Home » රට ගොඩනඟන ජාතික ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කළ එකම නායකයා රනිල්

රට ගොඩනඟන ජාතික ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කළ එකම නායකයා රනිල්

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

by Mahesh Lakehouse
August 10, 2024 12:37 am 0 comment

ට ගොඩනඟන ජාතික ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කළ එකම නායකයා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

මේ තීරණාත්මක ජනපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහයන් සුවිශේෂ වන්නේ රටට වගකියන පනත් පහක් සම්මත කළ නායකයෙක් නිසාවෙන් යැයි ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණයකදී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබියදී මෙවර රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ප්‍රථම වතාවට ජනාධිපතිවරණ අපේක්ෂකයකු විසින් රට ගොඩනැඟීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් නීතිගත කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ එක්ව ජයගමු මැයෙන් ඊයේ (9) කොටස් ලෝරිස් පටුමගේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය.

-7.8 ක කඩාවැටුණු ආර්ථිකය, උග්‍ර භාණ්ඩ හිඟය, අන්තවාදීන් විසින් කුමන්ත්‍රණකාරී ලෙස රට අගාධයකට ඇද දැමීම අතීතයට එක්වූ කාරණ වුවත්, එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අමු අමුවේ මහ දවල් මරා දැමීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැත්තෑදෙකකගේ ගෙවල් ගිනි තැබීමටත්, අටසියයකට අධික මහජන නියෝජිතයන්ට අඩන්තේට්ටම් කිරීමත් මධ්‍යයේ රට නැවත ගොඩනැඟීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස මුලින් විස්තීර්ණ ණය මුදලක් ගෙන රටටත් හානිදායක නොවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලමින් ඉලක්ක සපුරා ගැනීම ඓතිහාසික කරුණක්.

ජනාධිපතිවරණයේදී රට ගොඩනැඟීමට ඉදිරිපත් කරනු ලබන නීතිගත ජාතික ප්‍රතිපත්තිය හේතු කරගෙන නැවත කිසිකලකත් රටක් ආර්ථික අවපාතයකට ඇද වැටෙන්නේ නැහැ.

මෙම ජාතික ප්‍රතිපත්තිය නීතිගත කරන්නට පනත් පහක් සම්මත කරගෙන ඇති අතර රටක ආරක්ෂාව තහවුරු කෙරෙන මෙය පංචායුධය ලෙස හැඳින්විය හැකියි.

මේ රටේ ඉතාම තීරණාත්මක ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකයන් රාශියක් ඉදිරිපත් වෙනවා. ඒ අය අතරින් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පාඨ, පක්ෂ පාට, ජාති ආගම් කුල වර්ණ ලිංග භේදවලින් තොරව පොදු අපේක්ෂකයෙක් වශයෙන් ස්වාධීනව ඉදිරිපත් වෙනවා. එතුමා පමණයි රට ගොඩනැඟීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් නීතිගත කරලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකම නායකයා. එයට හේතුව තමයි නිදහසින් පස්සේ 2022 වර්ෂයේදී ලංකා ඉතිහාසයේ කිසි දිනක කිසිවකුත් අපේක්ෂා නොකළ දැවැන්තම ආර්ථික අර්බුදය නිර්මාණය වුණා.

නිදහසින් පස්සේ ලංකා ඉතිහාසයේ ආර්ථිකය හැකිළීම වර්ධනය වීමේ අනුපාතය ඍණ 7.8ට කඩා වැටිලා. ජාත්‍යන්තර ආර්ථිකයට මුහුණ දී ගත නොහැකිව ජාත්‍යන්තර සංචිත කඩා වැටිලා රටේ ඛනිජ තෙල්, බෙහෙත්, පොහොර, රසායනික ද්‍රව්‍ය, ආහාරපාන යනාදිය ගෙන්වන්න බැරි වෙලා, උග්‍ර භාණ්ඩ හිඟයක් ඇති වෙලා. ජනතාවගේ දුක වේදනාවට විසඳුමක් නැති තත්ත්වය තුළ අන්තවාදීන් විසින් කුමන්ත්‍රණකාරී ලෙස ව්‍යවස්ථාදායකය ගිනිබත් කරල දාන්නටත් රට අරාජික තත්ත්වයට පත් කරන්නටත් උත්සාහ කරපු අවස්ථාවේදී ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහ මඟ තළලා පොඩි කරලා මරලා දාලා, ව්‍යවස්ථාදායකය නියෝජනය කරන හැත්තෑදෙදෙනෙක්ගේ ගෙවල් දොරවල් පැය 12ක් ඇතුළත විනාශ කරලා ගිනිබත් කරලා, 800 කට අධික මහජන නියෝජිත පිරිසකට අඩන්තේට්ටම් කරලා, මහ ගින්නක් රට තුළ ඇති කරලා කුමන්ත්‍රණකාරී තත්ත්වයක් පැවතුණා.

ඒ අවස්ථාවේ රට අරාජික වීම වැළැක්වීම සඳහා පස්වරක් අග්‍රාමාත්‍ය ධුරය දරලා අත්දැකීම් හා පළපුරුදුකම් සහිත රැක ගන්න පරපුරක්, ඔටුනු පලඳවන්න කුමර කුමරියක් නැති, එහෙත් උපන් බිම රැකගැනීම සඳහා ඉදිරිපත් විය යුතුයි යන තිර අධිෂ්ඨානයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් අග්‍රාමාත්‍ය ධුරය ලබාගෙන පාර්ලමේන්තුව ආරක්ෂා කරලා, කැරැලිකරුවන් මර්දනය කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළට නැවත පැමිණිලා, මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ අප සියලු දෙනාගේම වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුව තුළදී ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරය භාර අරන්, ඉතාම අමාරු ඉතාම කටුක කිසිවකුත් කිසිවිටෙකත් නොසිතපු ආකාරයෙන් මේ රට නැවත ගොඩනැඟීම සඳහා වන ක්‍රියාන්විතය ආරම්භ කළා. ප්‍රධාන වශයෙන් සතියක්වත් රට ගෙනියන්න බැහැ ඛනිජ තෙල් නැතුව. බස් රථ ධාවනයට, දුම්රිය ධාවනයට එදිනෙදා රාජකාරි කටයුතු කරා යාමට නිෂ්පාදන ගෙනයාමට ඩීසල් පෙට්‍රල් නැතුව බැහැ. පෙට්‍රල් පෝලිම්වල මැරි මැරී දින ගණන් පෙට්‍රල් ගන්න ඉන්න යුගය අවසන් කරන්න ඕනකම තිබුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ, බෙහෙත් ගෙන්වන්න ක්‍රමයක් නැතුව ලෙඩුන් රෝහල්වල මැරෙන තත්ත්වය නතර කරන්න ඕනකම තිබුණා.

ලෝකයේ අවසාන ණය දෙන්නා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා විස්තීර්ණ ණය ගිවිසුමක් ඇති කර ගැනීම තමයි කෙටිකාලීනව ආර්ථිකය අර්බුදය විසඳීම සඳහා ගත්ත ක්‍රියාමාර්ගය. මුදල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් මුදල් අමාත්‍යාංශය 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්වලට ගියත් ඊට වඩා අමාරුම අවස්ථාව 17 වෙනි අවස්ථාව වශයෙන් මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹුණා විස්තීර්ණ ණය ගිවිසුමකට. ඒ ණය ගිවිසුමේ ප්‍රකාරව අපිට මේ රට ගොඩගන්න පුළුවන් ආකාරයට යම් යම් විශාල කොන්දේසි මාලාවක් මූල්‍ය අරමුදලෙන් නියම කරනු ලැබුවා; මෙවැනි කඩා වැටීමක් ඇති නොවන තත්ත්වයෙන් නිර්මාණය කර ගැනීම සඳහා. ඒ දක්වපු ඉලක්කයන් එලෙසින් ඉෂ්ට කරනවාද බලමින් තමයි පළමු වාරිකය නිදහස් කළේ. ඊට පසුව එහි අත්කර ගත්ත ප්‍රගතිය අනුව දෙවැනි වාරිකයත් නිදහස් කළා. ඊට පසුව අවසාන වරට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම වඩා හොඳින් ඒ වෙනස්කම් කරන නිසා තුන්වන වාරිකය ලබා දුන්නා. ඒ වාරිකය එලෙසින් ලැබීම නිසා ජාත්‍යන්තරය තුළ යළි විශ්වාසයක් ගොඩනැංවීමෙන් ඔවුන් ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒ සඳහා රටවල් තුනක් ජපානය, ඉන්දියාව, ප්‍රංශය කියන රටවල් තුන ඔෆීෂියල් නෙට් කමිටි නිල ණය කමිටුව වශයෙන් කටයුතු කරමින් ලංකාණ්ඩුව විසින් පත් කරලා තිබුණා. ප්‍රංශයේ ලසාඩ් සමාගම, නීති කටයුතු සඳහා පත් කරලා තිබුණා.

විස්තීර්ණ ණය පහසුකම යටතේ 2025දී බාහිර සම්පත්වල හිඟයක් ඇති වෙනවා. අපේ රට සතුව තියෙන මුළු විදේශ වත්කම් 5.6යි. එයින් පහක් හීන වෙනවා 2025දී. IMF දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ මේ ආකාරයටයි. දිගු කළ ණය පහසුකම යටතේ 663 ක් අය වැය හදන්න සහයක් දෙනවා. ඩොලර් මිලියන 700ක් ලෝක බැංකුව සහ ඩොලර් මිලියන 400ක් ආසියානු සංවර්ධන බැංකු ලබා දෙනවා. මිලියන 300ක ණය සහනයකුත් ලැබෙනවා. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ දේවල් නැතුව 2025 අය වැය හදන්න පුළුවන් කියලා එයාට ලංකාවේ ආණ්ඩුකරණය කරන්න බැහැ. මේ ගිවිසුමට පයින් ගහලා මේ ගිවිසුම අනුව කටයුතු කරන්නෙ නැතිනම් අපිට ගිවිසුම අනුව මේ කිසිදු ණය පහසුකමක් ලැබෙන්නේ නැහැ. මේ රට සිම්බාබ්වේ, ආජන්ටිනාව වගේ වෙලා යයි. අපිට 2027දී එහෙම අය වැය හිඟයක් තියෙනවා අ‌ෙමරිකානු ඩොලර් මිලියන 3911 ක. IMF ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව දෙන මුදල් බිලියන 1.5 මදි වෙනවා. ඒනිසා IMF අවසර දීලා තියෙනවා; 2027දී ජාත්‍යන්තර මුදල් වෙළඳපොළට ගිහිල්ලා සෛවරීත්ව බැඳුම්කරයක් නිකුත් කරලා 1.5 ණයක් ගන්න. ඒ වෙන කොට කොන්දේසි වගයක් දාලා තියෙනවා. එනම් 2025දී ලංකාවට විදේශ වත්කම් වැඩි විය යුතුයි, ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක. 2026දී එය ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් විය යුතුයි. 2027 විදෙස් සංචිතය වැඩි විය යුතුයි. ඩොලර් බිලියන 14ක දළ විදේශ වත්කම් තිබුණොත් පමණයි විදෙස් වෙළෙඳපොළට ගිහිල්ලා ණය ගන්න පුළුවන් වෙන්නේ. ඒනිසා කෙටිකාලින වැඩපිළිවෙළ තමයි 2027 දක්වා යන්නේ. විස්තීර්ණ ණය පහසුකම් යටතේ එයට සමගාමීව 2025 සිට 2047 දක්වා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ තමයි මේ පනත් පහේ සඳහන් කරලා තියෙන්නේ. ඉතිහාසයේ පළමුවැනි වතාවට කෙටිකාලීන හා දිගුකාලීන කියලා රටට ප්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා.

කෙනෙක්ට කියන්න පුළුවන් අපි ආව ගමන් මේ පනත් ටික සේරම වෙනස් කරනවා කියලා. වෙනස් කරනවා කියපු ගමන් ඒ ආණ්ඩුව තියෙන්නේ සති දෙකක් නැතිනම් මාසයක් පමණයි. මුළු ලෝකයම අපිව අතහරිනවා. අපි සල්ලි අච්චු ගහන්නේ නැහැ. මුල්‍ය වගකීම් නිසියාකාරයෙන් ඉටු කරනවා කියලා ප්‍රතිඥ දීලා ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. එය නැතුව වෙන එකක් කරපු ගමන් මේක වෙනස් කරන්න පුළුවන්. නමුත් එදාට ලෝකයම අපිව අත්හරිනවා. අපිට හුදකලාව මනෝමූල තත්ත්වයක් යටතේ ඉන්න වෙන්නේ. නමුත් ලෝකය නැතුව අපිට ඉන්න බැහැ. පොල්, මැණික්, තේ, රබර් අපි පිටරට යවන්නම ඕන. නැතිනම් කොහොමද තේ කර්මාන්තය, මැණික් කර්මාන්තය වැනි දේවල්වලින් මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ වගේම අපිට ලෝකයේ ඛනිජ තෙල් රසායනික ද්‍රව්‍ය අවශ්‍යයි. යන්ත්‍ර සූත්‍ර ආනයනය කළ යුතුමයි. ලෝකය නැතුව හුදකලාව ඉන්න අපිට බැහැ. අනෙක් කිසිදු රටක් මේ ක්‍රමයෙන් පිටයන්නෙ නැහැ. පිටරටට බඩු යවන්න අවශ්‍යයි. ජාත්‍යන්තරය නැතුව අපිට කිසිදු දෙයක් කරන්න බැහැ.

සාමාන්‍යයෙන් වර්ෂයකට අමෙරිකානු ඩොලර් බිලයන හයක් විතර ගෙවන්න වෙනවා. ඒ වැනි මුදලක් අපිට නැහැ. ඒ නිසා තමයි අපිට 2022 සිට 2027දක්වා ණය නොගෙවා ඉන්න සහනයක් දීලා තියෙන්නේ. අපි මේවා හදාගන්න අවශ්‍යයි. ආර්ථික වර්ධන වේගය හදාගන්න අවශ්‍යයි. ශ්‍රම සහභාගිත්වය, පිරිවැය පිළිබිඹු වන ප්‍රතිපත්ති, විදුලි බිල ප්‍රතිපත්තිය මේ දේවල් හදාගන්න අවශ්‍යයි. ආර්ථිකය ණය ගෙවන්න හැකිවෙන ලෙස හැදුවාම 2042 වන විට සාමාන්‍යයෙන් වර්ෂයකට බිලියන 3ක් ගෙවිය යුතුයි. දැන් තියෙන ක්‍රමයට ගෙවීමට ගියොත් 6 ගානේ ගෙවන්න වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ තුන ගානේ ගෙවාගෙන යන්න පුළුවන්. මෙය ඩොලර් බිලියන 3 ගානේ ගෙවාගෙන යන ක්‍රමයට තමයි සකස් කරලා තියෙන්නේ. අවශ්‍ය විදිහට ණය ගන්න බැරි ආකාරයටයි අපි මේ ණය පාලන පනත් සකස් කරලා තියෙන්නේ. එහෙම ඕන වුණා කියලා ණය ගන්න බැහැ. රට ආර්ථිකයමය වශයෙන් ඉවරටම ඉවර නොවෙන්න මේ දේවල් කළේ. එහෙම වුණ රටවල් තියෙනවා. ඝානාව, ඇෆ්ගනිස්තානය, මැක්සිකෝව, රුසියාව වැනි රටවල් තිබුණා. මේ විදිහට තාම ගොඩ එන්න බැරි රටවල් තවමත් තියෙනවා. ණය තියන විදිහට ගෙවන්න ගියොත් අර්බුදයක් ඇති වෙනවා. අර්බුදයක් ඇති නොවෙන්න තමයි පනත් ගෙනල්ල අපනයන අභිමුඛ ආර්ථිකයක් ඇති කරලා තියෙන්නේ. මෙහිදි නිෂ්පාදනය වැඩි කරන්න අපි පියවර අරගෙන තියෙනවා. එතකොට තමයි නිෂ්පාදන වැඩි වෙන්නේ, ආයෝජන වැඩි වෙන්නේ. අපනයන සංවර්ධන මණ්ඩලය අහෝසි කරලා තියෙනවා. ආයෝජන මණ්ඩලය අහෝසි කරලා තියෙනවා. ඒ වෙනුවට එක් තැනකින් සහයෝගය ගන්න පුළුවන් ආයතන පහක් හදලා තියෙනවා. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න හදලා තියෙන ආයතන 4 නම් ශ්‍රී ලංකා ආර්ථික කොමිසම, ශ්‍රී ලංකා ආයෝජන කලාප සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාංශය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ශ්‍රීලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ආයතනයි. මෙසේ ආයතන සකස් කිරීමට හේතුව ගිය වර්ෂයේ සිංගප්පූරුවට ආව ඍජු විදෙස් ආයෝජන අමෙරිකානු ඩොලර් බිලියන 140යි. අසල්වැසි ඉන්දියාවට විදෙස් ආයෝජන ඩොලර් බිලියන 70 යි. වියට්නාමයට ඩොලර් බිලියන 28 යි. තායිලන්තයට ඩොලර් බිලියන 20යි. අපේ රටට 1යි. එතකොට මේ රටේ මැදි ආදායම් උගුලෙන් මිදෙන්න තල්ලුවක් අවශ්‍යයි. ඒනිසා තමයි වෙනම මේ වැඩපිළිවෙළ හදලා තියෙන්නේ. එනම් ශ්‍රී ලංකා ආයෝජන කලාප සහ ජාත්‍යන්තර සඳහා වූ කාර්යාලයක් වෙනම තියෙනවා. මේ ආයතනවල විදෙස් ආයෝජන ආවාම ඒ ආයතනවල ඉන්න විශේෂඥ ශ්‍රමය මේ ආයතනවලට ගේන්න තමයි මේ ආයතන හදලා තියෙන්නේ.

මේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් ද කියන කරුණේ දි ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන්, වෙනස් කරන්න ඕන නම්. බංග්ලාදේශයේ වෙනස් කළා වගේ වෙනස් කරන්න පුළුවන්. වෙනස් වීම් හැර ලෝකයේ ඕනම දෙයක් වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනස් කිරිමේ ප්‍රතිඵලයක් ලෙස ඒ ආණ්ඩුව පවතින්නේ සති දෙකක් පමණයි; වැඩිම වුණොත් මාසයයි. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න අවශ්‍යයි; කවුරු මොනවා කිව්වාත් දේශපාලනඥයන් විසින් නොවෙයි පොලී අනුපාතය තීරණය කරන්නේ කියන එක. මූල්‍ය අනුපාතය තීරණය කරන්නේ ජාතන්තර වෙළෙඳ රටාව සහ සංයුතියයි. මේ ලෝක සම්මතයට පරිබාහිරව ලෝකයේ කිසිදු දේකට එකඟ වෙන්නේ නැතුව වෙනස් කරන්න පුළුවන්. එසේ කළොත් රටත් ඉවරයි, අපිත් ඉවරයි, ජනතාවත් ඉවරයි.

ප්‍රතිපත්ති වෙනස් කරනවා කියලා කියන කාරණාවෙදී, ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියන කාරණවේදී ආර්ථික විද්‍යාඥයන් කියන අය සජබෙ හැසිරෙන්නේ සුරුට්ටු කඩයක්වත් කරලා නැහැ වගේ. වෙනත් ආණ්ඩුවක් ආවා කියලා එසේ වෙනස් කරන්න පුළුවන්ද? ලෝකයේ අනෙක් රටවල්වලට ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව ගැන විශ්වසනීයත්වක් ඇති කරගෙන තියෙනවා. එහි සැකයක් ඇතිවුවහොත් මේ සියල්ල විනාශ වෙනවා. එසේම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යටතේ සිදුවන්නේ ඉදිරියේදි අත්දැකිම්, හැකියාව, දක්ෂතා ඇති අයට තවත් ආයතන වෙනුවෙන් අනුගත වෙන්න පුළුවන් වීමයි. අද තියෙන සමහර රටවල්වල ආර්ථික උපාය මාර්ගික වෙනස්කම් ඇති කර ගැනීම සඳහා විශේෂඥතා තියෙන අය යොදා ගන්නවා. ඒ සඳහා අපිට දැනුම සහ අත්දැකීම් අඩුයි සමහර අංශවලට.

ඒ නිසා අපේ රටේ මහචාර්ය ආචාර්ය මූල්‍ය විශේෂඥයෝ කාටවත් රට ණය අර්බුදයෙන් බේරා ගැනීමට බැරි වුණා. ඒ නිසා අපි ප්‍රංශයෙ ලසාඩ් සමාගමට විශේෂ සමාගම්වල සහයෝගය ලබාගෙන තියෙනවා. අපිට එහෙම ගන්න වෙලා තියෙන්නේ විශේෂඥතා දැනුම අපිට නැති නිසා.

මනුෂ නානායක්කාර ඇමැතිවරයා ලෝකයටම ගිහිල්ලා නිල මාධ්‍යවලින් මුදල් එවන අයට වරප්‍රසාද දීලා විදේශ ප්‍රේෂණ වැඩි ප්‍රමාණයක් ලංකාවට ගෙන්වා ගත්තා. රටට ආදරය නැති අය ප්‍රසිද්ධියේ කියද්දි මුදල් එවන්න එපා කියලා, ඒ අය ඒ අවස්ථාවේ රට වෙනුවෙන් ඉදිරිපත් වුණා. ලෙඩුන් බෙහෙත් නැතුව මැරෙද්දි මුදල් එවන්න එපා කියලා කාටද කියන්න පුළුවන්. මේ ඇතැම් අය ඒ දේත් කළා. උදාහරණයක් ලෙස ඩොලර් මිලියන පන්සියයක් මාර්ග සංවර්ධන අධිකාරියට ලැබිලා තිබුණා ලෝක බැංකුවෙන්. තෙල් නැති වෙද්දි, ගෑස් නැති වෙද්දි මේ පන්සියෙන් අපි ඩොලර් මිලියන තුන්සියයක් ලබා දුන්නා. එහෙමයි රට අපි බේරා ගත්තේ. විශාල ලෙස අපි සංචාරක සමාගම් සමඟ සාකච්ජා කළා. ඒ අය අද ලංකාවට බය නැතිව එනවා. ඒ තත්ත්වයෙන් බේරා ගැනීමට මනුෂ නානායක්කාර ඇමැතිතුමා කටයුතු කළා. ඒ අය තමන්ගේ තනතුරු තානාන්තර පරිත්‍යාග කරපු අය කියලා මම දකින්නේ. රට වෙනුවෙන් නිවැරදි තීරණයක් ගැනීම ඉතා වැදගත්. දේශපාලඥයන් වශයෙන් ඒ අයගේ සේවය අපි අගය කරනවා. උසාවි තීන්දුවට අපි ගරු කරනවා.

වෙනත් පක්ෂවලට වෙනත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න පුළුවන්. මේ වෙනුවට 2025 අය වැය හදන විට රාජ්‍ය සේවක වැටුප කොපමණද, එසේම විශ්‍රාම වැටුපට අවශ්‍ය කොපමණක් ද, ණය පොලි සඳහා කොපමණ ද, සෞඛ්‍යයට කොතරම් ද ගිය වසරේ බදු ආදායම කොපමණද කියලා බදු නොවන ආදායම සොයා ගන්නේ කෙසේද කියලා අතිරික්තයක් ඇතිවෙන්නේ කොහොමද කියලා පෙන්විය හැකියි.

ඒක එහෙම කියන්න ඕන නිසා තමයි අපි මේක නීතියක් විදිහට හදලා පාර්ලිමේන්තුවට දාලා තියෙන්නේ. මේ දේවල් වෙනස් කරන්න බැහැ. ගෙවුම් ශේෂය හැම වර්ෂයේම අතිරික්තය පෙන්විය යුතුයි. කියනවා වගේ ලේසි නැහැ සංඛ්‍යා ලේඛන ඉලක්කම් වශයෙන් පෙන්විය යුතුයි. යනු‌ෙවන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division