යාපනය කයිට්ස් හි පිහිටි පුලින්කුඩල් පිල්ලියාර් කෝවිල එසේත් නොමැතිනම් ගණදෙවි කෝවිල ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමකින් සමන්විත හාස්කම් බහුල හින්දු භක්තිකයින්ගේ මුදුන්මල්කඩක් බවට පත්ව ඇත්තේ අද ඊයෙක සිට නොවේ. මේ කෝවිල වැඳ පුදා ගැනීමට නන්දෙසින් විශාල බැතිමතුන් ඊට පැමිණෙති. පසුගිය දින කිහිපය පුරාවට මෙම කෝවිලේ වාර්ෂික මංගල්‍යය ඉතා උත්කර්ෂවත්ව සිදු කෙරුණේ දහසකුත් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වෙමිනි.
මෙහි ප්‍රධාන දේව මෙහෙය සිදුකරනු ලැබුවේ නෙල්ලිඅඩි පොලිස් බලප්‍රදේශයට අයත් යාපනය පූචූර් ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි වියේ පසූවූ පූජකවරයෙකි. මෙම පූජකවරයා ඇතුළු තවත් පූජකවරු සිවුදෙනකු මෙවර වාර්ෂික මංගල්‍ය සඳහා පැමිණ එහි ආගමික වතාවත් සිදු කරමින් දින දහයක් පුරා දේවාලයේ නැවතී සිට තිබිණි. පූජාව නිමා කිරීමට පෙර දිනයේ මෙහි සිටි ප්‍රධාන පූජකවරයා අසනීප තත්ත්වයේ පසුවන බව පවසා අනෙකුත් පූජකවරුන්ට පූජාවේ ඉතිරි කොටස් සිදුකර ගෙන යන ලෙස උපදෙස් දී පිටව ගොස් තිබුණි.
එදින රාත්‍රියේ පිටව ගොස් තිබූ පූජකවරයා වෙනුවට අනෙකුත් පූජකවරු පූජාවන් සිදු කිරීමෙන් පසු පසුදා උදෑසන ඔවුන් ද පිටව ගොස් තිබුණි. එසේ පිටව ගොස් දින දෙකකට පමණ පසු දේවාලයේ සභාපතිවරයා විසින් එහි තැන්පත් කර තිබූ සේප්පුව විවෘත කරන්නේ ඔහු අත තිබූ තවත් මුදලක් එහි තැන්පත් කිරීමටය. සේප්පුව විවෘත කර බැලූ සැණින් සභාපතිවරයා විස්මයට පත්විය. ඒ, සේප්පුවේ තැන්පත් කර තිබූ රන් පවුම් 68ක් සහ මුදලින් රුපියල් ලක්ෂ අටක් අස්ථානගතව ඇති බව දැනගැනීම නිසාය.
සභාපතිවරයා වහාම සිය දායකයින්ව දැනුම්වත් කර මේ පිළිබදව කයිට්ස් පොලිසියට පැමිණිල්ලක් කළේය. කයිට්ස් පොලිසිය විසින් පැමිණිල්ල සටහන් කර විමර්ශනයක් සිදු කරද්දී ගමේ පිරිසක් සභාපතිවරයාට විරුද්ධව විවිධ චෝදනා එල්ල කරමින් මෙම රන් සොරා ගැනීමට සභාපතිවරයා ද සෘජුව සම්බන්ධ බවට පොලිසියට පවසා තිබුණි. මේ සිද්ධිය පිළිබඳව යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහගේ උපදෙස් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පිරිසක් වහාම සිද්ධිය සිදුවූ ස්ථානයට ගියේ මෙහි වැඩිදුර විමර්ශන සඳහාය.
විමර්ශන නිලධාරින් සිද්ධිය සිදුවීමට පෙර එම සේප්පුවේ යතුර භාරව කටයුතු කළේ කවුරුන් ද යන්න විමර්ශනය කරන ලද අතර එහිදී සභාපතිවරයා භාරයේ යතුරු තිබූ බවට ඔහු පොලිසිය හමුවේ පවසා තිබුණි. එසේනම් මෙම සොරකමට සෘජුවම සභාපතිවරයා වගකිවයුත්තා යැයි දායකයින් නැවත චෝදනා කරන්නට විය. නමුත් පොලිස් නිලධාරින් ‘උකුසු ඇස්’ යොමු කරන්නේ වෙනත් දිසාවක් ඔස්සේය.
“තමුන් මේ යතුර කොහෙද තියන්නෙ?” පොලිස් නිලධරයන් සභාපතිගෙන් එලෙස විමසීය.
සභාපතිවරයා පැවැසුවේ දේවස්ථානයේ කාමරයක් තුළ පිහිටි කබඩ් එකක යතුර තබනවා යන්නය. එම කාමරයේ ඇති කුඩා අගුළ වෙනත් ඕනෑම යතුරකින් විවෘත කිරීමට පහසු ලෙස සැකසී තිබෙන බව විමර්ශන නිලධාරින්ට තහවුරු විය.
මෙම පූජාවට සම්බන්ධවූ පූජකවරු සිව්දෙනාගෙන් තිදෙනෙකු හමුවේ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පොලිසියට කීවේ ප්‍රධාන පූජකවරයා දින කිහිපයක් පුරා මෙහි සේප්පුව තිබූ කාමරයට යන එන බව ඔවුන් සියැසින් දුටු බවයි. දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා සොයා පොලිසිය විමර්ශන ඇරඹීය.
අදාළ පූජකවරයා පදිංචිව සිටින්නේ නෙල්ලිඅඩි පොලිස් බලප්‍රදේශයට අයත් යාපනය පූචූර් ප්රදේශයේය. එහි ගිය පොලිස් නිලධාරින් ඔහුගේ නිෙවසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන පරික්ෂාවට ලක් කළේය. එහිදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී දින කිහිපයකට පෙර උකස් තැබූ ස්වර්ණාභරණ කිහිපයක ලදුපත් හමුවිය. පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන්ගේ බිරිය සතු ස්වර්ණාභරණ උකස් තැබූ ලදුපත් යන්නය. එහෙත් බිරියගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පොලිසියට පවසා ඇත්තේ ඇය සතුව එපමණ වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ නොතිබූ බවයි. දෙදෙනාගේ ප්‍රකාශ පරස්පර නිසා ප්‍රධාන පූජකයා අත්අඩංගුවට ගන්නා ලදි.
පසුව පොලිසියට රැගෙන ආ සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පොලිසියට පාපෝච්චාරණය කර ඇත්තේ මෙවැන්නකි. “සර් මම දැනට අවුරුදු ගාණක් මේ දේවාලෙ ප්‍රධාන පූජකවරයා විදියට කටයුතු කරනවා. මට ඒ ගමේ අය ගොඩක් ආදරෙයි මාව එයාලට ගොඩක් විශ්වාසයි. එයාලා මං ගැන සැකයක් හිතුවෙම නෑ. ඒ නිසා මට හිතුණා මේ සේප්පුවෙ තියෙන සල්ලියි රත්තරං බඩුයි අරගන්න. ඊට පස්සේ මම සේප්පුවෙ යතුර තියෙන කාමරයේ ඉබ්බාට වෙන යතුරක් දාලා ඉබ්බා ඇරලා ඊට පස්සෙ සේප්පුවෙ යතුර තියෙන කබඩ් එක ඇරලා ඒ යතුර අරගෙන සේප්පුව ඇරලා මම ඒ රත්රන් බඩුයි ඒකේ තිබ්බ ලක්ෂ අටක් සල්ලියි ගත්තා යනුවෙනි.” පසුව විමර්ශන නිලධාරින් ඔහුගෙන් දීර්ඝව කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කයිට්ස් අධිකරණයට ඉදිරිපත්කොට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබිණි.
එහිදී ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ තමන් විසින් කෝවිලේ සේප්පුවෙ තිබී රන් පවුම් 68ට ආසන්න ස්වර්ණාභරණ තොගය සහ රුපියල් ලක්ෂ 08ක් සොරා ගත් බවත්, එකී ස්වර්ණාභරණවලින් කොටසක් අච්චුවේලි ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතන කිහිපයක උකසට තැබූ බවත්, ඉතිරි කොටස් නිවසේ පිහිටි අල්මාරියේ සඟවා ඇති බවය. මුදල් සිය නිවස ඉදිකිරීම සඳහා යොදාගත් බවත් ඉන් කොටසක් තමන්ගේ බැංකු ගිණුමට බැර කර ඇති බවයි.
අස්ථානගත වූ බව කියන රුපියල් ලක්ෂ අටක මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් ද පොලිසිය විසින් සොයා ගෙන අධිකරණය හමුවට නැවත සැකකරුවන් සමඟ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කයිට්ස් අධිකරණ විසින් නියෝග කර ඇත්තේ ප්‍රධාන සැකකාර පූජකවරයා ඇතුළු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
එහිදී විමර්ශන ආරම්භ කළ යාපනය කොට්ඨාස අපරාධ අංශයේ නිලධාරින් අනෙක් සැකකරුවන් තිදෙනා ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ ඔවුන් ද මෙම සොරකමට සෘජු හා වක්‍ර ලෙස සම්බන්ධ වී තිබීම හේතුවෙනි.
යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ සහ යාපනය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ප්‍රේමතිලක, විමර්ශන ඒකකය භාර උප පොලිස් පරික්ෂක ආර්. ප්‍රදීප් යන නිලධාරින්ගේ මෙහෙයවීමෙන් කොස්තාපල්වරුන් වන (88956) සම්පත්, (89521) කවියර්ශන්, (88941) සුජන්තන්, (83090) බස්නායක, (94041) ජේසුදන් යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.
කේ.ප්‍රියංකර කළුපහන - වනාතවිල්ලුව සමූහ