ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් පක්ෂ 34කින් සමන්විත “පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබීම පසුගිය 16 වැනිදා සිකුරාදා සිදු කෙරිණි.
අනෙක් අපේක්ෂකයන් සියලුදෙනා රට පාලනය කිරීමට සුදුසුම පුද්ගලයා තමා බව පවසමින්, තමන් වෙනුවෙන් ඡන්දය ලබා දෙන ලෙස පවසද්දී, දේශපාලනඥයන්ගේ අනාගතය පිළිබඳ නොව තමන්ගේ අනාගතය පිළිබඳ සිතා මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කරන ලෙස තමා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
එදා රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ හැරියා නම් අද ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව නොලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ ඉදිරි ගමන තහවුරු කිරීම වෙනුවෙන් බවද කියා සිටියේය.
“පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට අත්සන් තැබුවේ දේශපාලන පක්ෂයක් හැදීමට නොවන බවත් එම සම්මුතිය ඇති කර ගනු ලැබූයේ සියලුදෙනා එක් කර ගනිමින් ජනතාවගේ සහ රටේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
එසේම රටේ ආර්ථිකය කඩා වැටුණා නම් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව නොලැබෙන බව අවධාරණය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ තමන් භාරගත්තේ බංකොලොත් වූ හා පෝලිම් යුගයක් තිබු රටක් බවයි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, ආහාර සහ ඖෂධ පෝලිම් රට පුරා තිබුණු බවත් ඔහු පෙන්වා දුන්නේය. ආර්ථිකය කඩා වැටුණු රටක් භාරගෙන අද වන විට උද්ධමනය පාලනය කර විදේශ සංචිත ඉහළ නැංවීමට කටයුතු කළ බවත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළේ ජනතාව සමග බවද ජනාධිපතිවරයා කීය.
සමෘද්ධි ප්‍රතිලාභය මෙන් තුන් ගුණයක් අස්වැසුම හරහා ජනතාවට ලබා දුන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටවල් 18ක් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන 21ක් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බවද කීවේය. ඒ අනුව රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීම වෙනුවෙන් අප එම එකඟත්වය අනුව ඉදිරියට යා යුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ ජනාධිපති නීතිඥ එම්. යූ. එම් අලි සබ්රි, නව සන්ධානය නියෝජනය නියෝජනය කරමින් සුසිල් ජයන්ත, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් ඩග්ලස් දේවානන්දා, එක්සත් මහජන පක්ෂය නියෝජනය කරමින් හේමත්ප්‍රිය කවිරත්න, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන, තමිල් මක්කල් විදූදලෙයි පුලිකල් නියෝජනය කරමින් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් ඒ.එල්.එම්. අතාවුල්ලා, සමඟි ජනබලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ ඒ. එච්. එම්. ෆවුසි,
ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරමින් අසංක නවරත්න, නවලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කුමාර වෙල්ගම, එක්සත් ජනතා පක්ෂය නියෝජනය කරමින් අරවින්ද කුමාර්, මුට්පෝක්කු තමිලර් කලහම් නියෝජනය කරමින් එස්. වියාලේන්ද්‍රන්, නිදහස් ජනතා සභාව පක්ෂය නියෝජනය කරමින් උදයන කිරිඳිගොඩ, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් මොහමඩ් මුසම්මිල්, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් වඩිවේල් සුරේෂ්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් වේලු කුමාර්, සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය නියෝජනය කරමින් එස්. එම්. එම් මුෂාරෆ්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් චතුර සේනාරත්න, ජාතික සමඟි පෙරමුණ නියෝජනය කරමින් අසාද් සාලි, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ නියෝජනය කරමින් චම්පික ලෝව්, ඊළාම් විප්ලවවාදී ශිෂ්‍ය සංවිධානය නියෝජනය කරමින් එම්. රාජනාදන් ප්‍රභාහරන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ශ්‍යාමිලා පෙරේරා, දේශප්‍රේමී ජනබලවේගය නියෝජනය කරමින් සුගත් සේවාපතිරණ,
ශ්‍රී ලංකා ප්‍රජාත්ත්‍රික පක්ෂය නියෝජනය කරමින් අන්වර් එම්. මුස්තාෆා, ලක්ජන පෙරමුණ නියෝජනය කරමින් චින්තක වීරකෝන්, එක්සත් ජනතා පෙරමුණ නියෝජනය කරමින් සිරිමසිරි හපුආරච්චි, ජාතික ජනතා පෙරමුණ නියෝජනය කරමින් ආචාර්ය ඒ. එම් ජයරත්න, නවජන සෙත පෙරමුණ නියෝජනය කරමින් ඩබ්ලිව්. එම් ගාමිණී විජේනායක, මව්බිම සංවර්ධන පෙරමුණ නියෝජනය කරමින් නිෂාම් මොහොමඩ්, එක්සත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් කේ. බී ජයමිණි ජිනදාස යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.