රජයේ 2025 අය වැය ක්‍රියාවලිය මේ වන විට ඇරඹී තිබේ. ආර්ථිකය අසීරුව තිබියදීත් රජයේ සේවකයන්ට රුපියල් දස දහසක් ලබා දුන් අවස්ථාවේ ආණ්ඩුව සඳහන් කළේ ආර්ථිකය යහපත් වූ විට තවත් සහන ලබා දෙන බවය. ඒ අනුව ආර්ථිකය ක්‍රමයෙන් යහපත් වෙද්දී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබීය. ඒ අනුව 2025 අය වැය සමඟින් එම විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව සියලුම රජයේ සේවකයන්ගේ වැටුප ලබන ජනවාරි සිට 24% සිට 35% දක්වා වැඩි කිරීමට නියමිතය.
එමෙන්ම 2025 පාදක වර්ෂය ලෙස සලකා වසර තුනක කාලයක් සඳහා ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට ද රජය තීරණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පහළම සේවකයාගේ මාසික වැටුප දීමනා ද එකතුව රුපියල් 55,000ක් බවට පත්වීමට නියමිතය.
ලබන වසර සඳහා අය වැය හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 5,018ක් වේ. එය පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අය වැය සඳහා සහාය වීමට ගිවිසුම්ගත වී ඇති අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 700ක් ලබා දීමට නියමිතය.
ලෝක බැංකුව මිලියන 400ක් සපයයි. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300ක් ලැබේ. මේ අනුව ලැබෙන ණය සහනය ඇමෙරිකානු ඩොලර් මිලියන 3,655කි.
මේ අනුව රජයේ 2025 අය වැය සූදානම මේ ආකාරයට ප්‍රකාශ වී තිබේ.
සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණයෙන් රට කරවීමට බලය ඉල්ලා සිටින සෙසු දේශපාලන පක්ෂ තව දින 100කින් එනම්, 2025 ජනවාරි 1 වැනිදා සිට මේ රටෙහි ආර්ථිකය හසුරුවාලන්නට තමන්ගේ අය වැය ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ සිළුමිණ ඔවුන්ගෙන් කළ විමසීමේදී දැක්වූ අදහස් මෙහි පළවේ.
එදාවේල ක්‍රමයෙ අය වැය ගේන්නෙ නැහැ
– සර්වජන බලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර
අය වැය ප්‍රතිපත්තිය
අපි ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළ තුළ තිබෙන්නේ උපායමාර්ගික සැලසුම්. මින් ඉදිරියට අය වැයක් ඉදිරිපත් කරනවා නම් ඒ උපායමාර්ගික සැලසුම්වලින් පිට පැනලා කිසිම දෙයක් කරන්න බැහැ. මෙච්චර කල් මේ රටේ අය වැය ඉදිරිපත් කළේ එදා වේල ක්‍රමවේදයටනේ. ඒ ක්‍රමය තුළ කිසිම සැලසුමක්, අනාගත දැක්මක් නැහැ.
මෙතෙක් කල් මේ රටේ අය වැය ඉදිරිපත් කළේ රටේ සියලු ආයතනවලටත් එක් එක් ක්ෂේත්‍රවලටත් සිදුවන බලපෑම පිළිබද මනා අවබෝධයක් නැතිවයි. නමුත් මේ සඳහා උපාය මාර්ගික සැලසුම් සහිත වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි.
එහෙම නැතිව පැවති ක්‍රමයටම දිගින් දිගටම අය වැය සකස් කළොත් මේ රට තවත් අගාධයට යනවා. මේ යන විදිහට ණය ගෙවන්න බැහැ. තව තවත් ණය උගුලක හිරවෙනවා.
අය වැය හිඟය පියවා ගැනීම
අය වැය හිඟය පියවා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කළ යුතු බව අපේ අදහසයි. නිර්මාණශීලි විසඳුම් නැතිව මේ වැටිලා තියෙන වළෙන් රට ගොඩගන්න බැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම්ගත වෙලා ණය ගෙවන්න පුළුවන් වහ වහා ධනය නිර්මාණය කළ හැකි ක්‍රමවේද සොයාගත යුතුයි. ඒ සඳහා අපිට කෙටිකාලීනව කළ හැකි දේවල් තිබෙනවා. රජයට වැඩිපුර විදේශ විනිමය උපයා ගත හැකි ව්‍යාපාර මොනවද කියලා වගේම ජනතාවගේ සතුටට බාධාවක් නොවන ආකාරයට පාරිභෝජනවාදී රටාව පාලනය කර ගනිමින් වියදම අඩු කරගත හැකි ක්‍රමවේද ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි. එහෙම නැතුව අලුතින් ණය අරගෙන ගත්ත ණය ගෙවන ක්‍රමය මේ රටට හරියන්නෙ නැහැ. රටට ධනය උපදවන ක්‍රම තුළින් ණය ගෙවිය යුතුයි.
සිල්ලර කඩයක් වගේ රටේ ආර්ථිකය හසුරුවන්න බැහැ
– ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ
අය වැය ප්‍රතිපත්තිය
ඉදිරි අය වැය ගැන කවුරුවත් තවම හරියට ගණන් බලලා නැහැ. අය වැය හිඟය පියව ගන්න තාවකාලික ප්‍රතිකර්ම යොදන්න වෙනවා. නමුත් වැටිලා තියෙන අගාධයෙන් රට ගොඩගන්න නම් නිසි මූල්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. පවතින කෘෂිකර්ම ප්‍රතිපත්තිය, කර්මාන්ත ප්‍රතිපත්තිය සහ මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් නොකර මේ රට කවදාවත් ගොඩගන්න බැහැ. ඒක එකපාරට කරන්න බැහැ. මූල්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන. විදේශ විනිමය අක්‍රමිකතා නිසයි රට මේ තත්ත්වයට පත් වුණේ. මේ ගැන මම ගණන් හිලවු ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒවා කවුරුත් වාදයට ලක් කරල නැහැ. රටට ලැබිය යුතු විදේශ විනිමය අහිමි වුණේ 2006 සිට විදේශ විනිමය පාලන නීතිය හරියට අනුගමනය නොකළ නිසයි. ඒ නිසා මුලින්ම රටට විදේශ විනිමය ගෙන්වා ගන්න නිසි ක්‍රමවේදයක් හැදිය යුතුයි.
බදු ප්‍රතිපත්තිය
අපේ රටේ බැංකු පද්ධතිය මුළුමනින්ම දූෂිතයි. ව්‍යවසායකයන්ට සාධාරණ ක්‍රමයක් නැති නිසා පහුගිය කාලේ 22%ක් පමණ ව්‍යාපාර ඇදවැටුණා. කර්මාන්ත වැහුණා. රටේ දළ දේශීය නිෂ්පාදනයට කෘෂි කර්මාන්තයේ දායකත්වය 8%යි. ඉන්දියාවේ ඒක 18%ක්. අපේ කර්මාන්ත අංශය 32%යි. නමුත් අපේ රටේ සේවා අංශය පුළුල් කරලා තියෙනවා. එයින් පොඩි සෙලවීමකදී ආර්ථිකය දෙදරනවා. කෙටිකාලීන සහ දිගුකාලීන සැලසුම් අවශ්‍යයි. කවුරු බලයට පත්වුණත් මාසෙන් දෙකෙන් මේ දේවල් කරනවා කියනවා නම් ඒක විහිළුවක්. ලබන අවුරුද්දෙත් මේ බදු අනුපාතය මේ විදිහටම පවත්වාගෙන යනවා. ඒකෙන් බදු ආදායම වැඩි වුණත් අනිත් පැත්තෙන් දිගුකාලීනව ව්‍යාපාර කඩා වැටෙනවා.
කාලයක් යද්දි ලැබෙන බද්දත් නැතුව යනවා. ඒ නිසා සාධාරණ බදු ප්‍රතිපත්තියක් හදන්න ඕනෑ. රටකට අවුරුදු 10ක බදු ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අඩුම ගානේ අවුරුදු 5කට කලින් ඊළඟ අවුරුදු පහේ වැඩ කරන විදිහ ජනතාවට දැනගන්න ලැබිය යුතුයි. එහෙම නැතුව සිල්ලර කඩයක් වගේ රටේ ආර්ථිකය හැසිරවීමෙන් වෙන්නේ ජනතාව අපායට ගෙනයෑමයි.
අන්තර්කාලීන අය වැයකින් ජනතාවට සහන දෙනවා
– සජබ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර
රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප්
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් විශාල වැඩපිළිවෙළක් අපි බලයට පත් වුණාට පසු ක්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් පුළුල් සාකච්ඡාවක් කර තිබෙනවා. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරනවා වගේම ප්‍රධාන වශයෙන් මේ රටේ සමාජ වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමයක් අපි නිර්මාණය කරනවා. ඒ වගේම මේ සමාජ වෙළෙඳපොළ ආර්ථීක ක්‍රමය යටතේ එක් කොටසක් පොහොසත් වෙලා අනෙක් කොටස දුප්පත් නොවන ආර්ථීකයක් අපි නිර්මාණය කරනවා. තාවකාලිකව වැටුප් වැඩි කළා කියලා ජීවන වියදම අහස උසට නැඟලා නම් ජනතාවට ජීවත් වෙන්න බැහැ. වර්තමාන රජයේ ආර්ථීක ප්‍රතිපත්තිය නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක්. නමුත් සහනාධාර දෙන ආර්ථික ක්‍රමවේදයක් වෙනුවට මිනිසුන්ට දෙපයින් නැඟී සිටින්නට හැකි ආර්ථිකයක් අප සකස් කරනවා. කාර්මික, තාක්ෂණික නිෂ්පාදනය සහ ආයෝජන වැඩි කරමින් දේශීය කර්මාන්ත නඟාසිටුවමින් ඉදිරියේදී දැවැන්ත ආර්ථික පරිවර්තනයක් මේ රටේ ඇති කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
අපේ නායකතුමා පැහැදිලිවම පවසා තියෙනවා IMF ගිවිසුම්වල ඇතැම් කොන්දේසි සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කර ජනතාවට බරක් නොවන ආකාරයේ තීරණවලට එළැඹෙන බව. IMF කොන්දේසි නිසා ජනතාවට විශාල බද්දක් පැටවුණා. මේ රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ දුප්පත් රජයේ සේවකයන්ගෙන් සහ එදා වේල හොයාගෙන කන මිනිසුන් සහ පඩිපතක් ලබන විධායක ශ්‍රේණියේ උගත් පිරිස පිට බදු බර පැටවීමයි. මේ ක්‍රමය වෙනස් කරන්න අපි කටයුතු කරනවා.
අතුරු අය වැය
අපි බලයට පත් වූ වහාම අනිවාර්යෙන්ම ජනතාවට සහන දීමට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා. වත්මන් ජනාධිපති සහ මේ ආණ්ඩුව ගෙනියන රාජපක්ෂලාගේ ප්‍රතිපත්තිවලට වඩා අපගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස්. අපේ ප්‍රතිපත්ති ජනතා හිතවාදීයි. ඒ අනුව අපි අන්තර්කාලීන අය වැයක් ඉදිරිපත් කරමින් පීඩාවට පත්වී සිටින ජනතාවට කඩිනමින් සහන ලබා දීමට කටයුතු කරනවා.
අය වැය හිඟය පරතරය පියවා ගැනීම
දැනට තිබෙන බදු ක්‍රමවේදය අනුව වක්‍ර බදු සහ ඍජු බදු දෙඅංශයෙන්ම සාමාන්‍ය මිනිසුන් මිරිකිලා වගේම මේ බදු දැලට අසු නොවුණ පිරිසකුත් ඉන්නවා. විශාල පරිමාණයේ සමාගම් සහ විශාල ව්‍යාපාරික හෝ ගජමිතුරන්ගෙන් මේ ආණ්ඩුව බදු අය කරන්න කටයුතු කරන්නේ නැහැ. අපි බලයට පත්වුණාම හිඟ බදු අය කරගෙන සැමට ජීවත් විය හැකි ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරනවා. එහිදී අය වැය අතර පරතරය පියවා ගැනීම උපක්‍රම කිහිපයක් අනුගමනය කරනවා. රටේ නිෂ්පාදන ආර්ථීකය, සංචාරක කර්මාන්තය දියුණු කරනවා. ඒ සඳහා ව්‍යවසායකයන් සහ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඒ ආදායමෙන් අයවැය හිඟය පියවා ගැනීමට කටයුතු කරනවා.
බදු සහ සුබසාධන ප්‍රතිපත්ති
මේ පවතින බදු ප්‍රතිපත්තිය අපි වෙනස් කරනවා. ඡන්දය අපේක්ෂාවෙන් නොවෙයි, පීඩා විඳින මිනිසුන් වෙනුවෙන් යම් සුබසාධනවාදී ක්‍රමවේද අනුගමනය කිරීමට අපේක්ෂා කරනවා. දැන් තියෙන සහනාධාර ඇතැමුන් දේශපාලන අල්ලසක් විදිහටයි පාවිච්චි කරන්නේ. ඒ ක්‍රමවේදය අපි වෙනස් කරනවා. මේ ආණ්ඩුව දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහටයි දුප්පත් මිනිසුන්ගේ බඩු ටික බෙදන්නේ. අස්වැසුම සහනාධාර දෙන්නේ. අපි බැරි මිනිසුන්ට පමණයි සහනාධාර දෙන්නේ. එහිදී පාට පක්ෂ ගැන හිතන්නේ නැහැ. තුන්වේල කාලා ඇඳලා ඉන්න පුළුවන් රටක් ආර්ථිකයක් ගොඩනැඟීමට අපි නිෂ්පාදන ආර්ථීකය වැඩි දියුණු කරනවා.
වැටුප් වැඩි කරන්නෙ මුදල් ලැබෙන ක්‍රම දිහා බලලයි
– ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
රාජ්‍ය සේවක සහ විශ්‍රාම වැටුප්
ඡන්දයට කලින් කවුරුත් ලොකු ලොකු පොරොන්දු දුන්නට ඡන්දයෙන් පස්සේ වෙන වෙන කතා කියලා ඒ පොරොන්දු සේරම කඩ කරනවා. ජාතික ජන බලවේගයේ අපි පොරොන්දු දීලා දේශපාලනය කරන්නෙ නැහැ. අපිට සැලැස්මක් තියෙනවා රට ගොඩගන්න. රටේ ඉතාම දුප්පත් ජනතාවට ජීවත් වෙන්න දැන් දෙන සහන ප්‍රමාණවත් නැහැ. ඉතාම දිළිඳු ජනතාවට තවත් සහන දිය යුතුයි. ඒ වගේම ජනතාව මත පටවා තියෙන බදු බර අඩු කළ යුතුයි. අපි දැනටමත් ඒක කියලා තියෙනවා. දැන් තිබෙන උපයන විට ගෙවීමේ රුපියල් ලක්ෂයේ බද්ද, ලක්ෂ දෙක දක්වා ඉහළ දමනවා. ඉන්පසු අනිවාර්යෙන්ම අපේ රටේ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට අලුතින් ව්‍යාපාර, කර්මාන්ත ආරම්භ කිරීම සඳහා විශේෂ සහන මාලාවක් දීමට සිදු වෙනවා. එසේ නැතුව ආර්ථිකය ගොඩගන්න පුළුවන්කමක් නැහැ.
වත්මන් රජය කිසිම වගකීමක් නැතිව වැටුප් වැඩි කරනවා කිව්වට ඒක ප්‍රායෝගික නැහැ. බදු බර අඩු කරලා බඩු මිල අඩු කිරීමෙන් ජනතාවගේ ජීවන බර අඩු කරන්න පුළුවන්. ඊට පසු මුදල් ලැබෙන ක්‍රම දිහා බලලයි වැටුප් වැඩි කළ හැක්කේ. අනිවාර්යෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළ යුතු බව අපේ අදහසයි. ඒ වගේම ආරම්භයේදී කොතරම් ප්‍රමාණයකින් වැටුප් වැඩි කරනවාද? වැටුප් විෂමතා නිසා ඇතිවී තිබෙන ගැටලු පිළිබඳ සැලකිල්ලට ගනිමින් වැටුප් වැඩි කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම දිළිඳු ජනතාවට සහන දීම, විශ්‍රාම වැටුප් ගෙවීම මේ කිසිම දෙයක් අපි නොසලකා හරින්නෙ නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
අපි IMF සමඟ ගනුදෙනු කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුව එකඟ වූ ක්‍රමයට නොවෙයි. රට වෙනුවෙන් අලුත් සහන පැකේජ හඳුන්වා දිය යුතුයි. IMF කියලා තියෙන්නෙ සහන දෙන්න බැහැ කියලා වුණත් ටික කාලයක් හරි සහන දෙන්නැතිව රට ඉදිරියට ගෙනියන්න බැහැ. අපේ ආර්ථික සැලැස්ම IMF එකට ඉදිරිපත් කරලා ඒ අනුව ඔවුන්ගෙන් ගත හැකි සහන පිළිබඳ නැවත සාකච්ඡා කළ යුතුයි. අපේ අය වැයක් හදද්දි ඒ පිළිබඳ කටයුතු කරනවා. අපි දැන් ණය උගුලක හිරවෙලා ඉන්න නිසා හැකි තරම් ණය ගැනීම අඩු කරලා විදෙස් ආයෝජකයන්ගෙන් සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් වැඩිපුර මුදල් ගෙන්වා ගැනීම, සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීම හරහා විදෙස් වත්කම් වැඩි කර ගැනීම අපේ ප්‍රධාන අරමුණයි. IMF එක සමඟ ගිවිසුමක් තියෙන නිසා එකපාර එයින් අයින් වෙන්න බැහැ. අපි නැවත ඔවුන් සමඟ සාකච්ඡා කරනවා.
බදු ප්‍රතිපත්තිය සහ නව ආදායම්
වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර ගෙවන්න අපි මුදල් හොයන්නෙ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒ සඳහා බදු එකතු කිරීම ක්‍රමවත් කළ යුතුයි. දැනට එකතු නොකළ බදු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම වංචා, දූෂණ, නාස්තිය නැවැත්වීමෙන් සහ අනවශ්‍ය වියදම් අඩු කිරීමෙන් විශාල මුදලක් ඉතිරි කරගත හැකියි. අපි අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. ඒ ක්‍රියාමාර්ග තුළින් අපිට නව ආදයම් උපයාගත හැකියි. ඒ වගේම දෙස් විදෙස් ව්‍යාපාරිකයන්ට සහ කර්මාන්තකරුවන්ට විශේෂ සහන දෙමින් නිෂ්පාදන වැඩි කරමින් නිෂ්පාදන ආර්ථිකයකට යෑම තුළින් වැටුප් වැඩි කිරීමට, සහනාධාර දීමට මුදල් උපයාගත හැකියි.
ජීවන වියදම අඩු කරන්න කඩිනමින් මැදිහත් වෙනවා
– පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
රාජ්‍ය සේවක වැටුප සහ විශ්‍රාම වැටුප්
රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කළ පමණින් රටේ ජීවන වියදම අඩු වෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයන් ලක්ෂ 15න් ආවරණය වෙන්නේ පවුල් දොළොස් ලක්ෂයක් වැනි ප්‍රමාණයක්. ලංකාවේ පවුල් ලක්ෂ 61ක් සිටිනවා. ඒ නිසා දැරිය හැකි මුදලකට ආහාර සහ භාණ්ඩ හා සේවා ලබා දෙන ආර්ථීකයක් නිර්මාණ කිරීම අපේ ප්‍රතිපත්තියයි. ජීවන වියදම සම්බන්ධයෙන් ආණ්ඩුව සාධාරණ මැදිහත් වීමක් සිදු කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීමට තිබෙන ඉඩ අපි උපරිමයෙන් පාවිච්චි කරනවා. පෞද්ගලික අංශය, සමූපකාර සේවාව මේ තුළ සිටිය යුතුයි. ඒ වගේම පවතින වෙළෙඳ ක්‍රමය යටතේ ස්ව ශක්තියෙන් නැඟි සිටින්න බැරි, බාහිර හවුහරණකින් තොරව තමන්ගේ ශක්තියෙන් ජීවිතය ගෙනයා නොහැකි ප්‍රජාවක් ඉන්නවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයාගේ සිට වයෝවෘද්ධභාවය දක්වා සුව නොවන රෝගීන් දක්වා පුළුල් පරාසය අතර විහිදෙනවා. ඒ අය රැකබලා ගැනීමට ආණ්ඩුවක් විදිහට අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඡන්දය දිහා බලාගෙන නොවෙයි ආණ්ඩුවක වගකීම ලෙසයි අපි එය කරන්නේ.
අය වැය ප්‍රතිපත්තිය
මේ අවස්ථාවේදී සියලු අපේක්ෂකයෝ මූලික කාරණාව ලෙස සලකන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි. පොදු ජන පෙරමුණේ අපි ඉන්නෙත් එතැන. අපේ අය වැය ජනාධිපතිවරණ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ මත පදනම් වූ එකක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
IMF සමඟ ඇති කරගෙන යන වැඩපිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා. IMF සමඟ ඇති කරගත් එකඟතාව ආණ්ඩුවක් සහ IMF සමඟ තියෙන එකඟතාවක් නොවෙයි. එය ශ්‍රී ලංකා රජය සමඟ ඇති කරගත් එකඟතාවක්. ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් පවතින ආණ්ඩුව ඇති කරගත් එකඟතාවක්. එය වඩා හොඳ ආකාරයෙන් වෙනස් කරගත යුතු ක්‍රමවේදයන් තිබෙනවාද? ඒවා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන කරුණු සම්බන්ධයෙන් නව ආණ්ඩුවක් යටතේ අපි නව සංවාදයකට මුලපුරනවා.
බදු ප්‍රතිපත්තිය
පසුගිය මැතිවරණයේදී බලයට පත් ආණ්ඩු බදු ප්‍රතිපත්තියේ බරපතළ ලිහිල් කිරීම් කිහිපයක් කළා. ඒ පිළිබඳව සමාජ විරෝධයක් ඇති වෙලා තිබුණා. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වුණාට පසුව සිදු කළ බදු වැඩි කිරීම සම්බන්ධයෙන් ද දැඩි විවේචන තිබුණා. ලංකාවේ දැනට පවතින අය වැය අතර තියෙන ඍණ පරතරය සම්බන්ධයෙන් විසඳුමක් සොයන්න පළමුවෙන්ම කළ යුත්තේ දැනට හඳුනාගෙන සිටින පිරිස රජයට අය විය යුතු බදු මුදල නිවැරදිව ගෙවනවාද කියලා සොයා බලා බදු ගෙවීම පැහැර හරින අයගෙන් නිශ්චිතව අය විය යුතු මුදල අය කරගත යුතුයි. බදු ගෙවිය යුතු මට්ටම්වල ඉන්න ආයතන සහ පුද්ගලයන් බදු ගෙවන්නන් ලෙස ලේඛන ගත වෙලා නැහැ. දෙවැනුව ඒ බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය සංඛ්‍යාත්මකව සාධාරණ පදනමක් මත වර්ධනය කරගත යුතුයි.
තෙවැනිව අලුතින් බදු ගෙවිය හැකි පිරිසක් වර්ධනය කරගත යුතුයි. බදු ආර්ථිකය පුළුල් කරමින් ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දීලා නව නිපැයුම් සහ නව ව්‍යාවසායකත්වය වැඩි කරගත යුතුයි. මෙය යම් මට්ටමකට සංකීර්ණ ක්‍රියාවලියක් වුවත් රාජ්‍ය ආදායම වර්ධනය කර ගත යුත්තේ ඒ ආකාරයටයි.
සුරේකා නිල්මිණි ඉලංකෝන්