Home » රනිල්ගේ කළුතර රැල්ල නැඟලා යයිද?

රනිල්ගේ කළුතර රැල්ල නැඟලා යයිද?

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

නාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු නාම යෝජනා භාරදීමත් සමගම මැතිවරණ පිටිය තවත් උණුසුම් වී ඇත. ජනාධිපතිවරණ සටන උග්‍ර වෙද්දී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් තමන් කැමති පාර්ශ්වයන් වෙත මාරුවීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අතර විවිධ පාර්ශ්ව මුදල් ද එහාට මෙහාට හුවමාරු කරනා බවට විවිධ චෝදනා ප්‍රචාරය වෙයි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වේදිකාවේ රඟද්දී ජනපති රනිල් නිහඬව ඉදිරි ගමන සැලසුම් කරමින් සිටියි.

ජනපති රනිල් මහනුවර – නුවරඑළිය

ජනපති රනිල් ඉකුත් සති අන්තය ගත කළේ මහනුවර සහ නුවරඑළියේය. පළමු රැස්වීම මහනුවර ජනාධිපති මන්දිරියේ පැවැති අතර මහනුවර වෙළෙද සංගම් නියෝජිතයින් මේ සඳහා සහභාගි වී සිටියහ. වෙළෙඳ සංගම් නියෝජිතයන් සියලු දෙනා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ගැන ජනපති රනිල්ට ස්තූති කළ අතර බදු අය කිරීමේදි ඇතිව තිබෙන සංකූලතා ගැන මෙහිදි වෙළෙඳ සංගම් නියෝජිතයන් කරුණු ඉදිරිපත් කළේය.

මෙහිදි ජනපති රනිල් මහනුවර සංවර්ධනය ගැන මෙන්ම 2025 දී වාහන ආනයනය කිරීම ගැන ද කතා කළේය. වාහන ආනයනය කිරීමේදී බදු අය වීම වැඩි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදි රටේ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන ද කතා කළේය.

ජනපති රනිල් නුවර වාහන තදබදයට කොටුවෙයි

එය අවසන් කොට ජනපති රනිල් වතු කම්කරු නායකයන් මුණ ගැසීම වෙනුවෙන් පේරාදෙනිය පාරට යාමට සිදුව තිබුණි. මහනුවර ඇසළ මහා මංගල්‍යය වෙනුවෙන් අධික ජනකායන් එහි පැමිණ ඇති බැවින් තමන්ගේ පැමිණීම ඔවුන්ට බාධාවක් නොවිය යුතු බව ජනපති රනිල් පෙරදීම ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබුණි.

තමන් ගමන් කරනා මාර්ග වසා දමා ජනතාවට බාධා නොකරන ලෙස දුන් උපදෙස ක්‍රියාත්මක වීම නිසා ජනපති රනිල්ට ද රථවාහන තදබදය මැද ගමන් කිරීමෙන් පැයකට අධික කාලයක් ප්‍රමාද වී එම රැස්වීමට සහභාගී වීමට සිදුවිය.

මහින්ද, ගෝඨාභය ඊළඟට රනිල්

එදිනම පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පැවැති අතර එහිදී කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව “ මහින්ද මහත්තයා දිනෙව්වා වගේ, ගෝඨාභය මහත්තයා දිනෙව්වා වගේ අපි මේ පාර ඔබතුමාවත් දිනවනවා.” යැයි කී පසු අනෙක් අයද පිළිවෙළට යමින් එම ප්‍රකාශයම කියන්නට වූහ.

මහනුවර රැස්වීම් අවසන් කොට ජනපති රනිල් හැටන් නගරයට පැමිණියේ වඩිවෙල් සුරේෂ් සංවිධානය කර තිබූ ව්‍යාපාරික හා වතු ප්‍රජාවගේ රැස්වීමට සහභාගි වීමටය. ඉන් පසුව කේ.කේ පියදාස සංවිධානය කර තිබූ එ.ජා.ප රැලියකට එක්වූ ජනපති රනිල් එය නිමවා නුවරඑළිය බලා පිටත්වූවේය.

ජනපතිට සහය දැක්වීමට පෝලිමක්

සඳුදා උදෙන්ම කොළඹ මල්පාර දේශපාලන කාර්යාලය වෙත පැමිණි ජනපති රනිල් සවස ජනාධිපති කාර්යාලය වෙත ගියේ කැබිනට් හමුවට එක්වීමටය. පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් ප්‍රියංකර පැමිණ ජනපතිට සහාය දක්වන බව දන්වා සිටියේ ඒ අතරවාරයේය.

ගෙවී ගිය සතියේ වැඩි කාලයක් ජනපති ගත කළේ දේශපාලන කාර්යාලයේ සිය මැතිවරණ වැඩකටයුතු වෙනුවෙනි. සන්ධාන ගතවීම වෙනුවෙන් සජබ මන්ත්‍රීවරු මෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරුද, දමිළ මන්ත්‍රීවරුන් ද පැමිණ මුණ ගැසුණේ ජනපති සටනට සහාය දීම වෙනුවෙනි.

මාධ්‍ය නිරීක්ෂණය

බදාදා පස්වරුවේ ජනපති රනිල් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කැඳවා තිබුණේ ඔහුගේ කාර්යාලය වෙතය. එහිදි ජනපති විමසා තිබුණේ රාජ්‍ය මාධ්‍යයේ හා පෞද්ගලික මාධ්‍යයේ හැසිරීම ගැනය.

“මැතිවරණ කාලයේ නාම යෝජනා දුන් දවසේ සිට මේ දක්වා අපි සියලු මාධ්‍යයේ හැසිරීම නිරීක්ෂණය කරනවා. මැතිවරණ කොමිසමත් අපිට ඒක කරන්න කිව්වා. අපි එකතු කරන කරුණු මැතිවරණ කොමිසමට භාර දෙනවා. රජයේ මාධ්‍යට හා පෞද්ගලික මාධ්‍යයට එරෙහිව දාලා තියෙන පැමිණිලිත් මට ලැබෙනවා.” අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කීවේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අනුව මාධ්‍ය පාලනය කරන්න මැතිවරණ කොමිසමට බලය තියෙනවා. මේ නියාමන කටයුතු ගැන මාවත් දැනුම්වත් කරන්න.” ජනපති කීවේ දිනිත් චින්තකටය.

බංග්ලාදේශයේ අගමැතිගෙන් ජනපති රනිල්ට ඇමතුමක්

බංග්ලාදේශයේ අන්තර්වාර පාලන ආණ්ඩුවේ අගමැති මුහම්මද් යුනුස්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ ජනපති රනිල්ටය. නව තනතුරට සුබ පතන්නට ඔහුව සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශ අගමැති ජනපති රනිල්ට අමතා තිබුණි.

මුලින්ම නව තනතුරුට ජනපති රනිල් සුබ පැතූ පසු ඔහු කීවේ සිය රටේ ඇතිව තිබෙන තත්ත්වය ඉක්මණින්ම සමථයකට පත් කිරීමට උත්සාහ කරන බවයි. රටේ ආර්ථිකය ආරක්ෂා කර ගන්නා ලෙස ජනපති රනිල් කියද්දී අගමැති යුනුස් ඉල්ලා සිටියේ බංග්ලාදේශයේ ආයෝජනය කර සිටින මෙරට ආයෝජකයන්ට එරටින් පිට නොවන ලෙස දැනුම්දෙන ලෙසයි.

ජනපතිගෙන් බංග්ලාදේශයට සහතිකයක්

තමන්ට හැකි සෑම ආකාරයකින්ම බංග්ලාදේශයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන බව ජනපති රනිල් කියද්දී යුනුස් අගමැතිවරයා බංග්ලාදේශයේ පවතින තත්ත්වය සමනය වූ පසුව එරටට පැමිණෙනැයි ආරාධනාවක් ද කළේය. “රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමත් රටේ ආර්ථිකය යළි නඟා සිටුවීමත් වෙනුවෙන් ඔබේ සහාය අපට ඉතාම අත්‍යවශ්‍යයි. ලංකාව අර්බුදයෙන් ගලවා ගත්තා සේම බංග්ලාදේශයත් අර්බුදයෙන් ගලවා ගන්න සහාය දෙන්න.” යුනුස් අවසාන වශයෙන් ජනපතිගෙන් ඉල්ලා සිටියේය.

රනිල්ට වජිර නැකත් හදයි

ජනපති රනිල් එදින පෙරවරුවේ නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබුවේය. නාම යෝජනා පත්‍ර මැතිවරණ කොමිසමට භාරදීමට යාම වෙනුවෙන් දින වෙන්කර දී තිබුණේ බ්‍රහස්පතින්දා බැවින් එදින පෙරවරුවේ ඔහු මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලය වෙත පැමිණියේය.

මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් කාර්යාලයෙන් පිටත්වීමේ නැකත සකස් කර තිබූ අතර, එම වේලාවට ඔහු පිටත්වූයේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙතය. ආගමික වතාවත් නිමවා මැතිවරණ කාර්යාලය වෙත පැමිණි ජනපති රනිල් ප්‍රධාන ශාලාව වෙත පිටත්වීමට ප්‍රථම මැතිවරණ නිලධාරීන්ගෙන් විමසා සිටියේ අපේක්ෂකයෝ කී දෙනෙක් සිටින්නේද කියාය.

අපේක්ෂකයින්ට බස් එකක්

“සර් අපේක්ෂකයෝ 40ක් ඇප බැඳලා තියෙනවා. මැතිවරණ නිලධාරීන් කියද්දී “ආ එහෙනම් ඒ කට්ටියට මෙතන ඉඳලා යන්න බස් එකක් දාන්න වේවි.” යැයි කියද්දී එහි සිටි නිලධාරීන්ට සිනහව නතර කරගත නොහැකි වූහ.

අගමැති දිනේෂ් ගුණවර්ධන සමඟ පැමිණි ජනපති රනිල් තමන්ගේ වාරය පැමිණි පසු නාම යෝජනා භාරදීමට ගිය අතර, ඔහු පසු පසින් විපක්ෂ නායක සජිත් ද පැමිණ නාම යෝජනා බාරදීමට පෝලිමේ සිටියේය. පෝලිමේ සිටි සජිත් එකවරම මැතිවරණ නිලධාරීන් අසුන්ගෙන සිටි ආසනවලට පිටුපසින් ගොස් නාම යෝජනා භාරදීමට ගත් උත්සාහය ගැන සැවොම කතා බහ කරන්නට වූහ.

2015 දී මහින්ද කළ දේ සජිත් කරයිද?

“2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් නාම යෝජනා බාරදුන්නේ ඔය විදියටම තමයි.” මන්ත්‍රී වජිර කියද්දී එහි සිටි සාගල රත්නායක ද හිස සලමින් එය අනුමත කළේ මහින්ද ජනාධිපතිට වූ දේ සිහිපත් කරමිනි.

සජිත්ගේ ප්‍රතිචාරය

ජනපති රනිල් එහි සිටි සියලු අපේක්ෂකයන් හා කතා බහ කිරීමට ද අමතක නොකළේය. නාම යෝජනා කටයුතු අවසන් වී පිටව යද්දී ජනපති රනිල් විපක්ෂ නායක සජිත්ෙට අතට අතදී සුබ පැතුවද ඔහු ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන එහි සිටි සැමගේ දෝෂදර්ශනයට ලක්වූයේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සජිත් දැක්වු ප්‍රතිචාර ගැන සර්වජන බලයේ නායක දිලිත් ජයවීරට ප්‍රකාශ කළේය.

ප්‍රධාන ශාලාවේ අවසන් පේලියක අසුන්ගෙන සිටි අනුර දිසානායක අසලට ගිය ජනපති ඔහුට සුබපතා කනට කර යමක් කියූ අතර, එය කුමක්දැයි කිසිවෙකුටත් දැනගත නොහැකි විය. නාමල් රාජපක්ෂට ද සුබ පතමින් ඔහු එතනින් නික්ම ගියේ තමන් වෙනුවෙන් පැමිණි ජනතාවට ආචාර කිරීමටය.

රනිල්ට ගෑස් සිලින්ඩරය ලැබුණු හැටි

ඒ අතරවාරයේ සිය සොයුරු චන්නට ජනපති රනිල් කීවේ ඡන්ද ලකුණ ගැන සොයා බලන ලෙසය. ඊට සහායක් අවශ්‍ය වුවහොත් ලබා දෙන්නැයි ජනපති රනිල් මැතිවරණ නිලධාරින්ට හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තකට කීවේය.

ගෑස් සිලින්ඩරය ඡන්ද ලකුණ ලෙස ලබා ගැනීමට මොවුන් පෙර සිටම සැලසුම් කර තිබූ අතර කිසිවෙකු ඒ ලකුණ ඉල්ලා නොතිබූ බැවින් ජනපති රනිල්ගේ ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලැබිණි. ගෑස් නොමැති යුගයක රට භාර ගත් බැවින් එම සලකුණ ජනපති රනිල්ට වඩාත්ම ඔබින ලකුණ බව එහි සිටි අය කතා වන්නට වූහ.

වත්තල පෙළපාළිය ජනපති නවත්වයි

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත පණිවුඩයක් දුන්නේ වහාම එය ජනපති රනිල්ට දැනුම් දෙන ලෙස කියමිනි. එම පණිවුඩයෙන් කියවුනේ වත්තල ප්‍රදේශයේ පිරිසක් ජනපතිට සහාය දක්වමින් පෙළපාළියක් යන බවටය. දිනිත් චින්තක වහාම එය ජනපතිට දැනුම් දුන් අතර කොමසාරිස් ජනරාල් දුන් ඡයාරූප ද දිනිත් ජනපති රනිල්ට පෙන්වූවේය. ජනපති රනිල් වහාම එම පෙළපාළිය නවතන ලෙස උපදෙස් දෙන්නැයි මන්ත්‍රී වජිරට හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලට දැනුම් දුන්නේය.

රුපියල් බිලියන 4ක් ලැබුණේ කාටද?

දහවල් ගංගාරාමයට හා වාළුකාරාමය වෙත පැමිණ ආශීර්වාද ලබාගත් ජනපති රනිල් නැවත පැමිණියේ නිවස වෙතය. මැති ඇමැතිවරු රැසක් එහි පැමිණ සිටි අතර පවතින දේශපාලන තත්ත්වය ගැන ඔවුන් ජනපති හා සාකච්ඡා කළෝය.

පක්ෂ හා කණ්ඩායම් පිල් මාරුවන ආකාරය ගැන මෙන්ම රුපියල් බිලියන 4ක මුදලක් විදේශ රටක් හරහා විපක්ෂයට හුවමාරු වූ ආකාරය ගැන ද මෙහිදි සාකච්ඡාවට බඳුන් විය. එසේම පක්ෂ ගියද එහි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ සිටින බව එහි පැමිණි අය පෙන්වා දුන්හ.

ජනපති මේ පිරිසෙන් නික්ම ගියේ මහනුවර දළදා මාලිගාව වන්දනා මාන කරන්නට හා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමටය. සෙනසුරාදා ඔහු මංගල ජන රැලියට එක්වූයේ ජය ඝෝෂා මධ්‍යයේය.

කළුතරම රනිල්ට

කළුතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවෙන් විරුද්ධ පක්ෂයෙන් සිටින දේශපාලන නායකයින් බහුතරයක් මේ වන විට ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීමට එකඟ වී තිබේ.

දොස්තර රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, රෝහිත

අබේගුණවර්ධන ඒ අතුරින් ප්‍රධාන වේ.

මීට අමතරව ඒ.එච්.එම්. ෆවුසි, වඩිවේල් සුරේෂ්, මොහොමඩ් මුසම්මිල්, අසංක නවරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ම මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටින අතර, ඉදිරියේදී තවත් පිරිස් විරුද්ධ පක්ෂයේ සිට පැමිණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නව සන්ධානය පුළුල් වූ හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව සන්ධානය, ප්‍රමුඛ වාමාංශික දේශපාලන පක්ෂ හා සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමග සන්ධානගත වීම පසුගිය බදාදා පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් හා යුගයේ අවශ්‍යතාවයක් ඉටු කරමින් නව සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික දේශපාලන පක්ෂ, සංවිධාන පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධානගත වීම මෙසේ සිදුවීම දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිම කතාබහට ලක්වුණු මාතෘකාවක් විය.

මෙහි විශේෂත්වයක් වන්නේ පක්ෂයේ තීන්දු තීරණ ගැනීම සඳහා 21 දෙනෙකුගෙන් යුත් නායකත්ව මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වීමයි.

පළමු නායකත්ව මණ්ඩල හමුවද උත්සවය ආරම්භ කිරීමට පෙර එම හෝටලයේම පහළ මාලයේ රැස්වූහ. මහ ලේකම් ලසන්ත අලගියවන්න විසින් අලුත් තනතුරු සඳහා පත්කෙරුණු මැති ඇමැතිවරුන්ගේ නම් මුල්වරට ප්‍රකාශ කිරීමෙන් පසුව ඊට අනුමැතිය හිමිවිය.

ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණේ නිලධාරි මණ්ඩලයේ ප්‍රධාන අනුශාසක ලෙස නව සන්ධානය නියෝජනය කරමින් ජෝන් සෙනවිරත්න, එහි නායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, මහ ලේකම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලසන්ත අලගියවන්න, භාණ්ඩාගාරික ලෙස නව සන්ධානයේ චාමර සම්පත් දසනායක, ජාතික සංවිධායකවරුන් ලෙස ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, නව සන්ධානයේ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරනු ලබන බව අලගියවන්න ඇමැතිවරයා නිවේදනය කළ අතර එය ඒකමතිකව සම්මත විය.

21ක නායකත්ව මණ්ඩලයක්

ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, සුරේස් රාඝවන්, නීතිඥ ෆයිසර් මුස්තාපා, නව සන්ධානය නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න, නලින් ප්‍රනාන්දු, චාමර සම්පත් දසනායක, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, ජගත් ප්‍රියංකර, ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නාය‍ක ඩග්ලස් දේවානන්ද, ඉලංගෙයි මහජන කොංග්‍රසයෙන් ස්වාධීන වූ එස්.එම්.එම්. මුසාරෆ්, සමගි ජන බලවේගයෙන් ස්වාධීන වූ ඉෂාක් රහුමාන්, මුත්පෝක්කු තමිලර් කලකම් පක්ෂයෙන් ස්වාධීන වූ එස්.වියාලේන්ද්‍රන්, ජාතික නිදහස් පෙරමුණෙන් ස්වාධීන වූ මොහොමඩ් මුසම්මිල්, නිදහස් ජනතා සභාවෙන් ස්වාධීන වූ උදයන කිරිඳිගොඩ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම ජාතික සංවිධානයේ ස්වාධීන වූ අනූප පැස්කුවල්, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ නසීර් අහමඩ්, ස්වාධීන කණ්ඩායමක් ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ස්වාධීන කණ්ඩායමක් ලෙස හිටපු ශ්‍රි ලංකා ඉන්දියානු තානාපති මිලින්ද මොරගොඩ, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ ඩී.කලංසූරිය යන මහත්වරුන් පොදුජන එක්සත් පෙරමුණ සමඟ මෙසේ සන්ධාන ගතවී සිටිති.

තීන්දු ගත යුතු විදිය ලාන්සා කියයි

“පොදුජන එක්සත් පෙරමුණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 51% බලයක් තිබුණා. අපි එය 25% දක්වා අඩුකරල ඒ තීන්දු තීරණ ගැනීමේ බලයත් නායකත්ව මණ්ඩලයට දුන්නා” ඇමැති නිමල් සිරිපාල කීවේය

” ඒ ක්‍රමවේදය වෙන කිසිම පක්ෂයක මේ වෙනකම් තිබිල නෑ. අද තියන හැම පක්ෂයටම වෙලා තියෙන්නෙ තීන්දු තීරණ ගන්නකොට අනිත් අයට අදහස් දක්වන්න දෙන්නෙ නෑ. ඒ අයගේ මතයට ඇහුම්කම් දෙන්නෙ නෑ . එහෙම වුණාම අර්බුද මතුවෙනවා. අපි මින් ඉදිරියට තීන්දු ගන්නෙ නායකත්ව මණ්ඩලයෙන් . ” නිමල් ලන්සා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

“මේ වැඩේ දැන් රටේ ලොකුවට කතාවෙනවා හැමතැනින්ම කෝල් එනවා” අසංක නවරත්න කීවේය.

” හුඟ දෙනෙක් අහනව ඇයි අපට කිව්වෙ නැත්තේ කියල” දුමින්ද දිසානයක කීවේය

” නෑ අද ඔක්කොටම එන්න කියන්න පුළුවන් කමක් නෑ. පක්ෂවල නිලධාරීන් ආසන සංවිධායකයින් වගේ අයටයි මේකට එන්න කිව්වේ. අපි එන්න බැරිවෙච්ච අයට නැවත කියල ආසන මට්ටමින් නිලධාරීන් පත් කරල ඒ අය හමුවෙන්න වැඩක් ලෑස්ති කරමු” ලන්සා කීවේය

නාමල්ගේ ඉතිහාසගත වන ඡායාරූප

නාමල් වෙනුවෙන් පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ඇප මුදල් තැන්පත් කිරීම සඳහා සහභාගී වූහ. මින් අනතුරුව විජේරාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේදී නාම යෝජනා වලට අත්සන් තැබීය. මහින්ද බැසිල් ගෝඨාභය රාජපක්ෂ හා තවත් මැති ඇමැතිවරු රැසක් එක්ව සිටියහ. මෙහිදී ඉන්දික අනුරුද්ධ ඡායාරූපයක් ගන්නවා බලා සිටිමින් කියා සිටියේ මේක ඉතිහාසගතවන පින්තූරයක් බවයි.මෙහිදී ජොන්ස්ටන් ඒ ඇයි දැයි ඇසීය. “ඇයි නාමල් දින්නහම ඔතන විධායක ජනාධිපතිවරු තුන් දෙනෙක්ම ඉන්නවනෙ“ කීය. සියල්ලන්ටම කාරණය වැටහුණේ එවිටය.

නාමල්, මහින්ද සමඟ මාධ්‍යවේදීන් අතරට

එදිනම සවස කින්ග්ස්බරි හෝටලයේ සහ හිල්ටන් හෝටලයේ මාධ්‍ය හමුදෙකක් පැවැත්විය.ඒ විද්‍ය ුත් මාධ්‍ය හා පුවත්පත් කර්තෘවරුන් අතරය.මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගී විය.මේ දෙකටම නාමල් පැමිණ මාධ්‍යවේදීන් හා පුවත්පත් කතුවරුන් සමඟ කතා බහ කළේය. විශේෂයෙන්ම කතුවරුන් හා මාධ්‍යවේදීන් සිටින තැන්වලටම ගොස් ඔවුන් සමග සුහද කතා බහක නිරත වන්නට නාමල් අමතක නොකළේය.

නාමල් ගංගාරාමයට

ඉන් අනතුරුව පහළොස් වෙනිදා උදෑසනම නාමල් මැතිවරණ කාර්‍යාලයට යාමට ප්‍රථම ලිමිණි සමග කෙළින්ම ආවේ ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගැනීමටය. මෙසේ ආගමික වතාවත් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමෙන් අනතුරුව කෙළින්ම ගියේ මැතිවරණ කාර්‍යාලයටය.නාම යෝජනා අත්සන් කරන දිනට කලින් දිනත් නාමල් සිටියේ අනුරාධපුරයේය.මෙහිදී ජොන්ස්ටන් පැවසුවේ “ ඉතාම හොඳියි නාමල් ආගමික වතාවත්වල යෙදීම“ යනුවෙනි. “ඔව් ඇමතිතුමා අපි කොහොමත් බෞද්ධ දර්ශනය එක්ක ඉන්න පන්සලත් එක්ක නිතරම ගනුදෙනු කරන ආගමික කටයුතුවලට මුල්තැන දෙනවා. “ නාමල් පැවසීය. මැතිවරණ කාර්‍යාලය අසල විශාල පිරිසක් නාමල්ට සුබ පැතීමට එක්වූහ.

රනිල් වෙනුවෙන් වජිර බරටම වැඩ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නාමයෝජනා පත්‍ර භාරදීම සම්බන්ධ සියලු වැඩකටයුතු පැවරී තිබුණේ වජිරටයි. එම නිසා ජනාධිපතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සියලු වැඩකටයුතු සොයා බලමින් කිසිදු අඩුපාඩුවක් නොවන ආකාරයට වජිර සියලු කටයුතු සම්පාදනය කොට තිබුණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නාම යෝජනා පත්‍ර අත්සන් කළේ මේ සතියේ බදාදා දිනයේදීයි. ඒ කොළඹ මල්පාරේ පිහිටි සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදීයි. මෙම අවස්ථාවට සංඝරත්නය වැඩමවීම සහ ඊට අවශ්‍ය සියලු කටයුතු වජිර ඉතාමත් හොඳින් සූදානම් කර තිබුණි.

වජිරගේ අනාවැකිය

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජතයින් දැනුම්වත් කිරීම වෙනුවෙන් මෙම හමුවීම් මාලාව සංවිධානය කර තිබුණු අතර ඒකාබද්ධ රැස්වීම් මාලාවක් ලෙස මෙම රැස්වීම් සංවිධානය කර තිබීම විශේෂත්වයක් වුණා.

මෙහිදී අදහස් දැක්වූ වජිර,

ලංකාවේ දේශපාලන පක්ෂ අසූ හයක් පමණ තියෙනවා. ඉන් තිහකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. මේ බොහෝමයක් ඉදිරි සතිය තුළ ජනාධිපතිතුමාට සහය දීම සඳහා සන්ධානගත වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා ලබන සතිය වඩාත් තීරණාත්මක සහ මාධ්‍ය අවධානය වැඩි වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ දිහාවට යොමු වේවි”යනුවෙන් වජිර අබේවර්ධන පැවසීය.

මනූෂ වෙනුවට බන්දුලාල්

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ තීන්දු කළේය.

‘‘පක්ෂය තුළ සාකච්ඡා කිරීමෙන් පසු හිස්වූ මන්ත්‍රි ධුරය සඳහා සජබ ජාතික ලැයිස්තුවෙන් පත්කරන මන්ත්‍රිවරයා කවුරුන්දැයි මැතිවරණ කොමසාරිස්ට දැන්වීමට කටයුතු කරනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ලබාගත් ලැයිස්තුවේ මනුෂට පසුව නීත්‍යනුකූලව පාර්ලිමේන්තුවට පත්වෙන්නේ බන්දුලාල් බණ්ඩාරිගොඩ. ඉදිරියේදී පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කර පුරප්පාඩු වූ මන්ත්‍රි ධුරවලට අදාළ තීරණ ගැනීමට බලාපොරොත්තු වෙනවා. “ඒ සමගි ජන බලවේග පක්ෂ මහලේකම් පාර්ලි මේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාරය.

සජිත්ගේ ගමන

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පළකිරීමට තවත් දේශපාලන පක්ෂ 27ක් තීරණය කර තිබුණි. ඒ අනුව එම දේශපාලන පක්ෂ 27 සමඟ සමගි ජන සන්ධානය සමඟ ගිවිසුම් ගත විය. මානුෂීය ජනතා සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ප්‍රගතිශීලී නව වාමාංශික පෙරමුණ, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ, නව ලංකා ප්‍රගතිශීලී පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 27ක් ගිවිසුම්ගත විය. එසේම එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සමඟ එකතු වුණ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයද ඔවුන් සමඟ ගිවිසුමකට එළැඹිය.

මාලදිවයිනේදී අජිත් රාජපක්ෂගේ ඇස් උඩ යයි

පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ඇතුළු නියෝජිත පිරිසක් පසුගිය සතියේ මාලදිවයිනේ නිල සංචාරයක නිරතවූයේ එරටින් ලැබුණු ආරාධනාවකට අනුවය. පියංකර ජයරත්න මන්ත්‍රීවරයාද මෙම සංචාරයට එක්විය.

මාලදිවයිනේ ජනාධිපතිවරයා කථානායකවරයා ඇතුළු පිරිසක් මෙම සංචාරයේදී මුණගැසුණු අතර සංචාරක කර්මාන්තය ඇතුළු දෙරට අතර සම්බන්ධතා පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කෙරේ.

මාලදිවයිනේ බොහෝ ක්ෂේත්‍රවල වැටුප් ඉතා ඉහළ අගයක පවතින අතර මාලදිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාසික වැටුප රුපියල් ලක්ෂ 17ක් බව දැනගැනීමත් සමගම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ඇස් උඩගිය බවද වාර්තා වේ.

ප්‍රසන්නගේ පත්තර මල්ලි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ අභාවප්‍රාප්ත ප්‍රදීප් අනුර කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ‍දේශපාලන ක්ෂේත්‍රයේ විශාල පිරිසක් ඔහුගේ නිවස පිහිටි ජා ඇළ – ඒකල කොටුගොඩ ප්‍රදේශයට පැමිණ තිබුණි.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රදීප්ට ආමන්ත්‍රණය ක‍ළේ “පත්තර මල්ලී” කියාය. රෙජී රණතුංග හිටපු අමාත්‍යවරයාගේ ද මාධ්‍ය ලේකම් වශයෙන් කටයුතු ප්‍රදීප් ප්‍රසන්න රණතුංගගේද මාධ්‍ය ලේකම්වරයා වීම විශේෂත්වයකි.

මාධ්‍යවේදියෙකු මෙන්ම මාධ්‍ය ලේකම්වරයෙකු ව‍ශයෙන් ද වසර ගණනාවක් කටයුතු කළ ප්‍රදීප් දේශපාලන කොලම්වලට නැතුවම බැරි පුද්ගලයෙකු බවද කිව යුතුමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division