ගමේ පන්සලේ පෙරහරේ ගිනිබෝල කරකවන හැටි දැක්කහම මං හිතා ගත්තා කවදා හරි මමත් ගිනිබෝල කරකවන්න ඉගෙන ගන්නවා කියලා. ඉතින් මම ඒක ඉගෙන ගත්තා.” හය හැවිරිදි දැහැමි මල්ක දළදා පෙරහරේ ගිනිබෝල කරකවන්නන්ගේ කණ්ඩායමේ ඉඳන් බොහොම ආඩම්බරයෙන් එසේ කියා සිටියේය. පෙරහරේ ගිනි රස්නේ ඇඟට දැනෙන නරඹන්නන් තමන්ගේ පුංචි එවුන් ළඟට කරගන්නේ පුංචි උන්ට පීඩාවක් ඇති වෙයි කියා බියෙනි. එවැනි පසුබිමක දැහැමි මල්ක වැනි පුංචි දරුවෝ ගොඩක් ගිනිබෝල කරකවන්නන්ගේ කණ්ඩායමේ සිට තම හැකියාවන් ප්‍රදර්ශනය කරන්නේ දළදා පෙරහරට නව්‍ය බවක් එක් කරමිනි.
කසකරුවන් පසුපසින් ගින්දරින් නෙක රටා මවමින් ගිනි බෝලකරුවන් පැමිණෙන්නේ වැස්සට පෙර විදුලි කෙටීම සිහියට නංවමිනි. ගිනි දැල් වූ දම්වැල්, වළලු, පොලු රැගෙන රංගනයේ යෙදෙන රාගම වල්පොළ ගිනිකෙළි කණ්ඩායම අවුරුදු 54 ක් තිස්සේ මහනුවර පෙරහරේ ගමන් කර අත්දැකීම් ලත් පිරිසකගෙන් සමන්විත වූ එකකි. ඔවුන්ගේ නියමුවා ඊ.ඩී තිලකරත්න ය. හැත්තෑ දෙහැවිරිදි ඔහු මහනුවර පෙරහරට මුල් වරට සම්බන්ධ වී තිබෙන්නේ 1970දීය. වැඩිහිටි කොයි කවුරුත් හැකි සෑම විටම උත්සාහ කරන්නේ ගින්දරෙන් දරුවන් ඈත් කර තබන්නටය. ගින්දර සමඟ සෙල්ලම් එපා යැයි කියමනක් සමාජගත වී තිබෙන්නේ ද ඉන් කොයි මොහොතේ හානියක් වේදැයි කිව නොහැකි නිසාය. එහෙත් වල්පොළ ගිනිකෙළි කණ්ඩායමට නම් මේ පිළිබඳ වගක් නැති ගානය. වයස අවුරුදු හයක් වන දැහැමි මල්ක අධ්‍යාපනය ලබන්නේ කඳාන ශාන්ත සෙබස්තියින් විදුහලේය. මේ පුංචි කොලු පැටියා තමන්ගේ වැඩිමහල් අයියා වන පුබුදු සංඛ රාගම ගිනිකෙළි කණ්ඩායමේ ගිනිකෙළි ඉගෙන ගන්න ගිය මොහොතේ සිටම ඇවිටිලි කර ඇත්තේ කෙසේ හෝ තමාටත් ගිනිබෝල කරකවන්න ඕනෑ කියාය. වෘත්තියෙන් විදුලි කාර්මිකයකු වන ලක්ෂ්මන් ප්‍රනාන්දු මේ දරුවන් දෙදෙනාගේ පියා ය. ඔහුත් රාගම ගිනිකෙළි කණ්ඩායමේ සාමාජිකයෙකි. වසරක් පාසා මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ගිනිබෝල කරකවන්නන්ගේ කණ්ඩායමට එකතු වී සිටින සිය වැඩිහිටියන් දෙස බලා දැහැමි මල්ක සිය දක්ෂතා ඔප්නංවාලන්නට පය තැබූයේ පරම්පරාවෙන් ආ හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගන්න බලාපොරො ත්තුවෙන්ය.
“මේ නර්තනයේ දේදුන්න බානවා කියලා අංගයක් තියෙනවා. මට ඒක හොඳට කරන්න පුළුවන් කියලා මම දන්නවා. ඒක දැක්කහම මිනිස්සු අප්පුඩි ගහන හැටි මට හිතාගන්න බැහැ. ඇත්තටම මම පුදුම වෙනවා. පෙරහරේ ගියා කියලා කකුල් කැක්කුමක් එන්නේ නෑ. හරිම විනෝදයි. ඉවර වෙනකොට දුකත් හිතෙනවා. මේ සැරේ කුඹල් පෙරහරේ දින තුනකට පස්සේ මම ගෙදර ගිහින් තමයි රන්දෝලි පෙරහරට ආවේ. මොකද ඉස්කෝලේ වාර විභාගය පටන් ගත්තා.” පුංචිකමට දැහැමි මල්ක සෑම විස්තරයක්ම බොහෝ පැහැදිලිව කියාගෙන ගියේ එලෙසිනි.
ගිනිබෝල සෙල්ලම් දාන තවත් හපනකු වන පියුස සසිත් නාරංගොඩපාළුව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්නා සත් හැවිරිදි දරුවෙකි. කුඩා වුවත් කණ්ඩායමේ සියලු ශිල්පීන්ගේ දක්ෂතා මැද නරඹන්නන්ගේ ආදරේ දිනාගන්නට තරම් දක්ෂ ශිල්පියෙකි.
“දළදා පෙරහරේ ගිනිබෝල කරකවන්න මම මේ ආපු පළමු වතාව. ගින්දර සැර හරි අමාරුයි. ඒ වුණාට මට ඒක අමාරුවක් විදිහට දැනෙන්නේ නැහැ. මං හරිම කැමතියි පුළුවන් උපරිම විදිහට දක්ෂතා පෙන්නන්න.” ඔහු කීවේ හුරතල් විලාසයෙනි.
මෙරට පමණක් නොව විදේශීය ජනතාවගේ ද නෙත් සිත් පැහැර ගැනීමට සමත් මහනුවර ඇසළ පෙරහර නැරඹිය යුත්තේ පදික වේදිකාවක වාඩිගෙන ගිනි සැර විඳිමින් වුවත් එය නරඹන්නට ලොබ බැඳි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවරට පැමිණෙද්දී තවත් මිලියන ගණනක ලෝකවාසී ජනතාවක් පෙරහර නරඹන්නේ අන්තර්ජාලයෙනි. පෙරහර හැඩ කරන කලාකරුවන් අතර උඩරට පාරම්පරික ගායන, වාදන හා නර්තන ශිල්පීහු ද වන අතර, ඔවුන් බොහෝ දෙනෙකු ජ්‍යෙෂ්ඨයෝය. ජනාධිපති සම්මානලාභී කලාකරුවන්ය. මේ අතර අංකුර කලාකරුවෝ ද සිටිති. ජ්‍යෙෂ්ඨයන්ගේ සෙවණේ ශිල්ප ප්‍රගුණ කරමින් හැකියාවන් ඔපමට්ටම් කර ගන්නා මිණි කැට වන් බුහුටි කලාකරුවෝ රැසක් මෙවර ද පෙරහර හැඩ කරන්නට එක්ව සිටිති.
තාලම් නාදය ඇසෙන මානය පෙරහර එන බව ළයාන්විතව හදවතට දන්වයි. පෙරහර පිළිබඳව හදවතේ රිද්මය වැයෙන්නේ තාලම් හඬට යයි කීම වැරදි නැත. තිත්..තේ යි.. නදින් වැයෙන තාලම් හඬ හුරුබුහුටි පුංචි අත් දෙකකින් වැයෙන්නේ නොවරදින තාලයට නම් එහි අගය තව තවත් වැඩිය… එහි රසය අත්විඳින්නට මේ පුංචි දෑතින් වැයෙන තාලම් නද සජීවීව අත්විඳිය යුතුමය.
නෙල්ලිගල කලායතනයේ චමින්ද ජයවර්ධනගෙන් ගුරුහරුකම් ලැබූ නේත්‍ර සඳළිදු ජයවර්ධන තාලම්පට වාදනය කරන්නේ අපූරු හැඩයකටය. වයස අවුරුදු හතක් වන නේත්‍ර කිරිබත්කුඹුර කුඹල්වතුමුල්ල විද්‍යාලයේ ඉගෙනුම ලබයි. තුන වසරේ අධ්‍යාපනය ලබන නේත්‍ර පොල්මල් නර්තන කණ්ඩායමට වැයෙන බෙර නාදයට තාල තබන්නට තාලම්පට වයන්නේ හරි අපූරුවට ය.
“මම හුඟක් පුංචිම කාලෙ ඉඳලා තාලම්පට වාදනය කරන්න හරිම කැමතියි. ඒකේ තාල තියන එක හරිම විනෝදයි. දළදා පෙරහරට එකතු වෙලා තාලම්පොට තාල තියන්නට ලැබීම ගැන හරිම සතුටුයි.” නේත්‍ර එසේ පවසන්නේ පියාගේ අඩිපාරේ යමින් දක්ෂ ගායන, වාදන හා නර්තන ශිල්පියකු වීමේ සිහිනය සැබෑවක් කර ගන්නා අධිෂ්ඨානයෙනි.
සධාතුක කරඬුව හා දේවාභරණ වැඩම කරන අලි ඇතුන් ද දියවඩන නිලමේතුමා ප්රමුඛ බස්නායක නිලමේවරු ද තේජාන්විතව ගමන් කරද්දී උඩරට පාරම්පරික කලා ශිල්පීන් පෙළහර පාන්නේ අපගේ සංස්කෘතික උරුමයන් හි මහිමය ලොවට කියාපාමිනි. පෙරහර නරඹන්නන්ගේ උනන්දුව සේම භක්තිය අවදි කරනුයේ මංගල හස්ති රාජයාගේ සම්ප්‍රාප්තිය සමඟය. හේවිසි, හොරණෑ, තාලම්, ගැටබෙර ආදි පංච තූර්ය නාදයෙන් ඇලළී ගිය හේවිසි කණ්ඩායමේ හඬ දළදා පෙරහරට ජවයක් එක් කරයි. නාලන්ද බෞද්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 11ක් වන භූපති ශාඛ්‍ය වෙස් බඳින ලද නර්තන ශිල්පියකි. එසේ වුවත් ඔහු තාලම්පට වයන්නට එකතු වී සිටින්නේ බොහෝ කැමැත්තෙනි.
ගාල්ල මීපාවල භාග්‍ය නිම්සර ද වයස අවුරුදු දොළහ නොඉක්මවූ ශිල්පියෙකි. හරි අපූරුවට බෙර වයන ඔහුගේ හඬයි මේ.
“මම ජීවත් වෙන්නේ ගාල්ලේ වුණාට මගේ හිතට හදවතට නුවර පෙරහැර කාවැදිලා තියෙන්නේ. මගේ ජීවිතෙත් එක්ක මේ බෙර හඬ බද්ධ වෙලා තියෙන්නේ. හේවිසි හොරණෑ හඬට මම හරිම කැමතියි. මට හිතෙනවා පෙරහර නරඹන්නන් හැම දෙනාම හේවිසි, හොරණෑ හඬට ලොකු ඇල්මක් දක්වනවා කියලා. මොකද හැමෝම පුදුම භක්තියකින් ඒ දිහා බලාගෙන ඉන්නේ. ඒ අය බලාගෙන ඉන්නේ හරියට ධ්‍යානයකට සමවැදිලා වගේ. හැමෝම සතුටු කරන්න පුළුවන් කලා හැකියාවක් අපිට ලැබෙන්නේ පින් බලයෙන්. කුසලතා වැඩිදියුණු කර ගන්න නම් කැපවිම් කරන්න ඕන. කුසලතා සපිරි ශිල්පියෙක් වෙන්න මම පුංචි කාලේ ඉඳලම තීරණය කළා. ඒ වෙනුවෙන් මහන්සි වී පුහුණුවීම් කළා. ඒ ගැන මට හරිම සතුටුයි.” භාග්‍ය කියන්නේ අපූරු සිනාවකින් මුව සරසාගෙනය.
නුගවල මධ්‍ය මහා විද්‍යාලයේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හසින් හිමංස අත්තරගම ශිල්ප කලා ආයතනයේ සිසුවෙකි. ඔහු නිශ්ශංක විජේරත්න කලා ශිල්පියාගේ පුතුය. හේවිසි කණ්ඩායම් නියෝජනය කරන වයස අවුරුදු 12ක් වන තෙනුප නින්දුල සහ අංජන සෞම්‍ය සංකල්ප යන පුතුන්ද වයස අවුරුදු දොළහේ පසුවන ශිල්පීන්ය. ඔවුන් වසර දෙකක පමණ සිට මහනුවර ඇසළ පෙරහරේ හේවිසි තාලම් බෙර කණ්ඩායමේ සාමාජිකත්වය දරති.
ඇසළ පෙරහර විචිත්‍රවත් කරන්නට නාලන්දා විද්‍යාලයෙන් ලැබෙන දායකත්වය ඉමහත්ය. ඒ අතර නාලන්දා විද්‍යාලයෙන් පැමිණි පුංචි දරුවන් දෙදෙනෙකු වන චමිදු ගගන සහ පසන් නිර්මල දක්ෂ ශිල්පීන් ලෙස පෙරහරේ ගමන් කරයි. චමිදුගේ වයස අවුරුදු දහතුනකි. නවය වසරේ ඉගෙනුම ලබන ඔහු සුපුන් මදුශංක ශිල්පියා ඇසුරෙහි වසර තුනක කාලයක් ගැටබෙර වාදන පුහුණුව ලබා තිබේ. ඒ අත්හුරුව මත අද ඇසළ පෙරහරේ ගැටබෙර ශිල්පීන් අතර ළාබාලතම ගැටබෙර ශිල්පියකු ලෙස ගගන පෙරහරේ ගමන් කරයි. වෙස් බැඳි නර්තන ශිල්පියෙකු වූ පසන් නිර්මල නැටුම් කණ්ඩායමේ ළාබාලතම ශිල්පියෙකි. වයස අවුරුදු 12 ක් වන ඔහුට වයසට වඩා මුහුකුරා ගිය නර්තන හැකියාවකින් පිරිපුන්ය.
“මම විවිධ නර්තන අත්හදා බලන්නට කැමති කෙනෙක්. ඉස්සර ඉඳලම මම නැටුම්වලට හරිම කැමතියි. සවරන් නැටුමටත් ලොකු ඉතිහාසයක් තියෙනවා කියලා මං අහලා තියෙනවා . ඒ නිසා පෙරහරේ සවරන් කණ්ඩායමට සහභාගි වෙන්න ලැබුණු එක ලොකු භාග්‍යයක්..” පසන් කීවේය.
පුරා රාත්‍රී 10ක් අලි ඇතුන් හැට හැත්තෑවක් සමඟ ගායන, වාදන හා නර්තන ශිල්පීන් 1500කට වැඩි පිරිසක් පෙළහර පාන්නා වූ මෙවන් උත්සවයක් ලොවේ වෙනත් කොතනක හෝ දකින්නට නොලැබෙන්නේ ය. මේ නිසාම මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය කොයි කවුරුත් හඳුන්වන්නේ හෙළයේ මහා විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසිනි. වැඩිහිටියන් හා හරි හරියට ශිල්ප දක්වන මේ පොඩ්ඩන් දෙස කාගෙත් නෙත් සිත් ඇදී යන්නේ මුන්ගේ වැඩ වයසේ තරමට ද” යන ආදරණීය සිතිවිල්ල ද සමඟිනි.
ඡායාරූප – රුවන් මීගම්මන
අසේල කුරුළුවංශ
අසේල කුරුළුවංශ