ශ්‍රී ලංකාව ඉතිහාසයේ අවස්ථා ගණනකදී ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීමේ තර්ජනයට මුහුණ දුන් රටකි. එකී සියලු උත්සාහයන් අතීතයේදී පරාජය කළ බැවින් ” තවත් නම් ප්‍රජතන්ත්‍රවාදයට තර්ජනයක් නැතැයි” සිත හිතහදා ගන්නට අප ඉක්මන් විය යුතු නොවේ.
ඒ මන්දයත් අතීතයේ සන්නද්ධ අරගල මඟින් බලය ඇල්ලීමට උත්සාහ ගත් පාර්ශ්ව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සළු පොරවාගෙන ඒකාධිපතිවාදයේ සිහින දකිනා වංචනිකයන් අදටත් දේශපාලන භූමියේ සක්‍රියව සිටිනා බැවිනි.
ඉදිරි අවුරුදු පහේ ලංකාවේ පාලකයා තෝරා ගන්නා ජනාධිපතිවරණයට මුළු රටේම ජනතාව සැරසෙමින් සිටිති. තව දින තිස් ගණනකින් ලාංකේය ඡන්ද දායකයන් ඡන්ද මධ්‍යස්ථානයකදී විනාඩි දෙක තුනකින් හුදකලාවී සිය අනාගතය වෙනුවෙන් බරපතළ වගකීමක් ඉටු කිරීමට සූදානමින් සිටිති. ඒ වගකීම යනු එක් ආකාරයකින් දරුවන් වෙනුවෙන් ඉටු කරණා යුතුකමකි. තවත් ආකාරයකින් තම දේශපාලන අවබෝධය පෙන්වන කැඩපතකි. ඒ සේරටම වැඩියෙන් තම තමන්ගේ ජීවිත බරපතළ විනාශයකින් බේරාගත් පුද්ගලයකුට සහ කණ්ඩායමකට සිය කෘතවේදීත්වය පළ කිරීමකි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණය ලංකිකයන්ගේ හදවතේ දේශපාලන මනාපය පිළිබිඹු කරනා අවස්ථාවකි.
එපමණක්ද නොව මේ ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්නට එන ඒකාධිපති අවතාර පලවා හරින්නට ජනතාව ගන්නා උත්සාහයකි. තවත් පැත්තකින් එය ප්‍රජාතන්ත්‍රවාදියයි. ඒකාධිපති චින්තනයකින් යුත් බලලෝභීන් පලවා හරින්නට ජනතාවට ලැබෙන අවස්ථාවකි. සැකැවින් පවසන්නේ නම් එක්කෝටි හැත්තෑ ලක්ෂයක් ඡන්ද දායකයන් සිය හදවතේ මනාපය සළකුණු කරණා අවස්ථාවකි.
මේ තීරණාත්මක අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සැපයෙන අරුත් නිරුත් බොහෝය. පිරිසක් පවසනුයේ පාලකයා වෙනස් කිරීමේ පරමාධිපත්‍ය පුරවැසියාට හිමිවන බැවින් තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතත්‍රවාදය සුරක්ෂිත බවය. එසේ නම් එකී ශුද්ධ වූ අයිතිය ඉදිරි පරම්පරාවට රැකදීම මෙවර ඡන්ද දායකයන්ගේ වගකීමය. තවත් පිරිසක් පවසනුයේ බහු පක්ෂ ක්‍රමය මෙවර ජනාධිපතිවරණයේදී හොඳින් තහවුරුව ඇති බැවින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත බවය. බහු පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් බව සැබෑය. ඒ අනුව රටක පක්ෂ විශාල ගණනක් තිබීම ඒ රටේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක බවට ලකුණ නොවේදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් ක්‍රියාත්මක පක්ෂ ගණනින් නැති නම් මැතිවරණයක ඡන්ද පත්‍රිකාව දිගුවීමෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදය මැනීම මුළාවකි.
බහු පක්ෂ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ කැඩපත වන්නේ එකී පක්ෂ, ඒවායේ නායකයන් සහ සාමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ විදහාපාන ප්‍රමාණය අනුවය. නැති නම් පක්ෂයක් තුළ සාමාජිකයකුගේ දේශපාලන නිදහස සහ තීරණ ගැනීමේ අයිතිය සුරකින ප්‍රමාණය අනුවය. එහෙත් ඇතැම් දේශපාලන පක්ෂයක් විසින් එහි සියලු සාමාජිකයන් නායකත්වයේ හෝ විනය කමිටුව නැමැති වියගසේ බැඳ ඇති බව බොහෝදෙනා නොදනිති. සාමාජිකයන්ගේ හෘද සාක්ෂිය අසුරන පක්ෂ කිසිසේත් අනාගත ලෝකයට නායකත්වය දීමට සුදුසු නොවේ. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයේ සළුව පොරවාගත් ඒකාධිපති දේශපාලන බොල් පිළිම හඳුනා ගන්නට ඡන්ද දායකයා සතු වගකීම් අතිවිශාලය.
සාමාන්‍ය වශයෙන් මැතිවරණයකදී හෝ ජනාධිපතිවරණයකදී සිය කතිරය තීරණය කිරීම සඳහා වන නිර්ණායකය සකසා ගැනීම ඡන්දදායකයන් සතු ප්‍රධාන වගකීමකි. එහිදී අතීත අත්දකීම් මෙන්ම අනාගත බලාපොරොත්තු ද සම සමව යොදා ගැනීම ඉතා වැදගත් වෙයි. එහිදී ඉතා ඈත අතීතයක සිට සිය තොරතුරු ගවේෂණය අරඹනවාට වඩා මෑත වසර කිහිපය සහ ඉදිරි දශක දෙක තුන ගැන සැලකිලිමත් වීම ප්‍රායෝගිකය. මන්දයත් ඔබ සහ ඔබේ දරුවන්ට පැහැදිලිවම ජීවත් වූයේත්, ඔවුන්ට ජීවත් වීමට සිදුවනුයේත් එකී කාල රාමුව තුළය. ඒ අනුව මෙවර ජනාධිපති මැතිවරණය ඉදිරි දශක කිහිපය සඳහා කරණා ආයෝජන සැලැස්මකි. එහෙයින් බොල් පිළිම රැසක් මැදින් සෙල් පිළිමය තෝරා ගැනීමට ඔබ දක්වන සමත්කම රටේත් අනාගත පරපුරේත් චිරස්ථිතිය සඳහාම වනු ඇත.
ලෝකයේ බොහෝ රටවල් අනාගතයේ මුහුණ දෙන අර්බුද බොහෝය. දියුණුවන තාක්ෂණය හමුවේ මිනිස් ජීවිත බොහෝ සුවදායකවන බව සැබෑය. එහෙත් එකී සුවදායක බව රටකට අත්පත් කර ගැනීමට නම්; ඒ රටේ දේශපාලන නායකත්වය කාලානුරූපීව යාවත්කාලීන වන බුද්ධිමත් එකක් විය යුතුය. තාක්ෂණය සහ විද්‍යාවේ දියුණුව සමඟ බොහෝ රටවල් මුහුණ දෙන ගැටලු රැසක්ද වන බව අප අමතක කළ යුතු නොවේ. වර්තමානයේ පවතින රැකියාවන් රැසක් අනාගත ලෝකයේ අවදානමට ලක්වීම අනිවාර්යය වෙයි . එමෙන්ම වර්තමානයේ මේ පොළවේ ක්‍රියාත්මක රැකියාවන් රැසක් ඉන් මිදී සයිබර් අවකාශය සිය අනාගත මෙහෙයුම් සඳහා තෝරාගනු ඇත. එවැනි සංකීර්ණ ක්‍රියාන්විතයක වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ අනාගත නායකයා හෙට ලෝකය සමඟ අද ගනුදෙනු කරන්නට හැකි අයෙක් විය යුතුය. එසේ නොමැතිව සිය බංකොලොත් දේශපාලනයේ පැවැත්ම උදෙසා ඉදිරි දශක කිහිපයටත් කම්කරුවා කර ගසාගෙන යන පක්ෂ සහ ඒවායේ නායකයන්ට එම වගකීම ඉටුකර නොහැක.
පුද්ගලයන්ගේ උස සහ මිටි බව වැනි භෞතික සාධක මත රැකියා දෙන්නට යෝජනා කරනා, නායකයෙකුට හෝ කණ්ඩායමකටද විද්‍යාව සහ තාක්ෂණය මත පදනම් වන ඉදිරි දශක කිහිපය සඳහා වන ලෝකය කියවගත හැකියැයි කෙනකු සිතන්නේ නම් හේ අනිවාර්යෙන්ම මංමුළා වූ අයෙකි. එමෙන්ම තමන්ගේ කියා ආර්ථික ප්‍රතිපත්තියක් නැති, ජාත්‍යන්තර සමාගම් පමණක් නොව දේශීය ව්‍යවසායකයන් පවා සූරා කන්නන් ලෙස දකිනා හැටේ දශකයේ මුල දාගත් කණ්ණාඩියෙන් නූතන ලෝකය නොව අනාගත ලෝකය කියවන්නට උත්සාහ දරණා කණ්ඩායමක් හෝ නායකයකුටද ඉහත කි තරගකාරී ලෝකයට ශ්‍රී ලංකාව කැඳවා ගෙන යා නොහැක. එහෙයින් මේ ජනාධිපති මැතිවරණයේ නිවැරදිව කියවාගත යුතු කරුණු මොනවාදැයි හඳුනාගන්නා ඡන්ද දායකයන් ගණන අනුව රටේ අනාගතය රඳා පවති.
ඒ තෝරා ගැනීම සඳහා ඔබට සාහිත්‍යයෙන් උදාහරණයක් සපයන්නේ නම් ඊට බර්ටෝල් බ්‍රෙෂ්ට් හුණුවටය කතාව තෝරා ගන්නට කැමැත්තෙමි. මන්දයත් ගෲෂා සහ වැල් පාලම වර්තමාන ලාංකේය දේශපාලනයේ නිබඳව කථාවට ලක්වන බැවිනි. එදා හුණුවටයේ කථාවේදී මව්වරුන් දෙදෙනා දරුවා ඇද්දේ දෙපසටය. ඒත් නූතන හුණුවටයෙදී දරුවා අදිනුයේ ඉස්සරහට සහ පස්සටය. දරුවා ඔබේ මව් රට කියා සිතන්නේ නම්, ඔබ සහාය දිය යුතු පාර්ශ්වය නිවැරදිව තීරණය කිරීම පහසු කරයි.