හොර කපුවෙකුගේ වෙස්ගෙන නිවෙස්වලින් රන් බඩු සහ මුදල් වංචා කර සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ පුද්ගලයෙකු ගැන තොරතුරු අනාවරණය වන්නේ කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදු කළ විමර්ශනයකදීය.
බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා හොරණ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවෙසක පදිංචියට පැමිණ ඇත්තේ තම ‘ව්‍යාපාරය’ සාර්ථකව සිදුකර ගැනීම සඳහාය. එම ප්‍රදේශයේ දන්නා හඳුනන පුද්ගලයෙකුට තිබුණ ‘අපලයකට’ ශාන්තිකර්මයක් කිරීමට මොහු යන්නේ තමන් මාතර ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධ යන්ත්රමන්ත්ර ගුරුකම් දන්නා ශාස්ත්රකරුවෙකු බවට තමන් විසින්ම සෙසු පුද්ගලයන්ට හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙසය.
මුලින්ම අදාළ නිවෙසට යන ඔහු පවසන්නේ මළගිය ඥාතීන් දෙදෙනෙකුගේ බැල්ම එම නිෙවසට වැටී ඇති නිසාම කරදර සිදුවී ඇති බවය. ඒ සඳහා ශාන්තිකර්මයක් සිදු කළ යුතු බවද අල්මාරියක් තුළ මල් බුලත් තටු තබා මන්ත්‍ර ජප කිරීම සිදු කිරීමට ඉඩකඩ සකස් කර දෙන ලෙසද ඔහු ගෙහිමියාගෙන් ඉල්ලා සිටියේය.
ඔහුගේ ඉල්ලීම පරිදි සියල්ල සූදානම් කර දීමට නිවැසියන් කටයුතු කළ අතර මෙම පුද්ගලයා කාමරයට වී මන්ත්‍ර ජප කිරීම ආරම්භ කළේ අනතුරුවය.
ටික දිනකින් මේ කපුවා නිවැසියන්ට පවසන්නේ මළගිය ඥාතීන් විසින් නිධානයකින් ලබාගත් මැණික් මලු කීපයක් ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බවය. ඔහු විසින් සුදු රෙදිකඩක ඔතා සකස් කරගෙන පැමිණි කළුගල් කැබලි සහ පිත්තල පිළිම සහිත පොට්ටනි කීපයක් අල්මාරිය තුළ ඇති මල් බුලත් අසුන මත තබා නිවැසියන්ට පවසන්නේ නිධානයකින් ලබාගත් මැණික් මලු එම භූතයන් විසින් ඔවුනට ලබා දී ඇති බවය.
“ඔන්න දැන් නිධානේ බඩු ටිකක් ගෙනත් තියෙනවා. ඉතුරු ටික ගන්න නම් පවුම් දාසයක විතර රත්තරන් බඩුයි තව ලක්ෂ හතරකුයි මෙතනින් තියන්න කියලා ඉල්ලනවා. ඒ වගේද මේ මැණික් තොගේ. කපුවා කියන්නේ එවැනි කතාවකි. නිවැසියන් මොහුගේ වචනවලට රැවටී නිවෙසේ තිබූ රන් බඩු සහ මුදල් එකතු කර කපුවා පැවසූ අයුරින් එම ස්ථානයේ තැබීමට කටයුතු කළේ ලැබෙන්නට යන මහා වස්තු කන්දරාව පිළිබඳව සිහින මවමිනි.
කුලී නිවෙසට යමින් එමින් මෙසේ මතුරමින් සිටි හොර කපුවා නිවැසියන් තැබූ රන් සහ මුදල් පොට්ටනි රැගෙන මාරු වූයේ මාස තුනක් යනතුරු එම කාමරයට කිසිවෙකුටත් නොයන ලෙසත් මැණික් මලු ඇද්දැයි නොබලන ලෙසත් පවසමිනි.
කපුවා මල් අසුනේ තැබූ පොට්ටනිවල ඇත්තේ ඇත්තටම මළගිය ඥාතීන් තමන්ට ලබාදුන් මැණික් යැයි සිතූ නිවැසියන් උද්දාමයට පත්ව ඔවුන් දන්නා හඳුනන මහරගම මිතුරෙකුටද මේ කපුවා හඳුන්වා දුන්නේ එම නිවෙසේද තිබෙන අපල දුරු කර ගැනීම සඳහාය.
මහරගම නිෙවසට ද ගිය කපුවා අනුගමනය කළේ ද පෙර න්‍යාය පත්‍රයම වන අතර එම නිෙවසෙන් රුපියල් ලක්ෂ 80ක් හා රන් පවුම් පනස් හයක ප්‍රමාණයක් සොරාගැනීමට තරම් මේ කපුවා සූක්ෂ්ම විය.
ඔහු මාතර, බද්දෙගම සිටින කාලයේ ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කර ඇති අතර වියපත් යුවළක් නගරයේ බැංකුවක් වෙතට කැඳවාගෙන ඒමට කටයුතු කර තිබිණි. ඒ ‘සීමන්’ කෙනෙකු ලෙස නැවක කටයුතු කරන පුතු විසින් එවන ලද මුදල් ලබා ගැනීම සඳහාය. යන එන ගමනේදී මෙම යුවළ සමඟ හිතවත්කමක් ඇතිකර ගත් මොහු තමන් ශාන්තිකර්ම සිදු කරන කපුවෙකු බව ඒත්තු යන ලෙස ඔවුන් සමඟ කතාබහ කිරීමට පෙලඹුණේ තම යටි අරමුණ ඉටුකර ගැනීම සඳහා ඉලක්ක කරගෙනය. මාස ගණන් නැවේ ගත කරන පුතුගේ බිරිය පිළිබඳව මෙම වියපත් කාන්තාව වන නැන්දම්මා පසු වූයේ තරමක සැකයකිනි. ඒ පුතු නිවෙසේ නැති අතරේ ලේලිය වෙනත් ඇසුරක් ඇතිකරගෙන ඇතැයි යන විශ්වාසයෙනි.
මේ නිසා කපුවා ලවා ගුරුකම් කරගැනීමට ඇය දෙවරක් කල්පනා කළේ නැත.
ලැබුණු ආරාධනාව පිළිගෙන නිවසට ගිය කපුවා පෙර පරිදිම අල්මාරිය තුළ ශාන්තිකර්මය සිදු කිරීමට කටයුතු කළේ ඔවුන්ද ගොනාට ඇන්දවීමට මාන බලමිනි.
“මේ ගෙදර තියෙන සේරම දොස් මේ බිත්තරේට එන්න කියලා හිතාගෙන මේ මල් අසුනෙන් බිත්තරයක් ගෙනත් තියන්න. දොස් සේරම බිත්තරේට ආවොත් බිත්තරේ අතින් පොඩි කරන්න බෑ හුඟක් තදයි. නැත්නම් නිකම්ම පොඩි වෙලා යනවා…“
නිවෙසේ සිට පැමිණෙන විට තම්බපු බිත්තරයක් රැගෙන ආ කපුවා එය සඟවාගෙන සිට ගෙහිමි කත තැබූ බිත්තරය මල් ගොඩ අස්සේ සඟවා ඒ වෙනුවට තැම්බූ බිත්තරය තැබුවේ ඇය තැබූ බිත්තරය ඔහු ආපසු යන විට රැගෙන යාමටය.
යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීමෙන් පසු බිත්තරය අල්ලා පොඩි කරන ලෙස ගෙහිමි කතට පැවසුවේ තමාගේ ශාස්ත්රයේ සත්‍යතාව ඔප්පු කරමිනි.
“පුදුමයි. බිත්තරේ ගලක් වගේ තදයිනෙ…“
වියපත් මාතාව නිෙවසේ බොහෝ දෝෂ ඇති බව පැවසුවේ බිත්තරය පොඩි නොවූ නිසාය.
ඉන්පසු පෙර පරිදිම පවුම් දාසයක් බර රන් සහ රුපියල් ලක්ෂ 49ක් රෙදිකඩක ඔතා මල් අසුනෙන් තබන ලෙස ගෙහිමි කාන්තාවට පැවසුවේ එම නිවෙසේ දොස් ඉවත් කිරීම සඳහාය.
“මුලින් ගෙදර දොස් අයින් කර ගන්න ඕනෑ. දෙවනුව පුළුවන් අපිට ඔය අනිත් පලහිලව් සේරම අයින් කරගන්න. හාමිනේ බය වෙන්න එපා කිසි දේකට…“
ඔහුගේ චාටු කතා ඇගේ දෙසවනට මීපැණි මෙන් මිහිරි වූයේ පුතුගේ පවුල නොකැඩෙන ලෙසට කටයුතු කිරීමට හැකි යැයි සිතූ බැවිනි. ඇයද ඔහු පැවසූ ලෙසටම මුදල් සහ රන් බඩු මල් බුලත් තටුවෙන් තබා ඇදුරා ලවා යාතිකා සිදුකර ගත්තේ හෙට දිනයේ යහපත පිණිසය. එහෙත් ඇයට තරු පෙනුණේ ටික දිනකට පසු රන් බඩු හා මුදල් රැගෙන කපුවා මාරු වී ගිය පසුවය. ඉන්පසු ඔහුගේ දුරකතන අංකය ද අක්‍රිය වී තිබුණේ කිසි දිනක සොයා ගැනීමට නොහැකි වන ලෙසය.
මෙලෙස උපයන මුදල්වලින් සුඛෝපභෝගී නිවෙස් ඉදිකර ගෙන ඇති මෙම පුද්ගලයා ගමන් බිමන් යන්නේ සුඛෝපභෝගී වාහන කුලියට ලබා ගනිමිනි. මීට අමතරව ත්‍රිරෝද රථයක් යතුරුපැදියක් මිලදීගෙන ඇති අතර නිවෙසට අවශ්‍ය ගෘහ උපකරණ විදුලි උපකරණ ඇතුළු බොහෝ භාණ්ඩ මිලදී ගෙන තිබෙන බව අනාවරණය වී තිබේ.
බද්දේගම සහ මාතර ප්‍රදේශවල සුඛෝපභෝගී නිවෙස් දෙකක හිමිකරුවෙකු වන මෙම පුද්ගලයා බද්දේගම ප්‍රදේශයේ ඉඩමක් ද මිලදී ගෙන තිබෙන්නේ මෙලෙස වංචනිකව උපයා ගන්නා මුදල්වලිනි. එම ඉඩමේ ඔප්පුව සහ ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ, ත්‍රීරෝද රථය හා යතුරුපැදිය ද පොලිසිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.
මෙලෙස වංචනිකව ලබාගත් රන් භාණ්ඩවලින් යම් කොටසක් හොරණ ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට හා පුද්ගලයෙකුට ලබාදී තිබියදී පොලිසිය විසින් රන් ග්‍රෑම් 150ක් සහ රන් ග්‍රෑම් 80කට ආසන්න ප්‍රමාණයක් ලෙස සොයා ගැනීමට කටයුතු කර ඇත.
කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජනක නන්දනගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ඩී. ඩබ්ලිව්. ක්රිශාන්තගේ මඟපෙන්වීමෙන් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, උප පරීක්ෂක මධුෂාන්, සැරයන්වරුන් වන (55301) ගුණෙන්ද්‍ර, (41104) සමන්තිලක, (69479) ප්‍රසන්න, (69615) ජයසූරිය, (79335) තුෂාර, (88400) පද්මකුමාර, පො. කොස්තාපල් රියැදුරු (89774) සංකල්ප යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ