අරුණ පුතා ඔලිම්පික් යන්න කලින් අයියට සල්ලි දීලා ගියේ මට ටී.වී එකකුයි ෆ්‍රිජ් එකකුයි අරන් දෙන්න. අලුත් ටීවී එකක් ගෙනල්ලා අම්මගේ කාමරේම හයි කරලා දෙන්න කියලයි ගියේ
මෙතැනට එන්න අයියා ලොකු කැපවීමක් කළා. ඊළඟ ඔලිම්පික් එකෙත් දුවන්න තමයි එයාගේ බලාපොරොත්තුව
අයියා ඉස්සර ඉඳලා වැඩිය කතාබහක් නෑ. පාඩුවේ ඉන්න හරි නිශ්ශබ්ද චරිතයක්. ඒ කාලේ එයාට හයියෙන් හූ කියන්නවත් බෑ
පදක්කමක බලාපොරොත්තුව තුරුලු කරගෙන වසර හතරකට වතාවක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කරන ලොව විශීෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අතර ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනදුන් ශ්‍රී ලාංකික දූ පුතුන් සිටින්නේ අතළොස්සක් පමණි. ඒ අතුරින් 1948 ලන්ඩන් ඔලිම්පික් උලෙළේදී ඩන්කන් වයිට් මීටර් 400 කඩුලු පැනීමෙන් ලක් මවට දිනා දුන් රිදී පදක්කමත්, 2000 සිඩ්නි ඔලිම්පික් උලෙළේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 කෙටි දුර ධාවනයෙන් දිනා දුන් ලෝකඩ පදක්කමත් (එම තරගයේ රන් පදක්කම්ලාභී මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් පදක්කම අහිමි වූ අතර, දෙවැනි තැනට පත්ව සිටි බහමාස් ක්‍රීඩිකා පවුලිනා ඩේවිස්ට රන් පදක්කමත්, තුන්වැනි ස්ථානය දිනූ සුසන්තිකාට රිදී පදක්කමත් හිමි වූයේ පසුවය) දිනාගත්හ. ඒ හැරුණු විට එතෙක් මෙතෙක් ඔලිම්පික් උලෙළකදී අවසන් පූර්ව වටයට පිවිසි එකම ක්‍රීඩකයා වන්නේ ඊයේ පෙරේදා රටම කතා කළ අරුණ දර්ශන ය. මීටර් 400 ධාවන ඉසව්වේදී පස්වැනි ස්ථානයට පත්වීම නිසා අරුණ දර්ශනගේ ඔලිම්පික් ගමන අවසන් පූර්ව වටයෙන් නිමාවිය. ඒ වෙද්දී ඔහු තත්පර 44.75කින් තරගය නිමා කර ඔහුගේ හොඳම කාලය නැවත අලුත් කරගෙන තිබිණි. එහෙත් තරගය අතරතුර මංතීරු නීතිය උල්ලංඝනය කිරිමේ වරදට ඔහුගේ තරග කාලය හා ස්ථානය නිල ප්‍රතිඵල සටහනින් මැකී ගියේය. එය කෙසේ වෙතත් ඩන්කන් වයිට්ගෙන් සහ සුසන්තිකා ජයසිංහගෙන් පසු ඔලිම්පික් ක්‍රීඩා උලෙළක අවසන් පූර්ව වටයට පිවිසි එකම ශ්‍රී ලාංකිකයා ලෙස මෙරට ක්‍රීඩා ඉතිහාසයට අරුණ දර්ශන එකතු කළ පරිච්ඡේදය නම් සදහටම මැකී නොයන්නකි.
ඇත්නාවලින් සුසන්තිකාලා, නෝටන්බ්‍රිජ්වලින් සුගත් තිලකරත්නලා ඔලිම්පික් ක්‍රීඩා උලෙළ දක්වා ගිය දුෂ්කර හා වෙහෙසකාරී ගමන් මඟ අප අසා ඇත්තෙමු. අරුණගේ ජීවන ගමන්මඟ ඊටත් වඩා දුෂ්කර එකකි.
ත්‍රස්තවාදී යුද සමයේ මායිම් ගම්මානයක් වූ සේරුනුවර දෙහිවත්තේ සිට එදා පැරිස් නුවරදී අවුරුදු 24කට පසු ඔලිම්පික් අවසන් පූර්ව වටයට පිවිසි පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීම දක්වා අවුරුදු 25ක් තිස්සේ මේ දිරිය සම්පන්න ක්‍රීඩකයා පැමිණි ගමන හැලහැප්පීම් කන්දරාවක් මුසු වූ එකකි. මේ පළවන්නේ ඔහු අවසන් පූර්ව වටයේ තරග වැදීමට පැය කිහිපයකට පෙර ඔහුගේ සොහොයුරාගෙන් හා මවගෙන් ‘සිළුමිණ‘ට අසා දැනගත් ඒ දුක්බර කතාවය.
වැඩිමල් සොහොයුරන් දෙදෙනකු සිටි පවුලක ඊළඟට අරුණ දර්ශන උපන්නේ තනිවම නොව තවත් නිවුන් සොහොයුරකු සමගය. ඔහු පසිඳු භවන්ත ය. මේ නිවුන් සොහොයුරන් අතුරින් අරුණ දර්ශන වැඩිමලා වන්නේ මිනිත්තු 15ක කාලයකිනි.
“අයියා තුන්වතාවක්ම මරණයෙන් බේරුණු කෙනෙක්.” අවසන් පූර්ව තරගය අත ළඟ තිබියදී නිවුන් සොහොයුරු භවන්ත ‘සිළුමිණ’ට කීවේ මෙතෙක් කිසිවකු නොදැන සිටි විස්මිත කතාවකි.
“අපේ ගේ පිටිපස්සේ ඥාතියෙකුගේ ගෙයක් තිබුණා. මායි අයියයි දවසක් එතැන සෙල්ලම් කරන කොට අයියා ළිඳට වැටුණා. ඒක අඩි දහයක් විතර ගැඹුරු ළිඳක්. මම කෑගහද්දී ඒ ගෙදර අය දුවගෙන ඇවිත් ළිඳට බැහැලා අයියා බේරගත්තා. එතකොට අපි දෙන්නා දෙහිවත්ත ගමේ ඉස්කෝලේ එක වසරේ විතර ඇති. ඊට පස්සේ ආපහු දෙක වසරේදී විතර අර ඥාතියාගේම පුතෙක් ගෙයක් හැදුවා ඇළ ගාව. බැකෝ දාලා ගොඩ කරලා අඩි විස්සක් විතර ගැඹුරු ලොකු වළවල් කපලා තිබ්බා. මට මතක විදිහට මේක සිද්ධ වුණේ නොවැම්බරයක හරි දෙසැම්බරයක හරි වහින කාලයක්. ඒ නිසා වළවල්වල වතුර පිරිලා තිබ්බා. අයියා ඒ වතුර වළකට වැටුණා. පළවෙනි වතාවේ උඩ ඇවිත් ආපහු ගිලුණා. පස්සේ අර ඥාති පුතා පැනලා බේරගත්තා. අයියා මරණින් බේරුණු දෙවැනි වතාව ඒකයි. ඊළඟ වතාවේ අපි දවසක් ඉස්කෝලේ ගිහින් එද්දී කරන්ට් වයර් එකක් බිම වැටිලා තිබුණා. අර ඉස්සර කොකු දාලා ගෙවල්වලට කරන්ට් ගත්තු කාලේ. ඉතින් කාට හරි කරන්ට් වදියි කියලා අයියා ඒ වයර් එක අතින් අල්ලලා අයින් කරන්න හැදුවා මම එපා කියද්දිත්. එක වයර් එකක් බිම. අනික් වයර් එක උඩ. එයා වයර් එක අරන් වීසි කරන්න ඔන්න මෙන්න තියෙද්දී අනික් කම්බිය ඇල්ලුවා. කරන්ට් එක වැදිලා එකපාරටම අයියා බිම ඇදගෙන වැටුණා. එයාගේ ඇඟ පිච්චිලා කටින් සෙම ඇවිත් තිබුණා. විනාඩි දෙක තුනක් විතර කරන්ට් එක එයාගේ ඇඟේ තිබුණා. මම හයියෙන් කෑගැහුවා. එතකොටම එතැනින් ගිය අයියලා දෙන්නෙක් ඉක්මනට පොල්ලක් හොයාගෙන ඇවිත් වයර් එකට ගහලා අයියව බේරගෙන ඉස්පිරිතාලේ අරන් ගියා. මාසයක් විතර නවත්තලා බෙහෙත් කළා. ඇත්තටම අයියා මැරිලයි ගොඩ ආවේ. ඒක තමයි එයා නැතිවෙන්න තිබුණු තුන්වැනි වතාව. එයාගේ වම් අතේද කොහේද තවමත් තියෙනවා ඒ පිච්චුණු කැළල. පපුවෙත් තියෙනවා. ඔය විදිහට මාරක තුනකින් බේරිලා තමයි අයියා මේ ගමන ඇවිත් ඔය පැරිස් ගියේ. ඒ අවස්ථා තුනේදිම මම එතැන හිටියා.” පසිඳු භවන්ත කීවේ ත්‍රාසජනක කතාවකි.
මාරක තුනකින් දිවි බේරාගත් අරුණ දර්ශන පමණක් නොව ඔහුගේ නිවුන් සොහොයුරු ඇතුළු පවුලේ සාමාජිකයන් ද එවකට කොටි ත්‍රස්තවාදී යුද ගැටුම් නිසා නිරතුරුවම සිටියේ දැඩි භීතියකිනි. ඔවුන් පදිංචිව සිටියේ දෙහිවත්ත ගම්මානයේ අන්තිම මායිමේ ය. හරියටම කියන්නේ නම් ‘කොටි කටේ’ය.
“ඒ කාලේ මුළු ගමම රෑට නිදාගත්තේ පණ බයේ. කොයි වෙලාවේ කොටි ගහයිද කියලා. අපි හතරේ පහේ පන්තිවල වගේ ඉන්දැද්දී දවසක් උදේ හතට විතර ගේ ඉස්සරහා පාරේ ක්ලෙමෝ බෝම්බයක් පිපිරුණා. ලොකු බ්ලාස්ට් එකක්. ඒ කාලේ ලොකු අයියා සිවිල් ආරක්ෂක ස්කොඩ් එකේ හිටියේ. පොඩි අයියත් සිවිල් ආරක්ෂක බළකායට බැඳුණේ ඊට පස්සේ කාලයකයි. ඒ කාලේ අපේ ගමේ කෑම්ප් එකක් තිබුණා. ඒකේ සතියකට සැරයක් විතර ආමි එකෙන් 50ක්, 60ක් විතර මාරුවෙනවා. නිවාඩු ආපු කට්ටිය එහෙම යනවා එනවා. ඒ වගේ වෙලාවක පාර ක්ලියර් කරගෙන අපේ ලොකු අයියායි අනිත් අයයි යද්දී තමයි කොටි බලාගෙන ඉඳලා ඒ බෝම්බේ පිපිරෙව්වේ. එක්කෙනෙක් මැරුණා. ඊට පස්සේ පැය 3ක් 4ක් විතර දෙගොල්ලෝ වෙඩි තියාගත්තා. ඒ වගේ තමයි නිතරම වගේ වෙඩි සද්ද, බෝම්බ පිපිරෙන සද්ද ඇහෙනවා. සෑහෙන බයකින් ජීවත් වුණේ. කොටි මායිමේ නේ. බෝම්බ පිපිරෙද්දී අපිට ගමේ ඉස්කෝලෙට දුවන්න කියලත්, රෑ වෙලාවක කොටි ගැහුවොත් කළුවරේ දුවන්න බැරි නිසා මිදුලේ කොනක බංකරයක් වගේ හරහට අඩි අටක විතර ලොකු වළක් හාරලා තියාගන්න කියලත් ගමේ හැමෝටම ආමි එකෙන් කියලා තිබුණා. අපේ ගෙදරට එහා පැත්තේ තිබුණු දෙමළ ගම්මානවල අහළ පහළ මිනිස්සු නම් අපිත් එක්ක හරිම හිතවත්. මාවිල් අරු තියෙන්නේ අපේ ගෙදරට කිලෝමීටර් 15ක් විතර කිට්ටුවෙන්. ඒකෙන් තමයි ගමේ කුඹුරුවලට වතුර ගන්න ඇළක් කපලා තිබුණේ.
අපි දෙන්නටම හොඳට පිහින්න පුළුවන්. ගමේ ඉස්කෝලේ යන කාලේ දවල්ට ගෙදර ඇවිත් කෑම කෑවට පස්සේ ඇළට තමයි දුවන්නේ. හවස පහට හයට තමයි ආපහු ගොඩට ඇවිත් ගෙදර යන්නේ. ඒ ඇළේ වතුර සැරෙට ගලාගෙන යන තැනක ලොකු වළක් වගේ තිබුණා. එතැන ලොකු ගහකුත් තියෙනවා. අපි ගහට නැඟලා ටයර් එල්ලලා ඒකේ ඉඳලා වතුරට පනිනවා. හවස ගෙදර එද්දී එක්කෝ ඇස් රතුවෙලා. නැත්තම් ඇඟ හැමතැනම තුවාල වෙලා. කොහොමත් ඇස් රතුවුණාම අපි ගෙදර එන්නෙත් නෑ. හවස් වෙනකල්ම ඉන්නවා. නැත්තම් තාත්තාගෙන් ගුටිකන්න වෙනවා. අයියට වඩා මමයි වැඩිපුර තාත්තාගෙන් ගුටි කන්නේ. අයියා හැංඟිලා බලා ඉඳලා මම ගුටි කෑවට පස්සේ තමයි ගෙදර එන්නේ.” පසිඳු සිනහමුසුව අතීතය සිහිපත් කළේය.
“කොහොමත් අයියා ඉස්සර ඉඳලා වැඩිය කතාබහක් නෑ. පාඩුවේ ඉන්න හරි නිශ්ශබ්ද චරිතයක්. කොටින්ම ඒ කාලේ එයාට හයියෙන් හූ කියන්නවත් බෑ. පොඩි කාලේ ඉඳලම අපි දෙන්නා හැමදේම කළේ එකටමයි. ඒත් අපි නිවුන්නු වුණාට එක වගේ පෙනුමක් නෑ. හැබැයි සමහර වෙලාවට ඉස්කෝලේ ලොකු සර් නම් වරද්දගෙන තියෙනවා. ඒ වගේ වෙලාවට සර් මට කියන්නේ අර නිතරම ගහගන්න එකා කියලයි. මොකද ඒ කාලේ මම තමයි චණ්ඩියා.”
පසිඳු කීවා සේම අරුණ පැහැයෙන් පසිඳුට වඩා කළුය. පසිඳු තරමක් පැහැපත් ය. එහෙත් පවුලේ අය අරුණ අමතන්නේ ‘සුදු මහත්තයා’ නමිනි. පසිඳු අමතන්නේ ‘කළු මහත්තයා’ කියාය.
“මම පොඩි කාලේ අම්මලාගෙන් අහලා තියෙනවා ඇයි මට කළු මහත්තයා කියන්නේ මම නෙවෙයිනේ අයියනේ වැඩිපුරම කළු කියලා. ඉතින් අම්මා කියනවා අයියගේ හිත රිදෙයි කියලා තාත්තලු එයාට සුදු මහත්තයා කියන්න කියලා කිව්වේ.”පසිඳු එසේ කියමින් සිනාසෙයි.
“ගමේ ඉස්කෝලෙ අපේ පන්තියේ හැමෝටම පොඩි කාලේ ඉඳලම ආසාව තිබුණේ ආමි එකට යන්නයි. ඉස්කෝලේ ගියාම චිත්‍ර අඳින්නේ එක්කෝ තුවක්කු. නැත්තම් හමුදා සෙබළු. සෙල්ලම් කරද්දී වුණත් දෙපැත්තට බෙදිලා වෙඩි තියාගන්නවා වගේ සෙල්ලම් තමයි කළේ. ඒකට අපි කියන්නෙත් ‘කොටි සෙල්ලම්‘ කියලයි.”
මුල් කාලයේ දෙහිවත්ත පාසලේ ඉගෙනුම ලැබූ අරුණ මෙන්ම පසිඳුත් ක්‍රීඩාවට උපන් හපනෙකි. ඔහු කවපෙත්ත හා හෙල්ල වීසි කිරීමේ ද සූරයෙකි.
“ගමේ ඉස්කෝලේදි අපි දෙන්නම දිස්ත්‍රික් මට්ටමෙන් එක දිගටම තරග දිනුවා. අයියා තරග කරනවා දැකලා ඉස්කෝලේ හර්ෂ සර් වගේම කෝච් හැටියට හිටපු දිලානි මිස් එයාව මාතලේ අකුරම්බඩ ක්‍රීඩා පාසලට යවමු කියලා අපේ අම්මලාට යෝජනා කළා. ටවුමේ ඉස්කෝලේ කේශාලි මිසුත් සෑහෙන්න උදව් කළා. එයා තමයි ඒ ඉස්කෝලේට අයියව යොමු කළේ. අයියා ගිහින් අවුරුද්දකට පස්සේ මමත් අකුරම්බඩ ඉස්කෝලෙට ගියා.” පසිඳු කීවේය.
ඔහු කියන්නේ මාතලේ අකුරම්බඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසල ගැනය. එය නේවාසිකාගාරයකින් සමන්විත ක්‍රීඩා පාසලකි. අයියමලෝ දෙදෙනා නවාතැන් ගෙන ඇත්තේ එම නේවාසිකාගාරයේය. අරුණ දර්ශනගේ මෙන්ම පසිඳු භවන්තගේ ද ක්‍රීඩා දස්කම් මුවහත් වූයේ අකුරම්බඩ ක්‍රීඩා පාසලේදීය.
“පොඩි කාලේ ඉඳලම අසංක සර් තමයි අයියගේ කෝච්. (වත්මන් පුහුණුකරු අසංක රාජකරුණා) එයා තමයි අයියගේ මුල්ම වගේම එකම පුහුණුකරු වුණේ. අසංක සර් අකුරම්බඩ ඉස්කෝලේ ක්‍රීඩා හා ශාරීරික ගුරුවරයා විදිහටයි වැඩ කළේ. සර්ගේ බිරියත් ඒ ඉස්කෝලේම ගණිතය ඉගැන්නුවා. මම හෙල්ල වීසි කිරීමයි, කවපෙත්ත වීසි කිරීමයිනේ කළේ. මගේ කෝච් සුගත් කරුණාරත්න සර්. එයා තමයි හොස්ටල් එක භාරව හිටියේ. හොස්ටල් එකේදි අපිට හරියට කන්න බොන්නවත් තිබුණේ නෑ. අපේ ක්‍රීඩා පන්තියේ පිරිමි ළමයි හතරදෙනයි හිටියේ. එයාලා නිවාඩුවට ගෙදර ගිහින් එද්දී අම්මලාට කියලා අපිටත් එක්ක කන්න මොනවහරි හදාගෙන එනවා. ඒත් නැත්තම් ඉස්කෝලේ තියෙන පොල්ගස්වලින් පොල් කඩලා අහළ පහළ කඩවලට විකුණලා ඒ සල්ලිවලින් කෑම වේල පිරිමහ ගන්නවා. අපේ හොස්ටල් එක පිටිපස්සේ පවුලක් පදිංචි වෙලා හිටියා. එගොල්ලොත් අපිට කන්න දෙනවා. ඒ අයියගේ නම ජයංග. අපිට ලෙඩක් දුකක් හැදුණොත් අපි එහේ තමයි යන්නේ. අපි කන්න බොන්න ගෙදර යන්න එහෙම සල්ලි ඉල්ල ගන්නෙත් එහෙන්. ජයංග අයියලා අපිට පුදුම විදිහට උදව් කරලා තියෙනවා. අපි තරගවලින් දිනලා ආවම අපේ ඇස්වහ පුච්චනවා. තුවාල වුණාම බෙහෙත් කරනවා. මායි අයියයි අදටත් එගොල්ලන්ට ණය ගැතියි.”
පසිඳු මේ කියන්නේ ඔලිම්පික් අවසන් පූර්ව තරගයට පිවිස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙනදුන් සිය නිවුන් සහෝදරයා වන අරුණ දර්ශනගේ ජීවන කතාව ය. මේ අයියාමලෝ යුද හමුදාවට බැඳී ඇත්තේ 2017 සහ 2018 වසරවලදීය. ඔවුන්ගේ පියා එස්.ඩී.ප්‍රේමලාල් මෙලොවින් සමුගත්තේ ඔවුන් යුද හමුදාවට එක්වී වසරක් ගතවෙද්දීය.
“අයියා උසස් පෙළ විභාගෙ ලියන්න අවුරුද්දක් තියෙද්දී ආමි එකට ගියා. මම කලා අංශයෙන් උසස් පෙළ කළා. අයියා ආමි එකට බැඳුණට පස්සේ අසංක සර් එයාව නුවර සර්ගේ ගෙදර නවත්තගෙන කන්න බොන්න දීලා හරි කැපවීමකින් අයියට පුහුණුවීම් කෙරෙව්වා. මෙතැනට එන්න අයියත් ලොකු කැපවීමක් කළා. ඊළඟ ඔලිම්පික් එකෙත් දුවන්න තමයි එයාගේ බලාපොරොත්තුව. මේ පාර ඔලිම්පික් ගියේ පෞද්ගලික දක්ෂතාව උඩට දාගන්නත් එක්කයි. ලොකු රේස් එකක්නේ. එයා හිතුවේවත් නෑ සෙමි යන්න පුළුවන් වෙයි කියලා.” පසිඳු කීවේය. මේ වන විට යුද හමුදාවෙන් ඉවත් වී සිටින ඔහු ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථානයක උපදේශකයකු ලෙස කටයුතු කරමින් සිටී.
“මගේ අතේ ඉන්ජරියක් තියෙනවා. ඒක තියාගෙන තමයි මම කාලයක් සෙල්ලම් කළේ. ඒ නිසයි දිගටම ක්‍රීඩා කරන්න බැරිවුණේ.” ඔහු කීවේය.
මේ වන විට ඔලිම්පික් වීරයා අරුණගේ සේරුනුවර දෙහිවත්තේ නිවෙසේ පදිංචිවී සිටින්නේ මව සහ නිවුන් සොහොයුරා පමණි. සිවිල් ආරක්ෂක බළකායේ රැකියාව කරන පවුලේ වැඩිමලා හේමන්ත රත්නකුමාරත්, දෙවැනියා චමින්දත් විවාහවීමෙන් පසු වෙනම පදිංචි වී සිටිති.
“අම්මත් අසනීපයෙන් ඉන්නේ. එයාට හරිහැටි ඇවිදින්න කරන්න බෑ. එයාගේ කකුලේ තුවාලයකට අවුරුදු 20ක් තිස්සේ බෙහෙත් කරනවා. අම්මා ඒ කාලේ වැටිලා උකුල් ඇටෙත් කැඩිලයි තියෙන්නේ.” පසිඳු වැඩිදුරටත් කීවේය. ලෝකය පුරා රටවල් රැසක මීටර් 400න් පදක්කම් පිට පදක්කම් දිනා ඇති අරුණ දර්ශනට අම්මාගෙන් තොර ලොවක් නැත. අරුණට පමණක් නොව පසිඳුටත් එලෙසය. රටක් දිනූ මේ දිරිය ක්‍රීඩකයාගේ මව වයලට් කුමාරසිංහ ‘සිළුමිණ‘ට කීවේ එවකට අලුත උපන් නිවුන් බිලිඳුන්ගේ ජිවිත ගැන වෛද්‍යවරු පවා විශ්වාසය නොතැබූ බවය.
“අඩු මාසෙන් ඉපදුණු නිසා ඉස්පිරිතාලෙන් කිව්වේ හදාගන්න අමාරුයි කියලයි. සුදු මහත්තයා (අරුණ) උපන්නේ 6.45ට. කළු මහත්තයා (පසිඳු) උපන්නේ 7.00ට. මේ දෙන්නගෙන් බාල එක්කෙනා නම් කොහොමත් හදාගන්න අමාරු වෙයි කියලයි දොස්තර මහත්තුරු කිව්වේ. මම කිව්වා කොහොමහරි හදාගන්නවා කියලා. ලජ්ජා වෙන්න ඕන නෑ කියන්න, අපි කැඳ වතුර පවා දීලා හරි අමාරුවෙන් මේ දරුවෝ දෙන්නා ලොකු මහත් කළේ. කොටි යුද්දේ නිසා අපි ඒ කාලේ සෑහෙන්න දුක් වින්දා.” අරුණගේ මව එසේ කීවේ බිඳුණු හඬිනි.
“කොහේ හිටියත් මට කතා කරලා මගේ ආශිර්වාදය අරගෙනයි පුතා තරගවලට දුවන්න යන්නේ. තාත්තා නෑ කියලා මට කිසිම අඩුපාඩුවක් වෙන්න දුන්නේ නෑ. අරුණ පුතා තමයි මට හැමදේටම ඉන්නේ. මගේ බෙහෙත්, කෑම බීම් අඩුපාඩු සේරම එයා තමයි අරන් දෙන්නේ. මට අරුණ පුතා දෙවියෙක්ම තමයි. උදේ ඉඳන් රෑ වෙනකල් මම අරුණ පුතා වෙනුවෙන් අඬනවා. මට සතුටත් ඒ වගෙයි. දුකත් ඒ වගෙයි. පුතා කවදාවත් සැප වින්ද දරුවෙක් නෙවෙයි. හැමදාම වින්දේ දුකක්. හරියට මහන්සි වෙනවා සෙල්ලම් කරන්න. ඔලිම්පික් යන්න කලින් අයියට සල්ලි දීලා කියලා ගියේ අම්මට ටී.වී එකකුයි ෆ්‍රිජ් එකකුයි අරන් දෙන්න කියලයි. අලුත් ටීවී එකක් ගෙනල්ලා අම්මගේ කාමරේම හයි කරලා දෙන්න කියලයි ගියේ. සුදු මහත්තයා ඔලිම්පික් දුවපු දවසට කලින් දවසේ මම බැරි ගාතේ පනස්අටේ කෝවිලට ගිහින් බාරයක් වුණා. පනස් අට දෙමළ ගමේ හන්දියේ තියෙන්නේ. සාමි කිව්වා බය වෙන්න එපා කියලා. පුතා ගෙදර එන්නේ ඉඳලා හිටලා. ඒ ආවම මගේ අතින් කෑම හදලා ඉල්ලනවා. එයා ආසම මුංඇට උයලා කන්න. සව්, කුරක්කං කැඳ බොන්නත් හරිම ආසයි. අරුණ පුතා තාත්තා වගේමයි. ආවම ගෙදර වැඩ ඔක්කොම එයා තමයි කරන්නේ. මට වැඩපළ කරන්න දෙන්නෙම නෑ. අම්මට ඇවිදින්න බෑනේ.. අම්මා ඉන්නකෝ කියලා. එයා හරි පිරිසුදුව ඉන්න කැමැති දරුවෙක්. ඒ නිසා ගෙදර ආවම ගේ හෝදලා අතුගාලා, දර පලලා ඇදලා දීලා තමයි යන්නේ. තාත්තා හිටියා නම් ගොඩාක් සතුටු වෙයි. බුදුන්ට පහන තියලා මම හැමදාම ඉල්ලනවා පුතා වෙනුවෙන්.”අරුණගේ මව එසේ කීවේ බොහෝ හැඟුම්බරවය.
ෆවුස් මොහොමඩ්