– උළෙල කොටස් 5කින් සමන්විතයි. දේශීය සහ විදේශීය නාට්‍යයකරුවන් දෙදෙනෙකුට අභිනන්දනය සිදු කෙරෙනවා
– විනිශ්චයකරුවන් 90%ක් ලංකාවේ ප්‍රවීණයන්
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ යනු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම ජාත්‍යන්තර රංග කලා උලෙළයි. 2012 වසරේ ඇරඹි කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මේ වන විට දසවැනි සංවත්සරය සැමරීමට එම්. සෆීර් සූදානම් වෙනවා. රසඳුන මේ කෙටි කතාබහ කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලේ දශකාභිෂේකය ගැන
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළට මේ වෙද්දී තියෙන සූදානම කොහොමද?
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මේ පැවැත්වෙන්නේ 10 වෙනි වතාවට. නමුත් කාලය වශයෙන් ගත්තොත් මේ කරන්නේ 13 වෙනි අවුරුද්ද. 20/22/23 වසරවල අපිට උලෙළ කරන්න බැරි වුණු හින්දා. මේ උලෙළ 24 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. සුපුරුදු විදියට උලෙළ කොටස් 5කින් සමන්විතයි. දේශීය සහ විදේශීය නාට්‍යකරුවන් දෙදෙනෙකුට අභිනන්දනය සිදු කිරීම. ඒ එක්කම දිගු නාට්‍යය 11ක් සහ කෙටි නාට්‍යය 5ක් ඇතුළත් නාට්‍යය දර්ශන තියෙනවා දකුණු ආසියානු සහ ජාත්‍යනතර කියන අංශ දෙකෙන් සමන්විතව. අපේ ජාත්‍යන්තර නාට්‍යකරුවන් මෙහෙයවන වැඩමුළු මාලාවක්. ඊට අමතරව තියෙන්නේ ජාත්‍යන්තර නාට්‍යය අධ්යක්ෂවරුන් සහභාගී වෙන අධ්‍යක්ෂවරුන්ගේ නාට්‍යය සම්මේලනය. අවසාන එක තමයි 30 වැනිදා පැවැත්වෙන ජාත්‍යන්තර සම්මාන රාත්‍රිය. මේක තමයි ලංකාවෙන් ලෝකයට දෙන පළවෙනි ජාත්‍යන්තර සම්මානය. මෙය පටන් ගත්තේ ගිය අවුරුද්දේ. ඒක අපි හරි ආඩම්බරයෙන් සමරන්නේ. නාට්‍යය කලාව ඇතුළේ මෙතෙක් කල් අපි කතා කළේ දේශීය සම්මාන ගැන විතරයි.
වසර 13ක් තිස්සේ නාට්‍යය උලෙළවල් 10ක් පවත්වනවා කියන එකම ලෙහෙසි පහසු නැහැ, අතහැරලා යන්න ඕනේ තරම් කරුණු තියෙද්දී අත්නොහැර මේ ගමන යන කෙනෙක් ඔබ. කොහොමද මේ ආපු ගමන් මඟ?
ඇත්තටම වසර විදියට ගත්තොත් වසර 13ක්. මේ වසර 13 දිහා ආපසු හැරිලා බලද්දී සරලව කියන්න බැහැ අපි ආවේ රෝස මල් අතුරපු පාරක් දිගේ කියලා. මහා ගිරි දුර්ග වන ලැහැබ පසු කරගෙන තවමත් අපි ඒ ගිරි දුර්ගවල තමයි යන්නේ. ජාත්‍යන්තර නාට්‍යය උලෙළක් කියන එක වෙන රටවලට ගොඩක් වැදගත් දෙයක් වුණාට, අපේ රටට එහෙම ලොකු වැදගත් දෙයක් හැටියට මට තවම දැනෙන්නේ නැහැ. කොහොම නමුත් අපිට තියෙනවා සමගාමී නාට්‍යය උලෙළක් ඉන්දියාවේ. ඇසෑම්වල බොලොන්ගු බුතෘර් ජාත්‍යන්තර නාට්‍යය උලෙළ අපිත් එක්ක ඒක්ව අපේ උළෙලට සමගාමිව අපේ උලෙළ ඉවර වෙද්දීම සැප්. 3 ඉඳන් 6 වෙනිදා වෙනකම් නාට්‍යය උලෙළ පවත්වනවා කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ යටතේ. ඒකට ලංකාවෙන් නාට්‍යය නිර්මාණ හතරක් සහභාගී වෙනවා. එම උලෙළ ආරම්භ වෙන්නේ මම විසින් පසුගිය මැයි මාසයේ අධ්‍යක්ෂණය කළ ජාත්‍යන්තර නිෂ්පාදනයක් වුණු ආදර ඔන්චිල්ලා නාට්‍යය තුළින්. ඊට පස්සේ පසුගිය වසරේ අපේ නාට්‍යය උලෙළේ දී දකුණු ආසියානු අංශයෙන් ජයග්‍රහණය කරපු සමිත සුධීශ්වරගේ ‘The Inviction’. නිර්මාණි ප්‍රනාන්දුගේ Equal Feelings නාට්‍යය සහ මේ අවුරුද්දේ අලුතින්ම අවස්ථාව ලබා දුන්නු පීටර් බොතේජු පියතුමාගේ කෙටි නාට්‍යයකුත් රඟදක්වනවා.
මෙවර රටවල් කීයක නාට්‍යය කණ්ඩායම් එනවද?
මෙවර රටවල් දහයක නාට්‍යය දහසයක් ලංකාවට එනවා. ඒ රුමේනියාවේ – නිජෙන්ස්කි, ඉතාලියේ – අ ස්ටෝරි ෆෝ ඉයුරිඩයිස්, ඉරානයේ – අලා, ඉන්දියාවේ – ගිගොලෝ, මෙරා මුනියා, ෆෝගොටන් ස්ටෝරි, සල්මා දිවානි, පෝලන්තයේ – කතබසා, ඊශ්‍රාලයේ – මයි මද්ර්ස් ඩයරි, ක්‍රෝඒෂියාවේ – පවුලින්කෝස් වයිෆ්, බංග්ලදේශයේ – ආමර් ආමි, අමෙරිකාවේ – එම් ටී රශ්මෝ, ශ්‍රී ලංකාවේ – වවුලා, ඇය නිරුවතින් වැනි නාට්‍යයි. මේ නාට්‍යය කණ්ඩායම්වලින් දෙකක් 15 වෙනිදා ලංකාවට එනවා. තව කණ්ඩායමක් 20 වැනිදා එනවා. තව කණ්ඩායමක් යන්නේ සැප් 10 වෙනිදා. මේ හැමෝම අපේ රටට ඇවිත් තමන්ගේ මුදල් වියදම් කරන්නේ. ඒ කියන්නේ අපේ රටට මේ ජාත්‍යන්තර නාට්‍යය උලෙළ නිසා විදේශ විනිමය එනවා.
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ මෙවර විදේශීය ආරාධිත අමුත්තා කවුද?
මේ වසරේදී අපේ විදේශීය ආරාධිත අමුත්තා වන්නේ ග්‍රීසියේ ඇතැන්ස් හි කලා හා මානව ඉතිහාස දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, නාට්‍ය අධ්යක්ෂ හා පරිවර්තක ආචාර්ය සිසි පපතානාසියු මහත්මියයි. මෙවර අපේ ගෞරවය අභිනන්දනය හිමිවන්නේ ජයලත් එස්. ගෝමස් මහතාටයි. ඔහු නාට්‍යවේදියෙක් නොවෙයි. නමුත් ඔහු තමයි 2012 සිට 2021 දක්වා කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උලෙළ පවත්වාගෙන යන්න රුපියලක් හෝ මුදලක් අය නොකර ස්වේච්ඡාවෙන්ම වැඩ කරපු ලේකම්වරයා. අද එතුමා ජීවතුන් අතර නැහැ.
වේදිකාවෙන් ආවත් බොහෝ අය කාලයත් එක්ක වේදිකාව හැර යනවා. ඔබ තවමත් එදා මෙන්ම වේදිකාව තුළ ඉන්න කෙනෙක්?
ඕනෙම කෙනෙක් යම්කිසි කලාවක් පටන් ගන්නකොට හැමෝටම තියෙනවා ඒ තුළ සැබෑ කර ගන්න ඕනේ හීන ටිකක්. එතකොට මම නාට්‍යයකරුවෙක් වීමේ සිහිනය ඇතුළේ දැන් මට යන්න අමුතු දුරක් නැහැ. දැන් මට යනවා නම් තියෙන්නේ Broadway වගේ රඟහලක නාට්‍යයක් හදන එක විතරයි. මම මේ වෙද්දී ජාත්‍යන්තර නිෂ්පාදන 7ක් හැදුවා. නාට්‍යය 50ක් කළා. එක චිත්‍රපටයක් හැදුවා. රටවල් 42ක විතර මම ඇවිදලා තියෙනවා. ඒවාත් නාට්‍යය කලාව සම්බන්ධව. එකක් තමයි මම ජිවත් වෙන්නේ මේ නාට්‍යය කලාවෙන් නෙවෙයි. වෘත්තීය නාට්‍යය කලාවක් මේ රටේ නැහැ.
මම ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ශක්තිමත් ආර්ථිකයක් තියෙනවා මට පවතින්න. ඒ නිසා ලෝකයේ යමක් වෙනස් කරන්න නම් කවුරුන් හෝ ඒ අවදානම ගන්න ඕනේ. ඒ අවදානම මම ගත්තා. ජාත්‍යන්තර නාට්‍යය උලෙළක් නැති රටේ මම ජාත්‍යන්තර නාට්‍යය උලෙළක් පටන් ගත්තා. ගොඩක් අය දන්නේ නැති වුණාට ලංකාවට අයිතිව තියෙන්නේ ජාත්‍යන්තර උත්සව හතරයි. එකක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, යාපනය ජාත්‍යන්තර සිනමා උලෙළ, කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ සහ ගාලු සාහිත්‍ය උළෙල. ඒ ටික රැක ගන්න ඕනේ කරන සමාජ ව්‍යුහය හැදිලා නැති එක ගැන අපිට තියෙනවා ගැටලුවක්. හැබැයි මම ඇතුළු මේ සියලු දෙනා මේ වැඩ කරන්නේ රටේ අවශ්‍යතාවක් වෙනුවෙන්. ඊශ්‍රාලයේ හෝ ක්‍රෝඒෂියාවේ නාට්‍යයක් ලංකාවට එද්දී ඒක බලන්න උවමනාවක් කාටවත් නැත්නම් ඒක හරි අපරාධයක්. මම දන්න ඉතිහාසයේ පළමු වතාවට තමයි ක්‍රෝඒෂියාවේ සහ ඊශ්‍රාලයේ නාට්‍යයක් ලංකාවට එන්නේ. පෝලන්තයේ නාට්‍යයක් එන්නේ දෙවැනි වතාවට.
අවසාන වශයෙන් කියන්න දෙයක් ඇති?
මෙවර ජාත්‍යන්තර රංග කලා උලෙළ අගෝස්තු 24 සිට 30 දක්වා පැවැත්වෙනවා. මරදාන එල්ෆිස්ටන් රඟහලේදී නාට්‍ය වේදිකාගත වෙනවා. 25 සිට 29 දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ නාට්‍ය වැඩමුළු පවත්වනවා. 27-28-29 දිනවලදී ලංකාවට එන නාට්‍යය අධ්යක්ෂවරුන් එක්වෙලා ඒ ඒ රටවල නාට්‍යය කලාවේ තත්ත්වයන්, අත්දැකීම් එකිනෙකා හුවමාරු කර ගන්නවා. මේ දේවල් සියැසින් දකින්න ජීවිතේට අලුත් අත්දැකීමක් එකතු කර ගන්න එන්න කියන සුහද ඇරයුම තමයි කරන්න තියෙන්නේ.
අනුෂා රණසිංහ