Home » මම දියඹෙ ගැඹුරට ගියේ ටිකෙන් ටික…

මම දියඹෙ ගැඹුරට ගියේ ටිකෙන් ටික…

අරුණ ගුණවර්ධන

by Mahesh Lakehouse
August 17, 2024 12:30 am 0 comment

– ජනප්‍රිය රැළි දිහා බල බලා සුසුම්ලමින් කාලය නාස්ති කරන්න වෙලාවක් මට නැහැ
– ක්ෂේත්‍රයට අලුත්ම කෙනෙක් වුවත් පණ්ඩිත් අමරදේව මාව නිර්මාණයට හවුල් කරගත්තා

“බලා වැලපෙමි
නෙළාගනු බැරි
හන්තාන සිහිනේ….”
මම ‘හන්තාන සිහිනේ…’ හුදෙකලා වූයෙමි.

මේ ගී වදන් තුළ තෙරපෙන වයලීනයේ තත් ස්වර රටාවන් හන්තාන කඳු මීඳුමෙහි වෙලී නද දිදී හමා අවුදින් ඒ සිහිනයෙහි ගිලී බොඳ වුණු හදවත්වලට පමණ නොව යම්තාක් නම් ප්‍රේමය දැනුණේ වීද උනුන් හදවත් පලා පුපුරවා හෘද ස්පන්දනය දෙදරවා ගත පුරා හිරිගඬු නංවන්නේය. පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනීය හඬ පෞරුෂයට, තාරුණ්‍යය සොරා ගත් උමාරියාගේ සුසංවේදී ගී ලාලිත්‍යය නොරත රත සේ පෑහුෙණ් ජනක සිරිවර්ධනගේ පද ගෙත්තමට අරුණ ගුණවර්ධන විසින් සුසංයෝග කරන ලද අපූර්ව සත්සර මුසුව සමඟිනි. මේ ඒ ගීය තැනූ අරුණ සමඟ පිළිසඳරකි.

සංගීතය ඔබගේ ජීවිතයට බද්ධ වුණේ කොහොමද..?  

මගේ අම්මා ගුරුවරියක් වුණත් ඇය සංගීත ගුරුවරියක් නෙවෙයි. නමුත් ඇය ඉතාම ලස්සනට ගෙදර පියානෝව වාදනය කළා. ඒ ආභාසය මට පොඩි කාලේ ඉඳලා ලැබුණා. ඒ වගේම ගෙදර හොඳ ගීත කැසට් නිතරම දාලා තිබුණා. එ්වා අපට ඇහුණා. හොඳ උසස් රසවින්දනයක් පුංචි කාලේ ඉඳලා අපට ලැබුණා. මම ඉගෙන ගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේයි. පාසල් ජීවිතයේ සෑම අවස්ථාවකදීම මම ගීත ගායනය, වාදනය සඳහා සම්බන්ධ වුණා. පාසල් ගායන වෘන්දයේත්, වාදන වෘන්දයේත් මං හිටියා. තබ්ලා වාදනය කළා. පාසලේ සිටි තුෂාරා මිස්වත්, ශ්‍රීමා මිස්වත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ගෙදර ඉන්න ගමන් මම තනු නිර්මාණ කරන්න පටන් ගත්තා. ඒවා ගායනා කරන්න කෙනෙක් ඒ කාලේ හිටියේ නැති නිසා මම ම ඒවා ගායනා කළා. දයාන් විතාරණ අය්යා පොඩි කාලේ ඉඳලා අපිත් එක්ක හිතවත් නිසා මං කරන නිර්මාණ එයා නිතර අහනවා. ඔහොම ඉන්න අතරේ දයාන් අය්යාට ගීතයක් නිර්මාණය කරන්න මට ඇරයුමක් ලැබුණා. එදා මට පුදුම සතුටක් දැනුණා. මගේ තනුවක් ප්‍රවීණයෙක් ගැයූ මුල් ම අවස්ථාව එය යි. ඊට පස්සේ චරිත් කොතලාවලගේ ඇරයුමෙන් “මලී” ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාව ලැබුණා.

‘නිකිණි මල් පිපිලා…‘ ජානක සිරිවර්ධන ලියූ ඒ ගීය විශාරද නන්දා මාලිනියගේ හඬින් ගයන්නට “මලී” ටෙලි නාට්‍යයට තේමා ගී නිර්මාණය කළේ අරුණ ගුණවර්ධනයි.

පණ්ඩිත් අමරදේවයන් ඔබ සමඟ කළ පළමු නිර්මාණය ‘හන්තාන සිහිනේ’ නෙවෙයි නේද…?

‘මලී‘ ටෙලි නාට්‍යයෙන් පස්සේ චරිත් කොතලාවල මාව අමරදේව සර් ළඟට එක්කගෙන ගිහින් එතුමාට හඳුන්වලා දෙනවා. ඒ ‘අග්නි‘ ටෙලි නාට්‍යය සඳහා සංගීත නිර්මාණයක් කිරීම සඳහා. මම ඒ කාලේ ක්ෂේත්‍රයට අලුත්ම කෙනෙක් වුවත් කිසිම සැකයක් නැතුව එතුමා මාත් එක්ක නිර්මාණයක් කරන්න භාර ගත්තා. මගේ මේ ගමනට ඒ අවස්ථාවත් විශාල පිටිවහලක් වුණා. ඔය විදිහට තමයි මම ටිකෙන් ටික මේ දියඹේ ගැඹුරට යන්න පටන් ගත්තේ. ඉන් පසුව පණ්ඩිත් අමරදේවයන් ගැයු, ජානක සිරිවර්ධනයන් ලියූ ‘ගිමන් හරින දියඹ දිගේ…‘සංගීතවත් කරන්න මට අවස්ථාව ලැබෙනවා.

ඔබ ගීත ගායනා කරන්නේ නැද්ද…?

ගීත කිහිපයක් මම ගායනා කර තිබෙනවා. විශාරද නන්දා මාලිනී මහත්මිය සමඟ ගීතයක් ගයන්න මට ලොකු ආසාවක් තිබුණා. මම ඒ ගැන එතුමියට පැවසුවාම එතුමිය බොහොම සතුටින් ‘කියා දෙන්න සෙනෙහෙ ගඟුල‘ගීතය මා සමඟ ගායනා කළා. අසංක රුවන් සාගර ඒ ගීතය ලියා දුන්නා. මම සංගීතවත් කරලා එතුමිය සමඟ ගැයුවා

මේ සියල්ල අතරේ ඔබ අමුතු තාලේ අත්හදා බැලීම් සිදු කරනවා නේද…?

චිත්‍රාල් සෝමපාල සමඟ උමාරා සිංහවංශ ගයන ‘මලකුත් තිබුණා…හැඟුමන් හංගා‘ නිර්මාණය මම කළ වෙනස් ආරක ගීතයක්. එහිදී තාල පරාස දෙකක් මම එකට මුසු කර ගත්තා. මේ ගායක යුවළත් අමුතු මැවුම් සමාජගත කරන සුවිශේෂ හඬ දෙකක් නිසා ඒ ගීතය ජනප්‍රිය වුණා.

මීට අමතරව අමිල තේනුවර ලියා මම සංගීතවත් කළ ‘රිදුණු තැන්..‘ ගීතයට 2018 වසරේදී මට රාජ්‍ය සංගීත සම්මානය ලැබුණා. සුජීව හෙට්ටිතන්ත්‍රි ලියා සුනිල් එදිරිසිංහයන් ගයන ‘අවාරේ මා අනෝරාවක…‘ ගීතය පසුගිය වසරේ රාජ්‍ය සංගීත උළෙලේ අවසන් වටයට තේරුණු ගීත දෙක අතරින් දෙවැනි තැන හිමි වුණා. රජී වසන්ත වෙල්ගම ලියා ඉන්දිකා උපමාලි ගයන ගීතයක් තියෙනවා. ඒකත් මහා අමුතු හැඟීම් දනවල ගීත අතර සුවිශේෂයි. ඒ ගී පද ප්‍රේම ශෘංගාරය හා සම්භෝගය පිළිබඳ ඉතා සංයමයෙන් එහෙත් අතිශය භාවාත්මකව රචනා වූ ගීයක්. ඒ වගේ නිර්මාණ අද බිහි වෙනවා හරිම අඩුයි. මම ඉතා කැමැත්තෙන් ඒ ගීයට සංගීත නිර්මාණය කළා. ඉන්දිකා උපමාලිගේ හඬත් පද සහ සංගීතය සමඟ හොඳින් ගැළපුණා. වෛද්‍ය රාජිකා කරුණාදාස ලියා නුවන්දිකා සේනාධීර ගයන ‘එපා නුඹ සඳ වෙන්න, දයාන් විතාරණ ගයන සිහිනය මිය ගියාදෙන්…, සමනලී ෆොන්සේකා ගයන “කොවුලෙක් මොටද…,“ නිරෝෂා විරාජිණී ගයන “පෙළන්න හදවත පෙළන්න..“ ජානක ලියනආරච්චිගේ පද රචනාවට ප්‍රදීපා ධර්මදාස ගයන “රොන්සුණු කොහිද මල් නොපිපෙන අතුපතර…“ සුනීර සුමංග ගයන “සොඳුරු වැහිබිඳු…“ වගේ ගීත ගණනාවක් විවිධ පරාසයන් යටතේ මම නිර්මාණය කළා. පානදුර මහේස්ත්‍රාත් චතුරිකා සිල්වා ලියූ, කරුණාරත්න දිවුල්ගනේ සමඟ ආදිත්‍යා වැලිවිට ගයන ‘හන්තාන මිටියාවතේ..‘ ගීතය සහ ඇයම ලියූ, කාව්‍යා එදිරිසිංහ ගැයූ ‘නිම් නැති ආදරය…‘ ගීතයත් මම සංගීතවත් කළා. බොහෝ තරුණ සහ අලුත් ගායක ගායිකාවන් මා වෙතින් නිර්මාණ කරව ගන්න ආවා.

බිරිඳ සහ දරුවන්ගෙන් ලැබෙන සහාය මොන වගේ ද…?

මගේ බිරිඳ නදී එක්කත් මම ගීතයක් ගායනා කළා. ඒ ගීතය අසංක රුවන් සාගර ලිව්වා. හර්ෂණ දිසානායක සංගීතවත් කළා. ඇයටත් ගීත සම්බන්ධයෙන් ‍හොඳ රසවින්දනයක් තියෙනවා. මගේ නිර්මාණ අහලා ඇය අඩුපාඩු පෙන්වලා දෙනවා. අපේ පුතාලා දෙන්නා රනූ සහ චෙනූ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ දෙන්නාත් ගායන, වාදන අංශවලට බොහෝ නැඹුරුවක් දක්වනවා.”

ජනප්‍රිය රැලිත් එක්ක හැප්පෙද්දි රිදුමක් දැනෙන්නේ නැද්ද…?

දැනෙනවා. ඒත් ඒ රැලි ඉහළ නගින තරමටම බිඳී විසිරී යනවා. බොහෝ දුරක් ගමන් කරන්නේ නැහැ. තාරුණ්‍යයේ හැටි එහෙම තමයි. නමුත් ප්‍රවීණයින්ගේ ඇසුර ලබමින්, අත්දැකීම් බොහෝ ලබා ඇති නිසා ඒ රැලි දිහා බල බලා සුසුම්ලමින් කාලය නාස්ති කරන්න වෙලාවක් මට නැහැ. නිර්මාණකරුවාගේ වගකීම වන්නේ හරි දෙයක් සමාජයට දීමයි. මුකුත් නොකර බලා සිටියොත් නිර්මාණයක් ඇතුළේ ජීවිතය විඳින අතළොස්සත් අපට නැති වෙලා යනවා. මම උත්සාහ කරන්නේ ඒ අතළොස්සට තව එක්කෙනෙක් දෙන්නෙක්වත් එකතු කර ගන්නයි.

තුෂාරී කළුබෝවිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division