Home » ආසයි ! හැබැයි කලබලයක් නෑ

ආසයි ! හැබැයි කලබලයක් නෑ

by Mahesh Lakehouse
August 10, 2024 12:30 am 0 comment

– සම්පත් දඩල්ලගේ සැමවිටම මට ලැබුණු චරිතය උසස් මට්ටමෙන් කිරීමට හැම විටම උත්සාහ කරනවා
– මහසෙන්ට ලැබෙන ප්‍රතිචාර මගේ ජීවිතය වෙනම සන්ධිස්ථානයකට ගෙන යනවා

සමහර චරිත අපේ ජීවිතවලට කොතෙක් සමීපද කියනව නම් ඒ චරිත වල ඇතැම් ඉරියව්, ඇතැම් වචන අපේ ජීවිතේ කොටස් බවට පත්වෙනවා. ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේ මහසෙන්ගේ චරිතයත් ඒ වගේමයි.අද රසඳුන පුවත්පතෙහි කතාබහ ඒ රසවතා සමඟයි. ඔහු නමින් සම්පත් දඩල්ලගේයි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

ටෙලි නාට්‍යයේ භාෂාවෙන්ම කිව්වොත් ලල් එකේ යනවා. මේ දිනවල ස්වර්ණවාහිනි ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ මහසෙන්ගේ චරිතය නිරූපණය කරනවා. අගෝස්තු මාසයේ සිරස නාළිකාවේ මම රඟපෑ තවත් නිර්මාණයක් දැක බලා ගතහැකියි. ඊට අමතරව මං රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය හතක් පමණ ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන්.

ඔබ කලාවට පිවිසෙන්නේ අහම්බෙන් නේද?

ඔව්. ඒක දිග කතාවක්. මගේ යාළුවෙක් ඉන්නවා චාමර තලපාවිල කියලා. ඔහුගේ උදව්වක් ලෙසයි මට මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඉන්පසුව ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ සහයෝගය මට ලැබුණා. ඒ අනුවයි සහාය නළුවෙක් ලෙස මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නෙ.

ඔබ වෘත්තීය ජීවිතය කරගෙන යන අතර වාරයේ රංගන කටයුතු කරනවද නැත්නම් රංගනය වෘත්තියක් ලෙස ඉදිරියටම කිරීමට බලාපොරොත්තු වෙනවද?  

වෘත්තියක් හෝ ව්‍යාපාරයක් කරන අතරවාරයේ රංගන කටයුතුවල නිරත වෙනවද නැත්නම් වෘත්තියක් ලෙස රංගනය කරනවාද යන්න තීරණය කරනවාට වඩා මම සැමවිටම මට ලැබුණු චරිතය උසස් මට්ටමෙන් කිරීමට උත්සාහ කරනවා. එසේම රඟපෑම වෘත්තීය මට්ටමක් දක්වා ගොඩනැඟීමේ වපසරිය මම තවම නිර්මාණය කරමින් සිටිනවා. ඒ වගේම මම රංගනය හදාරනවා. ඒ නිසා ඉදිරියේදී නිර්මාණවලට සාර්ථකව මුහුණදීමට මට මීටත් වඩා හැකියාව ලැබෙයි කියා මම හිතෙනවා.

වෘත්තීය ජීවිතය හා රඟපෑම් කටයුතු සමබර කර ගන්න ඔබට පුළුවන්ද?

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මම ඒ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා. දෙපාර්තමේන්තුවෙන් මට සහයෝගය නොලැබුණා නම් වෘත්තීන් දෙකෙන් එකක් තෝරා ගැනීමේ අසීරු තත්ත්වයට මම පත් වෙනවා. ඒ නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හා මම වැඩ කරන ඇඹිලිපිටිය කඳුරුගස්යාය බන්ධනාගාර ආයතනයට මගේ හද පිරි ස්තූතිය පිරිනමනවා.

මෙතෙක් ඔබ රඟපා නැති නමුත් ඉදිරියේදී රඟපාන්න කැමති චරිත තිබෙනවද

මම ගැමි චරිතයක් නිරූපණය කළා .එය 1960 දශකයේ යම් සිද්ධියක් නිරූපණය කරන්නක්. එහි භාෂාව, හැසිරීම වගේම රඟපෑමත් ඉඳුරාම වෙනස්. මම ඒ චරිතයට බෙහෙවින් ප්‍රිය කරනවා. තවම එය විකාශය වුණේ නැහැ. ඒ වගේම මම ගොඩක්ම කැමතියි හාමුදුරුවන්ගේ චරිතයක් කරන්න. එහෙම චරිතයක් මට ලැබුණොත්, අංග රචනාවෙන් හිස මුඩු නොකර ස්වභාවිකවම හිස මුඩු කර ඒ චරිතය නිරූපණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ මහසෙන්ට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද

මම මේ වන විට ටෙලි නාට්‍යය දහතුනක විතර රංගනයෙන් දායකවී තිබෙනවා. තවත් ටෙලි නාට්‍ය හතක් ඉදිරියේදී විකාශය වීමට නියමිතයි. විකාශය වූ ටෙලිනාට්‍ය අතර ජනප්‍රිය ටෙලිනාට්‍ය කිහිපයක්ම තිබුණා. නමුත් චරිතයක් විදිහට මහසෙන්ට ලැබෙන ප්‍රතිචාර මගේ ජීවිතය වෙනම සන්ධිස්ථානයකට ගෙන යනවා. මේ වෙනකොට පාරට බැස්සම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ඒ ළෙන්ගතු ආදරය මම ආදරයෙන් විඳිනවා.

පුංචි තිරයෙ ඉඳලා රිදී තිරයට යන්න ආසාවක් නැද්ද

ආසාවක් තියෙනවා. නමුත් මට ලොකු කලබලයක් නැහැ. මට හිතෙනවා තව ටික කාලයක් පුංචි තිරයේ ඉඳලා රිදී තිරයට අවතීර්ණ විය යුතුයි කියලා. එයට යම් කාලයක් ගත වෙයි.

සම්පත් කාලෙකදී නපුරු චරිත වලටම කොටුවෙලා හිටියා. කොහොමද ඔබ ඒ සීමාව බිඳින්නෙ..?

ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහම්බෙන්. මට කිසිදු කලා වටපිටාවක් නැහැ. ඒ නිසා මගේ ගමන හරිම දුෂ්කරයි. ඒ ගමන තුළ මට එක දිගටම ලැබුණේ නපුරු චරිත. ඒ නිසා ඇතැම් විටක මට ලොකු පසුතැවීමක් ඇති වුණා,” ඇයි මට නපුරු චරිතම ලැබෙන්නේ “කියලා. නමුත් මට ලැබෙන චරිතය මට හැකි උපරිමයෙන් කළා. ඒ වගේම ගොඩක් ඉවසීමෙන් වැඩ කටයුතු කළා. ඒ නිසාම පසුකාලීනව මට විවිධ චරිතවලට රඟපාන්න අවස්ථාව ලැබුණා. මං හිතන්නේ ඉවසීම වගේම ලැබෙන චරිතයට උපරිම සාධාරණය කිරීම තුළ එකී රාමුව බිඳ දමන්න මට හැකි වුණා කියලා.

ඔබගේ පුංචි පවුලේ විස්තර ටිකකුත් කියමු.

ඔව් මගේ බිරිඳගේ නම චතුරංගි. මට නිවුන්නු දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. පුතා යුවීන්, දුව යුවීනා. මගේ දුවයි පුතයිත් මේ වන විට යම් යම් නිර්මාණවලට දායක වී තිබෙනවා. ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතුටුයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division