ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය සේවකයන් දෙලක්ෂ විසිපන්දහසක් (225000ක්) යොදවා ගැනීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරින් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. මේ වන විට රාජ්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරි සඳහා යොදවා ගැනීමට කටයුතු කරමින් සිටින බව පැවසූ ඒ මහතා මැතිවරණ කොමිසම හා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සිටින්නේ නිලධාරීන් 700ක් පමණක් බවද පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තෙක්ම මේ නිලධාරීන්ගේ සේවය අවශ්‍ය බවත් ඒ සම්බන්ධව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඔහු පැවසුවේය.
එසේම ග්‍රාම සේවා නිලධාරීන්ද මේ සඳහා පූර්ණ සහාය ලබා දීමට පොරොන්දු වී ඇති බවත් ජනාධිපතිවරණය අවසන් වන තෙක් ඔවුන් කිසිදු ආකාරයක වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු නොවන බව දන්වා ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එමෙන්ම මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් 54,000ක් පමණ යෙදවීමට බලාපොරොත්තු වන බව පෙන්වා දුන් කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේ අවශ්‍ය වුවහොත් පමණක් යුද හමුදා සහාය ලබා ගැනීමට කටයුතු කරන බවයි.
තාරක වික්‍රමසේකර සුභාෂිණි ජයරත්න