Home » අවුරුදු 27කට පසු එක්දින තරගාවලියකින් ඉන්දියාව පරාජය කළ ජයසූරියගේ

අවුරුදු 27කට පසු එක්දින තරගාවලියකින් ඉන්දියාව පරාජය කළ ජයසූරියගේ

-‘මැජික් මන්තරය’

by sachintha
August 10, 2024 12:58 am 0 comment

ඕනෑම රටකදී ඕනෑම පිටියකදී වුවත් එක්දින තරගාවලියකින් ඉන්දියාව පරාජය කිරිම ලෙහෙසි පහසු නැත. ශ්‍රී ලංකාවට ඒ සඳහා වසර 27ක් ගත විය. එය සිදු වූයේ එකදිගටම ඉන්දියාව හමුවේ එක්දින තරගාවලි 11ක්ම පරාජයට පත්වීමෙන් පසුවය. පසුගිය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සිට සංචාරක ඉන්දීය පිල සමඟ පැවැති විස්සයි20 තරගාවලියේ අවසානය දක්වා පරාජයේ පතුලටම ඇද වැටී ක්‍රීඩාලෝලීන්ගේ සරදමට ලක්වෙමින් සිටි ශ්‍රී ලංකා පිල ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියේ ඓතිහාසික ජයක් වාර්තා කළේ නව නායකත්වය හා නව පුහුණුකාරිත්වය යටතේය. නව නායකයා චරිත් අසංලක ය. නව පුහුණුකරු සනත් ජයසූරිය ය.


මේ සිදුවී ඇත්තේ 1997න් පසු මේ දක්වා දෙපිල අතර කිසිදු එක්දින තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට නොහැකි වීමේ අභාග්‍යසම්පන්න ඉරණම් ගමනට නැවතීමේ තිත තැබීමය. 1997 අගෝස්තුවේ කොළඹදී සචින් තෙන්ඩුල්කර්ගේ නායකත්වයෙන් තරග වැදුණු ඉන්දීය පිලට එරෙහිව අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පිල එක්දින තරගාවලිය ජයගත්තේ 2-0 කිනි. විශේෂත්වය වන්නේ එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රිඩා කළ සනත් ජයසූරිය මෙවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමය. එපමණක් නොව එම කණ්ඩායමට ක්‍රීඩා කළ උපුල් චන්දන වත්මන් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවා ලෙස ඉතිහාසය වෙනස් කළ තරගාවලිය සියැසින් දැක බලා ගත්තේය. එය ද විශේෂත්වයකි.

2021දී ශිකර් ධවාන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය පිල දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා පිල තරග 2-1කින් පරාජය කිරීමෙන් පසු පසුගිය ඉන්දීය තරගාවලිය දක්වා මෙරට පැවැති එක්දින තරගාවලි 8කදීම අපරාජිතභාවය රැකගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ඉන් තරගාවලි 7ක්ම ජය හිමිකර ගත්තේය.

එම තරගාවලියෙන් පසු දකුණු අප්‍රිකාව 2-1කින් පරාජය කළ ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ පිල ද 2-1කින් පරාජයට පත් කරනු ලැබුවේය. අනතුරුව සංචාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව 3-2ක ජයක් අත්කර ගත්තේය. ඇෆ්ගනිස්තානය සමඟ පැවැති තරගාවලිය 1-1කින් ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර, නැවත පසුගිය වසරේ මුල්භාගයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව 2-1කින් එක්දින තරගාවලිය ජයගත්තේය. ඊළඟට මෙරට සංචාරය කළ සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලි ජයගත්තේ 2-0කින් සහ 3-0කිනි.

මේ ජයග්‍රහණයේ වැදගත්ම සාධකය වන්නේ ශ්‍රී ලංකා පිල නැවත ජයග්‍රාහී මාවතට පිවිසීම නොව සිය මානසිකත්වය ඉහළ නංවාගැනීමට එය ලොකුම හේතුව බවට පත්වීමය. ඉන්දියාව යනු ලෝක එක්දින හා විස්සයි20 ශ්‍රේණිගත කිරිම්වල නොම්මර එකේ කණ්ඩායම ය. පරාජයෙන් පසුව වුවද ඉන්දීය පිලේ ශ්‍රේණිගත කිරිම වෙනස්වීමට එය බලනොපෑව ද, ශ්‍රී ලංකා පිලට ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල එක් පියවරක් ඉදිරියට පැමිණ 6 වැනි ස්ථානය තහවුරු කරගැනීමට ලැබීමත් ‘වෙලාවේ හැටියට‘ කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවට පමණක් නොව මෙරට ක්‍රීඩාලෝලීන්ගේ සතුට වැඩිවීමට ද ඉවහල් වූවකි. සැබැවින්ම මෑත කාලයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා පිලේ පසුබෑමෙන් වැඩිපුරම කනගාටුවට පත්ව සිටියේ ද ශ්‍රී ලාංකිකයෝය. ඒ අතින් ක්‍රිකට් ක්‍රීඩාව ආගමක් බවට පත් වූ රටක මිලියන 22ක ජනතාවගේ මුහුණට සිනහපොදක් ගෙන දීමට සිය නායකත්වය යටතේ මුහුණ දුන් මංගල එක්දින තරගයේදීම චරිත් අසලංක සමත් වී ඇති අතර, ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය සිය මංගල එක්දින තරගාවලියේදි ක්‍රීඩකයන්ගෙන් ‘අවශ්‍ය දේ‘ ලබා ගැනීමට තරම් වාසනාවන්තව සිටී.

කවුරුත් දැන් කියන්නේ ‘ජයසූරියගේ මැජික් මන්තරය‘ ටක්කෙටම හරි ගිය බවය. එසේ වූයේ පිතිකරුවකු ලෙස එවකට ලොව ඕනෑම භයානක පන්දු යවන්නකුට පවා කිසිදු චකිතයකින් තොරව මුහුණ දුන් මේ විශිෂ්ට ක්‍රීඩකයා පරාජය වීමට අකමැතිවීමේ සිය ආකල්පය චරිත් අසලංකලාගේ සිත් තුළටත් තදින්ම කාවැද්දීමට සමත් වී ඇති බවය. කණ්ඩායමේ ඉදිරි ගමනට එය ද වැදගත් සාධකයක් බවට පත්වනු ඇත. එහෙත් මේ ලිපිය ලියන මොහොත වන විට පළවී ඇති වාර්තාවලින් කියැවෙන්නේ ඔහු පූර්ණකාලීනව එම තනතුර භාර ගැනීමට සූදානම් නැති බවකි. කණ්ඩායමේ හා ක්‍රීඩකයන්ගේ විශ්වාසනීයත්වය සම්බන්ධ අර්බුදය මකා දැමීමට එක්දින තරගාවලියේ ජයග්‍රහණය ඉවහල් වූව ද කණ්ඩායමේ සාර්ථකත්වය තවදුරටත් මුවහත් කිරීමට ප්‍රධාන පුහුණුකරුවකු ඉක්මනින් සොයා ගත හැකිවනු ඇතැයි ඔහු අපේක්ෂාවෙන් පසුවන බව ද කියැවේ. මේ වනවිට ආර්. ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉහළ දක්ෂතා සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරන සනත් ජයසූරිය ප්‍රකාශ කර ඇත්තේ එම කාර්යභාරය සිදු කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සිය දායකත්වය නොඅඩුව සැපයීම ඔහුගේ බලාපොරොත්තුව බවය.

එහෙත් පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නැවත ගොඩනැඟීමට ඔහු ගත් වෙහෙස, කැපවීම හා සිදු කළ කාර්යභාරය මිල කළ නොහැකි බව ක්‍රිකට් විචාරකයන්ගේ අදහස වී තිබේ. ජයසූරිය පසුගියදා මේ ලියුම්කරු සමඟ ‘සිළුමිණ‘ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ පරිදි ඔහුගේ ප්‍රධානතම ඉලක්කය සිය හැකියාව මත විශ්වාසය තබමින් ක්‍රීඩා කළ හැකි පසුබිමක් ක්‍රීඩකයන්ට ලබාදීමය. ඒ සඳහා ඔහු කෙටි කාලයක් තුළ සැලසුම් සහගත වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබිණි. රාජස්තාන් රෝයල්ස් පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂ සුබින් භරූෂා ගෙන්වා පිතිහරඹ සැසියක් ද පැවැත්විය.

ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධව දැඩි නීතිරෙගුලාසි දැමුවේය. කරාබු පැලඳීම හා හිසකේ පැහැ ගැන්වීම වැනි ක්‍රීඩාවට බාහිර ක්‍රියාකාරකම් ගැන ක්‍රීඩකයන් තුළ ඇති උනන්දුව බැහැර කිරීමට පියවර ගත්තේය. දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධව සමාජ මාධ්‍යජාලයේ සහ විචාරකයන්ගේ හා මාධ්‍ය තුළ පළ වන දැඩි විවේචන උපේක්ෂාවෙන් යුතුව පිළිගැනීමට ක්‍රීඩකයන් හැඩ ගැස්වීය. පරාජයවීමේදී ක්‍රීඩාලෝලීන් කෝපයට පත් වන්නේ ක්‍රීඩකයන් හා කණ්ඩායම කෙරෙහි ඇති අසීමිත බැඳීම හේතුවෙන්ම පමණක් බව ක්‍රීඩකයන්ට අවබෝධ කරදුන්නේය. ඉන්දීය පිල අවුරුදු 27කට පසු එක්දින තරගාවලියකින් පරාජය කිරීමට අවශ්‍ය සියලු සාධක කණ්ඩායම තුළ ගොඩනැඟීමට මේ සියල්ල ඉවහල් වී තිබිණි.

ක්‍රීඩකයන් දැන් ඔවුනොවුන්ගේ හැකියාව මත විශ්වාසය තැබීමට පටන්ගෙනය. සිය වගකීමේ දිග පළල ගැන නිසි අවබෝධයක් ඇතිව ක්‍රීඩා කිරීමට පටන් ගෙනය. එහෙත් අවධානය යොමු කළ යුතු කාරණාව වන්නේ කණ්ඩායමේ මැදපෙළ තවමත් කඩා වැටීමය. එය ද නුදුරේදීම නිවැරදි වනු ඇතැයි පුහුණුකරු මෙන්ම කණ්ඩායමේ නායකයාගේ ද විශ්වාසය වී තිබේ.

අවසන් එක්දින තරගයෙන් පසු නායක චරිත් අසලංක ප්‍රකාශ කළ පරිදි ජයසූරිය පුහුණුකරු ලෙස සිය සීමාව තුළ ක්‍රීඩකයන්ට ඔවුන්ට අවශ්‍ය ආකාරයේ උපරිම නිදහසක් ලබා දී තිබේ. තරග දිනීමේ ආකල්පය ක්‍රීඩකයන්ගේ මනසට ඉතා සාර්ථකව ඇතුළු කර තිබේ. අවශ්‍ය පසුබිම අපේක්ෂා කළ ආකාරයටත් වඩා සකස් කර තිබේ. ඒ සියල්ල ක්‍රීඩකයකු ලෙස ඔහු ලැබූ දීර්ඝ අත්දැකීම් ඇසුරින් විය යුතුය. මීට අමතරව කණ්ඩායම නැවත ගොඩනැඟීමේදී ජයසූරියට හා ක්‍රීඩකයන්ට කැපී පෙනෙන දිරිගැන්වීමක් සිදු කළ ක්‍රීඩකයෝ දෙදෙනකු ද වෙති. ඒ කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග ය. තරගාවලිය අතරතුර කුමාර් සංගක්කාර හා ලසිත් මාලිංග ලබා දුන් සහයෝගයට හා දිරිගැන්වීමට තුති පුද කරමින් සනත් ජයසූරිය ‘එක්ස්‘ සමාජ මාධ්‍යජාලයේ ද සටහනක් තබා තිබිණි. එක්දින තරගාවලි ජයග්‍රහණය මේ සියලු උත්සාහ හා කැපවීම්වල ප්‍රතිඵලය වී ඇති අතර, ශ්‍රී ලංකා පිලේ අනාගතය ඒ අනුව හැඩගැස්වෙනු ඇතැයි ක්‍රීඩාලෝලීන් බලාපොරොත්තු සහගතව බලා සිටින බව ඉඳුරාම කිව හැකිය.

lෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division