Home » උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි
ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු 9කට එරෙහි

උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි

by Mahesh Lakehouse
August 10, 2024 12:39 am 0 comment

‘යහපාලන‘ සමයේ දී සිදු වූ “දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා” හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසම විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු නව දෙනකුට එරෙහිව සිදු කර ඇති සොයා ගැනීම් සහ නිර්දේශ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 9 වෙනිදා බලරහිත කරන ලදි.

රුපියල් එක්ලක්ෂ පනස් දහසක බැගින් (150000/=) වන නඩු ගාස්තු සියලුම පෙත්සම්කරුවන් වෙත ගෙවන ලෙස රජයට නියම කළේය. පෙත්සම්කරුවන්ට එරෙහිව අදාළ කොමිසම විසින් කටයුතු කළ ආකාරය නීතිය විරෝධී සහ ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි බවට තීරණය කරමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

අදාළ සොයාගැනීම් හා නිර්දේශ වලට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් නවයක විභාගය කර එහි තීන්දුව ප්‍රකාශ කරමින් මේ බව තීරණය කරන ලදි.

ඒ අනුව අදාළ කොමිසම විසින් ඔවුන්ට එරෙහිව සිදු කළ නිර්දේශ සහ සොයාගැනීම් ඇතුළත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදන අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ එකඟත්වයෙන් යුතු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කළේය.

එම කොමිසම විසින් අදාළ විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව සිදුකළ සොයාගැනීම නිසා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලබා දෙන ලදි.

එම නිර්දේශ සහ සොයාගැනීම් අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම්කරුවන් විසින් වෙන් වෙන්ව පෙත්සම් මූලික අයිතිවාසිකම් පෙත්සම් නමයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබුණි. ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබුණි. මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, සාමාජිකයන් වන චන්ද්‍රසිරි ජයතිලක හා චන්ද්‍රා ප්‍රනාන්දු, එම කොමිසමේ ලේකම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය හා නීතිපතිවරයා නම් කර සිටියහ.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන වත්මන් ජනාධිපති ලේකම් ඒකනායක මුදියන්සේලාගේ සොමිසර බණ්ඩාර ඒකනායක (සමන් ඒකනායක) මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී වරදක් කර ඇති බවට චෝදනා කරමින් එම කොමිසම විසින් විමර්ශනයක් පවත්වා තිබුණි.

අගමැති කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ රුපියල් කෝටි තුනයි දශම තුනයි හතක(3.37) මුදලක් දූෂණ මර්ධන කමිටු කාර්යාලය සඳහා ලබාදීමෙන් සම්බන්ධයෙන් එම විමර්ශනය සිදු කරන ලදී. අනතුරුව ඒ සම්බන්ධයෙන් සිය නිර්දේශ ඇතුළත් අදාළ කොමිෂන් වාර්තාව නිකුත් කර තිබිණ.

එම කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුවත් පළ වූ නමුත් තමන් එම වාර්තාව ඉල්ලා සිටි අවස්ථාවේදී එවැනි අවසන් වාර්තාවක් ප්‍රකාශ පත් කර නොමැති බවට දැන ගැනීමට ලැබුණු බවට පෙත්සම්කාර සමන් ඒකනායක මහතා විසින් පෙත්සම මගින් කරුණු ඉදිරිපත් කර තිබුණි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ සහ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස මෙම පෙත්සම් මගින් ඉල්ලා තිබුණි. එබැවින් එම කොමිසමේ නිර්දේශ සහ සොයාගැනීම් ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මගින් වැඩි දුරටත් ඉල්ලා තිබුණි.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division