කහමල් වැටෙන හවසට
රණවරා ගහ යට
මළ හිරු රැසින් බොඳ
රටාවක දැවටී….
ළඟට එනකොට ඈත් වෙනවා
ඈත ඉඳගෙන සිනා වෙනවා
මමත් ඇස්වල කඳුළු පුරවා
නුඹව ලුහුබැඳ ඇවිද එනවා
අඳුර මැද මා තනිව තියලා
යළිත් නුඹ රුව මැකී යනවා
අදින් දස වසරකට ඉස්සර
වැවේ පතුළේ සැඟවුණා නුඹ
පුරන් කුඹුරට ඇදෙන දියවර
වක්කඩෙන් පැන සිනාසෙනකොට
කෙසේ නම් අමතක කරන්නද
හිත පුරා පිපි නුඹේ මතකය
ගායනය – ආසිරි චානක
ගී පද රචනය – සරත් කොඩිකාර
සංගීතය – නවරත්න ගමගේ
ඉනෝකා සමරවික්‍රම
ආදරේට ආදරේ කරන්න දන්න හිත් ළඟ නතර වෙන්න ඇත්නම් කියලා හිතෙන මොහොතක් පාසා මගේ හිත ගැස්සෙනවා.“ පටු මාවතේ දිගු දුරක් නිහඬව ඇවිදගෙන ආව මා මිතුරා පැවැසුවේ දිගු සුසුමක් පිටකරමින්.
“ඇයි එහෙම වෙන්නේ“ මම ඇහුවා
ඔහු නිහඬයි. තාරුණ්‍යයේ අග්ගිස්සේ ඉන්න මා මිතුරා බොහෝම නිහඬ කෙනෙක්. නමුදු ඔහු කතා කරන්නට ගිය විට ඒ බව මඟහැරි යයි. ඇතැම් විට ඔහු නිහඬ වන්නට ද ඇත්තේ කතා කිරීමෙන් හිත තව තවත් වේදනාවට පත්වේ යැයි සිතා වන්නට ඇත. වසර ගණනක සිට තනිකඩ ජීවිතයක් ගෙවන මිතුරා ජීවත් වන්නේ සිය පවුලේ අයගෙන් වෙන්වය.
“එයාලා එක්ක හිටියා කියලා මට සැනසීමක් නෑ… ඊට වඩා හොඳයි තනිවම ඉන්න එක.“
නිහඬ බව බිඳිමින් මිතුරා කියන්නට විය.
“දන්නවද? මටත් හිටියා පෙම්වතියක්……“
ඔහු කියයි… ඔහුට කතා කරන්නට ඉඩදී මම නිහඬ වෙමි.
මට වයස අවුරුදු දහ අටක් විතර ඇති ඒ කාලේ. මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නවා. ඇයත් අපේ පන්තියේමයි. ඒත් ඒ කාලේ අපි අතර යාළුකමක් ඇරෙන්න වෙන සම්බන්ධයක් තිබුණේ නැහැ. මම උසස් පෙළ කෙරුවේ කලා අංශයෙන්. ගමේ ඉඳලා මම කොළඹට ආවේ විශ්වවිද්‍යාලයට යන්න. අපේ ගෙදර අයට සල්ලි තිබුණ නිසා මට බෝඩිමක් හොයලා දුන්නා. මම හොස්ටල්වල නතර වෙනවට අම්මා තාත්තා කැමැති වුණේ නැහැ. ගමෙන් කොළඹට ඇවිල්ලා ඒ ගත කළ ජීවිතය හරි සොඳුරුයි. ගමෙන් ආව මට ඇය ආයෙමත් හමු වුණේ කොළඹදී. ඒකත් අහම්බයක් කිව්වොත් තමයි හරි. ඇය ඒ වන විට එයාගේ නැන්දාගේ ගෙදර ඇවිල්ලා හිටියේ. මම විශ්වවිද්‍යාලයේ ඉන්නකම්ම එයාව හමු වුණා. අපි ඇතැම් දවසක හැන්දෑවේ නාට්‍යයක් බලන්න ගියා. චිත්‍රපටයක් බලන්න ගියා. මට නම් ඕන වුණේ ඒ කාලේ එයාගේ ඥතින්ව හමුවෙන්න. ඒත් එ්කට එයා කැමැති වුණේ නැහැ. සරසවියේ අවසන් අවුරුද්දේ අවසන් විභාගයට පෙනී ඉන්න දවසක් දෙකක් තියලා තමයි මේ හැමදේම වුණේ.
“මට ආයේ ගෙදර යන්න බැහැ….“ එහෙම කියාගෙන එක හැන්දෑවක එයා මගෙ බෝඩිමට ආවා.
ඒත් එයාව නතර කර ගන්න මට කැමැත්තක් තිබුණේ නැහැ. මගෙ යාළුවෝ තුන්දෙනෙකුත් හිටියා. එදා මමයි යාළුවොයි එයා එක්ක කතා කරලා ආයෙම එයාව ගෙදර ගිහින් ඇරලුවා. ඇරලවලා මම බෝඩිමට ආවා. මම හරි අමාරුවෙන් හිත හදා ගත්තේ. දවසක් දෙකක් ගෙවිලා ගියා. එයා ගැන ආරංචියක් නැති නිසා මම ගියා එයාලගෙ නැන්දාගේ ගෙදර.
“කවුද මේ….“ කියාගෙන මගෙ ඉදිරියට ආව නැන්දාගෙන් මම ඇය ගැන ඇහුවා.
“මේ ළමයා කවුද?…. ඉෂානි මගෙ පුතත් එක්ක රට යන්න ඉන්නේ… ලබන මාසේ එයාලගේ වෙඩින් එක. එයාලා ගමේ ගිහින් එන්න ගියා.“
ඇය එක දිගට කියාගෙන ගියා. මට හ්ම් කියා ගන්නවත් බැරිව ගියා.
හිතේ පුදුමාකාර දුකක් සඟව ගෙන මම ගෙදරින් එළියට බැහැලා ආවේ.
ආයේ කවදාවත් එයාව හමුවෙන්න යන්නේ නෑ කියන හැඟීම මගේ හිතේ තිබුණා. දවස දෙක ගෙවිලා ගියේ මහා පාළුවකින්.
“අනුන්ට අයිති වෙන්න යන කෙනෙක් ගැන හිතලා වැඩක් නෑ මචං .. හිත හදා ගනින්“ මගෙ යාළුවෝ මට කිව්වේ එහෙම. විභාගය අවසන් වෙලා ප්‍රතිඵල එනතුරු මම සුළු රැකියාවකට ගියා. දවසක් උදේ පත්තරේ බලනකොට මම දැක්කේ ඇගේ පින්තූරයක්
“ගඟේ වැටී තරුණියක මිය යයි“
එයා ගඟේ වැටිලා මැරෙන්න විදිහක් නෑ. එයා හොඳට පීනන්න දන්නවා. මම ගමට යන කොටත් ඇගේ අවසන් කටයුතු සිදු කරලා. කාටවත්ම නොකියා ඇය යන්න ගියේ ඇයි කියලා මට අදටත් හිතා ගන්න බැහැ. ඇයි එයාව පරිස්සම් කර ගන්න බැරි වුණේ කියලා මම අදටත් තැවෙනවා. ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. ඒත් ඇයට මගේ හිතේ තිබුණ ඉඩ තවත් කෙනෙක්ට දෙන්න මම කැමැති නැහැ. “
ඔහු එහෙම කිව්වේ හැඬුම් හඬින්.
“අපි අතර තිබුණේ හරි සුන්දර ප්‍රේමයක්. එදා එයා අන්තිම පාරට මාව බලන්න ආවාම මම එයාව නතර කර ගත්තා නම් ඇය තාමත් ඉන්නවා.“
වසර ගණනක් හිතේ හිරකරගෙන හිටිය දුක ඔහු කියා අවසන් කළේ දිගු සුසුමක් හෙළමිනි.
මිතුරාගේ කතාව සිහිවන වාරයක් පාසා හිතට දුකක් දැනේ. අපරිමිත ප්‍රේමයෙන් සිය පෙම්වතිය සිහිකරන මෙවන් පෙම්වතුන් තවත් කොතැනකදී හෝ අපට හමුවන්නට පුළුවන. ඊයේ පෙරේදා දිනෙක ඇසුණ මේ ගීතය ද සිහි ගන්වන්නේ එවන් පෙම්වතුන්ය.
ගීතයේ අත්දැකීම කුමක් දැයි කියා ගී පද රචක සරත් කොඩිකාරගෙන් විමැසුවෙමි. මේ ඔහුගේ අදහසයි.
“අහිමි වුණ ප්‍රේම ගැන අපිට මේ සමාජයෙන් ඕනෑතරම් අත්දැකීම් තියෙනවා. මේ ගීතය ලියද්දි මට එහෙම ප්‍රේමයේ අත්දැකීම් දෙක තුනක්ම සම්බන්ධ වුණා කිව්වොත් හරි. අපේ ගම් පළාතේ තරුණියක් ගඟේ වැටිලා මිය ගියා. ඇය මිය ගියේ උවමනාවෙන්ම ද එහෙම නැත්නම් අනතුරකට ලක්වීමෙන් ද කියන්න කිසිවෙක් දන්නේ නැහැ. නමුත් මේ සිද්ධිය මගෙ හිතේ තදින් පැලපදියම් වෙලා තිබුණා. බිඳ වැටුණ ප්‍රේම හිමි මගේ මිත්‍රයො කියපු කතා මගේ හිතේ තිබුණා. මේ හැම අත්දැකීමක්ම හිතේම මෝරලා තමයි ගීතය මගෙ අතින් ලියැවුණේ. නවරත්ත ගමගේ සංගීතවේදීයා මෙයට අපූරු සංගීත නිමැවුමක් කරනවා . ඒ වගෙම් නව පරපුරේ ගායන ශිල්පි ආසිරි චානක තම හඬින් මගෙ පදවැලට උපරිම සාධාරණය ඉටු කරනවා.“
“ළඟට එනකොට ඈත් වෙනවා
ඈත ඉඳගෙන සිනා වෙනවා
මමත් ඇස්වල කඳුළු පුරවා
නුඹව ලුහුබැඳ ඇවිද එනවා
අඳුර මැද මා තනිව තියලා
යළිත් නුඹ රුව මැකී යනවා….“
ඇගේ වියෝව රසික හදවතේ සියුම් ලෙස තැන්පත් වෙන්න ඒ පද වුණත් ප්‍රමාණවත් නොවේද? මසිත මගෙන් විමසනු ඇසුණි.