– කම්මුල් පහරේ රිටන් එක විදියට මට ලැබුණේ එයා මාව බයිසිකලෙන් බිමට වට්ටපු එක
– හොඳම දේ මට ඒ කම්මුල් පහර 14වතාවක් ගන්න වුණා නෙත්මි රොෂෙල්
නෙත්මි රොෂෙල් කියන්නේ අපේ කලා ක්ෂේත්රය තුළ දැකගන්න ලැබෙන්න දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක්. අවුරුදු කුමරියක් ලෙස ක්ෂේත්රයට පැමිණ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලබන නෙත්මි මේ වෙද්දී රිදී තිරයෙනුත් දැක ගන්න ලැබෙනවා. ඒ මේ දිනවල තිරගත වෙන ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කරන කම්බිලි චිත්‍රපටයෙන්. කලා ලොවේ ඉදිරි නිර්මාණ ගැන නෙත්මි රොෂෙල් සමඟ කළ කතා බහයි මේ.
මේ දවස්වළ මොකද වෙන්නේ?
ගොඩක් සතුටින් ඉන්න කාලයක්. මගේ දෙවන සිනමා නිර්මාණය වන කම්බිලි චිත්‍රපටය පසුගිය 8 වනදා සිට තිරගත වීම ආරම්භ වුණා. ඒ එක්කම තව අලුත් වැඩ කිහිපයක් පටන් ගත්ත නිසා පොඩ්ඩක් කාර්යබහුල වෙලා තියෙනවා. ITN එකේ පාරාදීසය නාට්‍යය විකාශය වෙන්න පටන් ගත්තා.
කම්බිලි චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
මගේ චරිතය සමාධි. ගොඩක් ආසාවෙන් ආදරෙන් කරපු චරිතයක්. මට සමාධි වෙන්න ආරාධනා කළේ කම්බිලි හි අධ්යක්ෂ ප්‍රසාද් කළුපහන අයියාමයි. ප්‍රසාද් අයියා කතා කරලා කිව්වේ ලස්සන නිර්මාණයක් කරන්න ලැස්ති වෙලා ඉන්නවා කියලා. අපිට කොයි වෙලාවකවත් මේ ඔහුගේ පළමු නිර්මාණය කියලා දැනෙන්න දුන්නේ නැහැ. හරිම ලස්සනට වැඩේ කළා.
ඇයි අමිල කරුණානායකට ඒ තරම් සැර කම්මුල් පහරවල් දුන්නේ?
මම ජීවිතේ පළමු වතාවට තමයි මනුස්සයෙක්ට කම්මුල් පාරක් දුන්නේ. මට එහෙම අවස්ථාවක් මින් පෙර ලැබිලා තිබ්බේ නැහැ. මම ඒකත් කිව්වා. අමිල අයියා මම මේ වගේ චරිතයක් කරලා නැහැ කියන එක. ඒ වගේම අමිල අයියාම තමයි කිව්වේ අපි ඇත්තටම ගමු කියලා. නැත්නම් රංගනයේදී බොරුවටත් ඇත්තට විදියට ගන්න පුළුවන්. හැබැයි ඒ සීන් එකේ හැටියට ඇත්තට ගත්තත් කමක් නැහැ වගේ සීන් එකක්. කොහොම හරි මම අමිල අයියාගේ කම්මුලට ගැහුවා. අයියාගේ මුහුණ රතු වුණා. ඒ තරම් හයියෙන් වැදුණා. හොඳම දේ මට ඒ කම්මුල් පහර 14වතාවක් ගන්න වුණා. එක එත පැතිවලින් ඒ සීන් එක අපි ෂූට් කළා.
තව මොනවද තියෙන අමතක නොවන මතක?
අමතක නොවන කියන්නේ මම අමිල අයියාට දුන්නු කම්මුල් පහරේ රිටන් එක විදියට මට ලැබුණේ එයා මාව බයිසිකලෙන් බිමට වට්ටපු එක. මම එදා ෂූටින් ඉවර කරලා පහුවදා ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට යන්න තිබ්බේ. කොහොම හරි මාව බිමට වැටුණු පාර මගේ කොන්දත් මොකක් ද වුණා. එදායින් පස්සේ මම තාමත් මගේ තාත්තා හෝ මල්ලි හැරෙන්න මට දැන් වෙන කෙනෙක් එක්ක බයික්වල යන්න බයයි.
තව අමතක නොවන සිදුවීමක් කිව්වොත් අපිට තිබ්බා වෙලක ෂූටින් එකක්. සමාධිව පන්නගෙන යනවා වෙලක. අපි ඒක කළේ පාන්දර එකට දෙකට වගේ. ඒ වෙලේ හැම තැනම වළවල් වගේ තියෙනවා. මගේ බාප්පා මට උණුවතුර එකක් අරගෙන ආවා. ටික වෙලාවක් බලද්දී බාප්පා නැහැ. බැලින්නම් බාප්පා වෙලේ වළකට වැටිලා. ඒකෙන් පස්සේ බාප්පා අසනීපත් වුණා. ඒ වගේ අමතක නොවන සුන්දර මතක ගොඩක් එක්ක කරපු ලස්සන වැඩක් කම්බිලි.
අවුරුදු කුමාරියක් විදියට එද්දිම හිතුවද ඊළඟට රංගනයට එන්න ඕනේ කියලා?
ඇත්තටම නැහැ. මගේ තාත්තා මට වාරණයක් දාලා තමයි අවුරුදු කුමාරි තරගයට එන්න දුන්නේ. ඒ තමයි රඟපාන්න යන්න බැහැ කියලා. අවුරුදු කුමරිය වුණොත් රංගනයට ඇරයුම් එන බව තාත්තා දන්නා නිසා තමයි මට එහෙම වාරණයක් දැම්මේ. තාත්තා කිව්වේ ඔයා උපාධිය ඉවර කර ගන්න ඕනේ ඒ දේවල් මඟ හැර ගන්න එපා කියලා. මම අවුරුදු කුමරිය වුණා. ඊට පහුවදාම මට රූපවාහිනී ආයුබෝවන් වැඩසටහනෙදි ඇරයුම් ලැබුණා. ඒ වැඩසටහන දී තමයි මට මුල්ම ඇරයුම එන්නේ. අරුණ ජයවර්ධන අයියා අධ්‍යක්ෂණය කළ සක්කාරන් නාට්‍යයට. මුලින්ම මට කතා කළේ අංජලි බුධවත්ත අක්කා. එයා කතා කරලා කිව්වේ එයාගේ හස්බන්ඩගෙ අලුත් වැඩකට දුවෙක් හොයනවා. නටන්න පුළුවන් ලස්සන කොණ්ඩයක් තියෙන දුවෙක් හොයන්නේ කියලා. ඒ චරිතය ගැනත් කිව්වම මට ආස හිතුණා. ඒ වෙද්දී තාත්තා රංගනය තහනම් කරලා තියෙන නිසා මම අංජලි අක්කට කිව්වා තාත්තා කැමති නැහැ කියලා. එයා එතකොට ඇහුවා තාත්තට කතා කරන්න ද කියලා. මම හා කිව්වා. අක්කා තාත්තට කතා කරපු විදිය හෝ ඒ චරිතය ගැන කිව්වම ඇතිවුණු පැහැදීම නිසා හෝ තාත්තා මට අවසර දුන්නා. ඒ පටන් ගත්ත ගමන තමයි අද වෙනකම් මේ යන්නේ. මගේ තාත්තා හැම තැනකම මා පිටුපස හිටියා. මගේ ශක්තිය මගේ අම්මා තාත්තා ඇතුළු මගේ පවුලේ අය. අද වැඩිපුරම සතුටු වෙන්නේ මගේ පවුලේ අය. අම්මගේ හීනේ තමයි මම නිළියක් වීම. ඒ නිසා අම්මා කොහොමත් සතුටුයි. ඊට පස්සේ වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ තාත්තා. එයා මගේ වැඩක් පුංචි තිරයේ හරි රිදී තිරයේ හරි බලන්නේ සතුටින්.
ප්‍රේක්ෂක ආදරේ හැරුණම නෙත්මි රොෂෙල්ටම විශේෂ වූ ආදරයක් තියෙනවද?
මම පවුලේ ආදරේ උපරිමයෙන් ලබන කෙනෙක්. මගේ කවය හරිම පොඩියි. මට ඉන්නවා යාළුවො ටිකක්. ඒ හැමෝම මට හරිම ආදරෙයි. එහෙමත් නැති විශේෂ ආදරයක් තවම නැහැ මට.
ක්ෂේත්රයේ කෙනෙක්ටද ආදරේ කරන්න කැමති?
එහෙම නැහැ. මට ක්ෂේත්රය අදාළම නැහැ. මම හොයන්නේ ලයිෆ් පාට්නර් කෙනෙක්. මෙතනින් එහාට ජීවිතේ බෙදා ගන්න පුළුවන් කෙනෙක්. එහෙම කෙනෙක් හොයා ගන්න එක ලෙහෙසි දෙයක් නෙවෙයි.
අනුෂා රණසිංහ