– මෙය අලි ප්‍රමාණය සොයන සංගණනයක් නොවෙයි. ඊට එහා ගිය දත්ත ලබාගත හැකි සෘජු ක්‍රමවේදයක්
– අප්‍රිකාව ඇතුළු විදෙස් රටවල් අනුගමනය කරන අලි බෙටිවලින් සිදුකරන සමීක්ෂණය විද්‍යාත්මක පදනමකින් යුතුයි
– අවසන් වරට හා මුල්වරට රටම ආවරණය වන පරිදි අලි සමික්ෂණයක් කළේ 2011 වසරේදි
– අලි සමීක්ෂණය මඟින් මෙරට අලි ඇතුන් සංරක්ෂණයට සහ අලි-මිනිස් ගැටුම් අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?
– සමීක්ෂණයට ස්ථාන 3150ක්. කාර්ය මණ්ඩලය 7000ක්
අලි බැලීමේ හොඳම සංචාරක ගමනාන්තයක් වන්නේ ශ්‍රී ලංකාවයි. මේ නිසාවෙන් අලි නැරඹීම සඳහාම මෙරටට පැමිණෙන සංචාරකයින්ද අති විශාලය. තවත් පැත්තකින් ලංකාවේ අලි මිනිස් ගැටුම් හමුවේ මිය යන අලි මෙන්ම මිනිස් ජීවිත ගැනද අපි නිරන්තරයෙන් කතාබහ කරමු. මේ සියල්ල මැද අගෝස්තු 17, 18 හා 19 යන තෙදින තුළ වන ජීවි දෙපාර්තමේන්තුව ලංකාවේ වන අලි සමීක්ෂණයක් ආරම්භ කළේ ය. වසර දහයකට වරක් වන අලි සමීක්ෂණයක් සිදු කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුවද මේ අවස්ථාවේදී සිදුකරන්නේ වසර 13 කට පසුවය. එය අවසන් වරට සිදුකරනු ලැබුවේ පසුගිය 2011 වසරේදීය. එම අලි සමීක්ෂණයේ දී අලි 5879ක් පමණ වනාන්තරවල සිටින බවට දළ වශයෙන් සොයා ගැනුණි. දළ ඇතුන් 122ක්ද අලි පැටවුන් 1107 ක්ද ඊට ඇතුළත් විය. 2021 දී වන අලි සමීක්ෂණයක් කිරීමට සූදානම් වුවද එය අත්හිටුවීමට සිදුවූයේ ආර්ථික අර්බුදය හා කොවිඩ් හමුවේය.
මේ දිනවල අලි සමීක්ෂණය සිදු කරන්නේ Waterhole Counting හෙවත් දිය මංකඩ ආශ්‍රිතයි. ලංකාවේ පළමුවරට 2011 දී සිදු කළ සමීක්ෂණයද සිදුවූයේ ඒ ක්‍රමවේදයට අනුකූලවය. එදා මීට සම්බන්ධව අලි ගණනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව ප්‍රවීණයකු වූයේ වව්නියා විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය එස්. විජය මෝහන්ය. ඔහු පවසන්නේ මෙවැනි සමීක්ෂණයක් හරහා ලංකාවේ සිටින අලි ප්‍රමාණය කොතෙක්ද යන්න දැන ගැනීම බොහෝදෙනාගේ අපේක්ෂාව වුවත් ඒ ප්‍රශ්නයට මේ සමීක්ෂණයෙන් පිළිතුරු දිය නොහැකි බවයි. අපිට සංසන්දනය කළ හැකි වන්නේ ගියවර හා මෙවර සිටින අලි ප්‍රමාණයේ අවම අගය හා සන්සන්දනාත්මක පිළිතුරක් මිස ඊට හේතු සාධක ලබා දීම නොවන බවයි.
“මෙය අලි සම්බන්ධයෙන් කරන සමීක්ෂණයක් පමණයි. මෙයින් නිශ්චිත අලි ප්‍රමාණය කිව හැකි වන්නේ නැහැ. අප්‍රිකානු රටවල අලි සමීක්ෂණයක් සිදු කරන්නේ ගුවන් යානා භාවිත කරමිනුයි. ඒ සඳහා තෘණ භූමි ප්‍රදේශ තිබිය යුතු අතර සිග් සැග් ආකාරයෙනුයි සමීක්ෂණය සිදු කරන්නේ. මෙහි ඇති ගැටලුව නම් එකම සතා දෙවරක් ගණනය වීම. අලි සමීක්ෂණය සඳහා ඇති තවත් විද්‍යාත්මක පදනමකින් යුතු ක්‍රමවේදයක් වන්නේ අලින්ගේ බෙටිවලින් ගණනය කිරීමයි. අලියෙකු දිනකට 17- 18 වතාවක් බෙටි දානවා. එසේම අලි බෙටි දවස් ගණනාවක්ම පවතිනවා. නමුත් වැසි හා වියළි කාල අනුව, බෙටි වැටුණු පරිසර තත්ත්ව අනුව මේවා විනාශ වන කාල වෙනස් වෙනවා. ඒ නිසා විද්‍යාත්මක පදනමින් මෙය අධ්‍යයනය කළ යුතුයි. මේ ක්‍රමවේදය හරහා අවම අලි හා උපරිම අලි ප්‍රමාණය කිව හැකි වුවත් මේ ක්‍රමවේදය ප්‍රායෝගිකව ඉතා අපහසුයි. ඉන්දියාවේ අලි සමීක්ෂණය කිරීමේදී මේ ක්‍රමය භාවිත කරනවා. නමුත් අපේ රටේ මේ ක්‍රමවේදය භාවිත කිරීම අපහසු වන්නේ වනාන්තරය තුළදි මේවා ගණනය කිරීම අපහසුවන නිසා. මේ ක්‍රමවේදයෙන් අලි ඝනත්වය පිළිබඳ දත්ත ලැබුණත් අලි පිළිබඳ විස්තර ලබා ගත නොහැකියි.
ලංකාවේ අලි විශාල ප්‍රමාණයක් වෙයි. නමුත් වියට්නාම, කාම්බෝජ මෙන්ම චීන වැනි රටවල අඩු අලි ගහනයක් සිටින නිසා මේ ක්‍රමවේදය භාවිත කළ හැකියි. අපේ රටේ සිටින අලි ප්‍රමාණය නිශ්චිතව අපි දන්නා නිසා අපිට වැදගත් වන්නේ අලි පිළිබඳ විස්තර ලබා ගැනීමයි. එහිදි Waterhole Counting සෘජු ක්‍රමවේදයක්. මේ ක්‍රමවේදය 1993 දි හඳුන්වා දුන්නේ මහාචාර්ය චාර්ල්ස් සන්නියපිල්ලෛ. අපි අනුමාන කරනවා සෑම අලියෙකුම එක් දිනයක් හෝ වතුර බීමට උපරිම වියළි කාලයේ ස්ථිරව වතුර රැදෙන ජලාශවලට ආයුතු බව. ඒ අනුවයි අලි ගණනය කරන්නේ. 2011 සංගණනයට මමත් සහභාගි වුණා.
ඉන්දියාවේ 90%ක් ඇතුන් සිටියත් අපේ රටේ 8%ක් පමණයි ඇතුන් ඉන්නේ. ඒ නිසා මේ සමීක්ෂණයේදී ගැහැනු හා පිරිමි වශයෙන් නිවැරදිව හඳුනාගත යුතු වෙනවා. ඒවා ප්‍රායෝගික ගැටලු. මේ සමික්ෂණයේදි අලියකු දකින විට ලියා ගැනීමක් කරනවා. ඒ අනුව දින තුනකදි එක තැන අලි විසි වතාවක් දුටුවා නම් ඒ විසි වතාවේ දුටු අලි ප්‍රමාණයේ වැඩිම අගය ගැනෙනවා. ඒ අනුව අඩුම තරමින් ඒ ප්‍රදේශයේ සිටි අලි ගණනය කළ හැකි වෙනවා. මෙය ලංකාව පුරාම කළ පසු විශාලම සංඛ්‍යාව ගෙන අපිට කිව හැකි වන්නේ ලංකාවේ සිටිය හැකි අවම අලි ප්‍රමාණයයි. ඒ අනුව 2011 දී 5,879ක් හඳුනා ගත්තා. ගැහැනු පිරිමි ප්‍රතිශතය 50% බැඟින් තියෙනවා නම් එය සෞඛ්‍ය සම්පන්න ගහණයක් වෙනවා. අලි බහුතර ප්‍රමාණයක් ගැහැනු සතුන් වුණොත් එය විශාල ප්‍රශ්නයක්. ඒ අනුව අනාගතය ගැන තීරණය කළ හැකි වෙනවා. අපේ ලංකාවේ අලි පිරිමි හා ගැහුනු අනුපාතය 1:3 යි. එය හොඳ තත්ත්වක්. ඒ Waterhole Counting හරහා අපිට ඉදිරිය ගැන දත හැකි දේයි. “ ඒ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. විජය මෝහන්ය.
මේ භාරදූර කර්තව්‍යට පණ පොවන්නේ වනජිවි දෙපාර්තමේන්තුවය. ඔවුන් පවසන්නේ මෙම අගෝස්තු මාසය ඊට සුදුසුම කාලය බවයි.
“මෙවරත් සිදු කරන්නේ Waterhole Counting හෙවත් දිය මංකඩ ආශ්‍රිත සමීක්ෂණයක්. එවිට අපිට පැරණි දත්ත සමඟ සංසන්දනය කළ හැකි වෙනවා. අපි වියළි කාලගුණයක් සහිත කාලය තෝරාගත්තේ ජලය රැඳි ජලාශ සීමිත නිසා පැය 24 තුළ අලිෙයක් වතුර බීමට පැමිණෙන බව දන්නවා. මීට අදාළ ස්ථාන තෝරා ගැනීම කාලයක සිට සිදුකරමින් ආවා. දැනට මේ ගණනය කරන ස්ථාන 3150ක් හඳුනා ගත්තා. මෙහිදි අලි ගැවසෙන සෑම ස්ථානයක්ම හසුකර ගැනීමට කටයුතු කරනවා.“ ඒ මේ කාර්යයේ ප්‍රධානී රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්නය.
නමුත් අලි සම්බන්ධයෙන් පර්යේෂණය කරන පර්යේෂකයින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරන්නේ තවත් මතයකි.
“2011 වසරේ වගේම මේ වසරේත් වන අලි සමීක්ෂණය සිදුකෙරෙන්නේ අලි ඇතුන් දිය බීමට පැමිණෙන ජල මුලාශ්‍ර අසල රැක සිට එම සතුන් සෘජුවම ගණනය කිරීමේ ක්‍රමවේදය මඟින්. ඒ සඳහා විශේෂයෙන් නියං සමයේ උච්චතම අවස්ථාව තෝරාගනු ලබනවා. නමුත් මෙම වසරේ අගෝස්තු මාසයේ දිවයිනේ අලි ඇතුන් ජීවත්වන ප්‍රදේශවලට අධික වැසි ඇද හැලීම නිසා අපේක්ෂිත ආකාරයට ජල මුලාශ්‍ර ප්‍රමාණය සීමා වූවා ද යන්න සැක සහිතයි. එවැනි පසුබිමක මෙසේ සමීක්ෂණය සිදුකළොත් අපට නිවැරදි තොරතුරු ලබාගැනීමට නොහැකි වෙනවා. එය සමීක්ෂණය සඳහා වැය කරන කාලය, ශ්‍රමය හා ධනය අපතේ හැරීමක්. 2011 වසරේ සමීක්ෂණයෙන් පසු මෙතෙක් සමීක්ෂණයක් සිදු නොකිරීමට ද එක් හේතුවක් වන්නේ සැලසුම් කළ සමීක්ෂණ අකල් වැසි හේතුවෙන් අත්හැර දැමීට සිදුවීමයි.
“ඒ සංරක්ෂණවේදී සහ පර්යේෂක සුපුන් ළහිරු ප්‍රකාශ්ය.
නමුත් වනජීවි දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ මේ කටයුත්තට සුදුසුම කාලය වී ඇත්තේ මෙම අගෝස්තු මාසය බවයි.
“ලංකාවේ කාලගුණ විපර්යාස නිසා යම් යම් වෙනස් වීම් තිබුණත් අගෝස්තු හොඳම වියළි කාලගුණයක්. පසුගිය කාලයේ දැඩි වියළි කාලයක් ලංකාවට ලැබුණේ නැහැ. අපි ජල ප්‍රභව අධ්‍යයනය කරන්න පටන් ගත්තේ මාස දෙක තුනක සිටයි. මේ වෙද්දි මින්නේරියට අලි පැමිණ සිටිනවා. මේ කාර්යය අපි 17 වැනිදා ආරම්භ කළේ දහවල් 1 ට. ඒ කාර්යය අපි ඉරිදා දක්වාත්, පසුව ඉරිදා දහවල් සිට සඳුදා එළිවන තෙක්, ඊට පසුව සඳුදා දහවල් 1 වන තෙක් පැය 24ක් සමීක්ෂණයක් සිදුකරනවා.
මේ පොයින්ට්වලට විශේෂඥ දැනුම ඇති අය දාන්න බැහැ. නමුත් අපි මේ ක්‍රමවේදය වර්ධනය කළේ විශේෂඥයෝ සම්බන්ධ කරගෙන. අපි පසුගිය කාලයේදී මේ කාර්යයේදි විදෙස් විශේෂඥයින්ගේ සහාය ලැබුණ වගේම අඩුපාඩු හදාගෙන ඉදිරියට ගියා. අදාළ පොයින්ට්වල සිටින අය කරන්නේ ගණන් කරන එක පමණයි. ඒ අයට විශේෂඥ දැනුම අපි ලබාදුන්නා. මේ සඳහා 7000කට අධික නිරීක්ෂකයින් සහභාගි වන අතර ඔවුන් වනජීවි, දෙපාර්තමේන්තු, විශ්වවිද්‍යාල, ගම්වාසීන්, ආරක්ෂක අංශ ඇතුළු විවිධ ක්ෂේත්‍රවල අය.
මෙම නිරීක්ෂකයින්ට යම් යම් කාල පරාසයන්වලට දත්ත පත්‍රිකා ලබා දෙනවා. තමන් සිටින ස්ථානයට එන අලි ප්‍රමාණය කොපමණද? රංචු කීයක් ආවාද? එහි ගැහැනු පිරිමි සංඛ්‍යාව කොපමණද? පැටවු, දළ ඇතුන්, තරුණ සතුන් ප්‍රමාණය කොපමණද කියා ඔවුන් සළකුණු කරනවා. මෙම මධ්‍යස්ථාන සියල්ලේ සංඛ්‍යා එකතු කර අවසන් ප්‍රතිඵලය දෙන්න මාසයක් පමණගත වෙනවා. මෙයින් අපේ අරමුණ වන්නේ අගයක් ලබාදීම නෙමෙයි. අපිට අවම අගයක් කියන්න පුළුවන් වගේම ස්ත්‍රි පුරුෂ ප්‍රමාණය මෙන්ම කළමනාකරණය අදාළ තොරතුරු ලබා ගැනීමයි. වනජිවි සංරක්ෂණයට හා කළමනාකරණයට අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු ලබාගැනීම මේ හරහා සිදුකරනවා. මෙහිදි පූර්ණ දත්ත සමඟ සංසන්දනය කළ හැකි වෙනවා.
මෙම සමීක්ෂණ කරන කාලයේ සංචාරක කලාපවල සංචාරක නිවාස වසා දමා තිබෙනවා. ජාතික උද්‍යාන වසා දමන්නේ නැහැ. අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වා ගෙන යනවා. නමුත් සංචාරකයින් ජාතික උද්‍යානවලට මේ දින තුනේ පැමිණීම අඩු කරනවා නම් අපේ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන්. වසරක් පාසා මෙවැනි සමීක්ෂණ කරන්නේ නැහැ. යන වියදම ශ්‍රමය අනුව වසර 10ක් ප්‍රමාණවත්. 2011 වසරේදි අපිට නිරීක්ෂණය වුණේ අලි 5879 ක්. නමුත් ප්‍රමාණය ඊට වඩා වැඩියි. “රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්නය.
ලංකාවේ 60%ක් ප්‍රදේශවල අලි සිටින බව හඳුනා ගෙන ඇත. මේ නිසා මෙවැනි සමීක්ෂණයන් සිදුකිරීම තරමක් අපහසු කාර්යයකි. පසුගිය කාලයේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් වසර හතරක් තිස්සේ ලංකාවේ අලි ඇතුන් ගැන විද්‍යාත්මක සමීක්ෂණයක් ද සිදුකර ඇත. ඔවුන් එය සිදුකර තිබෙන්නේ ලංකාවේ භූමිය වර්ග කිලෝමීටර් 25ක කොටු විදියට ආසන්න වශයෙන් කොටු 2750කට බෙදාවෙන් කිරීමෙනි. සමීක්ෂණයේ යෙදුණු පිරිස අදාළ කොටුව ඇතුළත ජීවත් වෙන පුද්ගලයන් තුන්දෙනා බැඟින් තෝරගෙන ඔවුන්ගෙන් එම ප්‍රදේශයේ හැසිරෙන අලිඇතුන් පිළිබඳ තොරතුරු 2011 – 2015 කියන කාලසීමාවට අදාළව එකතු කර තිබේ. එම දත්තවල නිරවද්‍යතාව ඉහළ නැංවීමට 2004 – 2018 කාලය තුළ සිදු කළ GPS මඟින් අලි ඇතුන්ගේ පිහිටීම හඳුනා ගැනීමේ දත්ත ද භාවිත කර ඇත. මෙම සමීක්ෂණයෙන් හෙළිව තිබෙන්නේ ලංකාවේ සමස්ත භූමියෙන් 60%ක අලිඇතුන් ජීවත් වන බවයි.
“මෙවැනි අලි සංගණනයක් සිදු කිරීමෙන් යම්කිසි අලි ප්‍රමාණයක් මැනගත හැකි වෙනවා. නමුත් එයින් අලි සම්බන්ධයෙන් ගත හැකි තීන්දු තීරණ මොනවාද? අපිට මේ සංගණනයෙන් ලංකාවේ අලි සිටින ස්ථාන ප්‍රමාණය කොපමණද? අලි ප්‍රමාණය කොපමණද කියා තීන්දු තීරණ ගත හැකිද? මෙවැනි සමීක්ෂණයකින් ලංකාවේ සිටිය යුතු අලි ප්‍රමාණය, මෙන්ම සිටින අලි ප්‍රමාණය පිළිබඳ පදමනක් සපයන්නේ නැහැ.
මෙම සමීක්ෂණයේදී අලි ගණනය සිදු වන්නේ ඒ සඳහා සහභාගි වන මිනිස් ශ්‍රමයට සමානුපාතිකවයි. ඒ නිසා ලැබෙන අලි ප්‍රමාණය මිනිස් ශ්‍රමයට සමානුපාතික වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සමීක්ෂණ සිදු කරන්නේ Waterhole Counting එකක් ආකාරයෙන්. නමුත් සමහර අලි අදාළ වතුර වළවල්වලට නොපැමිණෙන අවස්ථා තියෙනවා. සමහරක් අලි වතුර බොන්න දියපහර, ඇළ දිගේ යනවා. ඔවුන් මේ සඳහා හසුවන්නේ නැහැ. මේ නිසා අසාර්ථක වීමේ ඉඩකඩ වැඩියි. විදේශ රටවල මේ ගණනය කිරීම් සාර්ථකව සිදුකළ හැකි අවස්ථා තියෙනවා. ඒවා මිලෙන් අධික හා කාලය ගතවන ක්‍රමවේද. ලංකාව වැනි පුළුල් පරාසයකට සිදු කිරීමට බැරි වුණත් යාල වැනි කොටසක් තෝරාගෙන සිදු කළ හැකියි. “ඒ අලි සම්බන්ධ විශේෂඥයකු වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දුය.
2011 වන අලි සමීක්ෂණයේදී අනාවරණය කරගත් තොරතුරු මත පදනම්ව මෙරට අලි ඇතුන් සංරක්ෂණයට සහ අලි-මිනිස් ගැටුම් අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න මේ පිළිබඳව විවේදනය කරන්නන් අසති.
“2011 වන අලි සමීක්ෂණය මඟින් ලබාගත් දත්ත විශේලේෂණය කර අනාවරණය කරගත් තොරතුරු මත පදනම්ව මෙරට අලි ඇතුන් සංරක්ෂණයට සහ අලි-මිනිස් ගැටුම් අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැටලුවක්. සමීක්ෂණ කළා හෝ නොකළා නමුත් මෙරට අලි ඇතුන් සංරක්ෂණයේ සහ අලි-මිනිස් ගැටුම් අවම කිරීමේ ගමන දශක ගණනාවක සිට ගමන් කරන්නේ අවිද්‍යාත්මක හා පසුගාමී මාවතකයි. සමීක්ෂණ දත්ත තොරතුරු මත එම ගමනේ දිශානතියේ සාධනීය වෙනසක් සිදු නොවනවා නම් මෙවැනි සමීක්ෂණ සඳහා මහජන මුදල් වියදම් කරන්නේ කුමක් සඳහාද?
2011 වන අලි සමීක්ෂණයේ එකම ප්‍රතිඵලය එතෙක් මෙතෙක් මෙරට සිදුවූ වාර්ෂික වන අලි මරණ සංඛ්‍යාව ‘අලි වැඩියි’ යැයි පවසමින් සාධාරණීකරණය කිරීම පමණයි. 2011 වසරේ මෙරට සිදුකළ දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයට අනුව මෙරට අලිඇතුන් 5,879ක් සිටින බව ප්‍රකාශ කෙරුණා. ඉන්පසු 2012 සිට මේ දක්වා අලිඇතුන් 3967 නිල වශයෙන් මරණයට පත්ව තිබෙනවා. නමුත් අපගේ වැටහීම නම් ස්වභාවික මරණය දක්වා පරමායුෂ භුක්ති විඳිමින් ජීවත්වෙන්නට අලි ඇතුන් ඉතිරි නොවීම නිසා මෙසේ ස්වභාවික අලි මරණ සංඛ්‍යාව අඩුවී ඇති බවයි. ඒ වෙනුවට දෛනිකව අලි-මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතු නිසා අලි ඇතුන් අකාලයේ මිය යාම වාර්ෂිකව වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. “ඒ සංරක්ෂණවේදී සහ පර්යේෂක සුපුන් ළහිරු ප්‍රකාශ්ය.
කෙසේ වෙතත් අපේ රටේ ප්‍රධාන වන සම්පත බදු වන අලි සුරැකීම කාගේත් යුතුකමකි. ලංකාවේ අලි විශාල ප්‍රමාණයක් සිටිනවා යැයි කිවද අපිට ඒ පිළිබඳ නිවැරදි දත්ත වුවමනා වන්නේ අලි සංරක්ෂණ ක්‍රමවේදය ඉදිරියට ගෙන යාමේදීය. වසරකට මියයන අලි ප්‍රමාණයේ වැඩිවීමක් මෙන්ම අලි මිනිස් ගැටුම් උග්‍ර වෙමින් පවතින අද වැනි යුගයකදී මෙවැනි සමීක්ෂණයක් සාර්ථකව අවසන් කළ හැකි වන්නේ නම් එය අගනා කාර්ය භාරයක් වනු ඇත.
ඡායාරූපය – සුපුන් ළහිරු ප්‍රකාශ්
සුභාෂිණි ජයරත්න