Home » සාදය මාරයි මිතුරා හමාරයි

සාදය මාරයි මිතුරා හමාරයි

by thanushika
August 17, 2024 12:30 am 0 comment

මේ කතාවේ එන සිව්දෙනා අගලවත්ත, ගිරිකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෝය. මේ සිව්දෙනාගෙන් එක් සාමාජිකයකු වන 44 හැවිරිදි ‘මාලිත’ගේ නිවෙස තිබුණේ ලන්දේවත්ත, ගල්වළ පාරේය. ඔහුගේ බිරිය ඉනෝකාත් කුඩා දියණියන් දෙදෙනාත් සමඟ ජීවත් වූ මාලිත රැකියාව වශයෙන් සිදු කෙළේ කුලී වැඩය. ඔහුගේ දියණියන් දෙදෙනාම අවුරුදු අට සහ දහය වැනි වයස්වල පසු විය.

මෙම කල්ලියේ අනෙක් සාමාජිකයා තිස්සය. හැට හැවිරිදි වියේ පසුවූ ඔහු පදිංචිව සිටියේ ගිරිකොළ, අඹගහ හන්දිය ප්‍රදේශයේය. කුඩා නිවෙසක ජීවත් වූ ඔහුගේ බිරිය හැර ගොස්ය. ඒ මීට වසර දෙකකට පමණ පෙරය. පෙර විවාහයක දරුවන් සිටි කාන්තාවක් වූ ඇය තිස්සගෙන් වෙන් වීමෙන් පසුව තනිවම ජීවත්විය. නිවසේ කාලය ගත කළ තිස්ස දහවල් කාලයේ කුලී රැකියාවක නියුතුව හවසට ‘හීන් අඩියක්’ ගැසීමට පුරුදුව සිටියේ පාළුව කාන්සිය මඟහරවා ගැනීම සඳහාය. කසිප්පු පානය කිරීමට ගිජුකමක් දැක්වූ ඔහු ඒ සඳහා අනෙක් මිතුරන්ද එකතු කරගැනීමට කටයුතු කළේ කුඩා නිවසේ පිරී තිබූ හිස් බව මෙන්ම පාළුවද ඒ නිසා ඉවත්වී යන බැවිනි.

එදිනද ඔහු ‘කසිප්පු සාදයක්’ ආරම්භ කළේ හවස හයට පමණය. ඒ සඳහා මාලිතට මෙන්ම අවිවාහකයෙකු වූ 36 හැවිරිදි පැතුම් සහ විශ්‍රාමික නාවික හමුදා සෙබළකු වන ජයසිංහට ද අරාධනා ලැබුණේ සුපුරුදු පරිදිමය.

මොහොතකින් තිස්සගේ කුඩා නිවෙස හිනා හඬින් හා කතා හඬින් පිරී ගියේ මත්පැන් සාදය ජයටම පැවැත් වූ බැවිනි. විහිළු තහළුවලින් ද අඩුවක් නොවුණු සාදය එන්න එන්නම තීව්‍ර වෙද්දී එකිනෙකාගේ රතු කට්ටද නොපිටට යමින් තිබුණේ කාටත් හොර රහසේමය.

“බලපං මචං මේ ගෑනී මාව දාල ගියානේ. මේක දැන් පිස්සන් කොටුවක්.”

මාලිත සමඟ කතාවට වැටුණු නිවෙස් හිමි තිස්ස ගොත ගසමින් පැවසුවේ තමන්ගේ හිතේ නැඟුණු වේදනාව තුනී කරගැනීම සඳහාය. එම අවස්ථාවේ සෙසු දෙදෙනා සිටියේ වෙනත් කතාවක පැටලීගෙනය.

“ඒක ඇත්ත තමයි. මෙතනදී නම් උඹ තමයි මචං වැරදිකාරයා.” මාලිත එලෙස පිළිතුරු දුන්නේ ද තිස්සගේ පිට වරද පටවන ස්වරයෙනි.

“ඒ කොහොමද. කොහොමද?“ මාලිතගේ කතාවෙන් කලබල වූ තිස්ස පෙරළා මාලිතගෙන් විමසා සිටියේ තරමක කෝපයෙන් ද යුක්තවය.

“උඹේ කොන්ද පණ තිබුණනං ගෑනි උඹව දාල යනවද? නෑනෙ මස්සිනා…“ මාලිතගේ උපහාස වදන් හමුවේ තිස්සගේ සිරුරේ සැඟව සිටි යක්ෂයා අවදි වූයේ ක්ෂණයකිනි.

“මොක්… කද්ද උඹ කිව්වේ. කියාපිය බලන්න. ආයි…?“

එකවර මාලිතව තල්ලු කර දැමූ තිස්ස වටපිට බැලුවේ ඊළඟට කළ යුත්තේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිව විය යුතුය. බිම වැටුණු මාලිත දඩිබිඩිගා නැඟිට ගැනීමට උත්සාහ කළා විය යුතුය.

ඒ අවස්ථාවේ ඒ අසල දොරට තබා තිබූ අඩි හතරහමාරක් පමණ දිග පරාල ලී කැබැල්ල තිස්සගේ අතට හසු වූයේ මාලිතගේ අවාසනාවටමය. මාලිතගේ හිස හරහා වැදුණු පහරින් ලේ ගලන තුවාල සහිතව මාලිත සිහිසුන් වූයේ සියල්ලන්ගේ වෙරි හිඳෙන තත්ත්වයට පත් කරමිනි.

මේ කලබලය ඇසුණු වෙනත් කතාවක පැටලී සිටි ජයසිංහ සහ පැතුම් සුවසැරිය ගිලන් රථයකට කතාකර මාලිත පිඹුර රෝහලට පිටත් කර හැරියේ හැකි ඉක්මනිණි.

මාලිතගේ සහෝදරිය සිටියේ අගලවත්ත, යටියන ප්‍රදේශයේය. ඇය දිස්නා කුමාරිය.

“දිස්නක්කෙ, තිස්සයා මාලිතයගෙ ඔළුවට පොල්ලකින් ගහලා… ‘පිඹුරෙන්’ නාගොඩ යවලා…“

ජයසිංහ දිස්නාට මෙම පණිවිඩය ලබා දුන්නේ ඉන් පසුවය. නාගොඩ රෝහලට ගිය දිස්නා, මල්ලීගේ තත්ත්වය බරපතළ බව දැන පසු දින රාත්‍රියේ අගලවත්ත පොලිසියට මේ බව පැමිණිලි කිරීමට කටයුතු කළාය.

එදින රාත්‍රියේ ජංගම සංචාරයේ යෙදුණු අගලවත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. කේ. නිලන්ත ඇතුළු නිලධාරීන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමෙන් පසුව තිස්ස කුමාර අත්අඩංගුවට ගත්තේ මිතුරාට පහර දීම සම්බන්ධයෙනි. එම අවස්ථාවේ සෙසු දෙදෙනා නිවෙස්වල නොසිටියද පසු දින උදෑසන ඔවුන්ද අත්අඩංගුවට පත්වන්නේ එම අවස්ථාවේ එකට සිටි බැවිනි. මාලිතට පහර දුන් අඩි හතරහමාරක් පමණ දිග පරාල ලී කැබැල්ලද පොලිසිය භාරයට ගැනුණේ නඩු භාණ්ඩයක් වශයෙනි.

සිද්ධියෙන් දින හයකට පමණ පසුව පොලිසියට තොරතුරක් ලැබෙන්නේ කොළඹ ජාතික රෝහලෙනි. ඒ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දොළමුල්ලකංකානම්ගේ මාලිත සම්පත් මියගොස් ඇති බවටයි. මෙම සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් ලෙස සලකා පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවයි.

මතුගම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්ද්‍ර පද්මලාල්ගේ නියෝග අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට සහ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් වෙත සිද්ධිය දැනුම් දී ඔවුන් එහි කැඳවීමට ද කටයුතු කරන ලදි.

පොලිසිය මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව පොලිසිය කටයුතු කළේ මාලිතගේ බිරියට දේහය භාර දීමටය. මෙහිදී තිස්ස කුමාර පවසා සිටියේ මාලිතට ගෙදර යන ලෙස පැවසුවද ඔහු නොගිය නිසා පොල්ලෙන් පහර දුන් බවත්ය.

කෙසේ වුවද දුරදිග නොබලා සිදු කළ මෙම ක්‍රියාවෙන් අහිංසක දරු දෙදෙනෙකුට පිය සෙනෙහස අහිමි වූයේ ඔවුන් සදාකාලික දුකට ඇද දමමිනි.

මිතුරු සාදය මරණයකින් කෙළවර කරමින් නිමා වූයේ ඒ අයුරෙනි.

සහකාර පොලිස් අධිකාරී චන්ද්‍ර පද්මලාල්ගේ උපදෙස් පරිදි අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. කේ. නිලන්ත, සැරයන්වරුන් වන (67656) පුෂ්ප කුමාර, සැරයන් (53449) මනුල, කොස්තාපල් (62987) ජගත් යන නිලධාරීහු මෙම විමර්ශන කටයුතු සිදු කළහ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division