Home » බොක්සිං වළල්ල ඇතුළේ ලෝකෙන්ම දෙවැනියා වූ ලංකාවේ යකඩ ගැහැනිය

බොක්සිං වළල්ල ඇතුළේ ලෝකෙන්ම දෙවැනියා වූ ලංකාවේ යකඩ ගැහැනිය

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

බොක්සිං වළල්ලේ තුන්වැනි විනිසුරුවෝ නැත. විනිසුරු තීරණ අභියෝගයට ලක් කරන DRS ක්‍රමවේද නැත. එක් වටයක් මිනිත්තු 3කි. එවැනි වට තුනකින් තරගය අවසන්ය. තරග විනිශ්චය ලොව කිසිදු ක්‍රීඩාවක නැති තරම් අභියෝගාත්මකය. ඇරත් බොක්සිං වළල්ලේ සිදුවන්නේ ද්වන්ධ සටනකි. එකිනෙකා පරයමින් මුෂ්ටි ප්‍රහාර එල්ල වෙද්දී තීරකයා ඒ අසලම සිටිය යුතුය. කොටින්ම එක නිමේෂයකින් ඕනෑම දෙයක් සිදුවිය හැකි තරම් තරගය වේගවත්ය. ඇරත් තීරකයාගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණයට බොක්සිං වළල්ලට පහළින් කමිටු 5ක නිලධාරිහු බලා සිටිති. දශමයකින් හෝ අත්වැරදීමක් සිදු වුවහොත් තීරක එදිනට වෙනත් තරග විනිශ්චයට යොදවන්නේ නැත. වැරදීම් දෙකකින් ඊළඟ දිනයේ විනිශ්චයට නියමිත තරගයත් අහිමි වනු ඇත. වැරදීම් තුනකින් සිදුවන්නේ තරගාවලියෙන්ම ඉවත් කිරීමය.

මේ, පැරිස් ඔලිම්පික් උලෙළේදී ලොව හොඳම දෙවැනි බොක්සිං තීරක ලෙස ගෞරවයට හා සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ නොම්මර එකේ බොක්සිං තීරක නෙල්කා ශිරෝමාලාගේ කතාවට පෙරවදනකි. මේ කියන්නේ එවැනි සම්මානයකට පාත්‍රවීමේ අභියෝග ගැනය. එවැනි සම්මානයක වැදගත්කම ගැනය. මේ කියන්නේ දශක දෙකකට වැඩි කාලයක් නාවික හමුදාවේ බොක්සිං පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ජාතික බොක්සිං ශූර ටී.සම්පත්ගේ මේ ධෛර්යසම්පන්න දියණිය පියාගේ සිහිනය සැබෑ කිරීමට ගිය දුර ගැනය. ජාත්‍යන්තර බොක්සි තරග තීරකයකු බවට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා ගැනය. පිට පිට දෙවතාවක්ම ඔලිම්පික් උලෙළක බොක්සිං තරග තීරකයකු ලෙස සහභාගි වූ එකම ශ්‍රී ලාංකිකයා ගැනය.

ලොව හොඳම බොක්සිං තීරකවරුන් අතර දෙවැනි තැනට පත්වූ නෙල්කා පැරීසියේ සිට පැමිණි විගස ‘සිළුමිණ‘ සමඟ කතාබහට එක්වූයේ ඒ තොරතුරු කියන්නටය.

“මේක ලෙහෙසි පහසු රාජකාරියක් නෙවෙයි. මිනිත්තු 3ක වට තුනක් බොක්සිං රිංග් එක උඩ නැඟලා බොක්සර්ලාත් එක්ක එකට කැරකෙන්න ඕනා. ලෝකයේ හොඳම බොක්සිං ක්‍රීඩකයන් කරට කර ගහගනිද්දී මම කකුල් පැටලිලා වැටෙන්නේ නැතුව දෙන්නට සෙන්ටර් වෙලා ඉන්න ඕනා. මගේ ඇස් දෙකට සමානව කැමරා 21ක් රිංග් එක දිහාවට යොමුවෙලා. පැනල් පහක් මගේ තීරණ ගැන අවධානය යොමු කරමින් පහළ ඉන්නවා. තීරක ඇගැයුම්කරු, තීරක නිරීක්ෂක, එතකොට පැරිස් ඔලිම්පික්වල බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ස්ථාපිත කළ පැරිස් බොක්සිං යුනිට් එක. ඊළඟට පැරිස් බොක්සිං යුනිට් එකේ අය හරියට වැඩ කරනවද බලන්න යොදවපු පී.ඩබ්ලිව්.සී සමාගමේ නිලධාරින්. ඒ කියන්නේ ප්‍රයිස් වෝටර්හවුස් කූපර් සමාගම.” නෙල්කා කීවේ මෙවැනි ගෞරවයකට පාත්‍රවීමේ අභියෝග ගැනය.

ප්‍රයිස් වෝටර්හවුස් කූපර් යනු ආයතනවලට විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ තිරසර ප්‍රතිඵල ලබාදීමට උපකාර කිරීම සඳහා මානව දක්‍ෂතාව, අත්දැකීම්, තාක්‍ෂණය ඒකාබද්ධ කරමින් විශ්ලේෂණ සිදු කරන ජාත්‍යන්තර සමාගමකි. ඒ අනුව ඔලිම්පික් වැනි ලොව ඉහළම ක්‍රීඩා ඉසව්වක හොඳම බොක්සිං තීරකයකු ලෙස පිළිගැනීමට ලක්වීම ආවාට ගියාට සිදුවූවාක් නොවන්නකි.

“හැමදාම උදේ 6.00ට එයාලා රැස්වෙනවා. රූපවාහිනියෙන් ඊට කළින් දවසේ බොක්සිං තරග නරඹනවා. ඒවායේදී තීරකවරුන්ගේ අතින් සිද්ධ වෙන වැරදි, අතපසුවීම් නිරීක්ෂණය කරලා ඒ අනුව තමයි තීන්දු කරන්නේ අදාළ තීරකව තවදුරටත් පාවිච්චි කරනවද සේවය අත්හිටුවනවද කියලා. ඊට පස්සේ රෙෆ්රි ජජ්ට ආපහු ඇපීල් කරන්න බෑ” ඇය පැහැදිලි කළාය. ඒ අනුව බැලීමේදී තරග විනිශ්චය කිරීම තරග කිරීමට වඩා දුෂ්කරය.

“මගේ වාසනාවට අවුරුදු 20ක මගේ බොක්සිං විනිසුරු හා තීරක ජීවිතයේ අද වෙනකල් මට අඩුම තරමේ ‘වෝනිං‘ එකක්වත් ලැබිලා නෑ.100 ඇය එසේ කියන්නේ සතුටින් යුතුවය.

“මොකද අනිත් ක්‍රීඩාවල වගේ නෙවෙයි බොක්සිං තරගවලදී කවුද දිනන්නේ කියලා තීරණය කරන්න තීරකවරුන්ට ලැබෙන අවස්ථා වැඩියි. ඒ නිසා තමයි වැඩියෙන්ම දූෂණයට ලක්වීමේ අවදානම ඇති රාජකාරියක් වෙන්නේ. ඒකයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව බොක්සිං තරග තීරකවරුන්ට හා විනිසුරුවරුන්ට මේ වගේ නිර්නායක භාවිත කරන්නේ.”

ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග තීරකවරුන් හා විනිසුරුවරුන් ලෙස නිලධාරීන් තෝරා ගැනීමේදී ද අනුගමනය කරනු ලබන්නේ එවැනිම ක්‍රමවේදයකි. ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග සඳහා ස්වාධීන බොක්සිං කමිටු පත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගනු ලැබුවේ 2016 බ්‍රසීලයේ පැවැති රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ අතරතුරදී සිදුවූ බව කියන බොක්සිං තීරකවරුන්ගේ හා විනිසුරුවරුන්ගේ දූෂණ අක්‍රමිකතා හේතුවෙනි. ඒ අනුව එතෙක් කාලයක් ඔලිම්පික් ක්‍රීඩාවට බොක්සිං තීරකවරුන් හා විනිසුරුවරුන් අනුයුක්ත කළ ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර ගැටුමක් නිර්මාණය විය. මේ තත්ත්වය මත ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයට තාවකාලික තහනමක් ද පනවනු ලැබූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 2021 ජපානයේ පැවැති ටෝකියෝ ඔලිම්පික් උලෙළේ සිට පැරිස් ඔලිම්පික් උලෙළ දක්වා දෙවතාවේදීම ස්වාධීන බොක්සිං කමිටුවක් පත් කරමින් ඒ ඔස්සේ බොක්සිං තරග තීරකවරු හා විනිසුරුවරු ගෙන්වා ගැනීමට පියවර ගත්තේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 ඔලිම්පික් උලෙළ වසරකින් කල් දැමුණු අතර, 2021 දී ටෝකියෝ ඔලිම්පික් උලෙළේ බොක්සිං තරග තීරකවරියක ලෙස කටයුතු කිරීමට පළමුවතාවට ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙස නෙල්කාට අවස්ථාව හිමි වී තිබිණි.

හොඳම තීර­ක­ව­රුන් අතු­රින් ලොව දෙවැනි ස්ථානය දිනූ නෙල්කාගේ සහ­ති­කය

හොඳම තීර­ක­ව­රුන් අතු­රින් ලොව දෙවැනි ස්ථානය දිනූ නෙල්කාගේ සහ­ති­කය

“ටෝකියෝ ඔලිම්පික්වලට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් බොක්සිං ටාක්ස් ෆෝර්ස් කියලා කමිටුවක් හදලා සෘජුවම ඔලිම්පික් උලෙළේ බොක්සිං තරග තීරකවරු හා විනිසුරු 36 දෙනෙක් තෝරාගත්තා. මේ වතාවේ පැරිස් බොක්සිං යුනිට් කියලා කමිටුවක් හැදුවා. ඒකට ලෝකයේ හොඳම බොක්සිං තරග තීරකවරු 40ක් තෝරාගත්තා. අමෙරිකා, අප්‍රිකා, ආසියා, යුරෝපා හා ඕෂනියා කියන මහාද්වීප පහේම හා තවත් තරගාවලි දෙකක් ඇතුළත් කරලා ඔලිම්පික් සුදුසුකම් ලබන බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගන්නා තරගාවලි පැවැත්වුවා. ඒ දෙක තිබ්බේ ඉතාලියේ හා තායිලන්තයේ. ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බොක්සිං තරග තීරකවරුන් හා විනිසුරුවරුන් ලෙස සහභාගි වෙන්න කවුරුත් හිතුවාට ඒක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි. මේ සුදුසුකම් ලැබීමේ තරගාවලි හතට අපිව තෝරගෙන අපිට ආරාධනා කරනවා. ඒ විදිහට තමයි මටත් ඇරයුම් ලැබුණේ. තරගාවලි 7න් 6කට අපිට සහභාගි වෙන්න පුළුවනි. ඔලිම්පික් ක්‍රීඩා උලෙළට යන්න නම් මේ සුදුසුකම් ලැබීමේ තරගාවලි අතරතුර අපි දක්වන දක්ෂතා අනුවයි. ඒවායින් තීරකවරු හා විනිසුරුවරු ශ්‍රේණිගත කරනවා. ඉහළම ශ්‍රේණීගත කිරිම් ලැබුණු අයට තමයි ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ තරග විනිශ්චයට අවස්ථාව ලැබෙන්නේ.” නෙල්කා පැවැසුවාය.

ඇගේ පළමු ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලිය යුරෝපා තරගාවලිය විය. පසුගිය වසරේ ජූනි මාසයේදී පෝලන්තයේ පැවැති එම තරගාවලියේ අවසන් තරග දෙකක් විනිශ්චය කිරීමේ අවස්ථාවද ඇයට හිමි විය. ශ්‍රේණිගත කිරීමෙන්ද ඉහළට ගියාය. අනතුරුව පසුගිය වසරේ සැප්තැම්බර් මස සෙනගාලයේ පැවැති අප්‍රිකානු සුදුසුකම් ලැබීමේ තරගාවලියට ද එක්වූ නෙල්කා එහිදීද සිය දස්කම් මතින් අවසන් තරග විනිශ්චය කිරීමට අවස්ථාව ලබා ගත්තාය. අනතුරුව පසුගිය වසරේ ඔක්තෝබරයේ චිලි රාජ්‍යයේ පැවැති අමෙරිකා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වූ ඇය එහිදී ද අවසන් තරග විනිශ්චයට එක්වූවාය. ආසියාවේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලෙස පැවැති ආසියානු ක්‍රීඩා උලෙළට එක්වීමේ අවස්ථාවට ඇයට අහිමිවූයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නීතිරෙගුලාසිවලට අනුව යම්කිසි මහාද්වීපයක සුදුසුකම් ලැබීමේ තරගාවලියක විනිශ්චය කටයුතු සඳහා එම කලාපයේ තීරකවරුන් භාවිත නොකිරීම හේතුවෙනි. එය වූකලී ක්‍රීඩාවේ විනිවිදභාවය හා ස්වාධීනත්වය උදෙසා විනිසුරුවරුන්ගේ මධ්‍යස්ථභාවය සඳහා ගනු ලබන තීන්දුය. ඉන්පසුව සොලමන් දූපත්හී පැවැති ඕෂනියා කලාපයේ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ බොක්සිං තරගාවලියට ඇරියුම් ලැබුූවද වීසා ගැටලු ආදි දුෂ්කරතා පැන නැඟීමත්, වෙහෙසකාරී තරග සංචාරයක් වීමත් හේතුවෙන් ඇය ඊට එක් නොවූවාය. ඊළඟට ඉතාලියේ හා තායිලන්තයේ පැවැති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලි ද්විත්වයමට ඇය තීරකවරියක ලෙස එක්වූවාය. ඉතාලියේ පැවැති තරගාවලියේදී අවසන් තරග 4කදීම තීරකවරිය ලෙස කටයුතු කිරීමට නෙල්කාට අවස්ථාව ලැබුණු අතර, එය ද වාර්තාවකි. තායිලන්ත තරගාවලියේදී ද අවසන් තරග විනිශ්චය කළ ඇය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලි 7න් පහකටම සහභාගි වෙමින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළට යෑමට සමත් වූවාය.

“මගේ රෙෆ්රි ඇවරේජ් එක 78%කට වඩා වැඩියි. ජජින් ඇවරේජ් එක 88%කට වඩා වැඩියි. ඒ තොරතුරු අපිට නිල වශයෙන් භාර දුන්නා. අපිව බෝඩ් පහකින් ඇගැයීමකට ලක් කරලයි මේ ලකුණු ලබා දීම සිද්ධ කරන්නේ. ක්‍රීඩකයෙක් හරි ක්‍රීඩිකාවක් හරි තරගයකට සහභාගි වෙලා දිනනවා වගේ නෙවෙයි. අපිට වෙනම ස්කෝරිං ක්‍රයිටීරියා එකක් තියෙනවා. අපි බොක්සිං වළල්ලට පහළින් ඉඳගෙන ජජ් කරද්දී වුණත් එතැන ඉන්න පස්දෙනාගෙම ලකුණු අධික්ෂණය කරන්න වෙනම නිරීක්ෂණ කුටියකුත් තියෙනවා. රූපවාහිනියෙන් තරගය නිරික්ෂණය කරන නිලධාරියා ඉන්නේ එතැන. එයාගෙත් අපි ජජ් බෝඩ් එකේ පස්දෙනාගෙත් ලකුණු එක හා සමාන වෙන්න ඕනා. අපේ සාර්ථකත්වය අනුව තමයි මේ ලකුණු හැදෙන්නේ. අනික බොක්සිං වළල්ල ඇතුළෙදීත් මගේ කමාන්ඩිං, මූව්මන්ට්ස්, වළල්ල ඇතුළත හා පිටත හැසිරීම මේ ඔක්කොම නිරීක්ෂණය කරලා තමයි ලකුණු ලබාදීම සිද්ධ කරන්නේ.” නෙල්කා වැඩිදුරටත් එසේ පැහැදිලි කළාය. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙවැනි තීන්දු තීරණ ගනු ලැබුවේ වසර 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී බොක්සිං තරග තීරකවරු හා විනිසුරුවරු පිරිසක් විසින් සිදු කරනු ලැබූ දූෂණ අක්‍රමිකතා හේතුවෙනි.

“අනිත් එක තරගාවලියට කලින් එක් එක් පාර්ශ්වවලින් විවිධ යෝජනා එනවා. ඒවායිනුත් මග හරින්න ඕනා. මේ පාර පැරිස් ඔලිම්පික් යන්න කලින් මටත් රටවල් දෙකකින් අමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් දෙන්න යෝජනා කරලා තිබුණා. මම වහාම නීතියට අනුව කටයුතු කරලා ඒ ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිඛිතව දැනුම් දුන්නා. එයාලා වෙනම පරීක්ෂණයක් පැවැත්වුවා. මට විතරක් නෙවෙයි ඒ වගේ යෝජනා තවත් අයට එනවා. සමහර පැමිණිලි කිරීම් ගැන තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා. රටේ අභිමානය හා කීර්තිය වගේම මගේ ගෞරවයත් රැකගෙන දූෂණ අක්‍රමිකතාවලින් මම බේරුණේ එහෙමයි.” නෙල්කා එසේ අනාවරණය කරනු ලැබුවේ අතලොස්සක් පමණක් දන්නා රහසකි.

“මම යන්න කලින් එවකට හිටපු පොලිස්පතිතුමාටත් මේක දැනුම් දුන්නා. එදා මම යන දවසේ මට පොලිස් දෙපාර්තමේන්තුවෙන් රුපියල් ලක්ෂ 10ක රිවෝඩ් එකක් දුන්නා, රටට අත්කර දෙන කීර්තිය වෙනුවෙන්.” ඇය කීවාය.

ඔලිම්පික් උලෙළට බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබීමේ තරගාවලි අතර දක්ෂතා දැක්වීම මත මෙවර පැරිස් ඔලිම්පික් උ‍ෙලළට බොක්සිං තරග තීරකවරු 40ක් තෝරා ගැනුණි. ඉන් 34ක් පිරිමින් වන අතර, ඉතිරි 6 කාන්තාවෝය. ඒ අතර නෙල්කා ඇතුළු ආසියාතික කලාපයෙන් තෝරාගත් පිරිස ප්‍රමාණයෙන් 13කි. කාන්තා තීරකවරුන් 6 දෙනා අතුරින් තිදෙනකු යුරෝපයේ ද, ඉතිරි තිදෙනා ආසියාවෙන් ද තෝරාගෙන තිබිණි. ආසියාවෙන් තෝරාගත් කාන්තාවන් අතර නෙල්කා සමඟ දකුණු කොරියානු හා චීන තායිපේ තීරකවරියක බැගින් සිටියහ.

“මට මුල්ම තරගය රෙෆ්රි කරන්න තිබුණේ ප්‍රංශයත් අමෙරිකාවත් අතර තරගයක්. කිලෝග්‍රෑම් 60 බර පන්තියේ. ප්‍රංශ ක්‍රීඩිකාව රියෝ ඔලිම්පික් රන් පදක්කම්ලාභිනියයි. ඇය මේ පාරත් ප්‍රංශයේ ලොකුම බලාපොරොත්තුව වුණා. ඇරත් සත්කාරක රටේ. මම බොක්සිං වළල්ල දැක්කෙත් ඒ මොහොතේදියි. කෙළින්ම ගිහින් වළල්ලට නැග්ගා. ලොකු පීඩනයක්. 15,000කට වඩා ක්‍රීඩාලෝලීන්. හැමෝම කෑගහනවා. එකම සද්දේ. පළමු වටයේදී ඇමෙරිකානු ක්‍රීඩිකාව දිනනවා 3-2කින්. දෙවැනි වටයේදී මේ ප්‍රංශ ක්‍රීඩිකාව මම කියනදේ අහන්නෙම නෑ. අන්තිමට මම වෝනිං එකක් දෙනවා. ඒ කියන්නේ එයාගේ ලකුණු කැපෙනවා. මුළු ක්‍රීඩාගාරයම එක පාරටම නිශ්ශබ්ද වුණා. මම නම් හිතුවේ මට විවේචන වගේම ක්‍රීඩාලෝලීන්ගෙන් තර්ජනයක් එල්ල වෙයි කියලයි. ඒත් එහෙම වුණේ නෑ. අන්තිමට ප්‍රංශයේ රන් පදක්කම් බලාපොරොත්තුව වුණු ක්‍රීඩිකාව තරගයෙන් පරදිනවා. තරගය ඉවර වුණාට පස්සේ මම බොක්සිං වළල්ලෙන් එළියට එද්දී හැමෝම ආසනවලින් නැඟිටලා මට අත්පොලොසන් දුන්නා. ඔලිම්පික් කමිටුවේ නිලධාරින් පවා කියලා තිබුණා සත්කාරක රටේ ලොකුම රන් පදක්කම් බලාපොරොත්තු වුණු ක්‍රීඩිකාවකට එරෙහිව එහෙම තීරණයක් ගන්න නෙල්කාට හැකිවීම ලොකු ආඩම්බරයක් කියලා. කොච්චර ආත්ම ශක්තියක් තියෙන්න ඕනද කියලා ඒ වගේ තීන්දුවක් ගන්න. ශක්තිමත් රෙෆ්රි කෙනෙක් කියලත් කියලා තිබුණා. ඒක මට බලපෑවා මුළු තරගාවලියටම. කොච්චර බලපෑවද කියනවා නම් ඊළඟට මම බොක්සිං වළල්ලට නඟින හැම වතාවේදීම තරග කරන ක්‍රීඩකයන් දෙන්නා පුදුම විදිහට විනයගරුක වෙන්න ගත්තා. නෙල්කාට ලොව හොඳම තරග තීරකවරියක වීමට එවැනි සාධක බලපාන්නට ඇත.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ බොක්සිං තරගාවලියේදී නෙල්කා තීරකවරියක ලෙස තරග 9කට සහභාගි වූ අතර, තරග 30කදී පස්දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලට එක්වූවාය.

වැදගත්ම සිදුවීම වන්නේ ඇයට ලොව හොඳම තරග තීරක වීමේ අවස්ථාව ගිලිහී ගිය ආකාරයයි.

“මේ පාර ඔලිම්පික් බොක්සිං ඉවෙන්ට් එකේ ෆයිනල් වෙද්දී ඉතිරි වෙලා හිටියේ රෙෆ්රිලා 40න් 15ක් විතරයි. අනිත් හැමෝම යම් යම් අත්වැරදිම් හා දුර්වලතා නිසා අතරමඟදී ඉවත් කරලයි තිබුණේ. මේ 15 අතට ඇතුළත් වෙන්න මට හැකියාව ලැබුණා. ආසියාවෙන්ම අපි තුන්දෙනෙක් විතරයි ෆයිනල්ස් වෙද්දී ඉතුරුවෙලා හිටියේ. ෆයිනල්ස් 13ක් තිබුණා. ඒ 13න් 12කටම ආසියාතික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සුදුසුකම් ලැබුවා. ඒ ගැන ආසියාතිකයෙක් හැටියට මට හරි ආඩම්බරයි. ආසියාවෙන් පිට අයගේ තරගයකට තිබුණේ එකම එක ෆයිනල් එකයි විතරයි. ඒක විතරයි අපි තුන්දෙනාටම ඉතුරුවෙලා තිබුණේ. ඒ වෙද්දි මම ලෝකයේ හොඳම තරග තීරක විදිහට පළමුවෙනි තැනට පත්වෙලයි හිටියේ. ආසියාවේ රෙෆ්රිලා අතරිනුත් මම හිටියේ පළමු තැන. දෙවැනි තැන හිටියේ දකුණු කොරියානු තරග තීරක චෝ ජංසූක්. නීතියට අනුව මට ඒ ෆයිනල් එක කරන්න බෑ. හේතුව ඒකට තේරුණු එක ක්‍රීඩකයකුගේ සෙමි ෆයිනල් එකක් මම කරලා තිබුණු නිසා. නීතියෙන් කියන්නේ එකම ක්‍රීඩකයකුගේ හෝ ක්‍රීඩිකාවකගේ සෙමි ෆයිනල් හා ෆයිනල් එක එකම රෙෆ්රිට කරන්න බෑ කියන එකයි. ඒ නිසා ඉතුරුවෙලා තිබුණු ආසියාවෙන් පිට එකම ෆයිනල් එක කරන්න මගෙන් පස්සේ හිටපු දකුණු කොරියාවේ රෙෆ්රිට අවස්ථාව ලැබුණා. ඒ අනුව අපි දෙන්නාගේ ඇගැයීම් ලකුණු ටිකක් වෙනස් වුණා. මම නම්බර් ටූ එකට වැටුණා. දකුණු කොරියානු රෙෆ්රි ලෝකෙන්ම හොඳම රෙෆ්රි වුණා.” නෙල්කා පැහැදිලි කළාය.

“ඒක ගැන මට කනගාටුවක් නෑ. මොකද මම දැනටමත් දිනලා ඉවරයි. ලංකාවේ ඉතිහාසයේ කවුරුවත් මේ වගේ ජයග්‍රහණයක්, කීර්තියක් අත්කරගෙන නෑ. අනිත් එක ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලි සේරමවල ෆයිනල්ස් විනිශ්චය කරපු එකම රෙෆ්රි මමයි. අනිත් එක දකුණු කොරියානු රෙෆ්රි මගේ හොඳම මිතුරියක්.” නෙල්කා එසේ කියා සිටියාය.

“තවත් විශේෂ දෙයක් තියෙනවා. පහුගිය අවුරුදු දෙකක් ඇතුළත මට ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයෙන් ආරාධනාවක් ලැබුණේ නෑ. මම ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයෙන් අන්තිමට නියෝජනය කළේ බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ විතරයි. ඊට අමතරව 2022 ඉඳලා මේ දක්වා මට ලංකාවේ පැවැති කිසිම බොක්සිං තරගයකට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණෙත් නෑ. එහෙම සහභාගි නොවී මට ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගවලටත්, ඔලිම්පික් ක්‍රීඩා උලෙළටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණේ මම ඊට කලින් පෙන්වපු දක්ෂතා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිරීක්ෂණය කරලා තිබුණු නිසයි. මගේ ඉලක්කයට මම ගියා. මගේ තාත්තාගෙන් මට ලැබුණු ජානමය ශක්තියත්, ගාල්ල රිපන් බාලිකාවෙන් මට ලැබුණු ශක්තිමත් අධ්‍යාපනයත්, අවුරුදු 27ක් පොලිස් නිලධාරිනියක් විදිහට මට ලැබුණු ශක්තියත් මේ හැමදේටම ඉවහල් වුණා.” නෙල්කා ශිරෝමාලා මේ පෙන්වා දී ඇත්තේ මෙරට සියලුම කාන්තාවන්ට ජීවිතය ජයගැනීමට කදිම පාඩමකි. බාධක බිඳ දමා ඉදිරියට යෑමට අවශ්‍ය නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවට කදිම නිදසුනකි.

 මෙවර ඔලි­ම්පික් උලෙ­ළේදී නෙල්කා සිය පළමු තර­ග­යෙන් සත්කා­රක ප්‍රංශයේ ක්‍රීඩි­කා­වට එරෙ­හිව අමෙ­රි­කානු ක්‍රීඩි­කා­වට දිනුම දුන් අයුරු

මෙවර ඔලි­ම්පික් උලෙ­ළේදී නෙල්කා සිය පළමු තර­ග­යෙන් සත්කා­රක ප්‍රංශයේ ක්‍රීඩි­කා­වට එරෙ­හිව අමෙ­රි­කානු ක්‍රීඩි­කා­වට දිනුම දුන් අයුරු

 

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division