හොඳට මෙන්ම නරකට ද මුහුණු පොත’ යයි ජන සමාජයේ අලුත්ම කතාවක් දැන් දැන් සංසරණය වන අතර මුහුණු පොත නරකට යොදා ගන්නා ඔබට ඉන් ගම්‍ය වන බව හැම දෙනාටම තේරෙන කරුණකි.
මුහුණු පොත අපමණ පල ප්‍රයෝජන ලැබිය හැකි තැනක් වුවද අන්තර්ජාල අපරාධකරුවන් එහි සැරිසරමින් මුහුණු පොත පරිශීලනය කරන අහිංසක අය ග්‍රහණයට ගැනීමේ කාර්යයේ වර්ධනයක් ඇති බව හොඳින් පෙනෙන්නට ඇති කරුණකි.
මුහුණු පොත පරිශීලනය කරන විශේෂයෙන් යුවතියන්, තරුණියන්, සිසුවියන් සහ ළමයින් අන්තර්ජාල අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වීමේ සිදුවීම් සහ ඔවුන් අතින් අපචාරයට අපයෝජනයට ලක්වීමේ සිදුවීම්වලද වර්ධනයක් පෙන්නුම් කරන අතර පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන මේ වන විට පරීක්ෂණ ගණනාවක් සිදු කරගෙන යයි. ඒ සම්බන්ධව අධිකරණයේ විභාග වන නඩු විභාගද සැලකිය යුතු සංඛ්‍යාවක් පවතින බව දැනගන්නට ඇත. කාන්තාවන්, යුවතියන්, ළමයින් අමාරුවේ දැමීමේ සිදුවීම් මෙන්ම මුහුණු පොතේ සැරිසරන සංවිධානාත්මක ජාල අපරාධකරුවන් මේ වන විට සමහර පුද්ගලයින් ඉතා සංවිධානාත්මක විවිධ කූට උපක්‍රමවලින් රවටා ඔවුන් සතු මිල මුදල් වංචනිකව ලබා ගැනීමේ ක්‍රියා සම්බන්ධව ද පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. විදේශ රැකියා ලබා දීමේ මුවාවෙන් අහිංසකයන් රවටා ඔවුන් සතු මුදල් වංචා කිරීම පළමු සිද්ධියයි. මීගමුවේ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයට පමණක් ඒ ගැන පසුගිය කාලයේදී ලැබී තිබූ පැමිණිලි ගණන දෙසීයකට ආසන්නය. මුහුණු පොතේ රට රැකියා පෙන්වා එලෙස වංචාකර තිබුණ මුදල රුපියල් කෝටි 41කි.
දෙවැන්න පිරිමිඩ ජාවාරමයි. මුහුණු පොත යොදාගෙන පිරිමිඩ ජාවාරම්වල යෙදුන සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් ගැන ද මේ වන විට විමර්ශන සිදු කැරේ.
මුහුණු පොතේ සැරිසරන සංවිධානාත්මක ජාල අපරාධකරුවන් සිදු කරන අලුත්ම ජාවාරමක් විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන අනාවරණය කරගෙන තිබුණේ පසුගියදාය. ඒ මුහුණු පොතේ ගිණුම්වල තොරතුරු ලබාගෙන ඒ ඔස්සේ අමුතුම ක්‍රමයකට වංචනිකව මුදල් ගැරීමේ අන්තර්ජාල ජාවාරමක් පිළිබඳවයි.
මේ ගැන තොරතුරු හෙළිවන්නේ පරිගණක අපරාධ විමර්ශන අංශය සහ ඒ පිළිබඳව තොරතුරු සොයන පොලිස් විමර්ශන අංශ කීපයක් සිදු කරන ලද විමර්ශනවලට අනුවය.
විමර්ශන නිලධාරීන් මේ වන විට සොයාගෙන ඇති තොරතුරුවලට අනුව මේ සංවිධානාත්මක ජාල අපරාධකරුවන් ඉතා සූක්ෂ්ම අයුරින් මුහුණු පොතේ ගිණුම්වලට මුලින්ම ප්‍රවිෂ්ට වන බව හෙළිවී තිබේ. ඉන් අනතුරුව ඔවුන් සිදු කරන්නේ එම ගිණුම්වල ‘පාලනය’ තමන් අතට පත්කරගෙන ඒවායේ සැබෑ හිමිකරුවන් ලෙස පෙනී සිටීමයි. ඉන් අනතුරුව ඔවුන් වංචනික ක්‍රියාවල නිරත වීම ආරම්භ කරති.
ප්‍රසිද්ධ පුද්ගලයන්, ව්‍යාපාරිකයන්, ධනවතුන්, විවිධ තරාතිරම්වල රැකියා සිදු කරගෙන යන පුද්ගලයන් ගණනාවකගේ ෆේස්බුක් ගිණුම්වලට මේ ජාල අපරාධකරුවන් ඉතා සූක්ෂම ලෙසින් පිවිස ඇති බවද මේ වන විට සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත. ඉන් අනතුරුව මේ ජාල අපරාධකරුවන් ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ක්‍රිප්ටෝ කරන්සි මුදල් හුවමාරුව සහ බයිකොයින් මුදල් හුවමාරුව සහ ගනුදෙනු මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඉතාම ඉක්මනින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයාගත හැකි ක්‍රම හඳුන්වා දෙමිනි. එම වැඩසටහන් මේ වංචනික පුද්ගලයන් සිදු කරන්නේ මුහුණු පොතේ ගිණුම් හිමි වෙනත් අය ඉතා සූක්ෂ්මව රවටමිනි.
මුහුණු පොතේ පණිවුඩ හුවමාරු හෙවත් මැසෙන්ජර් සහ වට්ස්ඇප් ඔස්සේ ලැබෙන ඉතා අලංකාර පණිවුඩ විවෘත කර බැලීමට යද්දී ඇතැම් ගිණුම් හිමියන් නොදැනුවත්වම මේ වංචනික ජාල අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වන බවද හෙළි වී ඇත. එසේ මේ ජාල අපරාධකරුවන්ට රැවටෙන පුද්ගලයන් මුහුණු පොතේ අදාළ නියම ගිණුම් හිමියන් ලෙස වෙස්වළාගෙන සිටින ජාවාරම්කරුවෝ විසින් පහසුවෙන් ග්‍රහණය කර ගනිති. එසේ ඔවුනට හසුවන පුද්ගලයන්ගෙන් හිතවතුන්ගෙන් ඉල්ලීම් කරමින් මේ ජාල අපරාධකරුවන් මුදල් වංචා කරන බවද හෙළි වී ඇත.
කුරුණෑගල ප්‍රකට ව්‍යාපාරිකයකුගේ මුහුණු පොතේ ගිණුමද මේ වන විට ජාල අපරාධකරුවන් විසින් ඉතාම සූක්ෂ්ම ක්‍රම අනුගමනය කරමින් සිය ග්‍රහණයට ගෙන ඇති බවද මේ වන විට සිදු කරන විමර්ශනයකදී හෙළි වී ඇත. මේ ව්‍යාපාරිකයා කුරුණෑගල වාරියපොළ ප්‍රදේශයේ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල නිරතව සිටින අයෙකි.
ක්‍රිප්ටෝ කරන්සි මුදල් හුවමාරුව සම්බන්ධ වන ලෙස මේ ව්‍යාපාරිකයාට අන්තර්ජාල ජාවාරම්කරුවන් විසින් පසුගියදා පණිවුඩයක් එවා තිබේ. ව්‍යාපාරිකයා මෙය ජාල ජාවාරම්කරුවන්ගේ වැඩක් බව මුළුමනින්ම හෙළිකරගෙන තිබිණි.
ව්‍යාපාරිකයා ඊට හසු නොවුණු නිසා ජාල ජාවාරම්කරුවෝ අලුතින් සැලසුමක් සකස් කළහ. ඒ ඔහුගේ මුහුණු පොතේ ඔහුට ඉතා සමාන ලෙස ගිණුමක් සකස් කිරීමයි. ඉන් නොනැවතුණු ජාල ජාවාරම්කාරයෝ අදාළ ව්‍යාපාරිකයා ලෙසට පෙනී සිටිමින් ඔහුගේ මුහුණු පොත පරිශීලනය කරන විශාල පිරිසකට පණිවුඩ යවා ඇත්තේ මුදල් ඉල්ලමිනි. මේ බව හිතවතුන්ගෙන් දැනගත් ව්‍යාපාරිකයා ඔවුන්ට පවසා ඇත්තේ එම ජාල අපරාධකරුවන්ට හසු නොවන ලෙසය.
වයඹ පළාතේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ මුහුණු පොතේ ගිණුම මේ ආකාරයට ජාල අපරාධකරුවන් සිය ග්‍රහණයට ගෙන ඇති බව ද දැන ගන්නට ඇත. එම ගිණුම අත්පත් කරගත් ජාල අපරාධකරුවන් අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස පෙනී සිටිමින් ඔහුගේ මුහුණු පොත පරිශීලනය කරන හිතවතුන්ගෙන් මුදල් ඉල්ලා ඇති බවද හෙළි වී තිබේ. මීට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයන්ට නිකුත් කරන ටින් අංකයද අවභාවිත කරමින් පුද්ගලයන් රැසක් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක්ද පසුගියදා හෙළි විය. මේ ජාවාරමට හසුවූ භික්ෂුන් වහන්සේ නමක් සහ තවත් විශාල පිරිසක් සිටින බවද හෙළි විය.
මුහුණු පොත උපයෝගී කරගෙන මේ දිනවල ඉතා ශීඝ්‍රයෙන් සිදුවන තවත් ජාවාරමක් පිළිබඳ විමර්ශන නිලධරයන් මේ වන විට තොරතුරු සොයාගෙන ඇත. ඒ මුහුණු පොතෙන් නිවසේ සිටම මුදල් සොයා ගත හැකි ක්‍රමයක් ලෙස ව්‍යාජ ක්‍රියා හඳුන්වා දී තරුණ තරුණියන් සෑහෙන පිරිසකගෙන් මුදල් වංචා කිරීමයි. ප්‍රමුඛ පෙළේ බැංකුවකින් එවන ආකාරයට සකස් කරන ලද පණිවුඩයක් මුහුණු පොත පරිශීලනය කරන ලද බොහෝ පිරිසකට යවන මේ ජාල ජාවාරම්කාරයෝ එහි සඳහන් කරන්නේ අදාළ බැංකුව මඟින් සිදු කරන ලද දිනුම් ඇදීමකදී අදාළ මුහුණු පොතේ ගිණුම් හිමිකරුට ලොකු මුදලක් හිමිවී ඇති බවය. එසේ කියා එම ගිණුම හිමිකරුගෙන් ඒ සඳහා මූලික මුදලක් ලබාගෙන එය වංචා කරමින් වංචනික ක්‍රියාවක නිරත වන බවද හෙළිවී තිබේ.
දීපාල් සමරසේකර