Home » ආදරය කොතැනින් හරි අවංකව ලැබෙනව නම් මං කැමැතියි

ආදරය කොතැනින් හරි අවංකව ලැබෙනව නම් මං කැමැතියි

සඳලි වික්‍රමසිංහ

by thanushika
August 10, 2024 12:30 am 0 comment

සඳලි වික්‍රමසිංහ ප්‍රථම වරට ප්‍රේක්ෂකයා හමුවට එන්නේ නේහාගේ භූමිකාවෙනි. ඒ මේ දිනවල ඉතාම ජනප්‍රිය “කියාදෙන්න ආදරේ තරම්“ ටෙලි නිර්මාණයෙනි. ඇය තවමත් දහනව වැනි වියේ පසුවන ළාබාල තරුණියකි. අනාගතයේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියකගේ ලකුණු ඇය වෙතින් දිස්වන බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සනාථ කරයි. මේ වනවිටත් නව නිර්මාණ කිහිපයකටම රංගන දායකත්වය ලබාදෙන බව ඇය අප හා කතාබහේදී පැවසුවාය.

“කියාදෙන්න ආදරේ තරම්“ ටෙලි නිර්මාණයට සඳලි සම්බන්ධ වෙන්නෙ අතරමඟදි. කොහොමද ඒ අවස්ථාව ලැබෙන්නේ?

මට ඒ අවස්ථාව ලැබෙන්නේ මට උගන්නපු මනෝකා ටීචර් නිසා. අපේ පාසලේ නාට්‍ය හා රංග කලාව විෂය නැතත් පාසලේ විවිධ ප්‍රසංගවලදී ඇය මගේ හැකියාව හඳුනගෙන තිබුණා. ඇය දවසක් මට කිව්වා, මේ දවස්වල සිරසෙ ටෙලි නාට්‍යයකට ඔඩිෂන් කෝල් කරල තියෙනවා ඔයාට හොඳට රඟපාන්නත් පුළුවන් එකේ ඔයත් දාල බලන්න කියලා. මහේෂ් රත්සර මද්දුම ආරච්චි, වසන්ත අමරසිංහ, මංජුල යටවතුර යන තිදෙනාගේ තේරීමෙන් තමයි මට නේහා වෙන්න අවස්ථාව ලැබුණේ.

මෙගා ටෙලි නාට්‍යයක් වුණත් ප්‍රේක්ෂක ආකර්ෂණය අඛණ්ඩව පවත්වා ගන්න රෙදි මෝල වත්තත් හේතුවක් වුණා නේද? ඒ අත්දැකීම ගැන කතා කළොත්?

මගේ චරිතෙ හැටියට මට රෙදි මෝල වත්තට හැමදාම එන්න වෙන්නෙ නෑ. ඒත් ඒ ආපු දවසට ඔවුන්ගෙන් ලැබෙන ආදරය කවදාවත් අමතක වෙන්නෑ. ගෙදර හදන රොටිය, තෝසෙ එක අපට දෙනවා. ෆ්‍රිජ් එකේ තියෙන ජෙලි එක, යෝගට් එක ගෙනත් දෙනවා. පුදුම ආදරේකින් අපිව බලාගත්තා. මේ වෙද්දි කතාවේ අවසානය ලියවිලා ඉවරයි. අපි ෂූටින් ඉවර කරලා තියෙන්නේ. මං හිතන්නේ අවසන් දවසේ කඳුළක් නොහෙළපු එක්කෙනෙක්වත් නැතුව ඇති. වත්තෙ අයත් අඬනවා. අපිත් අඬනවා. ඇත්තටම මේක පවුලක් වගේ. වෙන්වීම අපි හැමෝටම දරාගන්න බැරි වුණා.

මේ ඔබේ පළමු ටෙලි නිර්මාණය. කොහොමද ඒ අත්දැකීම?

ඒ ගැන නම් කියන්නම ඕන. මට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. මට යාළුවො නෑ. පාසල් කාලෙ හිටියෙත් නෑ. ගමනක් ගියත් අම්මයි තාත්තයි එක්ක යන්නේ. මට ඉන්නෙ “කියාදෙන්න ආදරේ තරම්“ එකේ පිරිස විතරයි. මං මෙත­ැනට ආවෙ ඉස්කෝලෙ ගිහින් ඉවර වුණු ගමන්මයි. මං පොඩි ළමයෙක්. මං අත්දැකීම් එකතු කරගත්තෙ මෙත­ැනින්. මට හැමදේම ලැබුණෙ මෙතනින්. අධ්‍යක්ෂවරයාගේ ඉඳන් තේ හදන කෙනා දක්වා මේ හැමෝගෙන්ම ලැබුණු සහයෝගයෙන් තමයි නේහා සාර්ථක වුණේ. ඒ හැමෝටම ස්තුතියි.

කිසිම අත්දැකීමක් නැතුව ආව සඳලි මේ වෙද්දි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා නේද?

මං අද යම් තැනක ඉන්නවා නම් ඒකෙ ගෞරවය හිමිවෙන්න ඕන වසන්ත අමරසිංහ අධ්‍යක්ෂවරයාට. “කියාදෙන්න ආදරේ තරම්“ සෙට් එකේදි මට උදවු කරපු අය වගේම මාව වට්ටන්න උත්සාහ කළ පිරිසකුත් හිටියා. සමහරු කියන ඒවා මොනවද කියලා තේරුම් ගන්න තරම්වත් දැනුමක් මට තිබුණෙ නෑ. මං ගොඩක් අඬපු තැන් තිබුණා. මට මේක කරන්න බෑම කියපු තැන් තිබුණා. ඇත්තම කිව්වොත් මාව වැටෙන්න නොදී අල්ලන් හිටියේ ඔහු. අධ්‍යක්ෂවරයෙකුටත් වඩා ඔහු තාත්තා කෙනෙක් වගේ. අනිත් අය කියන ඒවා වැඩක් නෑ ඔයාට මං ඇක්ට් කරන විදිහ කියල දෙනව නම් ඔයා ඒක විතරක් කරන්න කියලා ඔහු මාව දිරිමත් කළා. මෙච්චර කල් මං මේ කතාව තුළ රැඳිල හිටිය නම් ඒ ඔහු නිසා. මුල්ම දවසේ මුලින්ම අනෙක් අය රඟපානවා බලන් ඉන්න දුන්නා. ඊට පස්සෙ තමයි මගේ සීන් එක ගත්තේ. මගේ සීන් එක ඉවර වුණත් නිතරම ඔහු කිව්වේ නිකරුණේ කාලය නාස්ති නොකර අනෙක් අයගෙන් අත්දැකීම් ගන්න කියලා. ඔහු මාව හැදුව විතරක් නෙවෙයි දැනටත් මං භාරගෙන තියෙන වෙනත් අයගේ නිර්මාණවලටත් උදවු කරනවා. අලුතෙන් ක්ෂේත්‍රයට එන ළමයින්ට මේ වගේ අධ්‍යක්ෂවරයෙක් තමයි ලැබෙන්නම ඕන.

නේහා පස්සෙ පස්සෙ නපුරු වුණානේ. සඳලි කියන්නෙත් නපුරු කෙනෙක් ද?

නේහා කියන්නේ දඟකාර හුරතල් ළමයෙක්. එයාට ආපු ප්‍රශ්නත් එක්ක ඒව දරාගන්න බැරිව තමයි ඇය අනිත් අයත් එක්ක නපුරු විදිහට ගනුදෙනු කළේ. සඳලි කියන්නෙ එහෙම නපුරු ළමයෙක් නෙවෙයි. මාත් ගෙදර එකම ළමයා. ඒත් නේහාට වගේ ප්‍රශ්න නම් මට නෑ. මට ඒ වගේ අත්දැකීම් නැති නිසා නේහාගේ හැඟීම් මුහුණෙන් පෙන්නන්න හරි අමාරු වුණා. අවුරුදු එකහමාරක වගේ කාලයක් මං නේහත් එක්ක හිටියා. මං නේහාට සාධාරණයක් කරන්න ඇති කියලා හිතනවා.

පළමු අත්දැකීම නිසා සඳලිට අමතක නොවන තැන් ඇති?

පළවෙනිම දවසෙ මට තිබුණෙ ගල්කිස්ස බීච් එකේ ඇවිදින දර්ශනයක්. කට්ට අව්වෙ එදා දවසම ගත කළේ පුදුම අමාරුවෙන්. උදේ 6ට පටන් අරන් රෑ 8/9 වෙනකල් ෂූට් කළා. එදාම නේහා කෝච්චියට පනින සීන් එකක් තියෙනවා. කෝච්චිය එද්දි මට රේල් පාර ළඟටම ගිහින් රේල් පීල්ල ළඟම ඉන්න වුණා. කෝච්චිය ළඟටම එද්දි ඒ රස්නෙ ඇඟට වැදෙද්දි මට ගොඩක් බය හිතුණා. කෝච්චියත් එක් දිගටම හෝන් ගහගෙනම ආවේ ඇත්තටම මං පනින්න ඉන්නවා කියලා හිතලා. අපේ අම්මා හිටියෙ මගේ පිටිපස්සෙන්. ෂූට් එකක් බව දැනගෙන හිටියත් කෝච්චිය ළං වෙද්දි අම්මත් කෑගැහුවා. ඒක නම් අමතක වෙන්නෙ නෑ.

සඳලි කවදහරි බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ආදරයක් ද?

ආදරය කොතැනින් හරි අවංකව ලැබෙනව නම් මං කැමැතියි. කාගෙ හරි හිත අවංක නම් එතැන තමයි ආදරේ තියෙන්නෙ කියලයි මට හිතෙන්නේ.

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division