සමගි ජන බලවේගයේ අභ්‍යන්තර බිඳ වැටීම්, කලකිරීම් සහ මන්ත්‍රීවරුන් අතර ඇතිව තිබෙන මතභේද මෙන්ම ජනාධිපතිවරයාගේ සුවිශේෂී ආර්ථික දැක්ම නිසා පැහැදුණු මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාගේ සජබයෙන් ඉවත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන තත්ත්වයකට පත්ව තිබේ. මේ නිසා සමගි ජන බලවේගය පක්ෂය දෙදරා යමින් ඇති අතර මේ වන විට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු 54 දෙනාගෙන් 13 දෙනකුම පක්ෂය හැර ගොස් තිබේ. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 24% ද ඉක්මවා ගිය අගයකි.
එසේ ඉවත් වූ මන්ත්‍රීවරුන් අතර සමගි ජන බලවේගයේ ප්‍රබලයන් වන හිටපු ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, ඒ. එච්. එම්, ෆවුසි, වඩිවෙල් සුරේෂ්, අරවින්ද් කුමාර්ද වෙති. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ප්‍රබලයකු වන කෝප් කමිටුවේ හිටපු සාමාජිකයකු වන එම්. වේලුකුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එස්.එම්.එම්. මුෂාරෆ්, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් යන අයද වෙති.
ඉෂාක් රහුමාන් පසුගිය මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලැබූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයාද වෙයි. එමෙන්ම හිටපු ඇමැතිවරුන් වන හරින් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ද සමගි ජන බලවේගයෙන් ඉවත්ව ජනාධිපතිවරයා යටතේ රජයේ ගමනට සහාය දුන් අතර ඩයනා ගමගේ ද මීට පෙර සමගි ජන බලවේගයෙන් ඉවත් විය. එසේම පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද සමගි ජන බලවේගයෙන් ඉවත් විය.
රිෂාඩ් බද්යුද්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර එයින් රිෂාඩ් බද්යුද්දීන් හැර සෙසු මන්ත්‍රීවරුන් තිදෙනාම මේ වන විට ජනාධිපතිවරයාගේ සහායට එක්ව තිබේ.
මේ තත්ත්වය උඩ සමගි ජන බලවේගය හා එක් වූ සෙසු පක්ෂවල මන්ත්‍රීවරුන් ඉවත්වීම නිසා පක්ෂයේ දෙදරා යාම ආරම්භව ඇති අතර ඉදිරියේදී තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ජනාධිපතිවරයාට සහාය දීමට පැමිණීමට මේ වන විටත් සාකච්ඡා පවත්වනු ලබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සිළුමිණ හා විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.