Home » ඩුබායි ගොත අසංකගේ මෙරට මත් ජාලය බිඳින්න එස්.ටී.එෆ්. ගහන ගේම

ඩුබායි ගොත අසංකගේ මෙරට මත් ජාලය බිඳින්න එස්.ටී.එෆ්. ගහන ගේම

by thanushika
August 24, 2024 12:30 am 0 comment

විදේශගතව සිටිමින් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා සංවිධානාත්මක අපරාධ, කුලී ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරවන පාතාලයන් අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තු නිකුත් කර ඇත්තේ පසුගියදාය.

විදේශගතව සිටින මේ පාතාලයන් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා සිදු කරන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල ප්‍රමාණය සුළුපටු නැත. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නිරතුරු වෙහෙස ගන්නේ එම පාතාලයන් මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා සිදු කරවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමටය.

මෙලෙස රට පුරා ක්‍රියාත්මක කල්ලි කණ්ඩායම් 96ක් මේ වන විට හඳුනාගෙන තිබේ. එහි සාමාජිකයෝ 1604ක් සිටිතියි සැක කෙරෙන අතර ඉන් 361ක් මේ වන විට සිටින්නේ බන්ධනාගාරගතවය. තවත් 153ක් සිටින්නේ විදේශ රටවලට පලා ගොසිනි.

මෙසේ විදේශ රටවලට පලාගොස් සිටින පාතාල කෙරුමන් 153ක් එහි සිට මෙරට සිටින ගෝලබාලයන් ලවා අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නේ එය ඔවුනට හුරුපුරුදු රස්සාව නිසා සහ එම ජාවාරම්වලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් නිසාය. එබැවින් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ රහස් පොලිසියේ නිලධාරීන් දීර්ඝ විමර්ශනවල යෙදෙන්නේ පිටරට සිටින පාතාලයන්ගේ මෙරට ජාලය බිඳීම සඳහාය.

පිටරට සිටින පාතාලයන්ගේ මෙරට සිටින ගෝලබාලයන් අල්ලා ගැනීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය පසුගිය දිනවලදී මෙහෙයුම් ගණනාවක් සිදු කරන ලද අතර එහිදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි විය. ඒ පිටරට පාතාලයන්ගේ මෙරට ගෝලබාලයන් සැලකිය යුතු සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවීම නිසාය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තවත් එවැනිම සාර්ථක වැටලීමක් සිදු කරන්නේ පසුගියදාය.

විදේශගත පාතාලයන්ගේ මෙරට සිටින ගෝලබාලයන්ගේ ක්‍රියා අඩපණ කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටින පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති එස්. ඩී. පී. එන්. දේශප්‍රියට පසුගියදා තොරතුරක් ලැබෙන්නේ සිය පෞද්ගලික තොරතුරුකරුවකුගෙනි. ඒ විදේශගතව සිටින ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙරට සිටින සිය ප්‍රබල ගෝලයකු ලවා සිදු කරවන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳවය.

විදේශගතව සිට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන එම ප්‍රබල ජාවාරම්කරු ‘ගොත අසංක’ ලෙස හඳුනා ගැනෙන්නේ සිදු කරන ලද විමර්ශනයේදීය. ගොත අසංකගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයේ එක් පුරුකක් හඳුනා ගැනීමට ද පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු කණ්ඩායමට හැකි විය.

ගොත අසංකගේ ගෝලයා දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන බවද ඔහු සපුගස්කන්ද, මාහේන පාරේ නිවෙසකට නිතර යන එන බවටද ඉතා නිවැරදි තොරතුරු පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු කණ්ඩායම විසින් හෙළිකරගෙන තිබුණි. ඒ අනුව විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් සැකකාර ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා ඉතාම සැලසුම් සහගත මෙහෙයුමක් ආරම්භ කරන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. ආර්. සේනාධීර යන නිලධාරීන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම අනුවය.

එහිදී පොලිස් පරීක්ෂක දේශප්‍රිය ඇතුළු කණ්ඩායමක් සපුගස්කන්ද ප්‍රදේශයට ගොස් ආවේක්ෂණ රාජකාරියේ නිරතව සිටියදී මෝටර් බයිසිකලයකින් පැමිණි සැක කටයුතු පුද්ගලයකු නතරකර පරීක්ෂා කරන්නේ ඔහුගේ තොරතුරු විමසමිනි. සැකකාර පුද්ගලයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 44ක් සහ මිලි ග්‍රෑම් 410ක්, විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 105ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් ලක්ෂයක මුදල්, ජංගම දුරකතනයක්, විදත් තරාදියක් සොයා ගන්නා ලද අතර ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ ඔහු 36 හැවිරිදි පුද්ගලයෙක් බවයි. හෙතෙම සපුගස්කන්ද පොලිස් වසමේ හෙයියන්තුඩුව දහම් මාවතේ පදිංචිකරුවෙකු බවද හෙළි විය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ ඔහු මේ වන විට විදේශ රටකට පලාගොස් සිටින ගොත අසංක නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘එක් පුරුකක්’ බවයි. සැකකරු සතුව තිබුණ ජංගම දුරකතනයේ දත්ත වාර්තා ද ලබාගෙන ඔහු සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීම සඳහා විමර්ශන පැවැත්වෙන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු සපුගස්කන්ද පොලිසියට භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර, ගෝනහේනේ කඳවුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. ආර්. සේනාධීර යන නිලධාරීන්ගේ උපදෙස් මත එහි විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ඩී. පී. එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් මේ වැටලීම සිදු කරන ලදි.

ඡායාරූප – කොට්ටාව ශාන්ත කුමාර

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division