කතාන්දර කීමේ කලාව අනාදිමත් කාලයක මිනිස් වර්ගයා මහත් අභිරුචියෙන් පවත්වා ගෙන ගිය සම්ප්‍රදායකි. දීර්ඝ ඉතිහාසයක් ඇති දෙමළ භාෂාව භාවිත කරන්නන් අතර ද කතා කිරීම මුඛ පරම්පාරාගතව එමින් විවිධ අවධි පසුකොට නුතන කෙටිකතාව නමින් හැඳින්වෙන සාහිත්‍යාංගය දක්වා පැමිණ තිබේ.
18 වන සියවසේ විසූ ඉතාලි පූජකයකු වූ බෙසී (Beshi) පියතුමා දෙමළ ප්‍රබන්ධ සාහිත්‍ය වර්ධනය කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ තැනැත්තා ලෙස සැලකේ. 1860 දී ඉතාලියේ උපත ලැබු බෙසී පියතුමා 1712-13 කාලපරිච්ඡේදයේදී ත්‍රිචිනාපොලි දිස්ත්‍රික්කයේ උතුරට වන්නට පිහිටි තන්ජෝර් ආසන්න ප්‍රදේශයේ වාසය කරමින් දෙමළ භාෂා අධ්‍යයනයෙහි නිරත විය. බටහිර භාෂා පිළිබඳ උගතකු වූ එතුමා දෙමළ භාෂාවේ ව්‍යාකරණය පිළිබඳ අධ්‍යයනයක යෙදෙමින් ලතින් දෙමළ සහ පෘතුගීසි දෙමළ ශබ්දකෝෂ සම්පාදනය කරමින් ශබ්දකෝෂකරණයෙහි ද නිරත විය.
බෙසී පියතුමා බටහිර අභාසය අනුව යමින් දෙමළ භාෂාවෙන් හාස්‍යයෝත්පාදක ද රචනා ලිවීමෙහි නිරත විය. ඔහු විසින් ලියන ලද The Story of Guru Pramartha නම්වූ කතා සංග්‍රහය යුරෝපීය භාෂාවලට ද පරිවර්තනය කරනු ලැබීය. අනතුරුව හෙතෙම කතා චින්තාමනී සහ Vino taracamancari නමින් කතා සංග්‍රහ දෙකක් ද පළ කළේය. කෙසේවෙතත් ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ මෙම පොත් වර්තමානයේ කෙටිකතා යනුවෙන් හැඳින්වෙන සාහිත්‍යාංගයට ඇතුළත් කිරීම අපහසුය.
Astharavradnam Veeraswamy Chettiar නම් ලේඛකයා ද (Vinode Rasa Manjari ) කෘතියේ කතුවරයා දෙමළ කෙටිකතාවේ වර්ධනයට මුල් කාලයේ දායක වුවේය. දෙමළ කෙටිකතාවට පුරෝගාමී මෙහෙවරක් කළ ලේඛකයන් අතර සුබ්‍රමනියම් භාරතීට ද (1882-1921 ) වැදගත් ස්ථානයක හිමි වෙයි. කේරළයේ සිරිත් විරිත් පදනම් කර ගනිමින් ලියැවුණ, Tindim Sastri ඔහුගේ කතා සංග්‍රහයකි. මීට අමතරව තවත් කිහිප දෙනකු ගැන සඳහන් කළ යුතු වේ. වේදනායගම් පිල්ලෙයි (1824 1889), එම්. එම්. අදිගාල් (Marai Malai Adigal)(1876 1950) සහ වී වී එන් අයියර් එම පිරිසයි.
දෙමළ භාෂාව භාවිත කරන්නන් අතර කෙටිකතාව සාහිත්‍යාංගයක් ලෙස වර්ධනය වීම ආරම්භ වන්නේ විසිවන සියවසේ මුලදීය.
බටහිර කෙටිකතාකරුවන් වන නිකොලායි ගොගොල්, එඩ්ගා ඇලන් පෝ සහ ඕ හෙන්රි යන ලේඛකයන්ගේ කෙටිකතාවලින් ආභාසය ලබමින් වී. වී. එන් අයියර් (1881 1925 ) දෙමළ කෙටිකතාවේ වර්තමාන ස්වරූපයට මුලපිරුවේය. කෙටිකතාවේ හැඩය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කෙටිකතා ලිවීමෙහි නිරතවූ අයියර් දෙමළ ලේඛකයන් අතර වඩාත් සාර්ථක වූ කෙටිකතාකරුවා ලෙස හැඳින්විය හැකිය. අයියර්ට පෙර ලියැවුණ කෙටිකතා, කෙටිකතා යන අර්ථයෙන් සැලකීම දුෂ්කරය. ඒවා කෙටියෙන් ලියන ලද කතා විශේෂයි. සෑම කතාවක්ම සුඛාන්තයක් වීම එම කතාවල දක්නට ලැබුණ ප්‍රධාන ලක්‍ෂණය විය.
ශිල්ප ක්‍රම යොදා ගනිමින් කෙටිකතාකරණයට පිවිසි කල්කි ආර්. ක්‍රිෂ්ණමූර්ති දෙමළ කෙටිකතාවේ පියා ලෙස සැලකුම් ලබයි. කල්කි සහ ආනන්ද විකතාන් යන නම්වලින් පළවූ වාර සඟරාවල කර්තෘවරයා වශයෙන් ජනමාධ්‍යකරුවකු ලෙස ද කටයුතු කළ හෙතෙම දෙමළ කෙටිකතාවේ වර්ධනයට වැදගත් මෙහෙවරක් ඉටු කළ ලේඛකයායි. තමා ලියූ කෙටිකතා 129න් හතඅටක්ම බටහිරින් ලැබුණ තේමා ආශ්‍රයෙන් නිර්මාණය කළ බව කල්කි ක්‍රිෂ්ණමුර්තිම සඳහන් කර තිබේ. තම කෙටිකතාවලට පදනම බටහිරින් ලබාගත්ත ද එය නිර්මාණය කොට වර්ණවත් කිරීම සඳහා අමුද්‍රව්‍ය සොයා ගත්තේ තම වටපිටාවෙන් බව ඔහු සඳහන් කර ඇත. ඔහුගේ කතාවල එන ගවයන් ඇමෙරිකාවේ හෝ බ්‍රිතාන්‍යයේ උපත ලද්දන් විය හැකිය. එහෙත් එම සත්ත්වයන් තම උපන් බිමේ තණකොළ බුදින සත්ත්වයන් බවට පත් කිරීමට කල්කි සමත් විය. කල්කි සහ ආනන්ද විකතාන් සඟරාවල නිරතුරුවම කෙටිකතා පළ කරමින් දෙමළ පාඨකයන් අතර කෙටිකතාව ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත් කිරිමට කටයුතු කළ බව සඳහන් කළ යුතු වන්නේය.
පදුමෙයි පිතාන් යන ආරූඪ නාමයෙන් හඳුන්වනු ලැබූ Vridhachalam (1906-1948) නිර්මාණාත්මක කෙටිකතා ලිවීමෙහි සමත්කම් දැක්වුවෙකි. ලෝක ප්‍රකට සම්භාව්‍ය කෙටිකතා රාශියක් දෙමළට පරිවර්තනය කිරීමට ද ඔහු කටයුතු කළේය. පදුමෙයි පිතාන්ගේ කෙටිකතාවල මෝපසාංල, කිප්ලින්ග්ල, ටොල්ස්ටෝයි සහ ගෝර්කිගේ බලපෑම දක්නට ලැබේ. එහෙත් ඔහුගේ නිර්මාණ කුසලතාවට ඉන් හානියක් සිදු වූයේ යැයි කිව නොහැකිය. තම කෙටිකතා සමාජ ශෝධනයට යොදාගත් පිතාන් උපහාසය සහ හාස්‍යය ගැබ්වූ කතා රාශියක් රචනා කළේය. ඔහුගේ කෙටිකතාවක් වන අම්මායි (Ammai) ළමා විවාහ ක්‍රමයට දැඩි ලෙස පහර ගසමින් ලියූවකි.
කු පා රාජගෝපාලන් (Ku Pa Rajagopalan) කෙටිකතාවල චරිත නිරූපණය අතින් දස්කම් පෑ ලේඛකයෙකි. පවුල් ජීවිතයේ ගැටලු ඔහුගේ කෙටිකතාවලට පාදක වි තිබේ. චක්‍රවර්ති රාජගෝපාලාචාරි විශේෂ අරමුණක් ඇතිව කෙටිකතා රචනයෙහි නියැළුණ ලේඛකයෙකි. ඔහුගේ එක් කෙටිකතාවකට අනුව හරිජන තරුණයෝ උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු තම සදාචාරාත්මක බැඳීම් අමතක කරති. දුක් විඳින තම දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් ඔහුට තවදුරටත් විෂය නොවීය. එහෙත් ඔහුගේ ජීවිතයේ හදිසි වෙනසක් ඇතිවීමෙන් පසු ඔහුට තමාගේ වගකීම් රහිත ක්‍රියා කලාපයේ වරද අවබෝධ වෙයි.
මනික්කෝට්ටෙයි (Manikkoti) නම් ප්‍රකට සඟරාවේ කර්තෘවරයා වූ බී. එස්. රාමයියා (B S Ramaiya) කෙටිකතා 300 ක් පමණ රචනා කළ ලේඛකයෙකි. ඔහු ලබා ඇති අත්දැකීම් සම්භාරය ඇසුරින් ලියා ඇති කෙටිකතා කලාත්මක ගුණයෙන් ද ඉහළ මට්ටමක පවතී.
නව ක්‍රමවේදයක් උපයෝගි කර ගනිමින් කෙටිකතා ලියූ ලේඛකයෙක් ලෙස මවුනි (Mauni) සඳහන් කළ හැකිය. ඔහුගේ කෙටිකතා බොහොමයක් එක්වරක් පමණක් කියැවීමෙන් අවබෝධ කර ගත නොහැකිය. කෙටිකතාවල තෝමාවන් පවා අමුතු ආකාරයට යොදාගෙන තිබේ. ඔහුගේ සමහර කෙටිකතාවල විස්තර කරනුයේ බංගලාවක බල්ලකු බුරන හැටි, තරුණයකු කාන්තාවක දෙස බලන හැටි, අඩි උස සපත්තු පැලඳ යන කාන්තාවකගේ ගමන ආදියයි.
නා පිචාමුර්ති (Na Pichamurthi) සාර්ථක කෙටිකතා රාශියක් ලියූ ලේඛකයෙකි. නීතිය සහ උසාවිවල කටයුතු කිරීමෙන් ලබා ඇති දැනීම සහ අත්දැකීම් ඔහුගේ කෙටිකතාවල ප්‍රතිනිරූපණය කර තිබේ.
ටී. ජානකීරාමන් ( T.Janakiraman) දීර්ඝ කෙටිකතා ලියූ ලේඛකයෙකි. හැඟීම් සහ බුද්ධිය අතර ඇති වෙනස ඔහුගේ කෙටිකතාවලින් ප්‍රකාශ කර ඇත. තන්ජොර් දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවගේ ජීවිතය ඇසුරින් ඔහු තම නිර්මාණ ඉදිරිපත් කර තිබේ. එල්. එස්. රාමේමිතුරාන් (L.S.Ramemituarn) ජීවිතයේ දර්ශනාත්මක පැත්ත බලා කෙටිකතා ලියු ලේඛකයෙකි. ආදරය, කෝපය, අරගල මේවා පසුපස මරණයේ සෙවණැල්ල වැටී ඇති සැටි ඔහුගේ කෙටිකතාවලින් පෙන්නුම් කෙරේ. සී. එස්. සෙල්ලප්පා : (C.S.Cellappa) ලියා ඇත්තේ කෙටිකතා කීපයක් වුව ද සාර්ථක කෙටිකතාකරුවකු ලෙස විචාරකයන් අතර ප්‍රසාදයට පත්විය. ඔහුගේ කෙටිකතා තුළ ඔහුට අනන්‍ය වූ ලක්‍ෂණ පෙන්නුම් කරයි. වැදගත් සිද්ධීන් පිළිබඳව සඳහන් නොකර සිතිවිලි විස්තර කරමින් පමණක් කෙටිකතා නිර්මාණය කළ හැකි බව ඔහුගේ කෙටිකතාවලින් පෙනී යයි.
කෙටිකතාව මනා නිමාවකින් යුතුව ඉදිරිපත් කිරීමට සමත්වූ දෙමළ ලේඛකයෙකි රාමසාමි (Ramasami). ඔහුගේ කෙටිකතාවල එන චරිතවල පොලිස් නිලධාරීන්, රෝගීන් හෝ කෝවිලක පූජකයන් සිටිය හැකිය. පාඨක මනස තුළට එම චරිත ඇතුළු කිරිමට මෙම ලේඛකයා සමත්ව තිබේ. කේ. අලකෙසාමි (K. Alakacami) සිත් ඇදගන්නා ආකාරයේ කෙටිකතා ලියූ ලේඛකයෙකි. ඔහුගේ කෙටිකතාවලට පාදක වී ඇත්තේ ත්‍රිචිනාපොලි දිස්ත්‍රික්කයේ උතුරට වන්නට පිහිටි පිටිසර ගම්මානයි.
තවත් කීර්තිමත් ලේඛකයෙකි ජයකාන්තන්. ඔහුගේ කෙටිකතා සංග්‍රහයක් වූ Tevan Varuvâne හි අන්තර්ගත වූ සාගින්නේ මියැදෙන දරුවකු පිළිබඳ කතාව විචාරකයන්ගේ ඉමහත් ප්‍රසාදයට ලක්විය. තමාගේ කෙටිකතාවලින් ගැටලුවක් වී ඇති ගැටලු විග්‍රහ කරන බව මෙම ලේඛකයා පවසයි.
කේ. වී. ජකනාතන් (K.V. Jakanatan) සහ ටි ජා රා (Ti Ja Ra ) විචාරක අවධානයට යොමු වූ තවත් ලේඛකයන් දෙදෙනෙකි.
20 වන සියවසේ තිහ සහ හතළිහ දශකවල බහුල වශයෙන් කෙටිකතා පළ වුවත් 50 දශකය වන විට කිසියම් පසුබෑමක් දක්නට ලැබේ.
ජෙයකාන්තන්, සුන්දර රාමසාමි, කි රාජනාරායනන්, අශොක මිත්‍රන්, තී ජානකිරාමන් (Thi Janakiraran) පනහ දශකයේ සිට කලාත්මක කෙටිකතා ලියූ රචකයන් අතරට එක්වෙති. බටහිර, රුසියන් සහ සෝවියට් කෙටිකතාවල පරිවර්තනවල බලපෑමත්, මාක්ස්වාදයේ බලපෑමත් ඔවුන්ගේ කෙටිකතාවල දක්නට ලැබේ. ඔවුහු අත්හදා බැලීම් කරමින් සාර්ථක කෙටිකතා රචනයෙහි නියැළුණහ.
හැටේ දශකයේ නා මුත්තුසාමි (Na Muthuswamy) කෙටිකතා රචනයට පිවිසියේය. ඔහුගේ කෙටිකතාවල ග්‍රාමීය ජීවිතයේ සංකීර්ණත්වය විග්‍රහ කෙරේ.
හැත්තෑව දශකය වන විට තවත් ලේඛකයන් රැසක්ම කෙටිකතා ක්ෂේත්‍රයට එක්වනු දක්නට ලැබේ. රාජෙන්ද්‍රසෝලන් Rajendrasolan, ප්‍රපංචන්, Prapanchan වන්නාමිලානන් (Vannamilan ) ඒ අතර වෙයි.
ආම්භායි (Ambai), ආර්. චුඩාමනී (R. Chudamani), ඉන්දිරා ප්‍රතසාරතී විචාරක අවධානයට ලක්වූ ලේඛක ලේඛිකාවන් ලෙස සඳහන් කළ මනාය.
දෙමළ කෙටිකතාවේ වර්ධනය කෙරෙහි බලපෑ ප්‍රධාන සාධකය වූයේ දෙමළ භාෂාවෙන් වාර සඟරා විශාල ප්‍රමාණයක් පළ වීමයි. ඒ සෑම වාර සඟරාවකම නොවරදවාම කෙටිකතාවක් හෝ දෙකක් පළ විය.
පංචමිත්‍රම්, ලක්‍ෂමී, ආනන්ද විකතාන්, කල්කි, මානිකොඩෙයි, ඉන්දියා ආනන්ද බෝධිනි, කලෙයිමගල්, වසන්තම්, මංජරීළ ශක්ති, පොන්නි, කලායි කරූර්, ස්වදේශ මිත්‍රන්, වීක්ලි වීරකේසරී, දිනමිණි කදීර්, අජන්තා එම වාර සඟරා අතර බෙහෙවින් ජනප්‍රිය වූ ඒවා කිහිපයකි.
ශ්‍රී ලංකාවේ වාසය කළ දෙමළ ලේඛකයන් ද කෙටිකතාවේ වර්ධනය කෙරෙහි වැදගත් මෙහෙවරක් ඉටු කළහ. යාපනයේ ලේඛකයන් වූ ආරියරත්නම්, වෛද්‍යලිංගම්, සම්බන්ධකුම් සහ ඉලංකීරන් යන ලේඛකයෝ කෙටිකතා ලිවිමෙහි නිරත වූහ.
මල්ලිහෙයි (පිච්ච මල ) සඟරාවේ නිර්මාතෘවරයා වූ ඩොමිනික් ජීවා දෙමළ කෙටිකතාවේ වර්ධනය උදෙසා සුවිශාල මෙහෙවරක යෙදුණ ලේඛකයෙකි. පත්තර ප්‍රසූතිය ඇතුළු ඔහුගේ කෙටිකතා සංග්‍රහ කීපයක්ම සිංහලෙන් පළ වී තිබේ. සිංහල කෙටිකතා දෙමළ භාෂාවට පරිවර්තනය කොට මල්ලිහෙයි සඟරාවේ පළ කරමින් සිංහල දෙමළ අනෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම සඳහා ඔහුගෙන් විශාල සේවාවක් සිදුවිය. ඔහුගේ කෙටිකතා ප්‍රගතිශීලි අදහස්වලින් යුතුය.
ඉලංකීරන් යන ආරූඪ නාමයෙන් ලේඛනයෙහි යෙදුණ සිවඥාණ සුන්දරම් කෙටිකතා සංග්‍රහ කීපයක් පළ කර තිබේ. Vellippataracan නමින් හැඳින්වුණ ඔහුගේ කෙටිකතා සංග්‍රහයේ එන කතා පාඨකයන් අලුතින් සිතීමට පොලඹවයි.
එස්. පොන්නදුරෙයි නම් ලේඛකයා කෙටිකතා 200ක් පමණ ලියා ඇත. නව ආරකින් කෙටිකතා ලිවීමට ඔහු සමත්ව සිටියි. නිදසුනක් වශයෙන් ඔහුගේ අනි (Ani) කෙටිකතාව දෙබස්වලින් පමණක් වීම දැක්විය හැකිය. මෙම ලේඛකයා කිසිවිටක ඉදිරියට පැමිණ කරුණු නොකියයි. දක්‍ෂ චිත්‍ර ශිල්පියකු පින්සල මෙහෙයවන්නාක් මෙන් හේ තම කෙටිකතාවේ චරිත මෙහෙයවයි.
එස්. ගනේෂලිංගම් නම් ලේඛකයා දෙමළ භාෂාවෙන් කෙටිකතා සංග්‍රහ කීපයක්ම පළ කර තිබේ. ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට මුහුණ දීමට සිදුව ඇති සමාජ ගැටලු ඔහුගේ කෙටිකතාවල සාකච්ඡාවට භාජනය වෙයි.
උඩරට වතුකරයේ වාසය කරමින් කෙටිකතා ලියූ තවත් ප්‍රකට ලේඛකයෙකි, කේ. ගනේෂ්. ඔහු වතු කම්කරු ජනතාවගේ ජීවන ගැටලු පාදක කර ගනිමින් කෙටිකතා රාශියක් ලියා ඇත. තෙලිවත්තේ ජෝෂප් දෙමළ ජනතාව අතර ජනප්‍රිය කෙටිකතාකරුවෙකි. සුදාරාජ මෑතදී කරළියට පැමිණි ප්‍රකට කෙටිකතාකරුවෙකි. ඔහුගේ කෙටිකතා සිංහලට පරිවර්තනය වී තිබේ.
දෙමළ භාෂාවෙන් කෙටිකතා ලියන තවත් විශාල පිරිසක් සිටිති. ඔවුන් වැඩිදෙනෙකුගේ කෙටිකතාවලට පසුබිම් වී ඇත්තේ පසුගිය කාලයේ පැවති සිවිල් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුය. මෙ සියල්ලන් ගැනම සටහන් තැබීම මෙවැනි කෙටි ලිපියකින් කිරීම අසීරුය.
දෙමළ භාෂාවෙන් ලියැවුණ කෙටිකතා එක්තරා ප්‍රමාණයක් සිංහල භාෂාවට පරිවර්තනය කරනු ලැබ තිබේ. එම පරිවර්තන කාර්යයන්හි නිරත වූ අය අතර, එච්. එම්. එස්. ෂම්ස්, දික්වැල්ලේ කමල්, උපාලි ලීලාරත්න සහ පී. ජී. සරත් ආනන්ද යන ලේඛකයන්ගේ නම් සඳහන් නොකරම බැරිය. සිංහල කෙටිකතා දෙමළට පරිවර්තනය වී ඇත්තේ අල්ප වශයෙනි. එය බලවත් අඩුවකි. දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට තරම් සුදුසු මට්ටමේ සිංහල කෙටිකතා ඇත්තේ ද අල්පයකි.
යුරෝපයේ, සෝවියට් දේශයේ, ලතින් අමෙරිකාවේ ලේඛකයන්ගේ නිර්මාණ පිළිබඳව කෙස්පැෙළන තර්ක ඉදිරිපත් කරමින් විචාරයට ලක් කිරීමට අපේ සමහරු සැදී පැහැදී සිටිති. එහෙත් අපේ රටේම උතුරේත් අපේම අසල්වැසි තමිල්නාඩුවේත් වාසය කරන ජනතාවගේ සිතුම් පැතුම්, අදහස් උදහස් සහ ඔවුන්ගේ ප්‍රාර්ථනා ඇතුළත් නිර්මාණ ගැන සාකච්ඡා කරන්නට ඉදිරිපත් නොවීම ඇත්තෙන්ම කනගාටුදායකය.
තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව භාවිත කරන දෙමළ භාෂාවේ වෙනස්කම් දක්නට තිබේ. ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැෙඟනහිර සහ වතුකර ප්‍රදේශවල ජනතාව භාවිත කරන දෙමළ භාෂාවේ ද ප්‍රාදේශීය වෙනස්කම් දක්නට ලැබේ. තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ භාවිත වන වචනවල අර්ථයන්හි විශේෂයෙන් කටවහරෙහි විශාල වෙනස්කම් දක්නට ලැබේ. එමෙන්ම දෙරටේ පළ වන නවකතා සහ කෙටිකතා අතර ද මෙම වෙනස්කම දැකිය හැකිය.
බොබී ජී. බොතේජු