මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුර සඳහා පත් කෙරෙන දෙදෙනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අදහස් දක්වමින් පවසා සිටියේ මනූෂ නානයක්කාර මන්ත්‍රීවරයාගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී එම මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින මන්ත්‍රීවරයා වන බන්දුලාල් බණ්ඩාරිගොඩ පත් වන බවයි. බණ්ඩාරිගොඩ පසුගිය මහ මැතිවරණයෙන් ලබාගත් මනාප සංඛ්‍යාව 34,897 කි.
හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගත් අයෙකු වන බැවින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ මණ්ඩලය එක්ව එම මන්ත්‍රී ධුරයට පත්වෙන පුද්ගලයා ගැන තීරණයක් ගන්නා බව ද හෙතෙම කියා සිටියේය.
හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය කටයුතු කිරීමත් සමඟ එම තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව ඔවුන් එතෙක් දරමින් සිටි අමාත්‍ය ධූරවලින් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට සිදු විය.
රසික කොටුදුරගේ