මෙරටදී සිදුවන අයිස් සහ හෙරොයින් ජාවාරම් විදේශ රටවල සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඉතා සූක්ෂ්ම අයුරින් නවීන ක්‍රමෝපායන් භාවිත කරමින් සිදු කරන අයුරු නිතර දකින්නට අසන්නට ලැබෙන සිදු වීමක් බවට මේ වන විට පත්ව ඇත.
එවැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ‘කුරු මිනිසෙකු‘ යොදා ගනිමින් හාලිඇළ සහ අවට ප්‍රදේශවල ඊසි කෑෂ් ක්‍රමයට සිදු කරවන ලද අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට හාලිඇළ පොලිසියේ නිලධාරීන්ට හැකි විය. සැකකරු සමඟ ඔහුගේ මිතුරකු ද සැකපිට අත්අඩංගුවට ගැනුණේ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3950ක් සමඟිනි.
හාලිඇළ, අන්තලාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කුරු මිනිසා මෙලෙස අත්අඩංගුවට පත්වන්නේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3500ක් සමඟය.
කන්දෙගෙදර ප්‍රදේශයේ පදිංචි මොහුගේ මිතුරකු වන 40 හැවිරිදි පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 450ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්විය.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි 3 පී. එම්. ජයරත්න යන නිලධාරීන්ගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සහාය මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක ඇතුළු නිලධාරීන් උපායදූතයකු යොදවා හාලිඇළ නගරයේ සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ඊසී කෑෂ් ක්‍රමයට බෙදාහැරීමේ ජාවාරමේ නිරතව සිටි කුරු මිනිසා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී ඔහුගේ හෙළිදරව් වූ කරුණු අනුව හාලිඇළ – නුවරඑළිය මාර්ගයේ මිතුරෙකුගේ කුලී නිෙවසක රැඳී සිටිමින් අයිස් මත්ද්‍රව්‍ය ඊසි කෑෂ් ක්‍රමයට බෙදාහැරි සෙසු පුද්ගලයා අත්අඩංගුවට ගැනිණි.
මොවුන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වූවන් වන අතර ඊසි කෑෂ් ක්‍රමයට අයිස් මත්ද්‍රව්‍ය ගැනුම්කරුවන්ට බෙදා හැරීම වෙනුවෙන් මුදල් වෙනුවට අයිස් මත්ද්‍රව්‍ය දෙදෙනාට දිනපතාම ලැබෙන්නේ ඔවුන්ගේ එදිනෙදා භාවිතය සඳහාය.
කුරු මිනිසාගේ ජංගම දුරකතනයට ලැබෙන දුරකතන ඇමතුම් අනුව මත්ද්‍රව්‍ය සැපයුම්කරු විසින් ගෙනැවිත් සඟවා තබන අයිස් මත්ද්‍රව්‍ය ඔහු සඳහන් කරන ස්ථානයට ගෙන ගොස් රහසිගතව ලබාගෙන මිතුරා සමඟ ඒ, ඒ අදාළ ගැනුම්කරුවන්ට සපයන්නේ බෝක්කුවක් තුළ, ගසක් යට , විදුලි කණු , දුරකතන කණුවල මත්ද්‍රව්‍ය සඟවා තබමිනි.
නමුත් මොවුන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය ලබා දෙන තැනැත්තා හෝ අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු එකිනෙකා නොහඳුනන බවත් සියලුම කටයුතු ජංගම දුරකතනයට ලැබෙන දුරකතන ඇමතුම් අනුව සිදු කරන බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට කළ පාපොච්චාරණයේදී තොරතුරු අනාවරණය විණැයි පොලිසිය පවසයි.
කන්දේගෙදර ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙම මත්ද්‍රව්‍ය හොර රහසේ බෙදාහැරීමේ පහසුව තකා හාලිඇළ නගරයේ නුවරඑළිය මාර්ගයේ මිතුරෙකුගේ නිෙවසක කුලියට නතර වී එම පුද්ගලයා සමඟ එක්වී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු ඉතාමත් රහසිගතව කාලයක් මුළුල්ලේ කරගෙන ගොස් තිබිණි.
මත්ද්‍රව්‍ය අඩංගු කුඩා පාර්සලයක් රුපියල් 2000 සිට රුපියල් 4000ක මුදලට ඊසි කෑෂ් ක්‍රමයට මොවුන් සිය ගැනුම්කරුවන්ට ලබා දී තිබේ.
හාලිඇළ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මහේස්ත්‍රාත් නුජිත්ද සිල්වා සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, පොලිස් අධිකාරි පී.එම්. ජයරත්න යන නිලධාරින්ගේ උපදෙස් මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක, පොලිස් සැරයන් 1477 ජයසිංහ , 74408 ඒකනායක, 54068 ලාල්, 19803 රත්නපාල යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.
සී. ගමගේ - සොරණාතොට සමූහ