Home » රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන විප්ලවයක් කළ උග්‍ර ධනවාදියා…

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන විප්ලවයක් කළ උග්‍ර ධනවාදියා…

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

තැම් අය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හඳුන්වනු ලබන්නේ මේ රටේ සිටින උග්‍ර ධනවාදියකු ලෙසය. නිදහසින් පසු කාලපරිච්ඡේදය තුළ වම මෙන්ම දකුණ ද රට තුළ ප්‍රභල තත්ත්වයකට පත්ව තිබුණි. නිදහස් ශ්‍රී ලංකාවේ පසු ප්‍රථම විපක්ෂ නායක ධූරය හොබවන ලද්දේ ද ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. එම්. පෙරේරා මහතා විසිනි.

රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයට ද නායකත්වය ලබා දුන්නේ වාමාංශික දේශපාලන පක්ෂ විසිනි. එසේ වුව ද මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මට්ටම අද පවත්නා තත්ත්වයට ගෙන ඒම සඳහා වැඩිම දායකත්වයක් ලබාදී ඇත්තේ වාමාංශික ව්‍යාපාරය විසින් නොව වාමාංශිකයන් විසින් උග්‍ර ධනවාදියකු ලෙස හඳුන්වන රනිල් වික්‍රමසිංහ විසින් බව සියලු දෙනාටම පිළිගැනීමට සිදු වේ.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරූ යහපාලන රජය විසින් 2015 වසර මුලදී පාර්ලිමේන්තුවට අතුරු අය වැය යෝජනාවක් ඉදිරිපත් කරන ලදි. එහි එක් යෝජනාවක් වූයේ රාජ්‍ය සේවයේ සෑම දෙනාගේම වැටුප රුපියල් 10,000/-කින් ඉහළ දැමීමටය. එම යෝජනාව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලදි. එය මෙරට ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ට ලබා දුන් ඉහළම වැටුප් වැඩි වීමයි. උග්‍ර ධනවාදියා කම්කරුවන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළේ ඒ ආකාරයටය.

කෙසේ වුවද මුලින්ම එම වැටුප් වැඩි වීම ලබා දුන්නේ දීමනාවක් වශයෙනි. ඒ නිසා මූලික වැටුප කෙරෙහි හෝ මූලික වැටුප පදනම් කරගෙන ගෙවනු ලබන අනෙකුත් දීමනා සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වූයේ නැත. එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා 2015 දෙසැම්බර් මස 14 වෙනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

වැඩි කරන ලද රුපියල් 10,000/-ක දීමනාව 2016 වසරේ සිට අදියර කීපයකින් මූලික වැටුපට එකතු කරන බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කරන ලද අතර ඉදිරි වසර පහ තුළ රු.10,000/- අදියර කිහිපයක් ඔස්සේ මූලික වැටුපට එකතු කරන ලදි. ඒ හේතුවෙන් රාජ්‍ය සේවක වැටුප විශාල ලෙස ඉහළ ගියේය.

එම වැටුප් පරිවර්තනයේ අවසන් අදියර 2020 වසරේදී සම්පූර්ණ විය. රාජ්‍ය සේවක වැටුප විශාල ලෙස වැඩි වී තිබුණි. 2015 වසරේ දෙසැම්බර් 31 දින වන විට කාර්යාල කාර්ය සහායකවරයකුගේ මූලික වැටුප රුපියල් 11,730/- ක් විය. 2020 ජනවාරි 01 දිනට එම වැටුප රුපියල් 24,250/- දක්වා ඉහළ ගියේය. රනිල්ගේ වැටුප් පරිවර්තනය තුළ කාර්යාල කාර්ය සහායකයකුගේ මූලික වැටුප රුපියල් 12,920/- කින් ඉහළ ගොස් තිබුණි. ඒ අකාරයටම අනෙකුත් සෑම රාජ්‍ය සේවකයකුගේම මූලික වැටුප ඉහළ ගොස් ඔවුන්ගේ දළ වැටුප ද ඉහළ ගියේය. වැටුප් සම්බන්ධව රනිල් ඇති කළ පළමු පෙරළිය එයයි.

එම වැටුප් වැඩි කිරීමට පෙර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අලුතින් පත්වීම් ලබන නිලධාරියකුගේ මූලික වැටුප රුපියල් 22,935/- ක් විය. රනිල් වික්‍රමසිංහ මහතාගේ එම වැටුප් පරිවර්තනය හේතුවෙන් 2020 ජනවාරි 01 දින වන විට එම නිලධාරියාගේ මූලික වැටුප රුපියල් 47,615 ක් විය. වැටුප රුපියල් 24, 680/- කින් වැඩි වී තිබුණි. මේ ආකාරයටම රජයේ සුළු සේවකයාගේ සිට කළමනාකරණ, තාක්ෂණික සේවා, පරිපාලන සේවා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් අර්ධයකට වැඩි ප්‍රමාණයකින් වැඩි විය. රාජ්‍ය සේවකයන් ප්‍රථම වරට වියදම් පියවා ගන්නා අතරම සැලකිය යුතු ඉතුරුම් ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකියාවක් ලැබුණු අවස්ථාවක් ලෙස ද මෙය හැඳින්විය හැකිය. ලැබෙන ආදායමෙන් මාසික වියදම් පමණක් සම්පූර්ණ කළ හැකි ජීවන මට්ටමක සිට වියදම්+ ඉතුරුම් ජීවන මට්ටමකට රාජ්‍ය සේවකයා පත්විය. රනිල්ගේ ප්‍රථම වැටුප් වැඩි කිරීම තුළ රාජ්‍ය සේවකයන්ගේ ජීවිතවල පරිවර්තනයක් ඇති වූයේ ඒ ආකාරයෙනි.

මෙවර ජනාධිපතිවරණය ආසන්න වන විට රාජ්‍ය සේවයේ විවිධ සේවාවන්ගේ වැටුප් සහ දීමනා වැඩි කර ගැනීම අරමුණු කරගෙන වෘත්තීය අරගල සහ වැඩවර්ජන දියත් විය.

මැතිවරණ ආසන්න වනවිට එය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ මේ අවස්ථාවේ වැටුප් වැඩි කිරීමට මුදල් නොමැති බවත් එක් එක් රාජ්‍ය ආයතනය සඳහා විශේෂ ප්‍රතිපත්ති අනුගමනය කළ නොහැකි බවත්ය. එබැවින් රාජ්‍ය අංශයේ සියලුම සේවාවන්ගේ පවතින වැටුප් විෂමතා සමාලෝචනය කර ඒවා විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට 2024 මැයි මස 27 වෙනි දින පැවැති කැබිනට් මණ්ඩලයේදී තීරණය කරන ලදි.

එම කමිටුව විසින් ඉදිරිපත් කරන නිර්දේශ අනුව 2025 වසර වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අය වැය ලේඛනය මඟින් රජයේ සේවක වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කරන බව රජය විසින් ප්‍රකාශ කරන ලදි. එම විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රවීණ පරිපාලන නිලධාරියකු වන හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න පත් කරන ලද අතර එම කමිටුවේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ලද්දේ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකු වන ජනාධිපති අතිරේක ලේකම් වර්නන් ප්‍රනාන්දුය. බොහෝ දෙනෙකු සිතුවේ සුපුරුදු පරිදි රාජ්‍ය සේවක විරෝධතා අවසන් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන කමිටු පත් කිරීමේ ක්‍රියාවලියක් මෙවර ද සිදුව ඇති බවය. එය විසඳුම් ඉදිරිපත් කිරීමට වඩා විසඳුම් දීම, කල් දැමීම සඳහා ගන්නා පියවරක් ලෙසිනි බොහෝ දෙනෙකු සලකනු ලබන්නේ.

එසේ වුව ද හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ කමිටුව මාස දෙකහමාරකටත් අඩු කාලයකදී තම වාර්තාව ඉදිරිපත් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය එම යෝජනාව පිළිගෙන 2025 අය වැය යෝජනා මඟින් එය ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නේය. එම නිර්දේශ 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක කරනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ උග්‍ර ධනවාදියා දෙවන වරට ද රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා වූ පරිවර්තනයකට මඟ සලසා තිබේ.

ඇමති මණ්ඩලය විසින් ලබන වසරේ 01 වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැටුප් සංශෝධනය අනුව සියලු ජීවන වියදම් දීමනා එකතු කර රුපියල් 25,000/-ක දීමනාවක් රජයේ සේවකයන්ට ලබාදෙනු ඇත. ඒ අතරම මූලික වැටුප 24%ත් 35%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමනු ඇත. ඒ අනුව මේ වන විට රුපියල් 24,250/-ක මුලික වැටුපක් ලබන සේවකයකුගේ මුලික වැටුප රුපියල් 30,000/-ක් දක්වා වැඩි වේ.

එයට රුපියල් 25,000/-ක ජීවන වියදම එකතු කළ විට රාජ්‍ය සේවයේ පහළම නිලධාරියකුගේ දළ වැටුප රුපියල් 55,000/- දක්වා ඉහළ යයි. ඒ ආකාරයට සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප 24%ත් 35%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. ඉන් පැහැදිලි වන්නේ නැවත වරක් රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් මහා පරිවර්තනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර ඇති බවයි.

ඉහත කමිටුව විසින් රාජ්‍ය සේවකයන්ට බලපාන තවත් ගැටලු කිහිපයකට ද විසඳුම් ලබාදී ඇති බව පෙනේ.

2020 වසරට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරින්ට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබාදී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විසමතා නිරවුල් කිරීමටත් කටයුතු කර ඇත. ඊට අමතරව විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව සක්‍රිය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරින් සඳහා ලබාදෙන ජීවන වියදම් දීමනාවෙන් 50%කට සමාන වන පරිදි 2025 ජනවාරි මස සිට ලබාදීමටත් අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2015 දී සහ 2016 දී හඳුන්වා දුන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනා අනුව අඩුම වැටුප් ලැබූ රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 11,750/- සිට රුපියල් 24,250/- දක්වා ඉහළ දමනු ලැබීය.

මෙවර යෝජනා අනුව 2025 ජනවාරි පළමුවෙනි දින එම වැටුප රුපියල් 55,000/- දක්වා ඉහළ යනු ඇත.

එමෙන්ම සියලුම රාජ්‍ය සේවකයන් රක්ෂණ යෝජනා ක්‍රමයකට ද ඇතුළත් කරනු ඇත. ඒ ආකාරයට රාජ්‍ය සේවයේ සහ විශ්‍රාමිකයන්ගේ පැවති වැටුප් විෂමතා ඉවත් කිරීමට අමතරව පහළම වැටුප් ලබන රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 55,000/- දක්වා ඉහළ යද්දී සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 24%ත් 30%ත් දක්වා අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.

– ජනමිත්‍ර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division