Home » බළන්ගොඩ ලොරි රියැදුරෙක් කළ අමානුෂික වැඩක්

බළන්ගොඩ ලොරි රියැදුරෙක් කළ අමානුෂික වැඩක්

දීපාල් සමරසේකර

by thanushika
August 17, 2024 12:30 am 0 comment

මිනිස් ආත්මයකට උරුමකම් කීවත් ඒ ඇතැමුන්ගේ හැසිරීම සහ කල්ක්‍රියාවන් වන සතුන්ටත් වඩා අන්තය. එවැනි පුද්ගලයන් සිදු කරන ක්‍රියා නිසා අසරණ අහිංසක පුද්ගලයන්ට සිය ජීවිතවලින් අකාලයේ සමුගන්නට සිදුවීම නම් අතිශය ඛේදජනක කාරණාවකි. එවැනි සිදුවීම් ගණනාවක් මාධ්‍ය මඟින් පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබිණි. මේ එවැනි කතාවකි. වාර්තා වන්නේ සබරගමුව පළාතේ බළන්ගොඩ පොලිස් ස්ථානයෙනි.

තිස් දෙහැවිරිදි වයි. ඒ. තිළිණ රංගලාල් පදිංචිව සිටින්නේ පල්ලේබැද්ද අම්බැවිල ප්‍රදේශයේය.

තිළිණ රංගලාල්ගේ දියණිය සුනඛයකු විසින් සපා කන්නේ පසුගිය දිනෙකය. සුනඛයාගේ දත් පහරින් තුවාල ලද දියණියට ඉක්මනින් ප්‍රතිකාර ලබා දීම තිළිණගේ අරමුණ විය. ඔහු සිය බිරිය සහ දියණිය මෝටර් බයිසිකලයේ නංවාගෙන බළන්ගොඩ රෝහලට පැමිණෙන්නේ සුනඛයා විසින් සපාකෑ දියණිය රෝහල්ගත කිරීම සඳහාය.

නිවසේ සිට බළන්ගොඩ රෝහලට ආ තිළිණ දියණිය ද කැටුව වෛද්‍යවරයා හමුවීමෙන් අනතුරුව වෛද්‍යවරයා තීරණය කරන්නේ දියණියට එන්නත් ලබා දීමටය. දියණියට රෝහලෙන් එන්නත් ලබා දීමෙන් අනතුරුව තිළිණ සිය බිරිය සහ දියණිය සමඟ මෝටර් බයිසිකලයේ නැඟී නැවත නිවස වෙත යාමට සූදානම් විය.

තිදෙනා රැගත් මෝටර් බයිසිකලය බළන්ගොඩ නගරය ඔස්සේ ධාවනය වී ඇත්තේ දියණියට නෙල්ලි මිලදීගෙන දීම සඳහාය.

අනතුරුව මෝටර් බයිසිකලය බලංගොඩ කහටපිටිය මාර්ගයට ප්‍රවිෂ්ට වී එහි ධාවනය වන අතරතුරදී මේ තිදෙනා ගමන් කළ මෝටර් බයිසිකලය පිටුපසින් පැමිණි ලොරියක් එහි ගැටී ඇති අතර එම අනතුරින් බිම ඇද වැටුණු දියණිය තුවාල ලැබුවාය.

ලොරි රථ රියැදුරු කිසිම මනුස්සකමක් හෝ පපුවේ තෙත් ගතියක් ඇත්තෙකු නොවන බව තිළිණට පසක් වන්නේ මෙහිදීය. මෝටර් බයිසිකලයේ ගමන් කළ දියණිය තුවාල ලබා සිටියදී ලොරි රථ රියැදුරා ලොරිය නොනවත්වා ධාවනය කරන්නේ සිත්පින් නැති අයකු ලෙසය.

මේ සිද්ධියෙන් බලවත් කම්පාවට පත් තිළිණ සිය බිරියට පවසන්නේ තුවාල ලද හත් හැවිරිදි දියණිය රෝහල්ගත කරන ලෙසය. අනතුරුව අනතුර සිදු කළ ලොරිය පසුපස සිය මෝටර් බයිසිකලයෙන් ඔහු හඹා යන්නේ ඒ මොහොතේමය. එහෙත් ඒ ගමන තිළිණ නැවත නොඑන ගමනක් බව කිසිවකු සිතන්නට නැත.

ලොරිය පසුපස කිලෝමීටර් කීපයක් එලෙස සිය මෝටර් බයිසිකලයෙන් හඹා යන තිළිණ එය නවතා ගන්නට කොතෙකුත් සංඥා කළද තමන් කළ වැරදි ක්‍රියාව ගැන දන්නා සාහසික රියැදුරා ලොරියේ වේගය තවත් වැඩි කරමින් එය ධාවනය කළේය. දැන් එය ලොරියත් මෝටර් බයිසිකලයත් අතර ධාවන තරගයක් බවට පත්වී අවසානය.

තමන් කොතෙකුත් සංඥා කළද ලොරියේ රියැදුරු එය නොනවත්වා ධාවනය කරන බව තිළිණට ඒත්තු යන්නට ඇත. ඔහු මෝටර් බයිසිකලයේ වේගය වැඩි කර එය ලොරි රියැදුරුගේ ආසනය අසලට ළංකර මෝටර් බයිසිකලය අතහැර ලොරියේ දොරේ එල්ලෙන්නේ ක්ෂණිකවය. තමන්ට බේරීමක් නැති බව දැනගන්නා රියැදුරු ලොරිය ඒ අසල විදුලි පහන් කණුවක් අසලටම ළං කරද්දි දොරේ එල්ලී සිටි තිළිණ විදුලි පහන් කණුවේ ගැටී බිම ඇද වැටෙන්නේ තත්පර කීපයක් ඇතුළතදීය. මේ සිද්ධියෙන් තිළිණ බරපතළ තුවාල ලැබූ අතර ලොරියේ රියැදුරු ලොරිය ධාවනය කරගෙන පලා යන්නේ සිත්පිත් නැත්තෙකු ලෙසය.

බරපතළ තුවාල ලැබ සිටි තිළිණ ඒ මොහොතේම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.

මේ පිළිබඳව බළන්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයකොඩි, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.ඒ. එම්. ජයතිස්ස, උප පරීක්ෂක නුවන් දර්ශන, සැරයන් ජයනාත් යන නිලධරයන් මේ ගැන විමර්ශන ආරම්භ කරන්නේ පුද්ගලයන් කීප දෙනෙකුගෙන්ද සාක්ෂි සටහන්කර ගනිමිනි.

ඒ අනුව සිද්ධිය ගැන තොරතුරු මුල සිටම හෙළිකර ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමට හැකි විය.

අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටි තිළිණගේ හත් හැවිරිදි දියණියගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලබා ගන්නේ ඔය අතරතුරදීය. ඒ අතර පලා ගිය ලොරිය ගැන සෙවීම සඳහා පොලිස් කණ්ඩායමක් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව විමර්ශන සිදු කරද්දී සැකකාර රියැදුරු නීතිඥයකු මාර්ගයෙන් බළන්ගොඩ පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගැනිණි. සැකකාර රියැදුරා බළන්ගොඩ මාවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද හෙළි විය.

සැකකාර රියැදුරු ධාවනය කළ ලොරිය සොයා ගැනීම පොලිස් නිලධාරීන්ගේ ඊළඟ විමර්ශනය බවට පත්වී තිබිණි. එම ලොරිය මාවෙල ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වන්නේ ඒ අනුවය.

අනතුර සිදු වූ ස්ථානයට ගිය බළන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය පරීක්ෂණ පැවැත්වූවාය. බළන්ගොඩ රෝහලට ද ගිය මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණ සිදු කළාය. තිළිණගේ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු ලවා සිදු කරවන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.

අනතුරින් තුවාල ලැබූ හත් හැවිරිදි දියණිය බළන්ගොඩ මූලික රෝහලේ පළමු වාට්ටුවට ඇතුළු කරනු ලැබ එහිදී ප්‍රතිකාර ලැබුවාය. තිළිණගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ බළන්ගොඩ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයී. එල්. රත්නායක විසිනි.

තිළිණගේ මරණය ඝාතනයක් බවට සැක කැරෙන අතර ඒ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් සිදු කෙරේ.

ඡායාරූප – බළන්ගොඩ සම්පත් ප්‍රියනන්දන

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division