Home » මහින්දගේ වාහනේ වජිර ගියේ කොහේද?

මහින්දගේ වාහනේ වජිර ගියේ කොහේද?

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

මෙවර ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකුම තරගවදින බව ප්‍රකාශ කිරීම නිසා දේශපාලන උණුසුම තවත් වැඩි වී තිබේ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක හා නාමල් රාජපක්ෂ එම ප්‍රධාන අපේක්ෂකයින්ය.

ජනපති රනිල් මැතිවරණ කාර්යාලයේ

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කොට සතියක් ඉක්ම ගොස් හමාරය. මැතිවරණ සටන ඇරඹී තිබෙන්නේ අපේක්ෂකයන් හතරදෙනෙකු මතය. ජනපති රනිල් ද ඒ අතර වන බැවින් ඔහු වැඩි කාලයක් ගත කරන්නේ දේශපාලන කාර්යාලයේය. විවිධ මන්ත්‍රීවරුන්, විවිධ කණ්ඩායම් මුණ ගැසෙමින් මැතිවරණ සැලසුම් සකස් කිරීමට ඔහු වැඩි කාලයක් ගත කරන්නේය.

ජනපති රනිල් ඉකුත් සති අන්තයේ ගත කළේ යාපනය, ත්‍රිකුණාමලය හා මඩකපුව දිස්ත්‍රික්කවල පැවැති රැස්වීම්වලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී මෙන්ම කාරක සභා සභාපති අංගජන් රාමනාදන්ගේ නිවසේ රැස්වීමක් සංවිධානය කර තිබූ අතර, ඊට ජනපති රනිල් ද එක්වූවේය. කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද ඊට එක්විය.

ජනපතිට උතුරෙන් ප්‍රතිචාර

උතුරේ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම විද්වතුන් හා තරුණ කණ්ඩායම් ද ජනපති හමුවූ පිරිස අතර වූහ. යාපනය රදගුරු, නල්ලූර් කෝවිලේ ප්‍රධාන පූජකතුමන් මෙන්ම නාගදීප විහාරාධිපති හිමියන් ඇතුළු සැවොම කීවේ එකම කතාවකි. එනම් “ඔබතුමා තමයි මේ රට බේර ගත්තේ. අපිට යුතුකමක් තියෙනවා ඔබතුමාට ආශිර්වාද කරන්න.“ යනුවෙනි.

මඩකලපුවට පැමිණි ජනපති රනිල් එහි නීතිඥ ප්‍රජාව මුණ ගැසුණු අතර එය සංවිධානය කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහිර් මවුලානා විසිනි. එස්. වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ තරුණ හමුවකට ද එක්වූ ජනපති රනිල් ඉන් පසුව ගියේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්කම් සංවිධානය කර තිබූ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ හමුවකටය.

මඩකලපුවෙන් ජනපතිට දැඩි ඉල්ලීමක්

මඩකලපුවට ගිය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකට දසතින් ඉල්ලීම් ලැබෙන්නට වූයේ ඔවුන්ට ද ජනපති රනිල් සමඟ සාකච්ඡා කරන්නට අවශ්‍ය බව කියමිනි. ඒ අනුව බැංකු නිලධාරීන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරී හමුවක් සංවිධානය කළ අතර එය ජනපති සහභාගී වූ සාර්ථක හමුවකි.

ත්‍රිකුණාමලය මහජන හමු කිහිපයක් සෙන්දිල් තොණ්ඩමන් විසින් සංවිධානය කර තිබුණි. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියන් අපවත්වූ බව ජනපති දැන ගත්තේ උතුරු නැඟෙනහිර සංචාරයේ නිතරව සිටින අවස්ථාවේදීය.

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ

ඉරිදා සවස යොදාගෙන තිබූ වැඩකටයුතු කිහිපයක් පෙරවරුවට ගෙන එදිනම සවස කොළඹ පැමිණීමට ජනපති රනිල් කටයුතු කළේ එය සිය පවුලේ විහාරස්ථානයක් වූ බැවිනි. ඉරිදා සවස ඇමැති බන්දුල ගුණවර්ධන ද විහාරස්ථානය වෙත ගියේ නාහිමිගේ දේහයට අවසන් ගෞරව දක්වන්නටය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඒ මොහොතේ විහාරස්ථානයට පැමිණි අතර ඔහු සෘජුව විමසා තිබුණේ අදාහන පූජෝත්සවයේදි විපක්ෂ නායකට කතාවක් තිබේද යන්නය.

ආදාහන පූජෝත්සවය කෙටි කළ යුතු බැවින් ගිහි කතා දෙකකට පමණක් සීමා කිරීමට ආදාහන කමිටුව කලින් සූදානම්ව සිටියද මෙම ඉල්ලීම නිසා තවත් කතාවක් වැඩි කිරීමට කමිටුවට සිදුවිය.

බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා තමන් ඉදිරිපිට වූ මේ කාරණය ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මැතිවරණ මෙහෙයුම් කමිටුවක දී ප්‍රසිද්ධියේම කීවේය. නාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති රනිල් ගියේ සඳුදා පෙරවරුවේය.

සවස ආදාහන පූජෝත්සවයේදි විපක්ෂ නායකවරයා මහා සංඝරත්නයෙන් අවසර ගනිද්දි හරියට කීවේ නැතැයි එ.ජා.ප නියෝජ්‍ය නායක රුවන්ට කීවේ ඒ අසල සිටි හිටපු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසාය. නාහිමිගේ අවසන් කටයුතු නිසා සවස යොදාගෙන තිබූ රැස්වීම් ගණනාවක් ජනපති රනිල් අවලංගු කර තිබුණි.

ජනපතිගේ මැතිවරණ මෙහෙයුම

ජනපති රනිල් සඳුදා අඟහරුවාදා මෙන්ම බදාදා දිනයේත් වැඩි ඉඩක් වෙන් කර තිබුණේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වෙනුවෙනි. ඒ වෙනුවෙන් නොයෙක් රැස්වීම් පැවැතුනේ මල් පාරේ ජනපති රනිල්ගේ දේශපාලන කාර්යාලයේය. ඡන්ද ලකුණ, වර්ණයන් ගැන මෙන්ම මහජන රැලි ගැන නොයෙක් කතා බහ ඇදී ගියේය.

එසේම ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයට තරග කරන සන්ධානයේ නම සහ ලකුණ ගැන ද මෙම සාකච්ඡාවල මාතෘකාවක් වී තිබිණ. බ්‍රහස්පතින්දා දහවල් ජනපති රනිල් කාර්යාලයට පැමිණෙද්දී මැති ඇමැතිවරු රැසක් එහි පැමිණ සිටියෝය.

ජනපතිගේ කතාව ගැන වජිර කීව්වේ මොනවාද?

“ජනාධිපතිතුමා රටත් ජනතාවත් ගැන කතා කරද්දී අනෙක් අපේක්ෂකයෝ කතා කරන්නේ තමන් ගැන.“ මන්ත්‍රී වජිර කතාව ආරම්භ කළේය.

“මේ අපේක්ෂකයන් අතරින් ලංකාවේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා අධ්‍යාපනය ලබපු අපේක්ෂකයෝ දෙන්නයි ඉන්නේ. අනෙක් දෙන්නා ජනාධිපති පුත්තු හැටියට එන්නේ. එයාලා කොයි රටේ ඉගෙන ගත්තද කියලා කියන්න කවුරුත් දන්නේ නෑ.“ ඇමැති මනූෂ කීවේ සිනහ සෙමිනි.

ප්‍රේමදාස ජනාධිපතිතුමා දෝෂාභියෝගයෙන් බේරගන්නේ කවුද?

“පුත්තු දෙන්නගෙන් එක්කෙනක් තාත්තා පෙන්නනවා කියන එක ඇත්ත. අනෙක් කෙනාගේ තාත්තව දෝෂාභියෝගයෙන් බේර ගත්තේ මම.“ ජනපති රනිල් කීවේ ඇඟට පතට නොදැනීය.

“එතකොට ජනාධිපතිතුමා ලංකාවේ විශ්වවිද්‍යාලයට ගිය අනෙක් කෙනා.“ මන්ත්‍රී දොළවත්ත විමසීය.

“මම තඹුත්තේගමට මධ්‍ය මහා විද්‍යාලයක් හදලා දුන්න නිසා එයාට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණා.“ ජනපති කියූ ආකාරයට එහි සිටියවුන්ට සිනහව නතර කරගත නොහැකි වූහ.

“සජබ සන්ධානගත වූ මන්ත්‍රීවරු සියලු දෙනාම එතන හිටපු අයමනේ. දයාසිරිත් කාලයක් සජිත් එක්ක ඉඳලනේ ශ්‍රී ලංකා එකට හේත්තු වුණේ. දෙමළ මුස්ලිම් පක්ෂ කියන්නේම සජබෙන් පාර්ලිමේන්තු ආපු අය. අපේ කට්ටිය නම් හේත්තු වුනේ අරගලයෙන් පස්සේ. ඉතින් මේක හරියට සජිත් ජලනිව ආයෙත් විවාහ කරගත්තා වගේ වැඩක්.“ ප්‍රසන්න රණතුංග කිවේ පිරිස සිනා සයුරක ගිල්වමිනි.

“සෙනඟ නෑ පුටු හිස්. සජිවී විකාශයේදි මේක හොඳටම පෙනුණා. සජිත් මාධ්‍ය සංදර්ශනයක් කරන බව නම් මේකෙන් පැහැදිලි වෙනවා.“ ඇමැති මනූෂ යළි කතාවට එකතු විය.

රට බංග්ලාදේශයක් නොකළේ ජනාධිපතිතුමායි

“බංගලාදේශයේ මන්ත්‍රීවරු මරලා පාලම්වල එල්ලනවා. පාරවල්වල තරුණයෝ නඩු අහනවා. ලංකාවෙත් මෙහෙම තත්ත්වයක් ඇතිවීම තමයි ජනාධිපතිතුමා රටේ වාසනාවට මේක අරන් නතර කළේ.“ මන්ත්‍රී සහන් ප්‍රදීප් කීවේ නළල රැලි ගන්වමිනි.

“බංග්ලාදේශයේ විපක්ෂයත් මේක භාර ගන්න ආවේ නෑ. ලංකාවේ අනුර – සජිත් දිවුවා වගේ එහේ අයත් හැංගිලා ඉන්න බව නම් ආරංචියි.“ කෝකිලා මන්ත්‍රීවරිය ද කීවාය.

හර්ෂගේ ප්‍රකාශය

පාර්ලිමේන්තුවේදි හර්ෂ මන්ත්‍රීවරයා IMF ගිවිසුම සංශෝධනය කරන බවට කළ ප්‍රකාශය ද මෙහිදි ඇදී ආවේය.

“තානාපති කාර්යාල මේ ප්‍රකාශය නිසා කලබල වෙලා තියෙනවා. ඒ අය අපට කීවේ නම් IMF එක එහෙම ගිවිසුම් සංශෝධනය කරලා නැති බවයි. ගිවිසුමක් ඒක පාර්ශ්විකව සංශෝධනය කරනවා කියන්නේම ගිවිසුම අහෝසි වෙනවා කියන කාරණයයි. IMF එක ගිවිසුමෙන් ඉවත් වුණොත් යළිත් ආර්ථිකය කඩා වැටෙනවා. මොකද රට තාමත් හොඳ තත්ත්වයක නොවෙයි තියෙන්නේ.“ මහාචාර්ය ආශු කීවේ බැරෑරුම්වය.

“IMF නිසා තමයි ජපන් ව්‍යාපෘති ටික එන්නේ. “ දොළවත්ත ද හඩ අවදි කළේය.

“සජිත් ළඟට ගිය කට්ටිය කොන්දේසි දාලා තමයි ගිහින් තියෙන්නේ. මේ අය එක්ක ජනාධිපතිතුමා රහසින් ගනුදෙනු කරන බව ප්‍රසිද්ධ කතාවක්නේ. ජනාධිපතිතුමාට ෂූවර් නැත්නම් මේ ඡන්දේ කවදාවත් තියන්නේ නෑ. ජනාධිපතිතුමා වෙලාවට මේ අය ඇදලා ගනීවි කියලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතා වුණා. එතන රිෂාඩ් ඇමැතිතුමත් හිටියා. ලොක්කා නිෂ්ශබ්දව ගේමක් ගහනවා කියලා තමයි අපේ අය කතා වෙන්නේ.“ ඇමැති ශෙහාන් සේමසිංහ කියද්දී සැවොම හිස සැලූහ.

නිෂ්ශබ්දව ගේම ගහන්නේ කවුද?

මේ කතා අසා සිටි ජනපති රනිල් සිනහා වූවා මිස කිසිවක් කියන්නට හදිසි වූවේ නැත.

මේ අතර ජනාධිපතිවරණ මාධ්‍ය උපමාන සැකසීමේ කටයුතු මෙන්ම මාධ්‍ය ස්වාධීනව හැසිරෙන්නේ ද යන්න ගැන සොයා බලා වාර්තා කිරීමේ වගකීම මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් විසින් පවරා තිබුණේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නටය. මේ බව ඔහු ජනපතිට මෙන්ම ජනපති ලේකම් සමන් ඒකනායකට ද දන්වා තිබුණි.

රාජකාරිය නිසි ලෙස කරන්නැයි කී ජනපති රනිල් අපෙනුත් පැමිණිලි ලැබෙතැයි විහිළුවක් ද කළේය. බ්‍රහස්පතින්දා සවස ජනපති සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණියේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ කිරීමට අවසර ලබාගැනීමටය. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමටත් එම ස්වාධීන අපේක්ෂකයාට සහාය දීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමැතිය දුන්නේය.

සති අන්තයේ මහනුවර හා නුවරඑළිය බලා ජනපති පිටත්ව ගියේ යොදාගත් වැඩකටයුතු කිහිපයක් වෙනුවෙනි.

මුරුත්තෙට්ටුවේ හිමියන් මහින්දගෙන් කළ ඉල්ලීම

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ පුජ්‍ය ගල්බොඩ ඥානිස්සර හිමියන්ගේ අවමඟුල් උත්සවය සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වුහ.

මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද විවිධ ස්ථානවල යම් යම් කතාබස් සිදුකෙරිණි.

ගංගාරාමයේ සිට නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හැව්ලොක් සිටි විහාරාධිපති අතපත්තු කන්දේ ආනන්ද හිමි, ගැටමාන්නේ ගුණානන්ද හිමි විජේරාම මාවතේ පිහිටි නිල නිවසට ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී දීර්ඝ වේලාවක් කතාබස් කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය ලබා දිය යුතු බව උන්වහන්සේලා මෙහිදී ප්‍රකාශ කොට ඇති බව ද වාර්තා වේ. මේ අවස්ථාවට බැසිල් රාජපක්ෂද සහභාගි විය. ඉන්පසු උන්වහන්සේලා පසුදින ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද හමු වී සාකච්ඡා පවත්වා තිබිණි.

මහින්දගෙන් වජිරට ආරාධනාවක්

ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව යෑමට සූදානම් වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අසල සිටි තවත් දේශපාලන නායකයෙකුට ආරාධනයක් කළේය.

ඒ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටය.

“වජිර, එන්න මගේ වාහනේට නඟින්න. අපේ ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් කතා කරමු” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කීවේය.

එම ආරාධනාව පිළිගත් වජිර අබේවර්ධන, මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සමඟ මෝටර් රථයට ගොඩ විය. පිටුපස අසුනේ හරි බරි ගැහී අසුන්ගත් දෙදෙනාම බරපතළ දේශපාලන කතාබහකට මුල පිරුවේය.

විජේරාම මාවතේ පිහිටි නිල නිවසට ගොස් දෙදෙනාම සිදුකළ කතාබහ එම දෙදෙනාටම සීමාවීම ද විශේෂත්වයකි.

ප්‍රසන්න, ගම්පහ බරටම වැඩ

පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් බල මණ්ඩලය ඉකුත් ඉරිදා පැවැත්වුණේ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. එය ගම්පහ උඩුගම්පළ පැවැත්විණ.

මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන 13 දෙනාගෙන් 9 දෙනෙකු සහභාගි විය.

ඇමැති ප්‍රසන්න කැඳවූ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට ආරාධානා ලැබ තිබුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් පමණි. නමුත් ඔවුන් රැස්වීමට සහභාගි වූයේ ආධාරකරුන් සමඟ පෙළපාළියෙනි.

“මට හරියටම මන්ත්‍රීවරුන් ටික කවුන්ට් කරගන්න ඕන. ඒ නිසා ඔයාල මට සමාවෙන්න” රැස්වීමෙන් අනතුරුව ඇමැති ප්‍රසන්න ආධාරකරුන් අසලට ගොස් කීවේය.

“ඒකට කමක් නෑ ඇමැතිතුමා. හැබැයි අපිටත් රැස්වීමක් ඕන. ” ආධාරකරුවන් කීය.

“අනිවාර්යයෙන්ම.. මට මේ දවස් දෙක තුන දෙන්න. ඊට පස්සෙ අපි හමුවෙමු” ඇමැතිවරයා පැවසීය.

ඇමැති ප්‍රසන්න මහින්ද සුළඟ ගැන කතා කරයි

“මහින්ද පරදින කොට මහින්දට ආවඩපු මිනිස්සු ගියා. නමුත් මම හිටියා. මහින්ද සුළඟ රට වටේ ගෙනියනකොට මම තමයි රැස්වීම් සංවිධානය කළේ. නමුත් මම හිටියේ හැමදාම පිටිපස්සේ. මේ පළාත් පාලන මන්ත්‍රීවරුන් තමයි මාව නායකයෙක් බවට පත් කළේ.

අගමැතිකම මට දෙන්නත් යෝජනා වුණා. මම ගත්තේ නෑ. අපි දැනගන්න ඕන ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න.”

ඇමැති ප්‍රසන්න කීවේ හිටපු පළාත් පාලන නියෝජිතයන්ගේ අත්පොළසන් නාදය මැදය.

ජනපති සහයට මන්ත්‍රීවරුන් 102ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේ වනවිට 102 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතරට පසුගිය බ්‍රහස්පතින්දා ඇමැතිනී පවිත්‍රාද විය. ඇය බ්‍රහස්පතින්දා වනතුරු සිටියේ වැට උඩය. නමුත් බදාදා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමත් සමඟ පවිත්‍රාගේ ගමන ඉක්මන් විය.

ඇය විජේරාම නිවසට ගොස් හිටපු ජනාධිපතිවරයාට වැඳ තම තීරණය දැනුම් දුන්නේය.

“ඔයාට හොඳයි කියල හිතෙන තීරණයක් ගන්න. මගෙන් ඒකට බාධාවක් නෑ.” හිටපු ජනාධිපතිවරයා කියා තිබුණි.

හර්ෂගේ කතාවට බන්දුලගෙන් රත්වෙන පිළිතුරක්

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය 07 වැනිදා උද්වේගකර අන්දමින් පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාව දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් දැඩි අවධානයට ලක් වී ඇති බව වාර්තා වේ.

තම රජයක් යටතේ IMF ගිවිසුම වෙනස් කරනවාමයි යනුවෙන් හර්ෂ ඉතා දැඩිව ප්‍රකාශ කළේය.

ඊට අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැක්වූ ප්‍රතිචාරයකින් කියවුණේ රටම රත්වෙන කතාවකි.

“දැනට ක්‍රියාත්මක වෙමින් පවතින IMF වැඩසටහන වෙනස් කළහොත් ලබන අවුරුද්දට (2025) අයවැයක් හදන්න වෙන්නේ නැහැ. සජබ න්‍යාය මේක නම් දේශපාලනය විතරයි කරන්න පුළුවන්. කවදාවත් ආණ්ඩුවක් කරන්න නම් බෑ” යනුවෙන් බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා විසින් කරුණු සහිතව පෙන්වා දී තිබුණි.

බංග­්ලාදේශයේ ගින්න ගැන අජිත් රාජපක්ෂගේ අනාවැකි

මේ අතර හර්ෂ ද සිල්වාගේ IMF කතාව ගැන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ කතාබහක් සිදුවුණේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාපක්ෂගේ ප්‍රධානත්වයෙනි.

“දැන් මේ යන IMF ගමන වෙනස් කළොත් ආපහු රටේ අරගලයක් ඇති වෙන්න පුළුවන්. බලන්න බංගලිදේශයට වෙච්ච දේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20ක්ම මරල දාලා. අද ඒ රට අරාජික වෙලා. අරගල කරපු විශ්වවිද්‍යාල සිසුන් ළඟත් විසඳුම් නැහැ. 2022 මැයි 09 වැනිදාත් බංග්ලිදේශයේ වුණු දේ තමයි අපේ රටේත් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැදිහත් වෙලා ඒ තත්ත්වය නැති කළා. අපේ මැරුණේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා විතරයි.” යනුවෙන් අජිත් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.

ධම්මික බිලි බෝයි කරන්න ගියාද?

නව සන්ධානයේ මැති ඇමැතිවරුන් පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේදී රැස්වුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු හමුවීම් සදහාය.

එම කටයුතු අවසන් වීමෙන් පසු ඔවුන් සුහද කතාබහක නිරත වුණේ කළු කෝපි කෝප්පයක රස බලමිණි.

” අනේ අප්පා කොහොම තිබ්බ පක්ෂක්ද අද ජනාධිපති අපේක්ෂකයෙක් හිඟා කන තැනට පත්වුණා” චාමර සම්පත් කතාවට මුල පුරමින් කීවේය.

” ධම්මික අපේක්ෂකයා කරලා නාමල් ඒ පිටින් ඇවිත් විපක්ෂ නායකකම ගන්න හැදුවේ. ධම්මික බිලි බෝයි කරන්න යනව කියල පොරට තේරිල අන්තිම මොහොතේ අයින් වුණා” පියංකර කීවේ මුහුණ රැලි ගන්වමිනි.

“දැන් මේ ගොල්ලෝ කියනව ජනාධිපතිතුමා පක්ෂය කැඩුවලු”නලින් ප්‍රනාන්දු කීවේ පිරිස දෙස බලමිණි.

පොහොට්ටුව කැඩුවේ කවුද? කියා ලාන්සා හෙළි කරයි

” ජනාධිපතිතුමාට කඩන්න පක්ෂක් තිබුණේ නෑනේ. පක්ෂය කැඩුවේ ජනාධිපතිතුමා නෙමෙයි. අද ඊයේ පාර්ලිමේන්තු ඇවිත් කෑ ගහන නොදරුවෝ සෙට් එක ” නිමල් ලන්සා පැහැදිලි කළේ කෝපි කෝප්පයක රස බලමිණි.

” ඔව් ඒක නම් ඇත්ත .හරියටම හරි. අපේ බදුල්ලෙන් ආව එකෙක් ඉන්නෙ ඌ තරම් කයිවාරුකාරයෙක් වෙන කොහෙවත් නෑ. පොර කතාකරන්නෙ මේ පක්ෂය හැදුවා වගේ” චාමර කීවේ උස් හඬිනි

” අද පොහොට්ටුවට ශාඛා සමිතියක් හදාගන්න බැරි තත්වයක් ඇවිල්ල” සුසිල් කීවේය

” ඔව් අද ඔය කෑ ගහගෙන ඉන්න ඔක්කොම තව ටික දවසකින් ඉන්නෙ මේ පැත්තේ” දුමින්ද දිසානායක කීවේය

වජිර මල්පාරේ මහ රෑත් වැඩ

ජනාධිපති මැතිවරණ සමය ආරම්භ වී තිබීම නිසාම එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනට පසුගිය සතියත් ඉතාමත් කාර්ය බහුල සතියක් විය.

විශේෂයෙන්ම කොළඹ 07 මල්පාරේ පිහිටි ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් සමඟ විටින් විට පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡා මෙම කාර්ය බහුලත්වයට හේතුවයි.

සෑම දිනයකම උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා විවිධ වේලාවන්වලදී මෙම රැස්වීම් පැවැත්වෙන අතර ජනාධිපතිතුමා සහභාගිවන රැස්වීම් හැරුණු කොට අනිත් සියලු රැස්වීම්වල මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ වජිර විසිනි.

ධම්මික පසුබෑමෙන් පසු ඇරයුම දිනේෂ්ට… ඊළඟට නාමල්ට

ධම්මික පෙරේරා විසින් පක්ෂ නායකත්වයට දැනුම් දී තිබුණේ පෞද්ගලික හේතුවක් මත තමා ජනාධිපතිවරයණයට ඉදිරිපත් වන්නේ නැති බවකි. පොහොට්ටුවේ නායකයෝ ඉන් තරමක් කලබලයට පත් වූහ. එහිදී අගමැති දිනේෂ්ව පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය සඳහා කතා කළ යුතු බවට යෝජනා විය. (ඒ සඳහා කතා කළ විට දිනේෂ් කීවේ තමන් හා මහජන එක්සත් පෙරමුණ ජනපති රනිල්ට සහාය දක්වන්නට තීරණය කර ඇති නිසා පොහොට්ටුවේ ආරාධනය බාර ගත නොහැකි බවය.

ඊළඟට මේ අය හැරුණේ නාමල් දෙසටය. කෙසේ වෙතත් ඒ දැනුම් දීම සිදුවන විට නාමල් සිටියේ අනුරාධපුරයේය. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි මහා සෑය වැඳපුදා ගත් නාමල් නිතර වන්දනා කිරීම පුරුද්දක් ලෙස ගියේ කටු සෑයටයි. “වෙලාව මදි නේද? අපි ඔහොමම කොළඹට යමු“ මෙසේ කීවේ නාමල්ය. “හරි එහෙනම් කොළඹ යන්න පිටත් වෙමු“ තේනුක විදානගමගේ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. මොවුන් මෙහෙම ටික දුරක් ගමන් කරද්දී නැවත නාමල් කීවේ “ආපහු හරවගමු. අපි කටුසෑයට යමු“ කියාය. මේ අතර නෙළුම් මාවතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු ගාමිණී ලොකුගේ සාගර කාරියවසම් ඇතුළු පිරිසක් ජනාධිපතිවරණ අපේක්ෂකයාට තෝරා ගන්නේ කවුරුන්ද කියන ගැටලුවට පිළිතුරු සොයමින් සිටියහ. විවිධ පුද්ගලයින්ගෙ නම් යෝජනා වුවත් අවසානයේදී නාමල් රාජපක්ෂව ඉදිරිපත් කිරීමට යෝජනා විය. “ අපි නාමල්ගෙන් අහලා බලමු“ මෙසේ කීවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාය. “හරි ඉන්න මම ගන්නම්“ බැසිල් නාමල්ට දුරකතනයෙන් විස්තරය කීවේය. “නාමල් ධම්මික එන්න බෑ කියල ලියුමක් එවලා තියෙනවා. ඔයාට ජනාධිපති අපේක්ෂකයා වෙන්න පුළුවන්ද“ බැසිල් ඇසීය නැවත මහින්ද රාජපක්ෂද එම ප්‍රශ්නයම නාමල්ට යොමු කළේය. “ඔව් මම ඕනෙම අභියෝගයක් භාර ගන ලෑස්තියි, පක්ෂය වෙනුවෙන්“ නාමල් ස්ථිර හඩින් පැවසීය. මෙසේ නාමල්ට දුරකතන අමතුම ආවේ හරියටම මිහින්තලය කටුසෑය වන්දනා කර එළියට පැමිණෙන විටදී වීම විශේෂත්වයකි.

ජ වි පෙ නාමල්ට කලබල වෙලාද?

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය සමිති හරහා එක්තරා පණිවිඩයක් සමාජගත කිරීමේ උත්සාහයක නිරත වී සිටී.

“ අනෙක් අපේක්ෂකයින් කවුරුවත් එක්ක අපිට දැන් තරඟයක් නැහැ. තරඟ තියෙන්නේ නාමල් එක්ක විතරයි. ඒ නිසා ඒක ඔළුවේ තියාගෙන වැඩ කරමු“ යන පණිවිඩය තැනින් තැන සන්නිවේදනය කරමින් සිටියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division