Home » මාතර ස්පා එකකින් ඇසුණු කතාවක්

මාතර ස්පා එකකින් ඇසුණු කතාවක්

by thanushika
August 17, 2024 12:30 am 0 comment
ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

සේමිනී රූබර යුවතියකි. ඇය වත්තල ප්‍රදේශයේ ජන්මලාභය ලබා නගරයේ පාසලකින් අධ්‍යාපනය ද හදාරා කොළඹ නගරයට එන්නේ එහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවක් කිරීමේ අරමුණෙනි. රැකියාව කරමින් බෝඩිං ජීවිතයට හුරුවූ සේමිනී මාස කීපයක් යද්දී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ විධායක නිලධාරියකු වූ මහේෂ් සමඟ ආදර සබඳතාවක් ඇතිකර ගත්තා ය. කාලයත් සමඟ ඔවුනොවුන් නොදැක සිටීම පවා අපහසු තරමට ආදරයෙන් වෙළුණ අතර දෙදෙනාගේම ඒකමතික තීරණය මත මවුපිය විරෝධය මැද විවාහ ගිවිස ගත්තේ පැහැබර අනාගතයක සිහින මවමිනි.

විවාහයෙන් පසු කුලී නි‍ෙවසක ජීවිතය ගත කළ සේමිනී සහ මහේෂ් දියණියකගේ සහ පුතකුගේ මවුපියන් වන්නට වාසනාවන්ත වූයේ දෙදෙනාගේ ආදරය තව තවත් වැඩි කර ගනිමිනි.

සේමිනී සහ මහේෂ් දරු දෙදෙනා ද සමඟ සතුටින් කල් ගෙවමින් දින සති මාස අවුරුදු ගතවෙද්දී දරුවන් ලොකු මහත් වූ අතර ඔවුන් හොඳ පාසලකට ඇතුළත් කර ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන්නට තීරණය කළ සේමිනි සහ මහේෂ් දරුවන් දෙදෙනා ජාත්‍යන්තර පාසලකට යොමු කළේ අතමිටේ උපයා සපයාගෙන තිබූ ලොකු මුදලක් වියදම් කරගෙනය.

දරුවන් දෙදෙනාම හොඳින් අධ්‍යාපනය ලබමින් සිටියදී හදිසියේම ඇති ඇතිවූ අසනීප තත්ත්වයක් මත මහේෂ්, සේමිනි සහ දරුවන් දෙදෙනා මෙලොව තනිකර අවසන් ගමන් ගියේ නොසිතූ මොහොතකය.

මහේෂ්ගේ හදිසි අභාවයත් සමඟ අසරණ තත්ත්වයට පත් වූ සේමිනී දරුවන්ගේ අධ්‍යාපනයත්, එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමත් වෙනුවෙන් ගත් උත්සාහය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. එහෙත්, සුඛෝපභෝගී ජීවිතයක් ගත කළ සේමිනීගේ දරු පවුලට මහේෂ්ගේ මියයාමෙන් පසු සේමිනී උපයා ගත් මුදල ජීවිතය ගෙවා ගැනීම සඳහා ප්‍රමාණවත් වූයේ නැත. එහෙත් අවට ප්‍රජාව සමඟ හරි හරියට ගැළපෙමින් ජීවත්වීම අවශ්‍ය වූ අතර පවුලේ අගහිඟකම් පිටතට නොපෙනෙන සේ ජීවත්වීම දිනෙන් දින අපහසු තත්ත්වයට පත්වෙමින් තිබුණි.

ඒ අතර පුවත්පත් දැන්වීමක් දුටු සේමිනී මාතර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක කළමනාකාරිනියක ලෙස සේවය කිරීම සඳහා ඉල්ලුම් පතක් යොමු කළේ ඒ සඳහා වැටුප් ලෙස ලැබෙන මුදල ඉහළ තත්ත්වයක පැවතීම නිසාය.

දුරකතනය ඔස්සේ අවස්ථා කීපයකදීම අදාළ රැකියාව පිළිබඳ ආයතන බලධාරීන් සමඟ කතාබහ ඇති කරගත් සේමිනී දරුවන් දෙදෙනා සමඟ ගමෙන් ගෙන්වා ගත් නැන්දනියත් නි‍ෙවසේ නතර කර අවශ්‍ය කළමනා ද සූදානම් කර දී වත්තල සිට මාතරට පැමිණියේ නැවතීමේ පහසුකම් ද සහිතව රැකියා අවස්ථාව ලබා ගැනීමේ එකඟතාව ඇතිකර ගැනීමෙන් පසුවයි.

මාතරට පැමිණි සේමිනීට ඉතා සතුටින් සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකාරිනිය ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබුණේ මාස කිහිපයක් පමණි.

සම්බාහන මධ්‍යස්ථානයේ ප්‍රධානීන්ගේ සූක්ෂ්ම ක්‍රියා හමුවේ සේමිනීටද සම්බාහන කටයුතුවලට එක්වන්නට සිදුවූයේ නොසිතූ විරූ අයුරිනි.

ඒ සමඟින් ජීවිතේ කලකිරීමක් ඇතිකර ගත් සේමිනී රැකියාව අත්හැර දමා නැවත කොළඹ යන්නට තීරණය කළද යළිත් වතාවක් දරුවන් සමඟ අසරණ වීමට සිදුවන නිසා ඇය අපහසුවෙන් හිත හදාගෙන එහි වැඩ කරගෙන ගියේ වෙනදාටත් වඩා වැඩි මුදලක් අතට ලැබෙන්නට පටන් ගත් නිසාය.

එහෙත් තවත් සති කීපයක් ගත වෙද්දී එහි කටුක බව තදින්ම දැනීම නිසා සේමිනී රැකියාව අත­්හැර නැවත වත්තලට ගියේ ආයතන ප්‍රධානීන්ට ද දැනුම් දීමකින් තොරවය.

කොළඹ පැමිණි සේමිනී ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය සඳහා නැවත යෑමට තීරණය කළද ඉන් ලැබෙන මුදල් දරුවන් සහ ඇය එතෙක් ගත කළ සුඛෝපභෝගී ජීවිතයට කිසිසේත් ප්‍රමාණවත් නොවූ හෙයින් ඇය නැවත මාතර පැමිණ කුලියට ලබාගත් ගොඩනැඟිල්ලක සම්බාහන මධ්‍යස්ථානයක් ආරම්භ කළේ පෙර අත්දැකීම්ද ප්‍රයෝජනයට ගනිමිනි. ඇගේ නව රැකියාව දිනෙන් දින දියුණු වූයේ ඇය මීගමුව සහ වත්තල ප්‍රදේශවලින් තවත් තරුණියන් ගෙන්වාගෙන රැකියා අවස්ථා ලබා දී සම්බාහන මධ්‍යස්ථානය නව්‍ය ආකාරයෙන් පවත්වාගෙන යෑමත් සමඟය. එම හේතු නිසාම සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන පිරිස ද දිනෙන් දින වැඩි වූහ.

ඒ අතර මාතර තල්අරඹ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සම්බාහන මධ්‍යස්ථානයක අයථා ක්‍රියා සිදුවන බවට මාතර පොලිස් කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයට තොරතුරක් වාර්තා විය. ඒ අනුව මෙහෙයුමක් සැලසුම් කළ මාතර කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි බෝගහවත්ත වැටලීමක් සිදුකර එහි කළමනාකාරිනිය වන සේමිනි ඇතුළු තරුණියන් පිරිස අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ අතර එහිදී පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සේමිනී පවසා සිටියේ තම ස්වාමිපුරුෂයා මියයාමෙන් පසු දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයත්, තමන්ගේ සමාජ මට්ටමත් ආරක්ෂා කරගෙන ජීවිතය පවත්වාගෙන යාම සඳහා මෙම කටයුත්ත ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන ගිය බවයි. තම ‘ජීවිත කතාව’ එලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරිය හමුවේ හෙළිදරව් කළ සේමිනී දිගින් දිගටම කියා සිටියේ තමන් පත්ව සිටි අසරණභාවයෙන් මිදීම සඳහා මෙම කටයුත්තේ නිරතව සිටි බවයි.

පොලිස් පරීක්ෂණ මත ලිපිය සකස් කෙරිණි.

මෙහි එන නම් සියල්ල මන:කල්පිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division