– ජීවන වියදම් දීමනාවත් රු. 25000 බැගින් වසර 3ක්
– මුලික වැටුප සියයට 24 – 35ත් අතර ප්‍රමාණයකින් ඉහළට
– ඒ අනුව පහළම ශ්‍රේණියේ සේවකයන්ට මාසිකව රු. 55000ක වැටුප් හා දීමනා
ශ්‍රී ලංකාවේ 2022 වසරේ ඇතිවුණු දැවැන්ත ආර්ථික අර්බුදයත්, ඒ තුළින් ඇතිවුණු මිල ඉහළ නැඟීම්වලින්, ජීවන වියදමේ ඇති වූ විශාල වැඩි වීමත් නිසා, එහිදී විශේෂයෙන් ස්ථිර වැටුප් ආදායම් ලබන රාජ්‍ය සේවකයන්ට එදිනෙදා කුටුම්බයේ වියදම් දැරීම ඉතා අසීරු කරුණක් විය.
ඒ තත්ත්වය අනුව රටේ මූල්‍ය දුෂ්කරතා හමුවේ වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 10000 දීමනාවක් ලබා දීමට කටයුතු කළේය. නමුත් මාස කිහිපයක් ගත වන විට විශාල උද්ඝෝෂණ ඇති වන්නට විය. විශේෂයෙන්ම වෛද්‍යවරුන් විසින් ඇති කළ උද්ඝෝෂණ නිසා ජනතාව විශාල පීඩාවකට පත් විය. ඒ තත්ත්වය විමර්ශනය කිරීමෙන් අනතුරුව ජාතික රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන වෛද්‍යවරුන්ට දීමනා ගැළපීමක් කරන ලදි.
එය නිමාවන විට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ උද්ඝෝෂණ ඇරඹුණි.ඒ අවස්ථාවේදී දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම වළක්වා ගැනීම පිණිස ඒ සේවක පිරිසටද දීමනා ගැළපුමක් සිදු කරන ලදි.
ඒ ගැටලුව නිමා වන විට රජයේ විධායක ශ්‍රේණි නිලධාරීන් විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් හමුවේ රජය විසින් මේ සම්බන්ධව විධිමත් අවධානයක් යොමු කරන ලදි.
ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය සේවක වැටුප් විධිමත් පරිදි ඉහළ නැංවීම හා වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් යොමු කරන ලදි.
ඒ අනුව සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙනි. 2025 අය-වැය මඟින්, ක්‍රියාත්මක කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක්, ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා, 2024 වසරේ මැයි මස 27 වැනිදා, පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව පත් කළ කමිටුව 10 දෙනකුගෙන් සමන්විත විය.
හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් එසේ පත් කරන ලදි. එම කමිටුවේ ලේකම්ධුරය දරන ජනාධිපති අතිරේක ලේකම් ලද්දේ ජී.එල්. වර්ණන් පෙරේරා මහතාය.
එහි සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරන ලද්දේ ජූඩ් නිලුක්ෂාන් (අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අය වැය දෙපාර්තමේන්තුව) , හිරන්සා කලුතන්ත්‍රි (අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව), එස්. ආලෝක බණ්ඩාර (ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්), එච්. ඒ. චන්දන කුමාරසිංහ (ආයතන අධ්‍යක්ෂ ජනරාල්), වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා (විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය අමාත්‍යාංශය), දුමින්ද හුලංගමුව (සභාපති, ලංකා වාණිජ මණ්ඩලය), චන්දි එච්. ධර්මරත්න (ප්‍රධාන මහජන නිලධාරි (Chief people officer) BCS ජාත්‍යන්තර තාක්ෂණ පුද්ගලික සමාගම BCS International Technology PTY LTD) හා ඉසුරු තිලකවර්ධන (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) කොමර්ෂල් බැංකුව) යන මහත්වරුන්ය.
ඔවුහු මේ කාර්යය සිදු කිරීමේදී වෘත්තීය සමිති 30ක නියෝජිතයන් හමු වී සාකච්ඡා කළහ. එමෙන්ම 200කගෙන් විවිධ කරුණු විමර්ශන සාක්ෂි විමර්ශනය කිරීමෙන් පසුව විශාල වාර්තාවක් සකස් කරන ලදි.
එමෙන්ම මේ වන විට 2025 අය – වැය සකස් කරමින් පවතින නිසා එයට ඇතුළත් කිරීම වෙනුවෙන් අතුරු වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.
එම අතුරු වාර්තාව –
එම අතුරු වාර්තාව පසුගිය 12 වැනිදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අනුමැතිය හිමි විය.
ඒ අනුව අතුරු වාර්තාවේ සඳහන් වැටුප් වැඩි කිරීම් මෙවර අය වැය ලේඛනයට ඇතුළු කිරීමට නිර්දේශ ඇතුළත් විය.
මේ වන විට රාජ්‍ය සේවයේ දැනට ඇති වැටුප් කාණ්ඩ තිස් ගණනක් වූ සංඛ්‍යාව කාණ්ඩ 4ක් දක්වා අඩු කිරීම සිදු කෙරේ.
එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසුව වැටුප් විෂමතා දුරුවන ආකාරයේ රාජ්‍ය සේවයේ ශ්‍රේණි වැටුප් කාණ්ඩ 4ක් වශයෙන් සංශෝධනය කෙරේ.
ඒ අනුව වසර 2027 වනතෙත් සෑම මසකම රජයේ සේවකයකුට අඛණ්ඩව රුපියල් 25000ක් ජීවන දීමනාව ලෙසින් ගෙවීම් කරනු ලැබේ. එසේම සියලු රාජ්‍ය සේවකයන්ට 24%ත් 35%ත් අතර ප්‍රතිශතයකින් මූලික වැටුප් වැඩි වනු ඇත.
ඒ අනුව රාජ්‍ය සේවයේ අවම වැටුප් ලබන කම්කරු වෘත්තියේ නියැළෙන සේවකයකුගේ වැටුප රුපියල් 55,000ක් දක්වා වැඩි වනු ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය සේවකයන්ට සිදු කරන ලද දැවැන්තම වැටුප් වැඩි කිරීම මෙය වේ. එයද නිසි ක්‍රමවේදයකින් සිදු කරන ලද්දකි.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස පත් කරන ලද විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාවට අනුව එම කටයුතු සිදු කෙරේ.
විශේෂයෙන්ම ලක්ෂ 13කට වැඩි රාජ්‍ය සේවකයින් විසින් ලක්ෂ 220ක් වන ජනතාවට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු මෙන්ම සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හරහා විශාල සේවාවක් සපයනු ලැබේ. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ වැටුප් වෙනුවෙන් දළ වශයෙන් වසරකට රුපියල් බිලියන 1200කට අධික මුදලක් වැටුප් හා දීමනා සඳහා වැය කිරීමට සිදුවන අතර, එයට අමතරව විශ්‍රාම වැටුප් වෙනුවෙන් තවත් රුපියල් බිලියන 400ක් රජය විසින් වැය කරනු ලැබේ.
රාජ්‍ය සේවකයන්ගේ දුක්ගැනවිල්ලක් වූයේ දීර්ඝ කාලයක් තිස්සේ මූලික වැටුප් වැඩි නොකළ බවයි. රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති මඟින් විවිධ ඉල්ලීම් සිදු කළ අතර, එම ඉල්ලීම් සලකා බලා රටට අවම වැය බරක් සිදුවන අයුරින් සමස්ත රාජ්‍ය සේවයම ආවරණ වන පරිදි වැටුප් ක්‍රම හඳුන්වා දී ගුණාත්මක හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් හඳුන්වාදීමට අවශ්‍ය යෝජනා 2025 වසරේ අය-වැය සඳහා ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කර ඇත.
වර්තමාන සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් හා දීමනා සමාලෝචනය කර පවතින ආර්ථික නිර්ණායකවලට අනුකූලව ආකර්ෂණීය වැටුප් හා දීමනා හඳුන්වා දෙමින් ඵලදායි රාජ්‍ය සේවයක් ඇති කිරීම මෙම කමිටුව විසින් හඳුන්වා දී ඇති යෝජනාවන්හි අඩංගු වේ.
එසේම රජයට සිදුවන වැය බර අවම කරමින් වැටුප් හා දීමනා කාලයට අනුව ඉහළ දැමීම මෙන්ම ආදායම් උත්පාදන නව්‍ය ව්‍යාපෘති හඳුනා ගැනීම හා ඊට සමගාමීව ඉටු කළ යුතු කාර්යයන් හරහා මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවන අමතර වැය බර අඩු කිරීමට හැකි ක්‍රියාමාර්ග ඒ අනුව යෝජනා කර තිබේ.
එසේම සමස්ත රාජ්‍ය සේවයේ සියලුම තනතුරු, ප්‍රධාන සේවා මට්ටම් හතරක් (04) යටතේ වර්ගීකරණය කර ඒ එක් එක් කාණ්ඩය ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLOF) හා ජාතික වෘත්තීය නිපුණතාව (NVQ) පදනම්කර ගනිමින් හා අදාළ රැකියා කාර්යභාරය වගකීම් හා විශේෂ රැකියා සඳහා නිපුණතාවකින් යුත් සේවකයින් ආකර්ෂණය කර ගැනීම හා රැකියාවන්හි රඳවා ගැනීම සැලකිල්ලට ගෙන බඳවා ගැනීමේ සුදුසුකම් අනුකාණ්ඩවලට වර්ගීකරණය කිරීම සිදු කරනු ඇත.
විශේෂයෙන්ම ප්‍රාථමික සේවා කාණ්ඩ සඳහා ද බඳවා ගැනීමේ මූලික සුදුසුකම් ලෙස ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශය (SLOF) ජාතික වෘත්තීය නිපුණතාව (NVQ) පදනම්ව සේවා අවශ්‍යතාව පරිදි සුදුසු තෝරාගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීමද යෝජනා කර ඇත.
එමෙන්ම සෙසු සියලුම සේවා කාණ්ඩ සඳහා විධිමත් තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ ක්‍රම මඟින් පමණක් බඳවා ගැනීම් සිදු කිරීමටද යෝජනා කර තිබේ. ඒ අනුව සුදුසු පරිදි දැනට අනුමත බඳවා ගැනීමේ පටිපාටි කඩිනමින් සංශෝධනය කිරීම සිදු කෙරේ.
එමෙන්ම නව වැටුප් ව්‍යුහයට අනුව වසර 2030 වන විට රාජ්‍ය සේවයේ සමස්ත සේවක සංඛ්‍යාව දසලක්ෂයට (1,000,000) හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කර ගැනීමට ක්‍රියාමාර්ගද කමිටුව විසින් යෝජනා කර ඇත. ඒ නවීන ලෝකය අනුව නව තාක්ෂණය භාවිත කිරීම මඟිනි. එහිදී වසර 2025 සිට වසර 03 ක් ඇතුළත සමස්ත රාජ්‍ය සේවයේ හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම ඩිජිටල්කරණය (Digitalization) හා ස්වයංක්‍රියකරණය (Automation) තුළින් ඉලෙක්ට්‍රොනික පද්ධති මඟින් රාජ්‍ය පාලනය සඳහා ක්‍රමවේදයක් (E – Governance) හඳුන්වාදීම සහ ඒ සඳහා රාජ්‍ය ආයෝජනයේ ප්‍රමුඛතාව ලබා දීමට ද කටයුතු කෙරේ.
මෙහිදී විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ සියලුම සේවකයින් හා විශ්‍රාමිකයින් ද ඇතුළත්ව මාසිකව අවම රුපියල් 1000.00 ක දායකත්වයක් සහිතව වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිවන පරිදි වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් 2025 ජනවාරි සිට ක්‍රියාත්මක කෙරෙනු ඇත. හැකි සෑම අවස්ථාවකම බාහිර සේවා වැනි ක්‍රමවේද (Outsourcing) මඟින් රජයේ වැය බව අවම වන ලෙස සහ කාර්යක්ෂමතාව උපරිම වන ලෙස නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් සේවා ලබා ගැනීමද සිදු කෙරෙනු ඇත.
මෙහිදී අප වඩාත් අගය කළ යුතු කාර්යයක් ලෙස පෙන්වා දිය යුත්තේ හඳුනාගත් රාජ්‍ය දෙපාර්තමේන්තු / සංස්ථා / ව්‍යවස්ථාපිත ආයතන. කොටස් වෙෙළඳපොළේ ලැයිස්තුගත සීමිත පොදු සමාගම් (public liability company – PLC) බවට පත් කිරීමේ ප්‍රතිව්‍යුහකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමද යෝජනා වී තිබේ. (රාජ්‍ය, පෞද්ගලික ආයෝජන, මහජනයා සහ, සේවකයින් සඳහා කොටස් දායකත්වය සහිතව)
එසේම මේ කාර්යයයේම කොටසක් ලෙසින් නිසි වැඩ අධ්‍යයනයක් (Work study) සිදු කොට සමස්ත රාජ්‍ය අංශයේ කාර්ය මණ්ඩලවල හා සේවා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම සඳහා 2025 වසර තුළ කටයුතු කිරීම.
මීට අමතරව සියලුම රාජ්‍ය සේවකයින් සඳහා කාර්යසාධක දර්ශක (KPI) සකස් කොට එහි ප්‍රගතිය පදනම් කර ගනිමින් වැටුප් වර්ධක ලබා දීමටද යෝජනා කර තිබේ.
මෙහිදී අප සිහි තබා ගත යුතු තවත් කරුණක් ඇත. ඒ මේ වැටුප් හා දීමනා වැඩි කිරීමේදී
ව්‍යාපාරික රාජ්‍ය සමාගම් හා බැංකු එම කාණ්ඩයට අයත් නොවීමයි. එම කාණ්ඩයන් හැර අන් සියලුම රාජ්‍ය ආයතන සඳහා මෙම නව වැටුප් හා දීමනා ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම වැදගත් අංශයක් ලෙස පෙන්වා දිය හැක්කේ නිදහස් සෞඛ්‍ය හා නිදහස් උසස් අධ්‍යාපනය වඩාත් සුරක්ෂිත හා ගුණාත්මක ලෙස ආරක්ෂා කර ගනිමින්, එම ක්ෂේත්‍රයන්හි ඇති භෞතික හා මානව සම්පත් විශ්වසනීයත්වය හා පිළිගැනීම සහිත ක්ෂේත්‍ර පදනම් කර ගනිමින් ආර්ථික වටිනාකම් ඇති සේවාවක් හඳුන්වා දී ක්‍රියාත්මක කිරීමය.
එමෙන්ම 2020 වසරට පෙර විශ්‍රාම ගත් රාජ්‍ය සේවකයන්ට හිමිකම් ලැබූ වැටුප් වර්ධක ලබා දී ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර අදාළ විෂමතා නිරවුල් කිරීමද මෙහිදී සිදු කෙරෙනු ඇත. එසේම විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව ලෙස සක්‍රිය සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් සඳහා ලබා දෙන ජීවන වියදම් දීමනාවෙන් 50% කට සමාන වන පරිදි 2025 ජනවාරි සිට ලබා දීමද සිදු කෙරේ.
එසේම දැනට පවතින බදු ප්‍රතිපත්තිය තුළම මෙම වියදම් කළමනාකරණය කිරීමට යටත්ව, මෙම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහ යෝජිත වැටුප් ක්‍රමය 2025 ජනවාරි මස 01 දින සිට රාජ්‍ය මූල්‍ය අවකාශය ද සැලකිල්ලට ගෙන අදියරගතව ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.
කමිටු වාර්තාවේ නිර්දේශ යෝජනා සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත් අදාළ යෝජනා 2025 වර්ෂයේ අය-වැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ක්‍රියාත්මක වන හෙයින් යළිත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සම්බන්ධයෙන් කටයුතු කෙරෙන්නේ වසර 2027 සිටය.
ඒ දක්වා වන ක්‍රමවේදය මේ කමිටු වාර්තා නිර්දේශයන්හි පැහැදිලිවම දක්වා තිබේ.
සමස්ත රාජ්‍ය සේවයම ජනතාවට සේවය සලසන මෙන්ම මහා භාණ්ඩාගාරයට බරක් නොවන සේවාවන් බවට පත් කළ හැකි වන්නේ ඒ කාර්යයන් ඒ ලෙසින්ම ක්‍රියාත්මක කිරීමෙන්ය.
රාජ්‍ය සේවයේ සිදු කළ දැවැන්තම වැටුප් වැඩි කිරීම මේ වන විට සිදු කර තිබෙනවා. ඒ අනුව සියලු රාජ්‍ය සේවකයන්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් හිමිවනවා, එසේම සියලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් 24% සිට 35%ක් දක්වා වැඩි කෙරෙනවා. ඒ වැඩි කිරීම අනුව අවම වැටුප් ලබන කම්කරු සේවකයාගේ අවම වැටුප රුපියල් 55,000ක් දක්වා ඉහළ යනු ඇත. ඉතිහාසයේ මේ ලෙසින් දැවැන්ත වැටුප් වැඩි කිරීමක් කළ බව කිසිවකුට හෝ පැවසීමට නොහැකියි.
– ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන