Home » නාමයෝජනා අවසන් වී දින 5 කින් උපරිම වියදම් සීමාව ප්‍රකාශයට පත් කෙරේ

නාමයෝජනා අවසන් වී දින 5 කින් උපරිම වියදම් සීමාව ප්‍රකාශයට පත් කෙරේ

by Mahesh Lakehouse
August 10, 2024 12:37 am 0 comment

ලබන 15 වැනිදා ජනාධිපතිවරණ නාම යෝජනා භාරගත් දින සිට දින 5ක් ඇතුළත අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරිම වියදම් සීමාව ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති, විමර්ශන හා සැලසුම්) චින්තක කුලරත්න සඳහන් කළේ මෙම වියදම් සීමාවට ඇතුළත් වන්නේ ජනමාධ්‍ය හරහා සිදුකරන ප්‍රචාරක කටයුතු වියදම්, රැස්වීම් පැවැත්වීම් වියදම්, මැතිවරණ කාර්යාල පිහිටුවීම් වියදම් මෙන්ම අත් පත්‍රිකා මුද්‍රණය කර බෙදා හැරීමේ වියදම් සඳහා වැයවන මුදල් ප්‍රමාණයයි. මෙම මුදල් ප්‍රමාණය තීරණය කිරීමේදි උද්ධමන අනුපාතය මෙන්ම පාරිභෝගික මිල දර්ශනය මත පදනම්ව සිදු කිරීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කරන පරිදි මෙම උපරිම වියදම් සීමාව හෙවත් අවසර ලත් වියදම් ඉක්මවා යාමට කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි අතර මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21 ක් ඇතුළත තමන්ගේ මැතිවරණ වියදම් වාර්තාව අනිවාර්යයෙන් ලබා දිය යුතුවන බවයි. 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ නීති හා රෙගුලාසීන්ට අනුව මෙවර සිට මැතිවරණ වියදම් කිරීම සඳහා නෛතික පදනමක් සපයයි. මැතිවරණ වියදම් වාර්තාවෙන් අදාළ අපේක්ෂකයා තමන්ගේ මැතිවරණය සඳහා තමන්ට ලැබුණු සියලුම ආදායම් විස්තර, තමන් මැතිවරණය සඳහා කළ සියලුම වියදම් ඇතුළත් කර එහි නිවැරදි බව තහවුරු කිරීමට දිවුරුම් ප්‍රකාශයක්ද සමඟින් ඉදිරිපත් කළ යුතු වෙයි.

මැතිවරණය සඳහා ඒ ඒ අපේක්ෂකයා වෙනුවෙන් ගිය සියලු වියදම් දින 10 කින් අනතුරුව පරීක්ෂා කිරීමට මහජනතාවට අවස්ථාව සැලසෙන අතර දින 31 කින් අනතුරුව ඊට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවෙයි. අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න සඳහන් කරන්නේ මෙම නීති රීති උල්ලංඝනය කළ යම් අපේක්ෂකයෙකු වෙතොත් පොලීසිය හරහා නීතිපතිට යොමු කිරීමෙන් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවයි. මහාධිකරණ තීන්දුවකින් අනතුරුව රුපියල් ලක්ෂයක දඩයක් හා වසර තුනක සිරි දඬුවමක් සමඟින් ආදළ මන්ත්‍රීධුරය පවා අහෝසි වෙයි. එසේම වසර තුනක ප්‍රජා අයිතියද අහෝසි වන බවයි. මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ රාජ්‍ය සංස්ථා, විදේශීය සංවිධාන, මෙරට පිහිටුවා ඇති වෙනත් රටවල සංවිධාන මෙන්ම කළු සල්ලි මැතිවරණ සඳහා ලබා නොගත යුතු බවයි.

මේ වන විට අදාළ මැතිවරණ පනත් සංශෝධනය කිරිම හරහා දඩ මුදල් ලක්ෂ පහ දක්වා සංශෝධනය කර ඇති අතර ඡන්ද පෙත්සම් සඳහා ලබා දී තිබූ කාලය දින 21 සිට දින 42 දක්වා වැඩිකර ඇත. සිරකරුවන් සඳහා ඡන්ද අයිතිය ලබා දීමේදි වසර දෙකකට වැඩි වරදක් සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින අයට ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි නොවන අතර අනිකුත් සිරකරුවන්ට ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි වේ.

තාරක වික්‍රමසේකර සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division