ජීපීආර් හා ලයිඩා තාක්ෂණය පොළව අභ්‍යන්තරයෙන් සාක්ෂි සොයාදෙයි
ලයිඩා තාක්ෂණය මඟින් පොකුණු පහක් පමණ මේ වනවිට සොයාගෙන තිබෙනවා
ජ්‍යාමිතික නාගරීකරණ උද්‍යානය සකස් කිරීමේදී සීගිරිය පිළිබඳ සිතා බැලීමක් පොලොන්නරුවේ පාලකයන් විසින් සිදු කර ඇති බව මින් පෙනී යනවා
පුරාවිද්‍යාව යනු මානව සංස්කෘතියන් නොයෙකුත් ශිල්ප ක්රමයන් උපයෝගී කරගෙන අධ්‍යයනය කරනු ලබන විෂය ක්ෂේත්රයකි. මෙකී විෂය මඟින් අනාවරණය කරගන්නා තොරතුරු මූලාශ්‍ර සාක්ෂි සාධක අනුව මානව වර්ගයාගේ ආරම්භය හා විකාශනය, පැවැත්ම, පාලනය, ශිෂ්ටාචාර වීම, ලේඛනය, සංස්කෘතික ලක්ෂණ එවාහි විශේෂතා අධ්‍යයනය කිරීම මෙහිදී ප්රමුඛ වේ. ලංකාවේ ඉපැරණි නාගරීකරණ භූදර්ශනය පිළිබඳව ඉකුත් පෙබරවාරි මාසයේ පොලොන්නරුවේ ඇතුළු නගරය තුළ සිදු කෙරුණු පුරාවිද්‍යා අධ්‍යයනයකින් අනාවරණය වූයේ එහි නාගරීකරණ ඉතිහාසය නැති නම් ජනාවාස වීම පිළිබඳ ඉතිහාසය බොහෝ ඈතට දිවයන බවයි. එසේම උද්‍යාන අලංකරණයේ සුවිශේෂි සාධක රැසක් එහිදී අනාවරණය විය.
මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබුණේ පොලොන්නරු නගරයේ සංවර්ධනය, නාගරික ස්වරූපය, එහි නැඟීමට සහ වැටීමට බලපෑ හේතු සාධක මෙන්ම ජන ජීවිතය පිළිබඳවය. මෙම ව්‍යාපෘතිය සඳහා කැලණිය විශ්වවිද්‍යාලය, ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය (ඔස්ට්‍රේලියාව), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ යාපනය විශ්වවිද්‍යාලය සම්බන්ධ වී තිබිණි.
මෙම අධ්‍යනයට සම්බන්ධ වූ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනගෙන් සිළුමිණ කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ “මේ පර්යේෂණ ව්‍යාපෘතිය සිදු කිරීමේ අරමුණ වුණේ ලංකාවේ ඉපැරණි නාගරීකරණ භූදර්ශනය පිළිබඳව අධ්‍යනය කිරීම. ක්‍රි:පූ 500දී පමණ ලංකාව නාගරීකරණය වීම පිළිබඳ බොහෝ සාක්ෂි මේ වනවිට ලැබී තිබෙන්නේ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙනයි. අනුරාධපුරයේ ඇතුළු නගරය පරීක්ෂා කර බලන විට පැරණි නාගරික ලක්ෂණ අපට අදත් ඉතා හොඳින් දැක බලා ගන්න පුළුවන්. ඉන් පිටත බැලුවත් බෞද්ධ විහාර ලෙස සැලකිය හැකි රුවන්වැලිසෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය, ලංකාරාමය වගේ විශාල ඉදිකිරීම් සංකීර්ණ ඇතුළු නගරය වටා වළල්ලක් ආකාරයෙන් තමයි පිහිටා තිබෙන්නේ. සාමාන්‍ය ජනතාව ජීවත් වූ පර්යන්ත කලාපය නැති නම් ජනාවාස පිහිටා තිබෙන්නේ මින් පිටතයි. මුල් යුගයේ රටේ සංවර්ධනයට නගරයේ දියුණුවට සහ වර්ධනය සඳහා බලපෑ විවිධ වූ කර්මාන්ත දේශීය වශයෙන් ගොඩනැඟුණේ මෙම ස්ථානවලයි.
අනෙක් අතට ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විශේෂයෙන්ම මාතොට වරාය කේන්ද්‍ර කරගෙන පෙර අපරදිග රටවල් සමඟ සිදු වූ වෙළෙඳ ගනුදෙනු විශේෂයෙන්ම සේද මාවත හරහා චීනය රෝමය හරහා ගමන් කළ නෞකා පද්ධතිය හරහා ගොඩනැඟුණු වෙළෙඳාම සම්බන්ධයෙන් විශාල කාර්ය භාරයක් අනුරාධපුර යුගයේ සිටි පාලකයන් විසින් ඇතුළු නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කර තිබුණා. ඒ නිසා ඉතා පැහැදිලියි; නගර මධ්‍ය තුළ රාජ්‍ය පාලනයත් නගරයෙන් පිටත පර්යන්ත කලාපයේ සාමාන්‍ය ජනයාගේ ගෙවල් දොරවල් සහ අනෙකුත් කර්මාන්ත නැත්නම් රටේ සංවර්ධනය සඳහා අදාළ භූමි සකස් වී තිබුණ බව.
අනුරාධපුර යුගයෙන් පස්සේ අපේ නගර කතාව ගොඩනැඟෙන්නේ පොලොන්නරුවෙන්. විශේෂයෙන්ම අනුරාධපුරයේ බිඳ වැටීමත් සමඟ පොලොන්නරුව ප්‍රධාන නගරයක් හැටියට ගොඩනඟාගෙන රාජ්‍ය පාලනය පිහිටවූ ආකාරය පේනවා. මුල් කාලයේ චෝල රජවරු වසර කිහිපයක් පොලොන්නරුව තුළ කටයුතු කරමින් සිටි බවත් පසුව විජයබාහු, පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල ආදී රජවරු පොලොන්නරුව කේන්ද්‍ර කරගනිමින් සිය පාලනය ගෙනගිය බවත් වංශ කතාව පවසනවා.
අපට තිබෙන ගැටලුව තමයි අනුරාධපුරයේ කලින් පැහැදිලි කළ සැලැස්මට අනුව පොලොන්නරු නගරයේ නාගරික භූ දර්ශනය සකස්වෙලා තියෙනවද? තියෙනවා නම් ඒ කුමන ආකාරයේ එකක්ද? කියා අධ්‍යනය කර බැලීම. ඒ අනුව තමයි මේ අධ්‍යන කටයුත්ත පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ කළේ.
මෙහිදී මූලික වශයෙන් පොලොන්නරු නගරය පිහිටි කොටස රාජ මාළිගාව සභාශාලාව, කුමාර පොකුණ ආදී දැනට ඇතුළු නගරය ඇතුළු සම්පූර්ණ කලාපය අපි පොලව විනිවිද යන රේඩාර් (GPR) තාක්ෂණය මඟින් ස්කෑන් පරීක්ෂාවට ලක්කළා. මෙම තාක්ෂණය මඟින් පොළව මතුපිට සිට මීටර් 5- 6ක් අභ්‍යන්තරයට ස්කෑන් කර එහි ඇති භූගත ලක්ෂණ හඳුනාගත හැකියි. ඒ අනුව මේ ස්කෑන් කිරීම මඟින් පොළොව යට මුලින්ම අප දුටුවේ සෙන්ටිමීටර් 80ක් 90ක් පමණ යටින් ගඩොල් ඉදිකිරීමක් පිළිබඳ සාධකයි. විශේෂ කාරණයක් වුණේ විශාල ගොඩනැඟිලි අත්තිවාරම් ඒ තුළ දක්නට නොවීමයි. නමුත් ගඩොල් ස්මාරක, අත්තිවාරම්, අඩි පාරවල්, වීදී මේ ආදී ලක්ෂණ පෙන්නුම් කෙරුණා.
මේ කාරණය තවදුරටත් ශාක්ෂාත් කරගැනීම සඳහා අප විසින් ලයිඩා තාක්ෂණය යොදා ගැනීමට තීරණය කළා. ලයිඩා තාක්ෂණය කියන්නේ ලෝකයේ පුරාවිද්‍යාව සඳහා උපයෝගි කර ගන්නා ඉතාම දියුණු තාක්ෂණයක්. එය විවිධ ක්ෂේත්රවලද යොදාගනු ලබනවා. පුරා විද්‍යාව පැත්තෙන් බලනවිට ලයිඩා තාක්ෂණයේ ඇති වැදගත්කම වන්නේ මහා ඝන වනාන්තරවල අවදානම්කාරීව ඇවිද යන්නේ නැතිව ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් රේඩාර් භාවිත කරමින් ලබාගන්නා දත්ත පරිගණක අනුසාරයෙන් හඳුනා ගැනීමට හැකිවීමයි. ඒ අනුව වනාන්තර ප්‍රදේශ තුළ සැඟවී පවතින නැතිනම් අපට නොපෙනෙන ස්මාරක බොහොමයක් ඉතාම පහසුවෙන් නිවැරදිව සිතියම්ගත කර දීම සිදු කෙරෙනවා. බොහොමයක් මධ්‍ය අමෙරිකානු රටවල පුරාවිද්‍යා පර්යේෂණ සඳහා මේ ක්‍රමය උපයෝගි කරගෙන තිබෙනවා. අපත් මේ සඳහා එම තාක්ෂණය යොදා ගත්තා. අනික් පැත්තෙන් භූවිෂමතාව නැති නම් පොළවේ උස් පහත් පිහිටීම පිළිබඳවත් මෙමඟින් පැවසිය හැකියි.
ඒ අනුව ජීපීආර් තාක්ෂණය මඟින් අනාවරණය කර දුන් තොරතුරු හා ලයිඩා තාක්ෂණය මඟින් වැඩිදුරටත් පෙන්වාදුන් තොරතුරු අනුව උතුරු දොරටුව ඉදිරිපස කිසිදු ඉදිකිරීමක් නොපෙනන හිස් භූමි අභ්‍යන්තරයෙහි පොකුණු සහිත උද්‍යාන අලංකරණය සම්බන්ධයෙන් විශේෂ වුවමනාවකින් කටයුතු කර ඇති බවක් පෙනෙන්නට තිබුණා.
ලංකාවේ පැරණි නාගරික භූ දර්ශනයක දකින්න ලැබෙන ප්‍රධාන කාරණාවක් වන්නේ රාජ්‍ය පාලකයාගේ වාස භූමිය, රාජ්‍ය පරිපාලනය සහ වෙළෙඳ කටයුතු ආදිය සඳහා ඇතුළු නගරය පිහිටි කොටස සකස් කර තිබෙන ආකාරයයි. මෙහිදී රාජ ගෘහය සමඟ රාජකීය උද්‍යානය අත්‍යාවශ්‍ය අංගයක් ලෙස සලකා තිබෙනවා. එමඟින් අපට නාගරීකරණයවීම වගේම ප්රභූපන්තියේ ජීවන රටාවත් පෙන්නුම් කෙරෙනවා. නමුත් මෙහි අප අවදානය යොමු කරන්නේ නාගරීකරණය උද්‍යාන අලංකරණය සහ භූමිය සකස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවයි.
අනුරාධපුරය සහ සීගිරිය දිහා බැලුවමත් අපට මේ ලක්ෂණ දකින්න පුළුවන්; විශේෂයෙන්ම සීගිරිය. කාශ්‍යප රජතුමා සීගිරියෙදී තමන්ගේ රාජ්‍ය පාලන මධ්‍යස්ථානය ගල උඩට යන්න කලින් බාහිර කලාපය පිළිබඳ විශාල සැලකිල්ලක් යොමු කර තිබෙනවා. වතුර මල් සහිත ජල උද්‍යාන මඟින් භූමි අලංකාරණය සඳහා ඔහු දක්වා තිබෙන සැලකිල්ල කැපී පෙනෙනවා. එය නාගරී කරණයේ ප්‍රධාන අංගයක්.
පොලොන්නරුවේ අප මේ කතා කරන භූමි ප්‍රදේශයේ උතුරු දොරටුවෙන් ඇතුළු වුණාම ඒ හිස් භූමි කලාපය ජීපීආර් තාක්ෂණය හා ලයිඩා තාක්ෂණය මඟින් ස්කෑන් කිරීමේදී අප දුටු ලක්ෂණත් සීගිරිය හා බෙහෙවින් සමානයි. මෙහිදී ද සීගිරිය හා සමානව උද්‍යාන අලංකරණය සහ භූමි අලංකරණය සඳහා විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව ඉතාම පැහැදිලිව දැක ගත හැකි වුණා. ලයිඩා තාක්ෂණය මඟින් පොකුණු පහක් පමණ මේ වනවිට සොයාගෙන තිබෙනවා. අනෙක් පැත්තෙන් දූපත් ස්වභාවයක් ඒ වගේම ගඩොල් බැමි යොදා සකස් කළ පවුරකින් මෙම උද්‍යාන වෙන් කර පැවති බවක් පෙනී යනවා.
චූලවංශයේ (වංසත්තප්පකාසිනිය) පොලොන්නරුවේ ඇතුළු නගරයේ දීප උයන සහ නන්දන උයන යනුවෙන් උද්‍යාන දෙකක් පිහිටි බව සඳහන් වෙනවා. පුරාවිද්‍යාඥයන් දීප උයන ලෙස දැනට හඳුනාගෙන තිබෙන්නේ නිශ්ශංක මල්ලරජතුමාගේ මාලිගය පිහිටි කොටසයි (තානායම පිහිටි කොටස). නන්දන උයන කියල හැඳින්වූයේ කුමාර පොකුණ ආශ්රිත කොටසයි. නමුත් අපි හඳුනාගත් ඇතුළු නගරයට ප්‍රවිෂ්ට වන ස්ථානයේ උද්‍යාන අලංකරණ ලක්ෂණ පෙන්නුම් කරන නිසා මේ කොටස් දෙක හා සහසම්බන්ධයක් ඊට ඇති බවයි අප අනුමාන කරන්නේ.
නුවර, මඩකලපුව සහ කොළඹ මහා මාර්ගය 19 වැනි සියවසේ ගොඩනැඟීමට ප්‍රථම ඇතුළු නගරය නිශ්ශංක මල්ල රජ මාළිගාව පිහිටි කොටස සමඟ සම්බන්ධව පැවති බවයි පෙනී යන්නේ. ඒ නිසා ඒ සම්පූර්ණ ප්‍රදේශය ඇතුළු නගරය ලෙස සැලකිය හැකි බවයි අපගේ නිගමනය වන්නේ.
අපේ විශිෂ්ටතම උද්‍යාන අලංකරණය හා තාක්ෂණය දැකිය හැකි ස්ථානය සීගිරිය. එහි රජතුමාගේ ප්‍රධාන සංකීර්ණයට ඇතුළු වන්නට කලින් ඉතාම අලංකාර ලෙස ඉදි කළ සමමිතික පොකුණු පිහිටා තිබෙනවා. පොලොන්නරුවෙත් උතුරු දොරටුවෙන් ඇතුළු වුණාම සීගිරිය හා සීයයට සීයයක් සමාන නොවුණත් ඒ හා බොහෝ සෙයින් සමාන ඒ ආකාරයේ පොකුණු දක්නට ලැබෙනවා. ඒ අනුව අපට පෙනී යන්නේ පොලොන්නරුවේ පාලකයන් විසින් තමන්ගේ ජ්‍යාමිතික නාගරීකරණ උද්‍යානය සකස් කිරීමේදී සීගිරිය පිළිබඳ සිතා බැලීමක් සිදු කර ඇති බවයි.
උතුරු දොරටුවේ සිට බලන විට මීටර් 660 X 600 ක සමචතුරශ්රකාර භූමියක මේ ඉදිකිරීම් සිදු කර ඇති බව පෙනී යනවා. ලයිඩා තාක්ෂණය ඔස්සේ පෙන්වන වර්ණ සලකුණු මඟින් පොකුණු ඒවා එකිනෙක වෙන් කර ඇති ගඩොල් පාදම් පොකුණු හා සම්බන්ධ වෙච්ච දූපත් වැනි ගොඩබම් කලාප පෙන්නුම් කරනවා. මේවා සීයයට සීයක් සිගිරියේ ඉදිකිරීම් හා සමාන නොවුණත් ඊට බොහෝසෙයින්ම සමාන බව මෙම ඉදිකිරීම් දෙකේම භූ දර්ශන සංසන්දනාත්මකව සැසැඳීමේදී පෙනී ගිය කරුණක්.
මේ සම්බන්ධයෙන් සිදු කළ කැනීම්වලදී පැරණි අනුරාධපුර යුගයට සමාන තොරතුරු ඒ වගේම විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි ලැබී තිබෙනවා. මෙහිදී හමු වූ චීන කාසි සහ මැටි බඳුන් කැබලි මඟින් චීන අධිරාජ්‍යයේ 10-12 සියවස්වල විසූ සොං යුගය කාලයේ දියුණු ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු තිබුණු බවට සාක්ෂි ලැබෙනවා. පොළොන්නරුව රාජධානි සමයේ චීනය හා ඉන්දියාව සම්බන්ධයෙනුත් අපරදිග කලාපය සමඟත් වෙළෙඳ සම්බන්ධතා පැවති බවට මෙම පර්යේෂණ ව්‍යාපෘතිය මඟින් තවත් බොහෝ සාක්ෂි හමුවේ යැයි අප විශ්වාස කරනවා. ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්කර වෙළෙඳාම ඉතාම ශක්තිමත්ව සිදු වූ බවට අපට නිශ්චිතවම තහවුරු කරන්න පුළුවන්.
මෙහිදී අප විසින් සොයාගත් අඟුරු හා පස් සාම්පල විද්‍යාත්මකව අධ්‍යනය කිරීම සඳහා අදාළ ජාත්‍යන්තර ආයතන වෙත යොමු කර තිබෙනවා. එමඟින් මෙම පුරාවිද්‍යාත්මක සාධක කවර කාලයකට අයත් දැයි දැනගන්න පුළුවන්. මේවා බැලූ බැල්මට පොලොන්නරු යුගයට වඩා පැරණි බව පෙනී යනවා. ඒ අනුව පොලොන්නරුවේ අප දන්නා රාජධානි යුගයට පෙරාතුව පැවති ජනාවාස පිළිබඳ මෙම සාක්ෂි මඟින් අපට නුදුරේදීම අනාවරණය කරගත හැකිවෙනවා.” ඒ අනුව පොලොන්නරු ඉතිහාසයේ මෙතෙක් අප නොදැන සිටි පරිච්ඡේදයක් අනාවරණය වේ යැයි සිතිය හැකිය.
මේ පර්යේෂණයට සම්බන්ධ වූ ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්ව විද්‍යාලයේ (La Trobe University) පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය කීර් ස්ට්‍රික්ලන්ඩ් (Dr.Keir Strickland) පෙන්වා දෙන්නේ “මෙම බහුවිධ ප්‍රවේශය පොලොන්නරුවේ නාගරික සැලසුම්කරණය, යටිතල පහසුකම් සහ සමාජයී ක්‍රියාකාරකම් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දෙන බවයි.”
මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන තවදුරටත් කරුණු දක්වමින් මෙසේ පැවසීය.
“ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්රයට තිබෙන ලොකුම ගැටලුව මේ සඳහා අවශ්‍ය නූතන තාක්ෂණය නොමැති වීම බවයි. අපේ වනාන්තර වගේ දේවල් සඳහා තාක්ෂණය කොහාමද යොදා ගන්නේ කියන ගැටලුව අපට තිබෙනවා. එංගලන්තයේ ඩැරම් විශ්වවිද්‍යාලය හරහා ඒ පහසුකම් ලබා ගන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ඇතිව යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් තුමිය ලංකාවට පැමිණි අවස්ථාවේ ඇය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී අප ඉල්ලීමක් කළා මහාවිහාරය, අනුරාධපුර නගරය හා වනාන්තර බද කලාපය ජීපීආර් සහ ලයිඩා තාක්ෂණය සහනය සහ ඒ සඳහා අවශ්‍ය උදව් උපකාර ලංකා පුරාවිද්‍යාවට ලබාදෙන්න කියලා.
මෙවැනි තාක්ෂණික මෙවලම් පුරාවිද්‍යාව සඳහා භාවිත කිරීමේදී රජය පැත්තෙන් ලැබිය යුතු සහනය සහ සහයෝගය ඉතාම වැදගත්. මෙහිදී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. ලංකාවේ ආර්ථිකය ගොඩනඟන්න ජාත්‍යන්තරව උදව් ගන්නවා වගේම මේ රටේ ඓතිහාසික උරුමය හාරා පාදාගන්න ඒවා අධ්‍යනය කිරීමටත් අපට ජාත්‍යන්තර සහාය අවශ්‍යයි. එහිදී රටේ නායකත්වයේ සහාය ඉතාම වැදගත් කරණයක්.
මේ නව තාක්ෂණය යුරෝපය තුළ වැඩි වශයෙන් භාවිත කෙරෙනවා. එනිසා ජාත්‍යන්තර වශයෙන් ඒ සහනය අපේ පුරාවිද්‍යාවට ලබා ගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අප වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙම සහනය අපට ලබාගන්න හැකියාව ලැබුණොත් පොලොන්නරුව පමණක් නෙමෙයි; ලාංකේය ඓතිහාසික උරුමය පිළිබඳ නව පරිච්ඡේදයක් විවර කරගත හැකියි.”
රසික කොටුදුරගේ