බේරුණේ.

මම අකුරැස්සට ගියේ සූරියකන්ද පැත්තෙන්. ඒ වෙනකොට අකුරැස්සේ සෙනඟ පිරිලා. පොලිස් මැසේජ් ගියා පොඩි හාමුරුවෝ නෑ කියලා. ඒකයි මේ සෙනඟ පිරුණේ. මම ලක්ෂ පනහක බඩු අරන් මිනිස්සුන්ට බෙදන්න සිරසට දුන්නා. මොකද මධ්‍යස්ථභාවය පෙන්වන්න. මගේ ඩ්‍රයිවර්ලා ඇවිත් කිව්වා ඒවා අරන් ගිහින් ස්ටෝරුවලට දැම්මා කියලා. දුන්නා නොදුන්නා අපි දන්නේ නැහැ. අපි අපේ යුතුකම කළා. ජාතික ආපදාවලදී අපි පෙනී සිටියා.”

මෙරට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට අධ්‍යාපන ඇමැති ධුරය ලබාදීමට ජේ.ආර්. පොලඹවා ගත්තේ පොඩි හාමුදුරුවන් විසිනි. එකල අධ්‍යාපන ඇමැති වූයේ නිශ්ශංක විජේරත්නය. එකල කතිකාවක් පැවතියේ අමාත්‍යාංශයේ ඇතැමුන්ව රුපියල් 8000ක අල්ලසක් ගෙන රැකියා ලබාදෙන බවය. පොඩි හාමුදුරුවන් මේ ගැන ජේ.ආර්. ට කියූ විට එය ඔප්පු කරන ලෙස පොඩි හාමුදුරුවන්ට දන්වා ඇත. පොඩි හාමුදුරුවන් කළේ තමා ජිනරතන විද්‍යාලෙ ඉගෙන ගන්නා ශිෂ්‍යයකුට රුපියල් 8000ක් දී යැවීමය. කියූ පරිදිම ජිනරතන කොලුවාට ජොබ් එකකට චිට් එකක් ලැබිණි. පොඩි හාමුදුරුවන් වහාම චිට් එක ජනපති ජේ.ආර්. එ ඉදිරිපත් කරන ලදී. ජේ.ආර්. වහාම පියවර ගත්තේ නිශ්ශංක විජේරත්න අධ්‍යාපන ඇමැතිකමෙන් ඉවත් කොට අධිකරණ ඇමැති ධුරය ලබාදීමටය. ඉන්පසු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කරන ලද්දේ පොඩි හාමුදුරුවන්ගේ ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැති ධුරයට පත්කිරීමය.

බොහෝ දෙනා නොදන්නා කරුණක් නම් අමෙරිකානු ආණ්ඩුව පොඩි හාමුදුරුවන්ට අමෙරිකානු පුරවැසි භාවය පිරිනමා ඇති බවය. පොඩි හාමුදුරුවන් ඒ ගැන කාටවත් කියන්නට ගියේ ද නැත. අමෙරිකාවේ බෞද්ධ විහාරස්ථානයේ නායක පදවිය ඉසුලුවේ ද උන්වහන්සේය. අමරිකාවෙන් ඉගෙන ගත් දේ බොහෝ බව පොඩි හාමුදුරුවන් පැවසූ අවස්ථා එමටය. රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයාට වැට් බද්ද ගැන කියා ඇත්තේ ද පොඩි හාමුදුරුවන් විසිනි. එය අමෙරිකන් බදු ක්‍රමයකි. එහෙත් උන්වහන්සේ අවසන් කාලයේ පවසා සිටියේ තමන් අමෙරිකාවෙන් ගෙනා වැට් බදු ක්‍රමය අනිසි ලෙස භාවිත කරන නිසා දැන් හොරු රැළක් බෝවී ඇති බවය.

අවසානයේ අප ගංගාරාමයට සමුදෙන විට බලන බලන අත වූයේ උන්වහන්සේ ගොඩනැඟූ ආගමික නිර්මාණයන්ය. අද විදේශිකයන්ගෙන් ගංගාරාමය පිරී ඉතිරී ගොස් ඇත්තේ එහි ඇති සුන්දරත්වය නිසාමය. පොඩි හාමුදුරුවන් ගොඩනැඟූ ගංගාරාමේ ඇතුළු වන ස්ථානයේ පිහිටි බුදු කුටියේ දැන් උන්වහන්සේගේ දැවැන්ත පින්තූර දෙකක් සවිකර ඇත. අප ගංගාරාමයෙන් සමුගන්නා විට එම පොඩි හාමුදුරුවන්ගේ ඡායාරූප දෙක සෙනෙහෙබර දෑසින් අප දෙස බලා සිටින්නා සේ දැනුණි.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division