කොයි කාටත් අත්‍යවශ්‍යම සාධකයක් වන්නේ මුදල්ය. මේ නිසා මුදල් ඉපැයීමට කවුරුත් වෙහෙසෙන්නේ දිවා රෑ නොතකමිනි. සමහර පුද්ගලයින් නොයෙක් කූට වංචනික ක්‍රමවලින් මුදල් ඉපැයීමට පෙළඹී සිටින බව දැන් දැන් වාර්තා වන සිදුවීම්වලින් පැහැදිලි වන කරුණකි.
“අනේ සර් බලන්නකො මට වෙච්ච දේ…“
අගලවත්ත පොලිසියට පැමිණි කාන්තාවක් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. කේ. නිලන්ත ඉදිරියේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීමට පටන්ගත්තේ එලෙසිනි.
“ඇයි මොකක්ද තමුන්ට වුණේ…?“
“මං පදිංචි වෙලා ඉන්නෙ කිතුල්ගොඩ. පොඩි කඩයක් කරගෙන තමයි කීයක් හරි හොයාගන්නේ. කරුවල වැටීගෙන එනකොට කාරෙකකින් ආව ගෑනු කෙනෙක් රුපියල් පන්දාහේ කොළයක් දීලා බඩු වගයක් ගත්තා… ළමයා ඉන්නවා වාහනේ එයාට අසනීපයි. ඉක්මනට යන්න ඕනි කියලා කලබල කර කර ඉතුරු සල්ලි ගන්න පුදුම හදිස්සියක් තමයි කළේ. කාරෙක ස්ටාර්ට් එකේ තියාගෙන තමයි ඩ්‍රයිවර් හිටියෙත්. පස්සේ බලනකොට ඒක හොර නෝට්ටුවක්නෙ සර්…“
ඇය පොලිසියට පවසා සිටියේ මෙම වංචාව නිසා ඇයට විශාල පාඩුවක් සිදුවූ බවය.
බදුරලිය, බෙල්ලන ප්‍රදේශයේ කාන්තාවක්ද මේ ලෙසටම මෙම කාන්තාවගේ රැවටීමට ලක්වී ව්‍යාජ රුපියල් පන්දාහක් මාරු කර දී තිබුණේ ඊට දින කීපයකට පසුවය.
මෙම පැමිණිලි දෙකට අනුව කළු පාට සහ රතු පාට කාර් දෙකකින් මෙම දින දෙකේ පැමිණ සිටි සැකකාර කාන්තාවගේ හැඩරුව සහ ‘පිළිවෙළ’ එක සමාන බැවින් මෙම ‘ව්‍යාජ මුදල් නෝට්ටු සෙල්ලම’ සිදු කරන්නේ එකම කාන්තාවක් විය හැකි බවට උප පොලිස් පරීක්ෂකවරයා නිගමනය කළේය.
කාන්තාවක් පමණක් තනිව සිටින කුඩා වෙළෙඳසැල්වලට රාත්‍රී කාලයේ මෝටර් රථයකින් දරුවකු සමඟ පැමිණෙන කළු මිටි මහත මැදි වයසේ කාන්තාවක් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මාරු කරන බවටත් ඇය අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතන බවටත් පුවත්පතක පළ කරවා ගැනීමට ඔහු කටයුතු කළේ මේ අනුවය.
“සර් මං කලවැල්ලාව බෝධිය ළඟ කඩේ තුෂාරි. මේ දැන් කඩේට ආපු ගෑනු කෙනෙක් පන්දාහෙ කොළයක් දීලා එක්දාස් හයසීයක චොක්ලට් බිස්කට් පැකට් එකක් අරගත්තා. ඉතුරු සල්ලි ගණන් කරන කල්වත් ඉන්න බැරි තරම් පුදුම හදිස්සියක් තිබුණෙ. අනේ සර්… ඒ පන්දාහ හොර නෝට්ටුවක්…“ දුරකතන ඇමතුමක් මඟින් උප පොලිස් පරීක්ෂකවරයාට මෙම සිද්ධිය දැනුම් දුන් තුෂාරි නමැති කාන්තාව පවසා සිටියේ එම මෝටර් රථය අගලවත්ත ප්‍රදේශයට ගමන් කළ බවය.
එදින අගලවත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ පොලිස් පරීක්ෂක ප්‍රියන්ත විජේසිංහය. ඔහුට මෙම සිද්ධිය පිළිබඳව දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා තම නිලධාරීන් කණ්ඩායම සමඟ කලවැල්ලාව – අගලවත්ත මාර්ගයේ මාර්ග බාධක යොදා පැමිණෙන වාහන සියල්ලම පරීක්ෂා කිරීමට කටයුතු කළේ මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහාය. පොලිසියේ උත්සාහය අසාර්ථක වූයේ නැත. අගලවත්ත කැකුලන්දල විහාරස්ථානය අසලදී මෙම කාරය නවතා ගැනීමට පොලිසියට හැකි විය. වෙළෙඳසැලේ එම කාන්තාව මෝටර් රථයේ පැහැය සහ වර්ගය පිළිබඳව දැනුම් දී තිබීමද මෙහිදී විශාල පහසුවක් වී තිබිණ.
මෝටර් රථයේ සිටියේ තිදෙනෙකි. රියැදුරු සමඟ කාන්තාවන් දෙදෙනෙකි. ඒ සැකකාර කාන්තාව සහ ඇගේ දියණිය වන දාසය හැවිරිදි තරුණියකි.
මෝටර් රථය පරීක්ෂා කිරීමේදී කලවැල්ලාව බෝධිය අසල වෙළඳසැලෙන් මිලදී ගත් චොක්ලට් බිස්කට් එක ඇතුළු බොහෝ දෑ එහි තිබී පොලිසියට සොයා ගැනීමට හැකි විය.
මෙම පිරිස පොලිසියට රැගෙනවිත් විමර්ශන ආරම්භ කරන්නේ ඒ අනුවය.
“සර් අල්ලගත්ත වෙලාවේ පන්දාහේ කොළ දෙකක් තිබිල මෙයා කටේ දාලා කෑවා…“
රියැදුරු පැවසුවේ එම කාන්තාව පොලිසිය දුටු විගසම ළඟ තිබූ ව්‍යාජ පන්දාහේ මුදල් නෝට්ටු දෙකක් කා දමා විනාශ කළ බවය.
“කොහෙන්ද තමුන්ට හොර නෝට්ටු ලැබෙන්නේ..?“
“සීදූවෙ කෙනෙක් තමයි මට මේවා දෙන්නේ. මං එයාගේ නම ගම විස්තර මොකුත් හරියට කියන්න දන්නේ නෑ සර්… එක සැරේ කොළ විස්සක් විතර මට දුන්නා…“
ඇය පොලිසියට එලෙස පැවසුවාය. එය සම්පූර්ණ මුසාවක් බව අවබෝධ කර ගැනීමට පොලිස් නිලධාරීන් අසමත් වූයේ නැත.
කිරිපිටි, යෝගට්, චොක්ලට්, සෙරෙප්පු, සපත්තු, බේබික්‍රීම්, නැප්ලින්, සනීපාරක්ෂක තුවා, ස්ප්‍රේ තීන්ත ඇතුළු දෑ වාහනයේ තිබී සොයා ගැනීමට හැකි වූයේ විවිධ වෙළඳසැල්වලින් ලබාගත් ව්‍යාජ පන්දාහේ මුදල් නෝට්ටු මාරු කර ලබා ගත් ඒවා ලෙසය. ඇය එදින කලවැල්ලාවට යාමට පෙර අගලවත්ත, වඳුරඹ ‘දිස්නාගේ’ වෙළෙඳසැලට හා අගලවත්ත, ‘මිල්ලගස්මුල ඉනෝකා’ නමැති කාන්තාවගේ වෙළෙඳසැලටද ගොස් මේ ආකාරයටම ව්‍යාජ පන්දාහේ මුදල් නෝට්ටු දෙකක් ලබාදී භාණ්ඩ මිලදීගෙන තිබෙන බව අනාවරණය වූයේ සිදු කළ විමර්ශනයේදීය.
බුලත්සිංහල, හොරණ, පිළියන්දල, මහරගම, කොට්ටාව, කඩවත, ජාඇළ, වත්තල, සීදූව, ගම්පහ, මිනුවන්ගොඩ, කොල්ලුපිටිය, දෙහිවල, ගල්කිස්ස ආදී රට වටේම වෙළෙඳසැල්වලට ගොස් කාන්තාවන් මුළාකොට මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සෙල්ලම සිදුකර ඇති බව ඇගේ ප්‍රකාශවලින් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි විය.
“අනේ සර් මට දියවැඩියා…. කොලෙස්ටරොල් වගේ ලෙඩ ගොඩක් තියෙනවා. ඒවට බේත් ගන්න තමයි මෙහෙම සල්ලි හොයන්නෙ…“
බැරිම තැන ඇය පොලිසියට ඇදබෑවේ එවන් බේගලයෙකි.
කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසු වූ මෙම කාන්තාව කුලී පදනම මත ලබාගත් කාර් රථවලින් ගමන් කරමින් කිසිම අපහසුවකින් තොරව මෙලෙස මුදල් ඉපැයීමේ කටයුතු සිදු කරන්නේ කිසිම බියක් සැකයකින් තොරවය. අත්අඩංගුවට ගත් රියැදුරුද කිතුලාව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු මෙම ගමනට එකඟ වී ඇත්තේ දිනකට රුපියල් හාරදාහක මුදලකටය. පොලිසිය ඇගේ නිවෙස ද පරික්ෂා කිරීමට කටයුතු කළේ තවදුරටත් මෙම ජාවාරමේ සුලමුල සොයා ගැනීම සඳහාය.
ව්‍යාජ මුදල් නෝට්ටු වර්ණ ගැන්වීම සඳහා යොදාගන්නා තීන්ත වර්ග, අඩි රූල්, ප්ලාස්ටික් ගම් බෝතල්, මුද්‍රණ උපකරණයට යොදාගන්නා වර්ණ මෙන්ම අඩක් පිලිස්සූ නෝට්ටු කැබලි ගොඩක්, හොර නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගන්නා කොළ ඇතුළු උපකරණද නිවෙසේ තිබි සොයා ගැනීමට හැකි වූයේ එවිටය.
ඇගේ සැමියා ද මීට පෙර කළුතර උතුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පැමිණි අයකු බව මෙහිදී අනාවරණය වී තිබේ. මෙහිදී පොලිසිය කටයුතු කළේ මෙම තිදෙනා කොළඹ අපරාධ කොට්ඨාසයේ ව්‍යාජ මුදල් නෝට්ටු අංශය වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දීමටය.
රට වටේ කරක් ගසමින් කාන්තාවන් පමණක් තනිව සිටින කුඩා කඩවලට ගොස් හීන් නූලෙන් ඔවුන් රවටමින් ව්‍යාජ මුදල් නෝට්ටු සෙල්ලමේ නිරත වූ මෙම කපටි කාන්තාවට අවසානයේ සිදු වූයේ සිහිනෙකින්වත් නොසිතූ ඉරණමකට මුහුණ දීමටය.
මතුගම සහකාර පොලිස් අධිකාරී 1 චන්ද්‍ර පද්මලාල්ගේ අධීක්ෂණය සහ නියෝග මත අගලවත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත විජේසිංහගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී. කේ. නිලන්ත, සැරයන්වරුන් වන (64848) සමන්ත, (59970) සෝමසිරි, (67758) ප්‍රදීප්, කොස්තාපල් (97550) මදුරප්පෙරුම යන නිලධාරීහු මෙම විමර්ශන සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ