1978 වසරේදී ‘අනූපමා‘ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිංහල සිනමාවට එක්වූ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකවරයකු, අධ්යක්ෂවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දු මියනතුරුම සිනමා කර්මාන්තයේ යෙදුනු අයකු විය. ඉකුත් 11 වනදා සිය දිවි ගමන නිමා කළ ඔහු මිය යන විට 82 වැනි වියෙහි පසු වූයේය. දශක හතරකට වැඩි කාලයක් සිනමා කර්මාන්තයේ නියැළුණු ඔහු විසින් නිෂ්පානය කරන ලද චිත්‍රපට අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ඒවා විය.
ඒ අතර ක්‍රිස්තු චරිතය චිත්‍රපටය සූවිශේෂිය. කිරි සුවඳ, මැවිලා පෙනේවි රූපේ, දලුලන ගිනි, සෙනෙහස පෑවා, යන චිත්‍රපට නිෂ්පාදනයෙන් සිංහල සිනමාවට දායකත්වය සැපයිය.
“අපේ තාත්තා චිත්‍රපට කර්මාන්තයට පිවිසෙන්නේ 1978 වසරේදී අනූපමා චිත්‍රපටය නිෂ්පාදනය කරමින්. ඊට පස්සේ 1987 වසරේදී රන්දම්වැල් චිත්‍රපටය නිෂ්පාදනය කරමින් චිත්‍රපට අධ්යක්ෂණයට එක්වෙනවා. ඉන් පස්සේ තාත්තා මැවිලා පෙනේවි රූපේ’, දලුලන ගිනි’, සෙනෙහස පෑවා, ආදර පූජාසනේ ආදි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් නිෂ්පාදනය කරනවා.
අපේ තාත්තා ගැන අපිට හරි ආඩම්බරයි. . තාත්තා අපි ගැන හරිම ආඩම්බරයෙන් හිටිය කෙනෙක්. මම තමයි පවුලේ වැඩිමලා. මගෙ නංගි නිරෝෂා. ඇය කළුතර මහාධිකරණ විනිසුරුවරිය ලෙස කටයුතු කරනවා. මල්ලි අෂාන් ප්‍රනාන්දු නිතීඥයෙක් ලෙසත් බාලම සහෝදරයා විනෝද් ප්‍රනාන්දු ව්‍යාපාරික කටයුතුවලත් නියැළෙනවා. තාත්තයි අපියි අතර පුදුමාකාර බැඳීමක් තිබුණේ. පුංචි කාලේ අපේ නිවෙසට සිනමා ක්ෂේත්රයේ සිටි හැම කෙනෙක්ම වගේ එනවා යනවා. ඒ නිසා අපට දැනුම් තේරුම් ඇති කාලයේ ඉඳලම සිනමා ක්ෂේත්රයේ බොහෝ අයව ඇසුරු කරන්න ලැබුණා. අපේ අම්මා ඩොරින් ප්‍රනාන්දු, තාත්තා බොහෝම කාර්යබහුල කෙනෙක් වුණත් අම්මා අපව නිසි මඟ යවන්න බොහෝ වෙහෙස වුණ කෙනෙක්. අපේ තාත්තා පිච්චර්කාරයෙක් වුණාට ඔහුට අවශ්‍ය වුණේ නැහැ අපව ඒ මඟේ ගෙනියන්න. ඔහුට ඕන වුණේ අපට හොඳි න් උගන්වන්න. අද අපි ඉන්න තැන් ගැන දැකලා තාත්තා හරිම ආඩම්බරයෙන් හිටියේ.
තාත්තා 82 දෙවැනි වියේදීත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින් හිටියේ. ඔහු හැම විටම තරුණයෙක් වගේ කටයුතු කළේ. ඔහු හරිම නිර්මාණශීලි කෙනෙක්. තාත්තා නිෂ්පාදනය කරමින් හිටියේ සඳතාරකා චිත්‍රපටය. ඒ චිත්‍රපටය කරමින් සිටින අවස්ථාවේ තමයි ඔහු හදිසියේම රෝගී වූයේ. තාත්තා ඒ කරපු නිර්මාණය ඉක්මනින් වැඩ අවසන් කරලා ලබන පෙබරවාරි මාසය වන විට තිරගත කරන්න අපි උත්සාහ කරනවා. “
සිය පියා පිළිබඳ පවසමින් ඇලරික් ලයනල් ප්‍රනාන්දුගේ වැඩිමහල් දියණිය වන වෛද්‍ය නිරාශා ප්‍රනාන්දු රසඳුනට පැවැසීය.
ඇලරික් ලයනල් ප්රනාන්නදු මහතාගේ අවසන් කටයුතු ඉකුත් 14 වනදා සවස 2.00ට කඳාන නාගොඩ රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරිණි.
ඉනෝකා සමරවික්‍රම