Home » ඩුබායි නිපුනගේ අයිස් ජාවාරම දෙවැනි පාරත් වතුරේ ගිය හැටි

ඩුබායි නිපුනගේ අයිස් ජාවාරම දෙවැනි පාරත් වතුරේ ගිය හැටි

by thanushika
August 17, 2024 12:30 am 0 comment

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම මෑත කාලයේ මත් ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම මුදල් ඉපැයීමේ ජාවාරමක් බවට පත්ව ඇත. රසායනික මත්ද්‍රව්‍යයක් වන මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන ජාවාරම්කරුවන් අතර ‘ඩුබායි නිපුන‘ ප්‍රමුඛයෙකි.

වත්තල, ඇළකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මේ වන විට ඩුබායිහි වාසය කරන බවට සැල වන කපුරු බණ්ඩාගේ දොන් නිපුන චමින්ද උදයංග, ඩුබායි නිපුන ලෙස ද හැඳින්වේ. ඔහු කලක් තිස්සේ චොකලට් පෙට්ටි තුළ බහා මෙරටට එවන ලද මහා පරිමාණ අයිස් ජාවාරමක සුලමුල පසුගියදා අනාවරණය කරගැනීමට එස්ටීඑෆ් බුද්ධි කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වාට ලැබුණු තොරතුරක් මත හැකි විය. ඉකුත් මාර්තු මාසයේ 2 වැනිදා කිරිබත්ගොඩ, දළුගමදී සිදුකළ එම වැටලීම ඔස්සේ කෝටි 20ක් පමණ වටිනා අයිස් කිලෝග්‍රෑම් 10ක පමණ ප්‍රමාණයක් එස්ටීඑෆ් නිලධාරින් විසින් සොයා ගැනුණේ දළුගමදී සහ කටුනායක දී සිදුකළ වැටලීම් ඔස්සේය.

ඩුබායි නිපුන එලෙස මෙරටට එවන ලද තවත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල ඉකුත් 7 වැනිදා අනාවරණය කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යූ.ඕ. ජයවර්ධනට සහ ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල්ට හැකි වන්නේ ලැබුණු තොරතුරකට අනුවය.

පරිගණක දෘඩාංග (Hard Disk) 63ක බහා ඉතා සූක්ෂ්ම ලෙස එවා තිබූ මේ දිනවල මත්ද්‍රව්‍ය හිඟය නිසා රුපියල් කෝටි 15ක් පමණ වීදි වෙළෙඳපොළ වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 312ක් කටුනායක ගුවන් තොටුපොළේ යූපීඑස් කාගෝහි තිබියදී සොයා ගැනීමට එස්ටීඑෆ් ගෝනහේන කඳවුරේ නිලධාරින්ට හැකි විය.

ඩුබායි නිපුන විසින් එලෙස එවා තිබෙන බවට සැල වන එම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමේ කතාවේ මුල මැද අග පෙළ ගැසෙන්නේ මෙලෙසය.

ඉකුත් ජූලි 20 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රාදේශිය අණදෙන නිලධාරි (ගම්පහ) සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යූ.ඕ. ජයවර්ධනට සහ පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල්ට සිය පෞද්ගලික තොරතුරුකරුවන් ඔස්සේ තොරතුරක් ලැබී තිබිණි.

“සර්… පාකිස්තානේ ඉඳලා ඩුබායි හරහා කොම්පියුටර් කෑලිවල හංගලා අයිස් ලංකාවට එවන ජාවාරමක් සිද්ධ වෙනවා…“ යැයි තොරතුරුකරු කියා තිබුණේ එම පරිගණක උපාංග කොටස් සමඟ අයිස් මත්ද්‍රව්‍ය එවූ පාර්සල් දෙකක් ඉකුත් මැයි මස 11 වැනිදා ඩුබායි සිට ලංකාවට එවා ඇති බවද සඳහන් කරමිනි.

අනතුරුව එම තොරතුර පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් සහ නියෝග මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීරගේ මඟපෙන්වීමෙන් ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් ඇතුළු කණ්ඩායම ඒ ගැන විමර්ශන සිදු කරන්නට විය.

එහිදී තොරතුරුකරුවන්ගෙන් එම පාර්සල් දෙක පාකිස්තානයෙන් එවන ලද පුද්ගලයාගේ නම අනාවරණය වුවද ඒ ඔස්සේ වැඩිදුර තොරතුරු අනාවරණය නොවීය.

පසුව එස්ටීඑෆ් නිලධාරින් ඩුබායිහි සිටින තොරතුරුකරුවන්ගෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගනිද්දී සැල වූයේ පාර්සල් දෙක ඒ වන විට ඩුබායි සිට ලංකාවට එවීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළෙහි යූපීඑස් කාගෝහි තිබෙන බවය. එම පාර්සල් දෙකෙහි අංක ද නිලධාරින්ට තොරතුරුකරුවන් විසින් ලබා දී තිබිණි.

එසේම එම පාර්සල් දෙක ඩුබායි නිපුන නමැත්තා මෙරටට එවා ඇති බවත් අනාවරණය විය. එසේම අයිස් මත්ද්‍රව්‍ය සැඟවූ පරිගණක උපාංග පාකිස්තානයේ සිට ඍජුව ලංකාවට එවා නැත්තේ පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වන භාණ්ඩ (High Risk) නිසා දැඩි පරීක්ෂාවට ලක්වන හෙයිනි. එම නිසා ආරක්ෂක අංශ නොමඟ යැවීමේ අරමුණෙන් එම ජාවාරම්කරුවන් සිදුකර තිබුණේ ඒවා පාකිස්තානයෙන් ඩුබායි රාජ්‍යය වෙත යවා නැවත ඩුබායි සිට මෙරටට එවීමයි. ඒ ඩුබායි සිට මෙරටට ගෙන්වන භාණ්ඩ ගැන ආරක්ෂක අංශ එතරම් සැක නොකරන හෙයිනි.

එම පාර්සල් දෙකේ අංක ඔස්සේ යූපීඑස් කාගෝ වෙත ගොස් පරීක්ෂා කළ එස්ටීඑෆ් නිලධාරින්ට එම පාර්සල් එවා ඇති මෙරට ලිපින දෙක අනාවරණය කරගන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය. කඩුවෙල සහ මීගමුව, කුරණ ලිපිනයන් එහි සඳහන් වී තිබිණි. එම ලිපින අදාළ වසම්හි ග්‍රාම නිලධාරින් මඟින්ද පරීක්ෂා කළ නිලධාරින්ට සැල වූයේ එම ලිපිනයන් ව්‍යාජ ඒවා බවයි.

අනතුරුව එස්ටීඑෆ් නිලධාරින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඔස්සේ මෙකී විමර්ශනය ගැන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද දැනුම්වත් කිරීමත් සමඟ කටුනායක ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ද අදාළ විමර්ශනවලට එක් විය. ඒ අනුව ලැබී තිබූ එම පාර්සල් දෙක බෙදා නොහරින ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හරහා ශ්‍රී ලංකා රේගුව දැනුම්වත් කෙරුණේ ඉකුත් ජූලි 27 වැනිදාය.

එස්ටීඑෆ් නිලධාරින් එලෙස අදාළ සැක කටයුතු පාර්සල් පිටතට රැගෙන යාම ද නතර කරමින් වැඩිදුරටත් අාවේක්ෂණ රාජකාරියේ නිරත වෙමින් සිටියේ පාර්සල් දෙක රැගෙන යාමට කවුරුන් හෝ පැමිණේවි යැයි සැකයෙනි. එහෙත් කිසිවෙකු නොපැමිණි හෙයින් ඉකුත් අගෝස්තු 7 වැනිදා යූපීඑස් කාගෝහිදී එම පාර්සල් විවෘත කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ පරිගණක හාඩ්වෙයාර් පිළිබඳ හසළ දැනුමැති විශේෂඥ නිලධාරින්ගේ ද සහාය ලබා ගනිමිනි.

එහිදී පාර්සල් දෙක විවෘත කිරීමට පෙර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිල සුනඛ ‘රෙක්සි‘ හට පාර්සල් ඉව කිරීමට දීමේදී නිල සුනඛ රෙක්සි ඒ තුළ මත්ද්‍රව්‍ය ඇති බව තහවුරුකර තිබුණේ බිම පෙරළෙමින් ඒවා සපා කෑමට ද තැත් කරමිනි. පාර්සල් පරීක්ෂාවේදී පරිගණක දෘඩාංග 63ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා අයිස් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 312ක් සොයා ගැනිණි.

ඩුබායි නිපුන විසින් මීට පෙරදී චොකලට් පෙට්ටිවල බහා එවන ලද අයිස් මත්ද්‍රව්‍ය තොගය එස්ටීඑෆ් නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වීමත් සමඟ ඔහු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයේ සිට ඩුබායි වෙත යවා තිබුණේ ඩුබායි සිට පරිගණක උපාංග බොහෝ සේ මෙරටට එවන නිසා කිසිවකුටත් සැක නොසිතෙන ලෙස අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවීමේ අටියෙන් බව විමර්ශන නිලධාරින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව පරිගණක දෘඩාංගවල ඇසිරූ අයිස් මත්ද්‍රව්‍ය තොගය අඩංගු පාර්සල් දෙක පාකිස්තානයෙන් ඩුබායි වෙත යවා ඇත්තේ ඉකුත් මැයි මස 5 වැනිදා බවත් තොරතුරුකරුවන් හෙළිකර තිබිණි.

මේ වන විට අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටදී ලබා ගැනීමට සිටි පුද්ගලයන් ගැන පුළුල් විමර්ශනයක් එස්ටීඑෆ් නිලධාරින් විසින් සිදු කරන්නේ, එම පාර්සල් දෙකේ තිබූ දුරකතන අංක දෙක සහ විද්‍යුත් ලිපිනයන් ඔස්සේ සිදුකරන ලද විමර්ශන මඟිනි. අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දීමත් සමඟ ඒවා ඉකුත් 8 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අධිකරණ කටයුතු සඳහාය.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division