රශ්මිකා මන්දනා මේ වනවිට ඉන්දියානු නිළියන් අතරින් ලංකාවේ සිනමාලෝලීන් ගේ විශාල ආදරයක් දිනා සිටින නිළියක්. ඇය වැඩිපුරම දැකිය හැකි වන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටවල යි. නමුත් හින්දි චිත්‍රපටවල ද ඇය දැන් බොහෝ විට දැක ගන්නට ලැබෙනවා.
රශ්මිකා රඟ පෑ චිත්‍රපට කිහිපයක්ම පසුගිය කාලයේ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. සීතා රාමම්, වරිසු, මිෂන් මජ්නු, ඇනිමල් වැනි චිත්‍රපට මෙහි දී සඳහන් කළ හැකියි. රන්බීර් කපූර් සමඟ මන්දනා රඟ පෑ ‘ඇනිමල්’ චිත්‍රපටයෙන් පසු ඇය රඟ පෑ සිනමාපටයක් දැක ගන්නට ඇයගේ රසික රසිකාවියන්ට හැකි වුණේ නැහැ. මේ වසරේ මුලින්ම තිරගත වීමට නියමිතව තිබූ ඇයගේ චිත්‍රපටය වූයේ Pushpa: The Rule චිත්‍රපටය යි. එය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතව තිබුණේ අගෝස්තු 15 වැනි දින යි. නමුත් පසුගිය දිනවල වාර්තා වූයේ මෙම චිත්‍රපටය තිරගත කරන දිනය කල් දමා ඇති බව යි. දැන් එය තිරගත වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 6 වැනි දින සිට බවයි වාර්තා වන්නේ.
Pushpa: The Rule චිත්‍රපටය 2021 වසරේ තිරගත වූ Pushpa: The Rise චිත්‍රපටයේ දෙවැනි කොටස යි. අල්ලු අර්ජුන් සහ මන්දනා රඟ පෑ Pushpa: The Rise අතිශයින් ජනප්‍රිය වූ නිසා එහි දෙවැනි කොටස තිරගත වන තුරු ප්‍රේක්ෂකයන් මහත් ආසාවෙන් බලා සිටින බව පෙනෙනවා. Pushpa: The Rule චිත්‍රපටයේ මන්දනා රඟපාන්නේ පුෂ්ප (අල්ලු අර්ජුන්) ගේ බිරිඳ වන ශ්‍රී වල්ලිගේ චරිතය යි. මෙම චිත්‍රපටවලට පසුබිම් වන්නේ නීති විරෝධී ලෙස රත් හඳුන් දැව ජාවාරමක් කරන අමුතුම ජාතියේ පුද්ගලයකු ගැන කතාවක්.
මේ වනවිට 28 වැනි වියෙහි පසුවන රශ්මිකා සිනමාවට පිවිසුණේ 2016 වසරේ යි. ඇයගේ පළමු චිත්‍රපටය වූයේ ‘කිරික් පාටි’ නැමැති චිත්‍රපටය යි.
අද වනවිට ඉතා සාර්ථක නිළියක ලෙස වැජඹුණත් මන්දනා ඇගේ ජීවිතයේ මුල් කාලයේ බොහෝ දුක් ගැහැට විඳි කෙනෙක් බවයි සඳහන් වන්නේ. 1996 අප්‍රේල් 5 වැනි දින ඇය උපත ලැබුවේ දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ විරාජ්පෙත් නැමැති නගරයේ යි. අද වනවිට ඇයගේ මව්පියන් යහපත් ආර්ථික මට්ටමක සිටියත් රශ්මිකා කුඩා කාලයේ ඔවුන් බොහෝ අඟහිඟකම්වලට මුහුණ දී සිටි බව පැවසෙනවා. ගෙවල් කුලී ගෙවීමට පවා අපහසු තත්ත්වයක ඔවුන් සිටි බව සඳහන්. රශ්මිකාට නැඟණියක ද සිටිනවා. ඔවුන්ට කුඩා කාලයේ සෙල්ලම් කිරීමට සෙල්ලම් බඩු නොතිබුණු බව පැවසෙනවා.
පාසල් කාලයේ තමා තරමක් අමුතු ගති තිබූ කෙනෙකු බවත් රශ්මිකා පවසා තිබුණා. ඇයට වෙනත් අය ඇසුරු කිරීමේ යම් අපහසුතාවක් තිබුණාලු! මේ නිසා බොහෝ දෙනා තමා ගැන වරදවා සිතූ බවත් ඇය පවසනවා. කෙසේ නමුත් තම පෞරුෂය සම්බන්ධයෙන් පැවැති මෙවැනි ගැටලු මග හරවාගෙන ජීවිතය ජය ගන්නට අද රශ්මිකා සමත්ව සිටිනවා. තමාගේ ජීවිතයට විශාල ශක්තියක් වූයේ තම මව බවයි ඇය පවසන්නේ. පාසල් අධ්‍යාපනයෙන් පසු රශ්මිකා උපාධියක් සඳහා මනෝ විද්‍යාව, ජනමාධ්‍යවේදය, ඉංග්‍රිසි සාහිත්‍යය වැනි විෂයයන් ද හදාරා තිබුණා.
මේ කාලයේ ඇය එතරම් ආකර්ෂණීය චරිතයක් නොවුණු නිසා ඇය රංගන ක්ෂේත්රයට පිවිසෙනවාට රශ්මිකාගේ මව්පියන් තුළ වැඩි කැමැත්තක් තිබී නැහැ. නමුත් පසුව ඔවුන් ඇයට ඒ සඳහා ඉඩ දී තිබුණා.
රශ්මිකාට ඇයගේ සිහිනය සැබෑ කරගන්නට අවස්ථාව විවර වී තිබුණේ පුවත්පතක් මඟින් පවත්වන ලද ‘නැවුම් මුහුණු’ තරගයක් නිසා යි. මෙම තරගයෙන් ජයගන්නට ඇය සමත් වූ අතර ඇයට හිමි ත්‍යාගය ප්රදානය කර තිබුණේ සුපිරි නළු ආක්ෂේ කුමාර්ය. මේ ජයග්‍රහණය නිසා රශ්මිකාට නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීමට අවස්ථාව විවර වී තිබුණා. ඒ ඔස්සේ තමයි පසුව ඇය සිනමා රංගනයට එක් වුණේ.
ඇයගේ පළමු චිත්‍රපටය වූ ‘කිරික් පාටි’ චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කළේ රක්ෂිත් ෂෙට්ටි. චිත්‍රපටයේ රඟපාන කාලයේ මේ දෙදෙනා අතර ආදර සම්බන්ධයකුත් ඇති වුණා. ඔවුන් විවාහ ගිවිසගෙන සිටි බවත් පැවසෙනවා. නමුත් පසුව රශ්මිකා සහ රක්ෂිත් තම සම්බන්ධය නතර කර තිබුණේ තමුන් අතර නොගැළපීම් ඇති බව තේරුම් ගැනීමෙන් පසුව යි.
දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නළුවකු වන විජේ දෙවරකොන්දා සමඟ ඇයගේ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට දැන් කාලයක සිටම කටකතා පැතිරෙනවා. නමුත් ඒ දෙදෙනාම පවසන්නේ තමුන් අතර එවැනි සම්බන්ධයක් නැති බව යි. කෙසේ නමුත් විජේ පිළිබඳ තමා තුළ විශාල ගෞරවයක් පවතින බව රශ්මිකා පවසනවා. ජීවිතයේ බොහෝ වැදගත් තීරණ ගැනීමේ දී ඔහුගේ උපදෙස් සහ අදහස් තමාට බෙහෙවින් උපකාරී වන බවත් ඇය සඳහන් කරනවා.
මොවුන්ගේ රසික රසිකාවියන් බොහෝ දෙනෙකු සිතන්නේ මේ දෙදෙනා ප්‍රසිද්ධියේ නොකීවත් ඔවුන් අතර ආදර සම්බන්ධයක් පවතින බව යි.