හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනය විසින් නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 50,000ක් සම්පූර්ණ කිරීම වැල්ලවත්ත හෙල්ප් ඒජ් අක්ෂි රෝහලේදී පසුගිය දා සමරනු ලැබීය. ඒ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, අමාත්‍යාංශ ලේකම් පාලිත මහීපාල, හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රමුඛ HASL කවුන්සිලයේ සාමාජිකයන්, පරිත්‍යාගශීලීන්, ප්‍රතිලාභීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙනි.
ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 50,000කට අධික සංඛ්‍යාවක් සාර්ථකව නිම කිරීම සංඛ්‍යාත්මක සන්ධිස්ථානයක් පමණක් නොවේ, එය පෙනීම යථා තත්ත්වයට පත් කිරීම මගින් ධනාත්මක බලපෑමක් ඇති කරන ගණන් කළ නොහැකි ජීවිත ප්‍රමාණයක යළි පිබිදීමකි. මෙම සන්ධිස්ථානය හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා කැපවීම සහ පරිත්‍යාගශීලීන්ගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අසාමාන්‍ය සහයෝගය සංකේතවත් කරයි. උත්සවය අතරතුර සමරු ඵලකයක් නිරාවරණය කළ අමාත්‍ය පතිරණ මහතා, රජයේ ආධාර මත විශ්වාසය නොතබා වැඩිහිටි සත්කාරය වෙනුවෙන් හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා දක්වන අසීමිත කැපවීමට ප්‍රශංසා කළේය.
“ශ්‍රී ලංකාවට ඉහළම හෙල්ප් ඒජ් අක්ෂි රෝහලක් තිබේ. ලෝකයේ වැඩිහිටි ජනගහනයේ අනුපාතය සහ ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා, විශේෂයෙන් පෙනීම යථා තත්ත්වයට පත් කිරීම ඉතා වැදගත් වේ. නොමිලයේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා ආයතනය දරන උත්සාහය ප්‍රශංසනීය මෙන්ම වළක්වා ගත හැකි අන්ධභාවය වැළැක්වීම අත්‍යවශ්‍යයයි. 1990 සිට ලංකාව වයස්ගත ජනගහනය සමඟ සැලකිය යුතු අභියෝගවලට මුහුණ දී ඇති අතර, ඉහළ මානසික හා චිත්තවේගීය පීඩාවන්, සියදිවි නසාගැනීම්, අධි රුධිර පීඩනය, දියවැඩියාව, සහ පිළිකාව පමණක් නොව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, මානසික, සමාජීය සහ ආර්ථික යහපැවැත්ම සම්බන්ධයෙන් වැඩිහිටි ජනතාවගේ ජීවිත ඉහළ නැංවීමට හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සංවිධානය කටයුතු කිරීම ප්‍රශංසනීයයි…”යනුවෙන් එහිදී පැවසූ අමාත්‍යවරයා, සෞඛ්‍ය, ආර්ථික සහ මානසික සෞඛ්‍ය ධාරිතාවය යන ක්ෂේත්‍රවල අඛණ්ඩ සහයෝගය සහතික කරමින්, වැඩිහිටියන්ට උපකාර කිරීමේ මෙහෙවර සඳහා හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ද අවධාරණය කළේය.
“අපි කරන සෑම සැත්කමක්ම අපගේ වැඩිහිටි පුරවැසියන්ගේ දීප්තිමත් අනාගතයක් කරා ගෙන යන පියවරක්. මෙම සැත්කම් 50,000 ක සන්ධිස්ථානයකට පැමිණීම අපට ආඩම්බරයක්. මෙහි ගැබ්ව ඇත්තේ අපගේ පරිත්‍යාගශීලීන්ගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම සහ සහයෝගයයි…”
යනුවෙන් එහිදී හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා සභාපති දේශබන්දු තිලක් ද සොයිසා පැවසීය.
2009 වසරේ කොළඹ 6 වැල්ලවත්තේ Sinsapa පාරේ අංග සම්පූර්ණ අක්ෂි රෝහලක් ලෙස ස්ථාපිත හෙල්ප්ඒජ් අක්ෂි රෝහල එවැනි වැදගත් සේවාවන් සපයන කොළඹ පිහිටි එකම රෝහලයි. අමෙරිකා එක්සත් ජනපදයේ Bausch සහ Lomb වෙතින් දැක්ම වැඩි දියුණු කිරීමේ පද්ධතිය ඇතුළු අති නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම රෝහල, දිනකට නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 20 ක් දක්වා සිදු කරයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා, සිකුරාදා දක්වා සායන දිනයක් ලෙස නම් කර ඇත.
“අපගේ කැපවීම මූල්‍යමය බාධාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිසිදු වයෝවෘද්ධ පුද්ගලයකුට නැවත බැලීමේ අවස්ථාව අහිමි නොකිරීම සහතික කිරීමයි. අපි අවසන් කර ඇති ශල්‍යකර්ම 50,000 ආරම්භයක් පමණයි. ඇසේ සුද නිසා ඇතිවන අන්ධභාවය අපේ ප්‍රජාවෙන් තුරන් කරන තුරු මෙම මෙහෙයුම දිගටම කරගෙන යාමට අපි බලාපොරොත්තු වනවා…” යනුවෙන් හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා උප සභාපති දේශබන්දු අජිත් ජයරත්න එහිදී පැවසීය.
මෙම අක්ෂි සැත්කම් 50,000 ට අමතරව, ජංගම වෛද්‍ය සහ අක්ෂි කඳවුරු 3,306 කට වඩා, මුළු ප්‍රතිලාභීන් 388,416 කටත්, බයිෆෝකල් ඇස් කණ්ණාඩි 239,622 කුත්, ගෘහ රැකවරණ සහකාර පුහුණු වැඩසටහන් සඳහා සහභාගිවන්නන් 45,000 කුත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සහභාගිවන්නන් ධාරිතාව (SCC) ගොඩනැඟීමේ පුහුණු වැඩසටහන් 60,000 කට වඩා ප්‍රමාණයකුත් සිදු කර තිබේ.
ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය වඩාත් ලාභදායී සෞඛ්‍ය මැදිහත්වීම්වලින් එකකි. ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය මූල්‍යමය වශයෙන් පමණක් නොව, වැඩිදියුණු කළ ජීවන තත්ත්වය සහ පෙනීම ලබා ගන්නා අයගේ සමාජ හා ආර්ථික දායකත්වයයි. 2002 සැප්තැම්බර් 18 වැනිදා නුගේගොඩ අක්ෂි රෝහල විවෘත කිරීමත් සමඟ මෙම දැක්ම යථාර්ථයක් බවට පත් විය. වත්මන් සභාපතිවරයා ගේ මඟ පෙන්වීම යටතේ වැල්ලවත්ත සිංසපා පාරේ වත්මන් රෝහල වෙත ගෙන යාමට පෙර නොමිලේ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 7,000කට අධික ප්‍රමාණයක් සිදු කර තිබේ.
දේශමාන්‍ය තිලක් ද සොයිසා සහ විධායක අධ්‍යක්ෂ සමන්ත ලියනවඩුගේ ප්‍රමුඛ නිලධාරින් මේ සඳහා ලබා දෙන දායකත්වය ඉතා මානුෂීය බව ද වෛද්‍ය චම්පා බානගල පෙන්වා දුන්නාය.
හෙල්ප්ඒජ් අක්ෂි රෝහලේදී මැහුම් රහිත ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම ශිල්පීය ක්‍රමයක් වන phacoemulsification සැත්කම් සාර්ථක ලෙස හඳුන්වා දීමෙන් අඩු සංකූලතා අනුපාතයක් සහිතව WHO අපේක්ෂා කළ ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව ඇය පැවසුවාය.
බොහෝ ශ්‍රී ලාංකිකයන් දරිද්‍රතාව හේතුවෙන් අක්ෂි ප්‍රතිකාරවලින් වැළකී සිටියද, හෙල්ප්ඒජ් ශ්‍රී ලංකා හි ජංගම සේවා වැඩසටහන දැන් දුර බැහැර ප්‍රදේශවලට ළඟා වෙමින්, රෝගීන් පරීක්ෂා කර අවශ්‍ය ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සිදු කරයි.
“සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව, අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සහාය ඇතිව, ඔවුන්ගේ රෝහල්වල මෙම සැත්කම් සඳහා පහසුකම් සපයනවා…” වෛද්‍ය බානගල පැවසීය. HASL විධායක අධ්‍යක්ෂ සමන්ත ලියනවඩුගේ පැවසුවේ සිය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පරිත්‍යාගශීලීන් ගේ සහ අනුග්‍රාහකයන්ගේ ත්‍යාගශීලීභාවය මූලික වන බවත් ඒ සඳහා ඔවුන් ලබා දෙන උපකාරවලින් අවශ්‍යතා ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ජීවිතවලට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට හැකියාව ලැබී ඇති බවය.
ජායාරූප – චින්තක කුමාරසිංහ
ඉනෝකා පෙරේරා