Home » හිරකරුවා බැහැ දැක්කෙමු

හිරකරුවා බැහැ දැක්කෙමු

by Mahesh Lakehouse
August 17, 2024 12:28 am 0 comment

ග්නාට්ෂියෝ සිලෝනෙ සිංහල පාඨකයාට අමුත්තකු නොවේ. ඔහුගේ නවකතා තුනක් මේ වනවිට සිංහලට පරිවර්තනය වී තිබේ. ‌ෆොන්ටමාරා ( පරිවර්තනය (මාලනී ගෝවින්නගේ) ලූකා (පරිවර්තනය: ඉන්ද්‍රාණි රොද්රිගෝ) පාන් සහ වයින් (පරිවර්තන දෙකකි. 1. ටී. අන්ද්‍රාදි 2. අභය හේවාවසම්) එහෙත් මේ සිංහලට පෙරැළී ඇති ඔහුගේ එකම කෙටිකතා සමුච්චයයි.

1974 වසරේ මුල්වරට මුද්‍රණයෙන් නිකුත් වී ඇති මෙහි ඒ අවස්ථාවේ ඇතුළත් ව තිබී ඇත්තේ කෙටිකතා තුනක් පමණි. 2002 වසරේ නිකුත් වූ පුනර්මුද්‍රණයේ දී ඊට තවත් නිර්මාණ දෙකක් එක් කරනු ලැබ තිබේ.

ඒ අනුව මෙහි කෙටිකතා පහක් අඩංගු ය.

මේ කෙටිකතාවලින් තුනක් ම සිලෝනෙ විසින් නිර්මිත කල්පිත ගම වන ‌ෆොන්ටමාරා පදනම් කැර ගත් ඒවායි.

ෆොන්ටමාරා යනු ඉතාලියේ රෝම අගනුවරට සැතපුම් පණහක් පමණ එපිටින් පිහිටි, සිලෝනෙ උපත ලැබූ අබෘසෝ කලාපයේ ම පිහිටා ඇත’යි කියන කල්පිත ගම්මානයකි. (හරියට නාරායන්ගේ මල්ගුඩි ය වැනි ය.) ඉතාලි බසින් ඒ නමේ අරුත ‘තිත්ත ජල ප්‍රවාහය’ යි. ෆොන්ටමාරා නවකතාව ගෙතී ඇත්තේ මේ ජල මූලාශ්‍රය වටා ය. සමාජයීය වශයෙන් ඉතා දුරස්ථ මේ ගමේ ජනයා වන ෆොන්ටමරේසිලා දිළින්දෝ වෙති. එගම කෙතරම් බාහිර ලෝකයෙන් දුරස්ථ ද යත්, එසමයේ සිදු වූ ෆැසිස්ට්වාදයේ නැඟීම වැනි ප්‍රධාන සමාජ කැලඹීම් ගැන පවා ඔවුන මෙලෝ හසරක් දන්නේ නැත. තමන්ගේ බොළඳකම සහ නොදැනුවත්කම නිසා අනවරත සූරාකෑමට ලක්වන ඔවුහු නූගත්කම සහ දිළිඳු බව විසින් චක්‍රිය ව පෙළනු ලැබෙති. කාන්තාවෝ ෆැසිස්ට් ව්‍යාපාරයේ කළු කමිසකාරයන් අතින් නිරන්තර දූෂණයට ලක්වෙති. කැෆෝනි නමින් හැඳින්වෙන ෆොන්ටමරාසි ගොවීන් සහ නගරයේ ජීවත් වන අය අතර විශාල පරතරයක් ඇත. මේ ගොවියෝ නිරතුරු මහ පොළොව සමග සටන් කරන්නෝ ය. සිය ගමෙන් යන්නට ගියොත් සමෘද්ධිය උදා වේ යැයි සිතන ඇතැම් තරුණයෝ ගම හැරදා යති. ඒ ගමන් සාර්ථක වන්නේ කලාතුරකිනි.

මෙහි ඇතුළත් පළමුවන කෙටිකතාව වන ‘පැරිසියට ගිය ගමන’ ගම හැර යන්නට සිහින මවන බෙන්ජමින් නමැති තරුණයකු කේන්ද්‍ර කැර ගනිමින් නිර්මිත ය. ඔහුට ෆොන්ටමාරාවෙන් පිට වී යන්නට අවශ්‍ය ය; සදහටම කිසිදා ආපසු නොඑන්නට.

‘මේ ගැමියන්ගේ වෛද්‍යවරයා දොන් ඉපෝලිටි නමින් හැඳින්වුණු අහිංසක තැනැත්තා වාසය කළේ ෆොන්ටමාරාවට නුදුරුව ය. ගැමියන්ගේ ලෙඩදුක්වල නිධානය ඔහු සෙයා ගෙන තිබිණි. රෝගාබාධ සමනය කිරීමේ අසමත් යල්පැන ගිය බෙහෙත් වර්ග ඔහු මේ රෝගීන්ට දුන්නේ නැත. ගිලන් වී ගෙදරවල සිටි සැමියන්ට හා පුතුන්ට බෙහෙත් ගෙන ඒම සඳහා ගැහැනු දොන් ඉපෝලිටි වෙත ගියහ. එසේ ගොස් ලෙඩ දුක් විස්තර කරමින් බැගෑපත් ව බෙහෙත් ඉල්ලා සිටියහ. මේ ලෙඩදුක්වලට පිළියම් වශයෙන් වෛද්‍යවරයා එක් පියකරු දිනයක කාන්තා පිරිසකට පෙන්වා දුන්නේ කුමක්ද? “ලෙඩරෝගවලට හොඳ ම බේත තමා අර තියෙන්නෙ. ” ෆ්‍යුසිනෝ දේශ සීමාවේ පිහිටි ඉඩම් කැබලි දෙසට අත දිගු කරමින් ඔහු පැවසී ය. “ලෙඩ දුක් ඇරෙන්න දෙන්න තියෙන හොඳ ම බේත තමා මේ ඉඩම්”

දොන් ඉපෝලිටි මෙසේ කියා වැඩි කලක් යහතින් සිටියේ නැත. මේ ප්‍රකාශය නිසා ම ඔහු අත්අඩංගුවට ගනු ලැබ උස්ටිකා දිවයිනට පිටුවහල් කරන ලද්දේ ය.

ෆොන්ටමාරා වැසියන්ට දොන් ඉපෝලිටි ගෙන් පසුව බෙහෙත් ගන්නට කෙනෙක් නැති විය. කොහොම නමුත් ඔවුන් බෙහෙත් වෙළෙන්දන් සොයා ගියේ නැත. ඔවුහු තවමත් සුපුරුදු ලෙස ඉරිඟු තලප බුදිති. ඒවායින් පිළුණු ගන්ධය හමන විට බිරියන්ටත්, බූරුවන්ටත් පහර දෙති. “මේ අපි ලබා උපන් හැටි” ගෑනු පවසති.’

තරුණයන් රට හැර යන්නේ මේ දුෂ්කරතා නිසා ය. බෙන්ජමින්ට ඊට ඇති ලොකුම හේතුව ඔය කියන පිළුණු ඉරිඟු තලප තුන්වේලට ම කන්නට සිදු වීම ය.

මෙහි දෙවැනි කෙටිකතාව වන ‘කෙස්වැටිය’ ඒලෙස රට හැර ගිය තරුණයකුගේ බිරිය වූ ජුඩිත් නම් තරුණ කාන්තාවකගේ අවාසනාවන්ත ඉරණම ගැන කියැවෙන්නකි.

මේ තරුණියට දිග ඝන කෙස්සක් තිබේ. ඒ ගැන බොහෝ ආඩම්බර වන ඇය කිසිවිටෙක එය උනා දමන්නේ නැත. වරල මුදා සිටින ඇය අන් කෙනකුගේ නෙත ගැටෙනවාට ඇගේ සැමියා අකැමැති ය. එසේ නොකරන බවට ඇය ඔහුට පොරොන්දු වෙයි. ඔහු විදෙස්ගත වන්නට පෙර ගෙන යන්නට පින්තුරයක් නොමැති බැවින් ඇගේ කෙහෙ රොදක් කපා සිය පසුම්බියේ ගෙන යයි.

විදෙස්ගත වූවායින් පසු ඔහු ඇයට එවන්නේ එකම එක ලිපියක් පමණි. මේ ගැන කලකිරීමට පත්වන ඇය සිය ලස්සන කෙස්ස බූ ගා සිය පණ නසාගන්නට තැත් කරයි.

එහෙත් කිසිදා කිසිවකු දැන නොගන්නා කෙනකු විසින් ඇය බේරා ගනු ලැබේ. ඉන්පසු ඇය සිතන්නේ සැමියා දැන් ආවොත් තමා ගැන මොනවා සිතනු ඇති ද කියායි. එසේ සිතන ඇයගේ සිහිය විකල් වෙයි. පසුව අනාවරණය වන්නේ නිකොලා නමැති තැපැල්කරු ඇගේ සැමියා නොරට සිට එවන ලිපි ඇය අත පත් නොකරන බවයි. අවසානයේ නිකොලා පවසන්නේ කෙස්ස මුදා හැර තමාට පෙන්වන මෙන් දවසක ඇය ඔහුට යෝජනා කළ බවත්, එහෙත් තමා එසේ නොකරන්නට සැමියාට පොරොන්දු වූ නිසා එසේ කළහොත් පව් සිදුවනු ඇතැයි කියමින් ඔහුගේ ඉල්ලීම ඇය පිළිකෙව් කළ බවත් ඒ තරහට තමා ඇයට ලැබෙන ලියුම් නොදී සිටි බවත් ය.

‘සිරකරුවා බැහැ දැක්කෙමු’ කතාව තවත් වෙනස් ආකාර නිර්මාණයකි. එහි තේමාව පෙරකී කතා දෙකට ම වෙනස් ය. පොලිසිය විසින් සොරකු කොට අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයකුට විසිත්තුවක යාම මෙහි එයි. සිව්වන පොලිකුෂ්කා යනු තෝල්ස්තෝයිගේ එනමින් යුත් කෙටිකතාව ඇසුරෙන් ගොතන ලද්දකි. ගොවීන්ගේ රැස්වීම් බලන්නට නිතිපතා යන සිසුවකුට ඒ් ගොවීහු විරෝධය පළ කරති. ඔවුනතුරින් එක් අයෙක් ශිෂයයා සහ කතාබහ කොට පොත්වල ඇති දේ නූගත් මිනිසුන් වන තමන්ට කියා දෙන ලෙස ඉල්ලයි.

මෙහි ඇතුළත් ඉතාම අනුවේදනිය කතාව ඉහළ අධ්‍යාපනය පිණිස ගමෙන් පිට ව යන තරුණයකු සහ ඔහුට අප්‍රකාශිතව පෙම් කළ ලොරීනා නම් තරුණියක ගැන ය. අවසානයේ පල්ලියේ සුවාමිගෙන් ලිපියක් ලැබ ඔහු ගමට පැමිණෙන විට ඇය මියැදිලා ය.

කෙසේවෙතත් පියතුමා ඇගේ පියාගේ සහ ඇගේ මරණය සලකන්නේ ලොකු බරකින් නිදහස් වූවාක් වැනි වය.

ඉන් කලකිරීමට පත්වන අර තරුණයා එදින රැයේම පෙරළා රෝමය බල යන්නට තීරණය කරයි.

‘හිරකරුවා බැහැ දැක්කෙමු’ මහාචාර්ය ජිනදාස දනන්සූරියගේ කෘතියකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division